19 November 2011

හෙළ බසේ අරුමය

සිංහලභාෂාවේ ප්‍රාකෘත යුගය ලෙස සැලකෙන ක්‍රි.පූ. 2 වන සියවසේ සිට ක්‍රි.ව. 4 වන සියවස දක්‌වා ඇති ලෙන් ලිපි සෙල්ලිපි ආදි අභිලේඛනයන් පරීක්‍ෂා කිරීමේදී පැහැදිලි වන්නේ හෙළබස පාලි භාෂාවට වඩාත් සමීප බවක්‌ දක්‌වන භාෂාවක්‌ බවයි. පාලි භාෂාවෙන් බිඳගත් වචන හා තත්සම වචන බහුල වශයෙන් එම ලේඛනවල දැකිය. අනුරාධපුර යුගයට අයත් දම්පියා අටුවා ගැටපදය හා සිබවලද විනිස වැනි ග්‍රන්ථ වලින්aද එය වඩාත් තහවුරු කරගත හැකිය. ක්‍රි.පූ. 2 වන සියවසේ ලිත භාෂාවෙන් ඇති මේ සිංහල ප්‍රාකෘතය ඊට පෙර කවර හෝ ජාතියක්‌ භාවිත කළ භාෂාවක්‌ බව ඒත්තු ගන්වයි. බුද්ධ පරිනිර්වාණයත් සමඟම හෙළ දිවයිනට ගොඩ බට විජය විසින් භාවිත කළ භාෂාව හෙළ භාෂාවේ ආරම්භය යෑයි ඇතැමෙක්‌ පවසති. එසේ නම් විජය හෙළ ප්‍රාකෘතයට සමාන භාෂාවක්‌ කතා කරන්නට ඇත. මිහිඳු හිමියන් විසින් හෙළ බසින් රචිත සීහලට්‌ඨ කතා නම් ග්‍රන්ථ සමුදායක්‌, පිළිබඳ සමන්ත පාසාදිකාවෙහි සඳහන් වෙයි. ඒවා රේවත නම් තෙර නමකගේ ඉල්ලීම පිට බුද්ධඝෝෂ හිමියන් විසින් පාලි භාෂාවට පෙරළා ඇත. බුදු බණට අර්ථ කථන සැපයීමේදී මිහිඳු හිමියන් විසින් භාවිත කළ හෙළ බස එදා පොදු ජනයාගේ ව්‍යවහාරයේ පැවැති භාෂාවකි. අද පවා අපේ භාෂාවේ ගැමිවහරේ භාවිත වෙන වචන වලින් පෙනී යන්නේ පාලි සංස්‌කෘතාදී භාෂාවලින් වෙන් කොට හඳුනාගත හැකි භාෂාවක්‌ අපට හිමිව තිබුණු බවයි. මිහිඳු යුගයට ශත වර්ෂ ගණනාවකට පෙර ආර්ය නොවන ජනයා විසින් කතා කළ මේ භාෂාව අද අභාවිත වී ඇත්තේ කුමන කරුණක්‌ නිසාද? මෙයට හේතු කීපයක්‌ දැකිය හැකිය. මිහිඳු මහරහතන් වහන්සේ හෙළ සාහිත්‍යයට කළ විශිෂ්ට සේවාවට සමගාමීව මහාවිහාරික භික්‍ෂු පරම්පරාව විසින් හෙළ සාහිත්‍යයට සේවාවක්‌ නොකළ බව පෙනී යැම, බුද්ධඝෝෂ හිමියන් විසින් පාලි භාෂාවෙන් අටුවා ග්‍රන්ථ සම්පාදනය කිරීම සහ එවකට පැවැති හෙළ අටුවා අභාවිත තත්ත්වයට පත්වීම, නැතිනම් ඒවා පිළිවෙළක්‌ නැති ග්‍රන්ථ යෑයි සලකා අපවක්‌ කිරීම.


තවත් වැදගත් කරුණක්‌ වන්නේ පසු කාලීනව සාමාන්‍ය ජනතාව අතර මුඛපරම්පරා ගතව හා ලිතව සුරක්‍ෂිතව පැවැති බෞද්ධ හෙළ සූත්‍ර හින්දු සංස්‌කෘතියේ බලපෑම නිසා මන්ත්‍ර සාහිත්‍ය විසින් ගිල ගැනීම. මෙයින් මා අදහස්‌ කළේ ශාන්ති කර්ම සඳහා යන්ත්‍ර මන්ත්‍රාදිය කෙරෙහි විශ්වාසය තැබීම හා ඒවා ලිතව තබා ගැනීමට පෙළඹීම හා බෞද්ධ හෙළ සූත්‍ර ධර්ම ගැන එතරම් විශ්වාසයකින් යුතුව කටයුqතු නොකිරීම ගැනයි. තවත් කරුණක්‌ වන්නේ ඉතිරිව තිබුණු පැරැණි පොතපතද අනාරක්‍ෂිත බව නිසා විනාශභාවයට පත්වීම. ගැමියන් අතර පවත්නා සමහර පුස්‌කොළ ග්‍රන්ථද අදටත් විනාශවෙමින් පවතී. මා විසින් හඳුනාගත් පුස්‌කොළ ග්‍රන්ථයද අනාරක්‍ෂිතව තිබීම නිසා ෙ€දනීය ඉරණමකට ගොදුරු වී ඇති බව මෙහි සඳහන් කළ යුතුය. පැරැණි හෙළ භාෂාව, සෙල්ලිපි ලෙන් ලිපි ආදියෙන් හඳුනාගත් භාෂාව හා අනාර්ය ජනයා විසින් භාවිත කළ භාෂාව වශයෙන් වර්ග කළ හැකිය. පැරැණි අනාර්යන් විසින් භාවිත කළ භාෂාව ගැන මෙහිදී අවධානය යොමු කරමි.


සර්පයකු දෂ්ඨ කළ විට ඒ සර්ප විෂ බැස්‌සීම සඳහා මන්ත්‍රයක්‌ ලෙස භාවිත කළ විෂකුම්භණ මන්ත්‍රය විෂකුම්භණ සූත්‍රයෙන් සකසා ගත් එකකි. විෂකුම්භණ සූත්‍රය බුද්ධකාලයේ වැඩ විසූ කවිලාශපාලි හෙවත් මුක්‌තලතා (රත්නාවලි) මෙහෙණිය විසින් දේශනා කරන ලද්දක්‌ බව සූත්‍රය කියවීමෙන් තහවුරු කරගත හැකිය. කවිලාශපාලි මෙහෙණිය බුද්ධ කාලයේ මෙරට විසූ ශ්‍රේෂ්ඨ රහත් මෙහෙණින් වහන්සේ නමකි. ඇය ගිරිදේශයේ (ගිරිබාව) ගිරිභද්‍රයාණන්ගේ බිරිඳ වන අතර බුදුන්වහන්සේ රකුන්ගිරට හෙවත් රිටිගලට වැඩම කළ අවස්‌ථාවේ නීලගිරි නම් වූ ස්‌ථානයේදී විෂකුම්භණ නම් සූත්‍රය අසා රහත් ඵලයට පත් මෙහෙණින් වහන්සේ නමකි. ඇය බුද්ධ දේශිත විෂකුම්භණ සූත්‍රය ඇසුරෙන් සකසාගත් මේ විෂකුම්භණ සූත්‍රය මා විසින් රචිත යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තොරතුරු යන ග්‍රන්ථයට ඇතුළත් කර ඇති බවද සඳහන් කළ යුතුය. විෂකුම්භණ සූත්‍රයේ අන්තර්ගත භාෂා ලක්‍ෂණ වලට අනුව පෙනී යන්නේ පාලි භාෂාවේ ආභාෂය නොලත් අපටම ආවේණික වූ භාෂාවක්‌ තිබුණ බවයි.


කවිලාශපාලි මෙහෙණිය රාගය පිළිබඳ ධර්මානුකූලව කරන විස්‌තරය විෂකුම්භණ සූත්‍රයේ එන්නේ මෙසේය.
කාම රාගය දස පෑයම වී
ඊ පීතල රාගයෝ වී
ඊ රාමල් රාගයෝ ව
ඊ දෙසුල් රාගයෝ වී
ඊ බරත රාගයෝ වී
ඊ සුංගු රාගයෝ වී
ඊ ජලිත රාගයෝ වී
ඊ රිපි රාගයෝ වී
ඊ යාදි රාගයෝ වී
ඊ බහිත රාගයෝ වී
පාලි සූත්‍ර ධර්මවල එන බුදුන් වහන්සේගේ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් මේ කරුණු එකින් එක ගෙන පැහැදිලි කරති.
පීතල රාගයෝ කිම්දැයි අසම්හ උහුන් මහිලාවෝ පුරුෂයෝ කරාද නොපතාවී පුරුෂයෝ මහිලාවෝ කරාද නොපතාවී. මහිලාවෝ මහිලාවියක පතාලුය. පුරුෂයෝ පුරුෂයෙකු පතාලුය. උහුන් පීතල විපරීත කාම බන්දනයේ වෙළෙත්.
සාර්ථක ගෘහ ජීවිතයත් ගත කරන අයෙකු විසින් මේ දසාකාර රාග බන්ධනයෙන් මිදිය යුතු බව මේ සූත්‍ර ධර්මයෙන් අවධාරණය කරති. දසාකාර රාගය සඳහා යොදාගත් මේ වචන මාලාව ත්‍රිපිටකයේ කොතැනකවත් සඳහන් නොවන හෙළ භාෂාවට අයත් වචන සේ හඳුනාගත හැකිය.
විෂකුම්භණ සූත්‍රයේ එන ධපාත පිළිබඳ සඳහනද එසේ මැයි.
ඊ දැහැන්වර අෂ්ටකය වී
බරවිර සුසිල දැහැන්ය.
මහා නිර්වාට දැහැනය.
බල ධීරත දැහැන්ය
සර්ව සුබ පාණ්‌ඩිල දැහැන්ය
ආටානාටිය හා මහා සමය වැනි සූත්‍රද පරීක්‍ෂාවෙන් කියවන විට පාලි නොවන වචන බොහොමයක්‌ හඳුනාගත හැකිය.

ආටානාටා පරකුසි නාටා නාට පුරියා පරකුසිත නාටා මේ වදන් මාලාව අපේ භාෂාවට වඩාත් සමීප බවක්‌ දක්‌වයි. මේ වචන වලට අර්ථ සපයා ඇත්තේ නගර නාමාවලියක්‌ ලෙසය. පැරැණි හෙළ බසේ ආට, නාට යන වදන් වලින් ග්‍රහයා යන අර්ථය දෙන බැවින් මේ පාඨයෙන් කියෑවෙන්නේ ග්‍රහයන්ගේ නාමවලියක්‌ද යන්න විමර්ශනය කිරීම වැදගත් වෙයි.

විෂකුම්භණ සූත්‍රයේ එන මේ වදන්වලින්ද හෙළ භාෂාව පැරැණි භාෂාවක්‌ බව සනාථ වේ.
කිහිරිය - මල්වර වීම (කිහිරිය කළද කබිරිය)
කබිරිය - කිල්ලකි - පිළිකුලකි
තිඹිරි - දරුවන් වැදීම
අෂ්ට කුණින - සමාජ රෝග
මුනාලිවී - සුදුසු විය (වීතරාගී දැහැන්වර මුනාලිවී)
චණ්‌ඩ ගුගුල - මාරුතය
කමක පොලක - කෙලවරක්‌ නැති
මට සිටු කැලෑ - සිඳ දැමීම (භවත්ත දෙබරිය මට සිටු කලැවී)
මලිතය - පිබිදීම මල් ආදිය
සෝබුල් වැ - පරවී (සොබුල් පූපක) පරමල්
භව ජන්ජලියාව - භව දෝෂය
බහිය - රොඩු
කුම්ටුක - දිරාපත්වීම
දෙගෙල් කැරූ - රොඩු ඉවත්කොට
ගිනිහැල්ය - වේදනාකාරිය
ගැබ බහන් වූ කලෑ - ගබ්සා වූ විට
ගැබ බජර - ගැබ්දිය
දාරකී මාංශය - කන්‍යාපටලය
සිරිංග ඕජාව - හෝමෝන ශ්‍රාවය (මාස්‌ ශුද්ධිය)
ඉහිමැ - පිළිකුල් සහිතය
ගෝතකම්නැ - වේදනාකාරිය
කොවිල - අපවිත්‍රය
ගැබපට වායිම - කළල ලේ
ගර්භසෙවෙනි - වැදෑමහ
බ උරුද - ප්‍රසූත වේදනාව
යෝනි බුජට වී - යෝනි මාර්ගය පහත්වීම
කිදැල් බජර - සැරව
බජර සුපුට - කුණු ඉන්නෝ
නාරි කොතිතයෙන - ස්‌ත්‍රි මායම
ඉන්ද්‍රකේ - අය්යා
නාමිලිය - නංගි
සනුහරේ - පරම්පරාව
නන්දනිකේ - දුව
දුස්‌ස - මාසය
කුදුස්‌ස - අවුරුද්ද
සුදහලේ - බඩගින්න
ගොම්මලේ - සවස
ජංජාලේ - විපත
කදුරලේ - දිය උල්පත
පබදර - ගුරුවරයා
සළමිබේ - අකුරු
සළම්බවට්‌ට - පොත
සළබ්බ උරේ - පුස්‌තකාලය, පොත් ගුල
සුසිලකේ - වීතරාගී බව
කෙටෙල්ල - වරළස
කදුරලී - මානෙල්
තබ්බර - තම්බර - නෙළුම්
දිද්දලී - ඕලු
සලබකරියාව - ඉගෙන ගැනීම
ජලනී - එඩිතර
කවිලාශ - මිහිරි හඬ
මොටාර - නපුරු
සෙවිය - ඔටුන්න
කදුරුසදිප්පු - දියනෑම
ඇවටිරේ - සටහන් කිරීම
මොරොන් ගැට්‌ටේ - අකීකරු
මිණිසලේ - මාලය
පැරැණි හෙළ බසින් ආ බොහෝ වචන අද ගැමි ව්‍යවහාරයෙන්ද සොයා ගත හැකිය. උච්ඡාරණයේදී මේ වචනවල සුළු වෙනසක්‌ හැරෙන්නට අර්ථවල වෙනසක්‌ දැකිය නොහැක.

සෙප්පටමජ - ශබ්ද තරංග මගින් දුර සිටින කෙනෙකුට පණිවිඩ යෑවීමේ ක්‍රමය සෙප්පටමජ නමින් හඳුන්වයි. ජංග්‍රාම නම් ශබ්ද තරංග ක්‍රමයක්‌ මේ සඳහා යොදාගනු ලැබේ. අද මෙය හඳුන්වන්නේ සෙප්පට විඡ්ජාව නමිනි. ඕනෑම කපටි ක්‍රියාවක්‌ කර ඇඟ බේරාගන්නා තැනැත්තා සෙප්පට විඡ්ජාකාරයා නමින් හඳුන්වයි.
ලෝලිකේ - අත දරුවාට කියන නමකි. බාලොලි ලොලි යන දරු නැලිවිලි ගීතය අර්ථය දැන හෝ නොදැන අද ද භාවිත කරනු ලැබේ.
ගෝතකම් නැ - ගෝත කර්මය - වේදනාව යන අර්ථය දෙයි. ගෝතකර්මයා යනුවෙන් අද ව්‍යවහාර කරන්නේ කරදරකාරයා යන අර්ථය දීමටයි.
කොවිල - කුයිල යනුවෙන් අද ව්‍යවහාර කරන්නේ දුගඳ යන අර්ථය දීමටයි.
බුරුත්තාව - සියලු සියල්ලෝම යන අර්ථය දෙයි. බුරුත්තාව සංහාර සලම්බ වට යනු පරපුරෙන් පැවතෙන සියලු ග්‍රන්ථ සමූහය, යනුවෙන් අර්ථය දෙයි.
මන්ඨක - යක්‍ෂ ගෝත්‍රිකයාට කියන නමකි. යගු කෞරාණ මන්ඨක නම් වංශ නාමයෙන්ද ඔවුහු හැඳින්වූහ. මන්ඨාක සංහාර, යක්‍ෂ ගෝත්‍රික පරපුරෙන් පැවතෙන, මණ්‌ඨාකමාන - යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ පැසසුමට ලක්‌වූ තෙවිය මත්ඨක -භාණක සෘෂිවරු.

අරමොනැ - තුවාලය - රජරට ප්‍රදේශයේ අදටත් භාවිතාවෙන වචනයකි. උහුන කාය ඊ අර මොනැ - ඒ නිසා ඔවුන්ගේ කය තුවාල ඇති විය යනු මෙන් විෂකුම්භණ සූත්‍රයේ සඳහන්ය. වියළි කලාපයේ වැසි සමයේ නිතර දැකිය හැකි කාල වර්ණ සැකරැල්ලෙක්‌ද මේ නමින් හඳුන්වනු ලැබේ.
ඉස්‌ අයිර - කුඹුර, කුඹුරු යායක කුඩාවට වෙන් කරගත් කොටස්‌ මේ නමින් හඳුන්වයි. ඉස්‌සර යනුවෙන් අද ව්‍යවහාර කරයි.
කේවර - කිඹුලා කේවර ආගාධය යනු කිඹුලන් වසන ස්‌ථානයයි. රජ සමයේ වරදකරුවන්ට දඬුවම් පැමිණවීමේදී වරදකරු මේ කේවර අගාධයට හෙළනු ලැබේ.
මුරත - සෘෂිවරයා, යෝගීන් ලෙස වනගත ප්‍රදේශවල ජීවත් වූ මේ අය වෛද්‍ය සෘෂිවරුන් ලෙස ප්‍රසිද්ධියක්‌ උසුලයි. ශ්‍රී ලාංකික යක්‍ෂගෝත්‍රික සෘෂිවරු දේශීය වෛද්‍ය විද්‍යාවද සොයා ගත්හ.
ශුවිධිමුථ - සිල්වත් පූජ්‍යතර යන අර්ථය දෙයි. මාර්ගඵලලාභී භික්‍ෂූන් වහන්සේට ගරු කිරීමට මේ වචනය යොදනු ලැබේ.
සිටිමද - උත්තම - උත්තමයාණන් වහන්සේ, රජුqට සහා සෘෂිවරුන්ට ගරු කිරීම සඳහා මේ වචනය යොදාගනු ලැබේ.
සිධිහමේ - ගෞරවාර්ථ වචනයකි. වහන්සේ යන අර්ථය ලැබේ. සිධිහමේ විෂකුම්භණය සලබ උරේ. විෂකුම්භණ නම් පොත් වහන්සේල යනුවෙන් වටිනා ග්‍රන්ථ හැඳින්වීමට යොදන වචනයකි.
වෙනත් භාෂාවල ව්‍යවහාර වන වචනද පැරැණි හෙළ භාෂාවෙන් සොයාගත හැකිය.
බේබිය - දරුවන්ට සෙනෙහෙ දක්‌වන්නී
සොප්පිය - සොපියා බුද්ධිය
ගලිsස්‌ස - ගලිය - පොලොව යටින් ජලය ගෙන යන ඇළ මාර්ගය
අමුච්ල - චිල ශිෂ්‍යයා දරුවා
බකුර - බක්‌ක - ලොකු බක්‌කුවා ලොකු අයියා
සිටිටීර - බාල සහෝදරයා, සිටිටියා, සූට්‌ටියා, චූට්‌
තබ්බි - ළමයා, දරුවා තබ්බිණි - දැරිය
උපසර්ග වලට සමාන පද විශේෂයක්‌ද හෙළ බසේ බහුල වශයෙන් යොදාගෙන ඇත. මේවා යෙදීමෙන් පදවල අර්ථය වෙනස්‌ වෙයි.
බතික - කේ බතික - ගෙවල් සාදනවා
පන් බතික - ලෝහ වැඩ කරනවා
රන් ශ්‍රී - මාග්‍ර රන්සි - ඔටුනු පැළඳීම
පිදෙ රන්සි - වරිග සභාව
අදීපා - මලු අදීපා - සීයා කිරි අත්තා, අත්තප්පා
කිරො අදීපා - බාප්පා
පෙදීපා - මලු - පෙදිපා - ආච්චි - අත්තම්මා
කිරො පෙදිපා - ආච්චි - අත්තම්මා
කිරො පෙදිපා - බාලම්මා - පුංචි අම්මා
ක්‍රියා පද සාදා ගැනීමේදී බහුල වශයෙන් යොදාගත් පත්‍රHය විශේෂයක්‌ද ඇත.
පටෙ ප්‍රත්‍යය
හිහිරි - පටෙ මළපහකරනවා
මුලුදු පටෙ - මුත්‍රා කරනවා
දේ ප්‍රත්‍යය
බහිරා දේ - ඉක්‌කා වැටෙනවා
ගෝසු දේ - කසනවා
යහල්සු දේ - ආයුධ හදනවා
රෙගු ආ දේ - අවවාද කරනවා
ඒ ප්‍රත්‍යය
කනාලේ - ආයුqද මුහවහත් කරනවා
සාද - ඉලේ - ළඟිනවා
දුදුරාලේ - ඇවිදිනවා (දුරාව, පහදුණව - නරකට හැසිරීම)
එල්ලිබහෙ - එළිබහිනවා මළපහ කරනවා
මලින්සේ - නස්‌න කරනවා
කදොසේ - බණිනවා
කම්බසේ - මරණවා
සැහැලකේ - පාචනය වෙනවා (සැහැල් වෙනවා - ගැමිව්‍යවහාරය)
ගොඡ්ජරේ - වමනය කරනවා (ගොජර දමනවා)
සළඹ කරියමේ - අකුරු ඉගෙන ගන්නවා - ඉගෙන ගන්නවා
උ ප්‍රත්‍යය
මුරුතුගු - භාවණා කරනවා (මුරත - යෝගියා)
ලීලාගු - ආදරය කරනවා
උතුසාරු - අතු පහිනවා (උකුස - උතු - අත්ත)
ඉ ප්‍රත්‍යය
සිළිදිවියි - සිනාසෙනවා (සිලිදි - සිනාව)
මුසුපායි - අඬනවා (මුසුපේ - මුස්‌පේත්තුව ශෝකයෙන් සිටීම)
මෝරලි - එනවා
මොරලි - යනවා
පාලි සංස්‌කෘතාදී භාෂාවලට කිසිසේත් සමාන නොවන පැරැණි භාෂාවේ යෑයි කිව හැකි වැකි කීපයක්‌ මෙහි සඳහන් කරමි.
ඉලම අවුචි ශුවිධිස ආකමා වේධාර ඉලෝනිලෝ කිකී.

මගේ දරුවෙනි මෙය අතිමහත් දුකකි.
අපි වැලපෙමු ශුවිධිස ආතමා - අතිමහත් දුකකි.
වේධාර ඉලෝ තිලෝ - අපි වැළපෙමු
ආඩිස සිරි බුදස්‌ වායිසුරුත සිරිමහතා භද්‍ර සිළුණ තමිමි ආඩිසාල සිරිමහතා
ශ්‍රී බුද්දදාස රජුගේ සුජාත පුතු ඔටුන්න හිමි මහනාම නම් යුවරජු
වායි සුරුත - සහලේ - සුජාත භද්‍රසිළුණ - ඔටුන්න හිමි තම්බි ආඩිසාල - යුවරජ
රුචිරිකා රක්‌ඛ මෙධානි සිරිමෙසා රත්නපාලි සේමිණි
යක්‍ෂ ගෝත්‍රික පරපුරෙහි පැවැතෙන අතිශයින් රූප සම්පන්න ශ්‍රී මේඝ රත්න පාලි දේවිය (සේමිණි)
අසනි මණ්‌ඨාර සංහාර පානිපාරේටියවැ
යක්‍ෂ ගෝත්‍රික පරපුරෙන් (ලිතව) අතින් අත ගෙන ආ - අසනි ඒකාන්තයෙන් - මණ්‌ඨාර සංහාර - යක්‍ෂ ගෝත්‍රික පරපුර - පානිපාරරේටියවැ - අතින් අත ගෙන ආ ලිතව රැගෙන ආවාවූ.
ඉරි ඉපුලේ නාන සිටීමද කවිලාශනා රෞලාන පාලි සවුරු මවුරිකි මංජසාදේවැ අවුල් බජ උටි
මෙහිදී පූජ්‍ය කවිලාශ රෞලානපාලි මෙහෙණිය (මෑණියන්) විසින් රචිත ඉපුලේනාන නම් ග්‍රන්ථය ඇසුරු කරමින් පිටුq සකස්‌ කරන ලදී.
සවුරු මව්රිකි - ශ්‍රමණ මෑණියන් විසින් අවුල් බජ - පිටුq උටි - සකස්‌කරන ලදී.
සෙයිව අවුචිලේ මුරුත මංජාරේ සවිසිරිවැ පේද හලේ සෙවුමා දුනේදුපි
සියලු දරුවෙනි (සෙයිව අවුචිලේ) සෘෂිවරුන්ගේ නිර්දේශ අනුව (මුරතමංජාරේ) ක්‍රමානුකූලව (සව්සිරිවැ) වාග් විද්‍යානුකූලව (පේද හලේ සෙවුqමා) සඳහන් කරමි (දුනේදුපි)
සොප්පි වරිග පූර්ණිකා සත ඉහිමියේ හිතෝකිලෝලිත කොඳමැ
බුද්ධියට උල්පතක්‌ වූ (සොප්පි) වරිග පූර්ණිකාව උදාර බව (හිතෝනිලෝලිත) තහවුරු කරන්නේ නොවෙද? කොදැමැ
ශබ්ද හා වචන සාදා ගැනීමේදී අන් භාෂාවලට වඩා වෙනස්‌ බවක්‌ පැරැණි හෙළ භාෂාවෙහි දක්‌නට ලැබේ. ශබ්දයක්‌ සාදාගැනීමේදී ඒ සඳහා සංකේත කීපයක්‌ භාවිත කරනු ලැබේ. එක ශබ්දයකට සංකේත සතරක්‌ වත් තිබීම මෙහි විශේෂත්වයකි. යක්‍ෂ ගෝත්‍රික භාෂාවේ හෙවත් පැරැණි හෙළ භාෂාවේ ස්‌වර අක්‍ෂර ලෙස පෙන්වා දෙන්නේ අ, උ යන අක්‍ෂර දෙක පමණි.

අ ස්‌වරයෙන් ඉ. ඒ. අක්‍ෂර සාදාගන්නා අතර "උ" ස්‌වරයෙන් ඹ, ඔ උ (ඹෘ) හු යන අක්‍ෂර සාදාගනී. පුරාණ හෙළ භාෂාවේ හු අක්‍ෂරයද ස්‌වරයක්‌ සාදාගනී. එක අක්‍ෂරයක්‌ සාදා ගැනීමේදී ඒ සඳහා අක්‍ෂර කීපයක්‌ භාවිත කරනු ලැබේ. අ අක්‍ෂරය සාදාගන්නා පිළිවෙළ මෙහි නිදසුනක්‌ ලෙස ඉදිරිපත් කරමි.

i යමංජර අක්‍ෂරය - ස්‌වර තන්තු වලින් නිකුත් වෙන සියුම් හඬක්‌ ගැන මෙයින් කියෑවේ.
ii බන්ධ යමංජර අක්‍ෂරය - ඒ සියුම් හඬ කනට හුරුකර ගැනීම ශබ්දය හඳුනාගැනීම.
iii අග්ගීලවර අක්‍ෂරය - මෙය ස්‌වර අක්‍ෂරයක්‌ නිසා තවත් මූල අක්‍ෂරයක්‌ වන අග්ගීලවරය යොදා ගනු ලැබේ.
iv කණ්‌ඨු අක්‍ෂරය - අ ස්‌වරය කණ්‌ඨජ අක්‍ෂරයක්‌ බව පැවැසීම.

i යමංජර අක්‍ෂරය
ii ඛන්ධ යමංජර අක්‍ෂරය
iii අග්ගීලවර අක්‍ෂරය
iv කණ්‌ඨු අක්‍ෂරය
මේ න්‍යායයෙන් අක්‍ෂර සාදාගැනීමේදී වාක්‍යක්‌ ලිවීමට අක්‍ෂර බොහෝමයක්‌ භාවිත කිරීමට සිදුවෙන බැවින් ලිවීමේ පහසුව සඳහා කෙටි ක්‍රමද භාවිත කර ඇත. නිදසුනක්‌ ලෙස බුදුන් වහන්සේට නමස්‌කාර වේවා යන වැකිය සඳහා ශ්‍රී පාද ලාංඡනයක්‌ රහතුන්ට නමස්‌කාර කිරීම සඳහා නෙළුම් මල රහිත පාද ලාංඡනයක්‌ යොදා ගනු ලැබේ. මෙවැනි සංකේත හෙවත් රූපාක්‍ෂර විශාල වශයෙන් භාෂාවේ යොදාගත් බව දැනට හඳුනාගෙන ඇති සංකේත තුළින් තහවුරු වේ.
අක්‍ෂර උච්ඡාරණ විධියේද විශේෂත්වයක්‌ දක්‌නට ලැබේ. දැනට අප භාවිතා කරන සිංහල, පාලි සංස්‌කෘත අක්‍ෂර හෝඩියේ නොදක්‌නා විශේෂත්වයක්‌ මේ අක්‍ෂරවල ඇති බව සඳහන් කළ යුතුය. ද්විත්ව ශබ්දයක්‌ ඇති කරන අක්‍ෂර විශේෂයක්‌ ගැන පුරාණ පඬිවරු පවසති. නිදසුනක්‌ ලෙස ග, අක්‍ෂර ද්විත්ව ශබ්දයක්‌ ඇති කරන අක්‍ෂරයකි. පසු කාලීනව මහා ප්‍රාණ අක්‍ෂර සාදාගෙන ඇත්තේ මේ ක්‍රමවේදය භාවිත කිරීමෙන් යෑයි සිතිය හැකිය. ග, ශබ්දය ද්විත්ව ශබ්දයක්‌ බව පෙන්වා දීමට උගුරේ ඝෝෂාකාරී ශබ්දයක්‌ ඇති කරන "කෞරවී, අක්‍ෂරය දෙවතාවක්‌ යොදනු ලැබේ.
කඨි අක්‍ෂරය
කෞරවී අක්‍ෂරය
ග අක්‍ෂරය සෑදේ
අක්‍ෂර භාවිතාව පිළිබඳ පුරාණ ශ්‍රී ලාංකික සෘෂිවරුන්ට දැනීමක්‌ තිබුණු බව ඔවුන්ගේ භාෂා භාවිතාවත් සමඟ තහවුරු වන්නකි. හෙළ සිංහලය ක්‍රමවත් මෙන්ම දියුණු භාෂාවකි. ප්‍රාග් ඓතිහාසික යුගයේදී පවා අප දියුණු ජාතියක්‌ව සිටියේය. විෂකුම්භණ සූත්‍රයට අනුව බුද්ධ කාලයේ පවා රහතන් වහන්සේලා මේ දේශයේ වැඩ විසූහ. හෙළ බසින් රචිත ත්‍රිපිටකයන් ද අපට තිබුණු බවට සාධක තිබේ. කල ඔය ආශ්‍රිතව (ධූමක කද්දීරය) නටබුන් නගර එහෙම පිටින්ම මිහිකත විසින් ගිලගෙන තිබේ. දේශයට ආදරයක්‌ නැති ඇතැම් මිනිසුන්ගෙන් මේ නටබුන්වලට විශාල වශයෙන් හානි පැමිණෙන බව සඳහන් කළ යුතුය. වයඹ, උතුරු මැද, උතුර, මධ්‍යම කඳුකරය ආදී ප්‍රදේශවල ඇති මේ වටිනා ස්‌ථාන විධිමත් පර්යේෂණයකට ලක්‌කළ යුතුය. එයින් ශ්‍රී ලංකාවේ අතීත ශ්‍රී විභූතිය ලෝකයාටම ප්‍රකාශ කළ හැකි යුගයක්‌ බිහිවනු ඇත.
මානෑවේ විමලරතන හිමි

16 November 2011

රාවණ රජුට බුදුන් වදාළ ලංකාවතාර සූත්‍රය::

අපි අපේ ඉතිහාසය සොයා යන ගමනේදී, රාවණ රජු ලංකාවේ පළමු බෞද්ධ රජතුමායි යන මාතෘකාවෙන් ලියන ලද ලිපියේදී බුදුන් වහන්සේ විසින් රාවණ රජු අරබයා දේශනා කල සූත්‍රය යනුවෙන් ලංකාවතාර සූත්‍රය පිළිබද සදහනක් කලා. මෙම සූත්‍රය අපට ථෙරවාදී බුදු දහම තුල හමුවන්නේ නැහැ. මීට අමතරව සද්ධර්ම කුණ්ඩලී, විසකුම්භන වැනි සූත්‍ර දේශනාත් ථෙරවාදී බුදුදහම තුල දක්නට නොලැඹෙන නමුත් මහායාන බුදුදහමේ දක්නට ලැබෙනවා.





කොහොම වුණත් ලංකාවතාර සුත්‍රයේ සිංහල පිටපතක් නම් දක්නට නැහැ. මුල් පිටපත දක්නට ලැබෙන්නේ චීන භාෂවෙන්. මේ ලිපි පෙලෙන් ගෙන ඒමට බලා පොරොත්තු වන්නේ ලංකාවතාර සුත්‍රයේ සිංහල පර්වර්තනයයි.
මෙය අපේ සැබෑ ඉතිහාස ගවේෂණයට සම්බන්ධ වන්නෙ කෙසේදැයි යමෙක් අසනවා නම්, එයටත් සටහනක් තියලම සුත්‍රය දේශනාවට යොමු වෙන්නම්. ශ්‍රි ලංකාව යනු ථෙරවාදී බෞද්ධ රටක්, 
ලංකාවේ බෞද්ධයන් වැඩි පිරිසක් ථෙරවාදී බෞද්ධයන් විදියට තමයි හදුනාගත හැක්කේ. අප රටේ ජනප්‍රිය මතය නම් මහින්දාගමනයත් සමගම බුදුදහම ලංකාවට පැමිණියා යැයි කියන එකනේ. එය එසේ නොවී මහින්දාගමනයත් සමගම ථෙරවාදී බුදුදහම ලංකාවේ ස්ථාපිත වුණායැයි කියලා කියන එක තමයි මාගේ මතය නම්. එයට උදාහරණ ලෙස මෙම ලංකාවතාර සූත්‍රය ගන්න පුළුවන්. මානෑවේ විමළරතන හාමුදුරුවන් වහන්සේට අනුව නම් බුදුරජානන් වහන්සේ ප්‍රථමයෙන්ම අභිධර්මය දේශනා කරලා තියන්නේ ලක්වැසියන්ටයි.
අපි උපකල්පනය කලහොත් රාවණ රජු වැනි අති ශ්‍රේෂ්ඨ රජෙක් මහායාන බෞද්ධයෙක් කියලා, මහින්දාගමනයේ  අද දක්වා තිබෙන ථෙරවාදී ආධිපත්‍ය මත රාවණ ඉතිහාසය වගේ දැවැන්ත, ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් මැකිය නොහැකි බැවින් එය ලක් ඉතිහාසයෙන් සූක්ෂමව සගවා තැබූ බව අපට සිතන්න පුළුවන්. මොකද මහායානය ඉස්මතුවීමට කිසිම ඉඩක් අපි දන්නා ලක් ඉතිහාසය තුළ දක්නට නැහැ. නියම බෞද්ධයන් ලෙස මහායාන හෝ ථෙරවාදී ලෙස නොබෙදී විවෘත මනසකින් විමසීමට, ගවේෂණයට අපි යොමුවිය යුතුයි. ඒ නිසාම ලංකාවතාර සූත්‍රය මෙ දක්වා බ්ලොග් කරණයේ යෙදුන සරළ භාෂාවෙන් ගෙන එන්නේ.


පළමු වැනි පරිච්ඡෙදය


 රාවණ රජු උපදෙස් ඉල්ලයි...:: Ravana Asking for Instruction


මා විසින් මෙසේ අසන ලදි, අප භාග්‍යවතුන් වහන්සේ අති විශාල වූ භික්ෂූන් පිරිවර හා විවිධ වූ බෞද්ධ දේශයන්ගෙන් පැමිණි බෝධිසත්ව වරුන් සමගින් මහා සාගරයේ මලය කදුකරයේ කදු මුදුනේ පිහිටි, නොයෙක් වර්ගයන්ගේ මල් වලින් හා විවිධ වර්ගයේ හා මැණික් වලින් සෑදුන ලංකා මන්දීරයේ වැඩ වසනලදි.  මහා මථී(මහා ප්‍රඥාවන්ත) බෝධිසත්වයන් විසින් නායකත්වය සපයන ලද මෙම බෝධිසත්ව-මහාසත්වයන් සමූහය විවිධ වූ සමාධියන්ගෙන් පරිපූර්ණ වූද, දසවිධ ආත්ම දමනයන්ගෙන්ද, දස බලයන්ගෙන්ද, අධ්‍යාත්මික ශක්තීන් 6කින්ද, සමන්විත වූවන් වූ අතර, මෙම බෝධි සත්වයන් වහන්සේලා සියළු බුදු වරුන්ගෙන් විවරණ ලැබූවන් වූහ.හදවත් තුල විද්‍යාමාන වූ අයුරින්ම බෝධිසත්වයන් වහන්සේලා විසින් ලෝකයේ පරමාර්ථය හා අර්ථය මැනවින් වටහාගෙන සිටයහ. උන් වහන්සේලා විසින් විවිධ සත්වයන්ගේ හැසිරීම හා මානසිකත්වයන්ට අනුව විවිධ චාරිත්‍ර විධි පාලනය, ඉගැන්වීම හා විනයානූ කූලව වැඩ කරන අයුරු දැන සිටි අතර පංච ධර්මයන්, තුන් ස්වභාවයන් , විඥානයන් අටක මැනවින් දක්ෂයන් විය.
ඒ සමයේදී,  සත් දිනක් තිස්සේ මහා සාගරයට අධිපති වූ මකර රජුගේ ස්ථානයේ ධර්ම දේශනා කරමින් වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ ඉන් පිටතට වැඩම කොට ගැන නිම කළ නොහැකි තරම්ව සිටි ශක්‍ර, මහා බ්‍රහම්ම හා මකර රජු ඇතුළු දිව්‍ය සමූහයා අමතා, මලය කදුකරයේ ලංකාව දෙස බලා සිනාහ පළ කරමින් මෙසේ වදාළ සේක...


“අධ්‍යාත්මික ඥානයෙන්, දැනුම, විද්‍යාවෙන් පරිපූර්ණ වූ අරහත් වූ අතීත තාථාගතයන් වහන්සේලා විසින්, දාර්ශනිකයන්ගේ දැනුමින්, ශ්‍රාවකයන්ගේ හා පසේ බුදුවරුන්ගේ විඥානයෙන්(දැනීමෙන්) එහා ගිය ඉතා ගැඹුරෙන් ප්‍රත්‍යක්ෂව අවබෝධ කරගත යුතු මෙම සත්‍ය දේශනා කරන ලද්දේ මලය කදුකරයේ පිහිටි ලංකා මන්දීරයේදීය. එලෙසම මමත්, යක්ෂ ගොත්‍රිකයන්ගේ නායකයා වූ රාවණ රජුගේ ප්‍රයෝජනය උදෙසා මෙම සත්‍ය දේශනා කරමි.“





මහා සගරයට අධිපති වූ මකර රජුගේ මාලිගාවෙන් පිටතට පැමිණි බුදුන් වහන්සේ ඇතුළු පිරිස දුටු ධ්‍යාන ලාභී රාවණ රජු ප්‍රීතිමත් වී, “මම බුදුන් වහන්සේට ලංකාවට ඇතුළු වන ලෙස ඉල්ලනවා. මෙම සංසාරය නැමති දිගු රාත්‍රියට උන්වහන්සේගෙන් සෙතක් සැලසේවී, උන්වහන්සේ හොදක් කරාවි, දෙවියන් මෙන්ම මනුෂ්‍ය වර්ගයාද සතුටට පත්වේවි.“
ඉන් අනතුරුව, රාක්ෂ අධිපති රාවණ රජු තම සහපරිවර සමගින්, පුෂ්පක නැමති දිව්‍යමය රථයෙන් බුදුන් වහන්සේ සමීපයට පැමිණියේය. රථයෙන් පිටතට පැමිණී රාවණ රජු හා පිරිවර, ඉන්ද්‍රනීල මාණික්‍යකින් සෑදුන දණ්ඩකින් බෙරයක් වැනි සංගීත භාණ්ඩයක්ද, නිල් මාණික්‍ය ඔබ්බවා, මනා ලෙස නිර්මාණය කරන ලද වීණාවක් කහපැහැති අබරණින් හා අනර්ඝ සළුවලින් සාදන ලද ආධාරකය(බෝ) මගින් වයමින්, සප්තය, රිෂභය, ගාන්ධාර්වය, ධෛවතය, නිෂාධය, මධ්‍යමය හා  කෛෂික වැනි සවණ පිණන අයුරින් ග්‍රම, මර්චනාදියෙන් උස්පහත් කරමින්, බටනලා වාදනය සමගින් හඩ මුසු කොට කාව්‍යන් ගයමින් වමේ සිට දකුණට තෙවරක් බුදු රදුන් වටා ගමන් කරමින් මෙසේ උපදෙස් ඉල්ලන ලදි.
1.     සත්‍යයේ උතුම් වූ මුලධර්මයන් වනුයේ, සවාත්මයෙන් මිදුනා වූද, සියළු කාරණා වලට ඉහලින් නැගි සිටින්නා වූද, අපවිත්‍ර දෑ වලින් තොර වූ දෙයයි. එය යමෙකුගේ අභ්‍යන්තරයෙන් එකතු වන්නා වූ දැනුම කෙරෙහි යොමුවේ. ස්වාමීනි... මට ඒ සත්‍යට යන මාර්ගය පෙන්වන්න.
2.   සුගත යනු අපරිමිත ශිලයෙන් අකලංක වූ ශරීරයයි. එම ශරීරයේ වෙනස් වීමන් ප්‍රත්‍යක්ෂය, එය ස්වාත්මයෙන් අවබෝධ කරගත්තා වූ සත්‍ය විවරණය කරයි. එය ලංකාවට පැමිණෙන සේක්වා. මුණිවරයානෙණි මේ ඒ කාලයයි.
3.   මෙම ලංකා පුරවරය අතිත බුදුවරයන් වහන්සේලා පවා වැඩ සිටි භූමියකි, ස්වාමීණී, මට දැන් ඉහළම සත්‍ය පෙන්වන්න. විවධ චාරිත්‍ර විධින්ට අනුගතව සිටින යක්ෂ ගෝත්‍රිකයන් පවා ඇහුන්කම් දේවි.
ඉක්බිති රාවණ රජු විසින් තව දුරටත් තෝටක රිද්මයන්ට අනුගත වෙමින් මෙම ගතා ගායනා කරන ලදි.
සත්දිනකට පසු, භාග්‍යවතුන් වහන්සේ මහා සාගරයට අධිපති මකර රජුගේ වාසස්ථානයෙන් පිටත මුහුදු වෙරළට වැඩි සේක. මෙසේ බුදුන් වහන්සේ වඩිත්ම අප්සරාවන්, සුක, සරණ හා පණ්ඩිතයන්ගෙන් සෑදුන යක්ෂ සමූහයා පිරිවරාගෙන බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථානයට පැමිණියේය. අනතුරුව පුෂ්පක රථයෙන් බැස තථාගතයන් වහන්සේට වැද නමස්කාර කොට එක්තපැස්ව තමන් හදුන්වා දුන්නේය.
මෙතනට පැමිණි මම රාවණ නම් දසසිස් රාක්ෂස රජු වෙමි, හිමියෙනි මා ඇතුළු ලක් වැස්සන්ගේ ගෞරව පූර්වක කරුණාව පිළිගන්නා සේක්වා.
මෙලෙස අපි ලංකාව සූත්‍රය දේශනා කිරීමට රාවණ රජු විසන් බුදු රජාණන් වහන්සේට ආරාධනා කළ ස්ථානයෙන් අදට ලංකාවතාර සුත්‍රය නවත්වනවා. හැකි ඉක්මනින් ලංකාවතාර සුත්‍රයම කොටස් වශයෙන් පළ කරන්නම්.
මෙතනදී සදහන් කල යුක්තක් නම්, මෙම සුත්‍රය රාවණ රජුට දේශනා කලේ ගෞතම බුදුන් වහන්සේද, එසේත් නැත්තම් වෙනත් බුදු වරයෙක්ද යන්න පැහැදිලි නැහැ. දැනට තියෙන වංශකථා වලට අනුව නම් විජයගේ ලංකා ගමනය සිදුවන්නේ සම්බුද්ධ පරිනිර්වාණය වෙන දවසේ විමයි. එසේ නම් රාවණ රජු ගෞතම බුදුරජානන් වහන්සේට සමකාලීනද?
සුනාමියෙන් පසු මුහුදෙන් මතු වූ දණ්ඩකාරන්‍යෙය් ජනස්ථාන් නගරය, එනම් රාම රාවණා යුද්ධය හැ බැදුන නගරයක් කාබන් කාල නිර්ණය අනුව වසර 10000ක් පැරැණි වීමත් සමගම රාවණ රජු මෙයට වසර 10000ත් 12000ත් අතර කාල පරාසයක ලක් රජය කල රජෙක් යැයි සිතාගත හැකි මුත්, ලංකාවතාර සුත්‍රය හා රාවණ රජු අතර තිබෙන්නා වූ මෙම සම්බන්ධතාවය සමගින් මෙම මථයේ ඇති වන්නේ ගැටුමක්.
කොහොම වුණත් ලංකාවේ පළමු බෞද්ධ රජතුමා විදියට රාවණා රජතුමා යැයි යන්න තහවුරු කරන ලංකාවතාර සුත්‍රය ඉදිරියටත් විමසා රාවණ රජු හා බුදු රදුන් අතර ඇති වූ සංවාදය හා ඉන් මතු වන අපේ සැබෑ ඉතිහාසය සොයා යමු. තවත් ලිපියකින් හමු වනතෙක් ඔබට ආයුබෝවන්

07 November 2011

රාවනා සොයා යමු ..


රාවණා යන නම ලාංකික අපිට නුහුරු නමක් නොවෙයි. නමුත් කුමක් හෝ කාරුනක් නිසා රාවණා රජුගැන අපි දැන සිටින කරුණු කාරනා අල්පයැයි මට සිතේ. පාසලේදි ඉතිහාසය ඉගනගැනිමේදි පවා අප රාවණා කෙනෙකු ගැන සදහනක්වත් අසන්නේ නැත. අපිට ඉගැන්නු හා ඉගන්වන ඉතිහාසය අනුප අප පැවත එනුයේ විජය රජුගෙන් යැයි අපි උගනෙමි. එහෙත් මෙය සත්‍යක්ද? මා අසා හා කියවා ඇති කරුණු අනුව විජය යනු මුහුදු මංකොල්ලකරුවෙකි.(ඒ පිලිබදව ඉදිරියේදි සටහන් තබන්නේමි.) එහෙත් කුමන හේතුවක් නිසා අපි රාවණ ඉතිහාසය වසන්කරගෙන සිටිනවාදැයි මා හට වැටහිමක් නැත. මේ පිලිබද ව මා සොයාගත් හා එකතුකරගත් කරුනු අනුසාරයෙන් රාවණා පිලිබදව ලිපි මාලාවක් ලිවිමට අදහස් කලෙමි. ඉතින් අද පටන් අපේ ප්‍රෞඩ රාවණා ඉතිහාසය ගැන විස්තර කෙරෙන ලිපිමාලාවේ පලමු ලිපිය මෙයයි. ඔබලගත් මෙවැනි කරුනු අලලා ඇති ලිපි තිබේ නම් අපත් සමග බෙදාහදා ගන්නා ලෙස ද ඉල්ලා සිටිමි.....


මනු රාජවංශය අවසාන වූවායින් පසුව, තවත් රාජ වංශ තුනක් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා, ඒ පිළිවෙලින් තාරක [වසර 10,000 කට පෙර] මහාබාලි [වසර 7,500කට පෙර] රාවණා [වසර 5,000- කට පෙර] ආදී වශයෙනුයි. 
මහාවංශයට වඩා ඉපැරැණි ලියෑවිල්ලක්‌ වන වරිග පූර්ණිකා නම් යක්‌ෂ ජන සමූහයාට අයත් පුස්‌කොළ පොතෙහි ශ්‍රී රාවණ අධිරාජයාගේ නාමය යගු කෞරාණ මන්ඨක ලෙස සඳහන් වේ. මන්ඨක යනු යකුය. එබැවින් එම නාමයෙහි සිංහල තේරුම “සියල්ල සම්පූර්ණ කළ යකා” වේ.
මහා සෘෂි වෛශ්‍රවන (වෙසමුණි ) රාවණ රජුගේ පියා වන අතර මව කකේසී නම් ධෛත්‍ය මහේෂිකාවයි.විභීෂණ, කුම්භකර්ණ හා අහිරාවණ ලෙස රාවණාට එක කුස උපන් සොයුරන් තිදෙනෙකි.තවද කෛකේසිය ‘මීනාක්ෂි’ නම් දියණියකට ද උපත දුන්නාය. සුපනඛා ලෙස කුප්‍රකට වුයේ රාවණාගේ සොහොයුරියයි.රාවණා විස්තර වන්නේ ශිවගේ භක්තිවන්ත ශ්‍රාවකයෙක්, මහා ප්‍රාඥයෙක්, දක්ෂ පාලකයෙක් හා සුප්‍රසිද්ධ වීණා වාදකයෙක් වශයෙනි. හිස් දහයක් ඇත්තෙක් (දසිස් , දශ ශීර්ෂ) ලෙස සමහර ස්ථාන වලදී රාවණා රජ වර්ණනා කර ඇත්තේ සිව් වේදය හා ෂඩ් උපනිෂද් ධර්මයන්ට අදාළ විශිෂ්ඨ දැනුමක් සහිතව මහා ප්‍රාඥයන් දස දෙනෙකු තරම් බලවත් ඥාන සම්භාරයක් අත් කරගෙන සිටි නිසා යැයි පැවසේ.රාවණා යනු විශිෂ්ඨ ග්‍රන්ථ සම්පාදකවරයෙකි. නක්ෂත්‍රය හා ජ්‍යෝතිෂයට අදාල බලගතු ග්‍රන්ථයක් වන ‘රාවණ සංහිතා’ නම් කෘතිය රාවණ රජු විසින් සම්පාදනය කරන ලද්දකි. එමෙන්ම ආයුර්වේදය හා රාජ්‍ය පාලනය සම්බන්ධව පරිපූර්ණ දැනුමක් ඔහු සතු විය. -අ‍ායුර්වේදයට අදාලව වෛද්‍ය ග්‍රන්ථයන් ද ඔහු විසින් සම්පාදනය කර ඇතැයි සැලකේ.- මහා බ්‍රහ්මයා විසින් ලබාදුන් දිව්‍යමය වරයකට අනුව අමරණීය බව ලබා ගත හැකි පානයක් ඔහු සතුව තිබුණු බව පැවසෙන අතර එය ඔහුගේ නාභියට යටින් රඳවා තබා ඇත.


රාවණා යුගයෙන් පසුව එතුමාගේ රවිශෛලාශ හෙවත් ඉරුගල් බණ්‌ඩාර යක්‌ෂ පරපුර ඉන්ද්‍රජිත් (මේඝනාද) ලෙස ප්‍රචලිත ශ්‍රී රාවණ රජු හා මදෝරා (මන්දෝතාරා) දේවියගේ දෙටු පුත්‍රයාගෙන් පැවත එමින් අද දක්‌වා ලංකා පොළොව මත ජීවත් වෙයි. රාවණා සම්බන්ධ පුවත වළලා දමා හෙළ ජනසම්භවය මැකීමේ මහා කුමන්ත්‍රණයට බ්‍රිතානීන් ද සම්මාදම් වෙමින් ලංකා ඉතිහාසයෙන් රාවණා යුගය ඉවත් කර ඇත. ඉන්දියාවේ කාලිංග වංශික විජය මෙරට ආදිතම රජු ලෙස දක්‌වන අලුත් ඉතිහාසයක්‌ ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය ඔස්‌සේ ලංකාවේ අපට බලෙන් ඒත්තු ගන්වා තිබේ. නමුත් බෞද්ධයකු නොවන විජය හෙළ ජන සමාජය සමූල ඝාතනයට උත්සාහ කළ ප්‍රබල ආක්‍රමණිකයකු බව අපට නොවැටහීම අභාග්‍යයකි. රාම, විජය, එළාර, කාලිංග මාඝ, බ්‍රව්නින් මෙන්ම ප්‍රභාකරන් ද මෙරට ජන සම්භවය විනාශ කිරීමට උත්සාහ කළ ආක්‍රමණිකයන් ලෙස සැලකීම වටී. ඊට එරෙහිව නැගී සිටි ලොව පැරැණිතම ඉතිහාසයක්‌ ඇති රාවණා පරපුර කිසි කලෙකත් නොනැසිය හැකි බලවේගයක්‌ බව වර්තමානයේදී පවා පැහැදිලි වේ.


මහා රාවණ ඉතිහාසයේ එන පුලතිසිපුරය හෙවත් දෙමළ බසින් පුලත්නරු නම් වන පුලතිසි සෘෂිවරයාගේ නගරය මෙරට ස්‌වර්ණමය යුගයකට උරුමකම් කියන භූමියකි. එහි ඇති පුලතිසි ප්‍රතිමාව ලංකා ඉතිහාසයේ අනාදිමත් කාලයක්‌ නිරූපණය කරන ප්‍රබල පුරාවිද්‍යා සාධකයකි. කිසිදු රාජ්‍ය ආභරණයක්‌ නොපළඳින උතුම් යෝගිවරයකු ගේ ස්‌වරූපය පිළිබිඹු වන මෙම ප්‍රතිමාව පරාක්‍රමබාහු රජුගේ යෑයි පැවසීම ලක්‌ වැසියන් මුළා කිරීමක්‌ වන අතර එම නගරය පොළොන්නරුව යනුවෙන් ව්‍යවහාරයට හුරු කිරීම මෙරට ඉතිහාසය වසන් කිරීමේ තවත් වෑයමකි. වර්තමාන පරාක්‍රම සමුද්‍රය පිහිටි භූමිය අතීතයේ පුලතිසි සෘෂිවරයාගේ තපෝවනය වේ. පරාක්‍රමබාහු මහා අධිරාජ්‍යයා පවා මෙම ප්‍රතිමාවට පුද සත්කාර කළ රාජ්‍ය පාලකයෙකි. වර්තමාන පොත්ගුල් විහාරය අතීතයේ මෙරට බෞද්ධ, වෛද්‍ය ග්‍රන්ථ හා යන්ත්‍ර මන්ත්‍ර රැස්‌ කළ ප්‍රධාන පුස්‌තකාලයව පැවැති අතර කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් මෙහි පැවැති රාවණ යුගයට අයත් ශ්‍රී රාවණ, පුලතිසි මහා සෘෂිවරුන්ගේ අත් අකුරු සහිත ග්‍රන්ථ කොටස්‌ පවා විනාශයට පත්විය.


රාවණා වත නැමති පුස්කොළපොතට අනුව සීගිරියේ සැකසුම් ශිල්පියා වන්නේ "මායා දන්නාව" නමැත්තායි. හෙතෙම සීගිරිය තනන්නට යෙදුනේ රාවණා ගේ පියා වූ විස්තවාස රජු [වෙසමුණි] ගේ නියෝග පෙරදැරි කරගෙනයි. එකල සීගිරිය, ආලකමන්දාව නමින් හැඳින්වූ අතර කුවේර රජ සමය එය හැඳින්වූයේ චිත්‍රකූට නමිනුයි. පසුව, රාවණාගේ අභාවයෙන් පසුව "විභීශණ" රජකමට පත් වූ අතර හෙතෙම තම රාජධානිය කැළණියට ගෙන ගිය අතර ආලකමන්දාව ට විභීශණගේ ඥාතියෙකු වූ යක්ඛ වංශාධිපතියෙකු වූ චිත්තරාජ තම වාස භවන ලෙස යොදා ගත් බව එහි සඳහන්. තවද, චිත්තරාජ යනු පණ්ඩුකාභය කුමරු [ක්‍රි.පූ.437-367] හට රජකම ලබාදෙන්නට උපකාර කල අයගෙන් කෙනෙක්, ඒ පණ්ඩුකාභය කුමරු ගේ දෙමාපියන් යනු චිත්තරාජ ගේ වංශයෙන් පැවතෙන්නන් වූ බැවින්.
තවද, රාවණා වතෙහි කියැවෙන ලෙසට,පණ්ඩුකාභය රජ දවසින් පසුව ධාතුසේන රජුගේ පුත්‍රයා වූ කස්සප කුමරු තම වාසභවන ලෙස චිත්‍රකූටය ලෙස තෝරාගත්තේ ඔහු ගේ මව යක්ඛ ඇදහිලි විශ්වාස කරන්නියක් වූ බැවින් හා ඇය ද ඉන් පැවතෙන්නියක් නිසාවෙන්. කස්සප රජු යනු චිත්තකූටය රාවණා කල අයුරින්ම ප්‍රතිසංස්කෘත කල හා පවත්වාගෙන ගිය එකම රජතුමා ද වෙනවා.චිත්තකූටයේ [පසුව සීගිරියේ] ඇති ලෝපසිඳු බිතුසිතුවම් වලින් දැක්වෙන්නේ සිවුහෙළයත් එහි ඇති නිල්පැහැති කාන්තාරූපයෙන් පෙන්වන්නේ යක්ඛ ගෝත්‍රය බවත් අනෙක් කාන්තා රූ වලින් දැක්වෙන්නේ නාග, දේව සහ ගන්ධබ්බ යන ගෝත්‍ර වල නියෝජනය බවත්, අලංකෘත මල් වලින් දේශයේ එකමුතු බව පෙන්වන බවත් රාවණා වතෙහි සඳහන්.
තවත් එක් විශේෂ කාරණාවක් වන්නේ චිත්තකූටය යනු දැවයෙන් නිර්මිත සෝපානයක් ඉහල සිට පහලට ක්‍රියාකර වූ සිරිලක එකම බලකොටුව ද වෙනවා.සිංහ කට අසල සිට ඉහලට විද නිර්මිත කුහරය තුල මේ දැවයෙන් නිර්මිත සෝපානය දිනපතා සේවයේ යොදවාගත් බව සඳහන්.


පුරාවිද්වතුන්, ඉතිහාසඥයින් උපකල්පනය කරන ආකාරයට දඬුමොණරය, හිමාලයෙන් ගෙන එනලද සැහැල්ලු දැවයෙන් නිර්මාණය කරන්නට ඇතිබව සඳහන්. තවද, සීගිරිය වටා එහි රූප පන්සියයක ට අධික ප්‍රමානයක් චිත්‍රණය කරත් ස්වාභාවික හේතූන් මත කාලයත් සමඟ ඒවා මැකීගොස් ඇතිබව කියැවෙනවා. තව ද රාවණා යනු වෙදකමෙහි මෙන්ම කලාවේ ද කෙල පැමිණියෙකු වන නිසා ඔහුට හිස් දහයක් හා අත් විස්සක් ඇතැයි කීමට හේතුවක් කරගත්තා ද වන්නට පුළුවන්.


මීළඟ පුරාවිද්‍යා සාධක හමුවන්නේ වර්තමාන අනුරාධපුර නගරයෙනි. එය ලංකාවේ ප්‍රබල පාලකයකුව සිටි වෙසමුණි (විශ්‍රාවාස මුණි) හෙවත් ඉසුරුමත් මුණිවරයාගේ ඉපැරැණි රාජධානිය පැවති ලොව පැරැණිතම ශිෂ්ටාචාර භූමියකි. වෙසමුණි, පුලතිසි මහා සෘෂිවරයාගේ පුත්‍රයා වන අතර එතුමා මහා රාවණ විභිෂ්බද්‍ර (විභීෂණ) දසරෝලාන මන්ඨක (කුඹුක්‌කන්) යන ප්‍රබල යක්‌ රජුන්ගේ පියාය. “මිල කළ නොහැකි” යන අරුත ඇති වර්තමාන රන් මසු උයන මත පිහිටා ඇති විශ්ව දොරටු සංකේතය. තරු දොරටු සංකල්පයේ මූලාරම්භය වේ.


මෙම සංකේත වර්තමාන පුරාවිද්‍යාඥයනට හඳුනාගත නොහැක්‌කේ හා අදහස්‌ ප්‍රකාශ කළ නොහැක්‌කේ ඔවුන් තුළ ඉතිහාසය පිළිබඳව ඇති ව්‍යාකූලත්වය හා රාවණ ඉතිහාසය නොතැකීමේ ආකල්පයයි.


ඉසුරුමුණි විහාරයද අතීතයේ යක්‌ෂ ජන සමාජයේ ප්‍රභාමත් ආගමික පූජා භූමියකි. ඉසුරුමුණි පෙම් යුවළ යනු මහා වෙසමුණි රජු හා කෛකාසි දේවියගේ රුව නෙළමින් ලොව ප්‍රථම මවුපිය දේවාලය ඉදි කළ මහා රාවණ අධිරාජ්‍යයාගේ නිර්මාණයක්‌ වේ. තවද පුරා විද්‍යාවෙන් නිසි අර්ථ නිරූපණයක්‌ කර නොමැති ඉසුරුමුණියේ මිනිසා හා අශ්ව හිස රූපය වෙසමුණි රජුගේ නිර්භය නිදහස්‌ චින්තනය නිරූපණය කරයි. වෙස්‌සගිරි ප්‍රදේශයද එම ඉපැරැණි යුගයේම නශ්ඨාවශේෂයකි. පසුකාලීන රජවරු මෙම ඉදිකිරීම් මත යම් යම් ප්‍රතිසංස්‌කරණ හා අලුත් ගොඩනැඟිලි කර ඇතත් ස්‌වභාව ධර්මයට ගරු කළ යක්‌ෂ ජනතාව පරිසර හිතකාමී නගර නිර්මාණකරුවන්ගේ ආරම්භයන් බව එම ප්‍රදේශ සාක්‍ෂි දරයි.


වර්තමාන නාලන්දා ගෙඩිගෙය නොහොත් අතීතයේ ලෝකයේ මධ්‍ය රේඛාව පිහිටි තැන ලෙස සැලකෙන මාතලේ (මහාපොළොතලේ) සූර්ය දේවාලය ලංකාවේ යක්‌ෂ ජනතාව තුළ තිබූ පිටසක්‌වල ජීවය පිළිබඳ විශ්වාස ඉස්‌මතු කරන මිල කළ නොහැකි වටිනා වස්‌තුවකි. එයද කිසිවකුගේ අවධානයට ලක්‌ නොවී විනාශයට යමින් පවතී. එහි තිබෙන සමහර අංග කෞතුකාගාරය වෙත පවරා ගැනීම කාලීන අවශ්‍යතාවකි. මහා රාවණ අධිරාජ්‍යයාගේ පුත් ඉන්ද්‍රජිත් හෙවත් ඉරුගල් බණ්‌ඩාර පිටසක්‌වල ජීවීන් සමග සම්බන්ධතා ගොඩනගා ගන්නට උනන්දු වූ මහා පඬිවරයෙකි. එතුමාගේ ගුප්ත විද්‍යා පර්යේෂණ සඳහා ශබ්ද තරංග යොදාගත් අතර වරිග පූර්ණිකාවට අනුව මෙම ක්‍රමවේදය “සෙප්පඩමජ වි-ජා” ලෙස හඳුන්වයි. එහෙත් වර්තමාන ව්‍යාවහාරයේ එය ගර්හිත යෙදුමක්‌ ලෙස භාවිතයට පුරුදු කිරීමෙන් එහි වැදගත්කම යට ගසා ඇත.


ලෝකයට “මමී” හෙවත් නරක්‌ නොවන සේ සිරුරු පවත්වා ගැනීමේ විද්‍යාව දායාද කළේ රාවණ අධිරාජ්‍යයා විසින් ප්‍රගුණ කරනු ලැබූ ආයුවේදය හෙවත් ආයුෂ වර්ධන විද්‍යාවයි. රාවණ ඉතිහාසායේ ඉපැරැණි මූලාශ්‍ර ග්‍රන්ථයක්‌ වන්නේ සිව රජුගේ අහස්‌තල බෙදීම හා හෝරාශාස්‌ත්‍රයයි. ඒ අනුව තාරකා විද්‍යාවේ ආරම්භයද ඉපැරැණි හෙළයන්ගේය. ඔවුහුද ශ්‍රී රාවණාට ප්‍රථම මෙරට සිටි මහා සිව රජුගේ පරපුරේ ආදිතමයෝය. එබැවින් මෙරට රාජවංශයේද නොයෙක්‌ රජුන් සිව යන්න පෙළපත් නමක්‌ ලෙස භාවිත කළහ. (උදා:- මුටසිව, මහාසිව) සිව රජුද ආදි හෙළයෙකි. එබැවින් රාවණ රජු සිවස්‌තෝත්‍රය රචනා කළ අතර එය අද දක්‌වා හින්දූන් හා ඉන්දියානු දෙමළ ජනයා සිව දෙවි වන්දනාවට යොදාගනිති. එසේම පුරාණයේ ලක්‌ ජනතාව අතර ප්‍රචලිතව පැවැති රාවණ මන්ත්‍රයක්‌ මෙසේය.


“ඕම් රාවණ සිද්ධම් සිද්ධම් බල වරම්”


“ඕම් සරවණ භව සිද්ධම් සිද්ධි බල වරම්”


ශ්‍රී රාවණ අධිරාජ්‍යයාගේ බලය හා ශක්‌තියට ප්‍රතිවිරුද්ධ බලවේග අතීතයේ සිට මේ දක්‌වාම ක්‍රියාත්මක වී පවතී. අභිචාරවත් නිට්‌ටෑවන් නම් සත්ත්ව විශේෂය ප්‍රමුඛ කර වානරයන් වෙනුවෙන් යම් යම් ඉදිකිරීම් කරමින් මෙරට රාම වාදයක්‌ ව්‍යාප්ත කිරීමේ අදහසින් අතීතයේ සිට වර්තමානය දක්‌වා යක්‌ෂ සංහාරයට උත්සාහ දැරූ විදේශික බලවේග රැසකි. පණ්‌ඩුකාභය, ගාමිණි අභය, විජයබාහු, පරාක්‍රමබාහු, වලගම්බා වැනි ප්‍රබල මහාකාල යක්‌ පරපුරේ හෙළ නරදෙටුවන් හනුමා බලවේගය ඒ ඒ යුගවලදී ලක්‌ පොළොවෙන් තුරන් කළ අතර කිසි කලෙකත් වානර ගෝත්‍රයෙන් පැවත එන ආක්‍රමණිකයන්ට මෙරට විජයග්‍රහණයක්‌ අත් නොවීය. ඔවුන් සුළු කලකට පමණක්‌ මෙරට ආක්‍රමණය කළ ද රාමායනයේම සඳහන් ආකාරයට ඉරුගල් බණ්‌ඩාර හෙවත් රාවණ පුත් මේඝනාද පරපුර ඔවුන් සමූල ඝාතනය කළහ. ඉන්දියානු වීර කාව්‍යයක්‌ වූ වාල්මිකී නම් කතුවරයකු විසින් රචනා කරන ලද රාමායනය රාම ලක්‍ෂමණ හනුමාන් ප්‍රමුඛ වානර හමුදාව ලැබූ පරාජය වසාගැනීමට කළ වෑයමකි. එහි කර්තෘ විටෙක රාවන චරිතය ශ්‍රේෂ්ඨයකු කර විටෙක දුෂ්ටයකු බව ඇඟවීමට උත්සාහ කළ අන්දම රාමායනය තුළින්ම පැහැදිලියි. නමුත් රාමායනයට හා මහාවංශයට වඩා පැරැණි යක්‌ෂ ගෝත්‍රික මූලාශ්‍ර වන කාලම් අග්නිසන්දය, මූණමුරකෞරවය, වෙශමුණි දරණිවත, ගෝරාපාසලම, රක්‌ඛානි ගර්ජය, කුම්භණී මූලාශ්‍රථය, අසුර අත්විසය හා පංචරක්‌ඛාවලිය යන පුස්‌කොල පොත් ශ්‍රී රාවණ අධිරාජ්‍යයාගේ පුත්‍ර මේඝ නාද (ඉරුගල් බණ්‌ඩාර) සමස්‌ත ඉන්දියානු ආක්‍රමණිකයන් පරාජයට පත් කළ බව තහවුරු කරයි.


තම සොයුරු විභීෂණයන් හා ඇතිවූ අභ්‍යන්තරික යක්‌ෂ නාග යුද්ධය හා බිහිසුණු ස්‌වභාවික විපත් රාවණ යුගය මහා සාගරයට යටකර දැමීමට හේතු විය. මෙම දේශපාලන අර්බුදය ගෞතම බුදුරජාණන් වහන්සේගේ පහළවීම දක්‌වා ලංකාවේ පැවැති අතර බුදුන් වහන්සේගේ ලංකා ගමනයේදී මෙරට කඳුකර ප්‍රදේශ (ගිරිප) යක්‌ෂ ජනයාට පවරා සෙසු ප්‍රදේශ නාග ජනයාට පවරා දී ඇත. මේ නිසා ලංකාවේ සමස්‌ත ජනසමාජයම බුදුන් වහන්සේගේ නාමයට ලංකා රාජ්‍ය පූජා කර ඇත. ඒ බව “යකා බුදු වදනට පමණක්‌ අවනත” බව පැවසෙන ගැමි කියමනෙන් පිළිබිඹු වේ. බුදුන්ගේ ලංකාගමනය පවා සැකයට භාජන කිරීමට පුරාවිද්‍යාඥ බෙල් ප්‍රමුඛ ගෝල පිරිස බලවත් උත්සාහයක යෙදී ඇති බව මෙහිදී සිහිපත් කළ යුතුවේ.


වර්තමාන රාගල (රාවණගල) රාවණා යුගයත් අයත් පැරැණි නටබුන් පවතින තවත් ප්‍රදේශයකි. එහි ඇති රාවණ පබ්බත විහාරය හා එම ප්‍රදේශය වර්තමානයේ නිදන් සොරුන් අතින් සීග්‍රයෙන් විනාශ වෙමින් පවතී. රාවණගල ප්‍රදේශ සැලකිය යුතු වන්නේ හෙළයන්ගේ නිජභූමිය සේය. සිවුහෙළයන්ගේ රාජ්‍ය ලාංඡනය වූ සිංහයා සංකේතය මහා රාවණා අධිරාජ්‍යයාගේ රාජකීය සංකේතය විය. ඈත යුගයේ විසූ කේසර නම් සිංහ විශේෂය එයට පදනම් වී ඇත. කේසර යනු සූර්ය රශ්මිය හා ශක්‌තිය නිරුපණය කරන ප්‍රබල ගුප්ත විද්‍යාත්මක සංකේතයකි. සිංහ ලාංඡනයේ නිර්මාතෘද ශ්‍රී රාවණයෝය. රාවණා රජුගේ රුව ඇතුළත් ධජය රාවණ යුගයෙන් පසු ලංකා ධජය බවට පත්විය. එය ක්‍රමයෙන් ප්‍රාදේශීය කොඩියක්‌ බවට පත්වීම මෙරට රජ පරපුරේ ඇදවැටීමත් සමග සිදු වූවකි. දෙවැනි රාජසිංහ යුගයේ රන්දෙණිවලදී ලන්දේසින් ඓතිහාසික පරාජයකට ලක්‌ කළ කොස්‌මෝ විෙ-සේකර මුදලිතුමාගේ පරපුරේ ධජය එය විය. වර්තමානයේ ඛඔඔE සතුරන් පරාජය කිරීමේදී රාවණ පරපුර ඉදිකළ ශ්‍රී යගු කෞරාණ මන්ඨක දස ශීර්ෂපති ශ්‍රී රාවණ දේවාලයේ ගල් පුවරුවේ කොටා ඇති රාවණ ධජයේ අනුහසද බලපාන්නට ඇත. මෙය කුරුණෑගල රම්බඩගල්ල විද්‍යාසාගර පිරිවෙන් විහාරස්‌ථානයේ ආසියාවේ විශාලතම ශෛලමය බුදුපිළිමය පිහිටන ගල් තලාවේම ස්‌ථාපනය කර තිබේ. රාවණ ධජයට සූර්යාලෝකය වැටීමෙන් ලංකා ආක්‍රමණිකයන්ට ඉමහත් විනාශයක්‌ සිදුවන වෙසමුණි ධජය නම් (වෙසමුණි ධරණිවත) පුස්‌කොල පොතේ සඳහන්ය.
නොනැසී පවතින රාවණ ඉතිහාසය කිසි කලෙකත් විනාශ කළ නොහැක. රාවණ නාමය ලංකා ඉතිහාසයේ මැකිය නොහැකි ලෙස ලියෑවී පවතී. ඉදිරියේදී මායා, ඉංකා මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාර ගැනත් වර්තමාන සෝවියට්‌ සමූහාණ්‌ඩුවට අයත් කල්මිකියාවේ පිහිටි රාබ්ක්‌නැ ජලාශය හා සුමේරියානු ඉතිහාසයත් පිළිබඳ සත්‍ය කරුණු මතුවීමත් සමග රාවණා නාමය තව දුරටත් සඟවා තබනු නොහැකි වේ.


(මෙම ලිපිය ලිවිමට එරන්ද සොයුරාගේ ලිපියක් මුලාශ්‍රකොට ගත්තකි)