හිතේ හැටියට අනුරාධපුරේ විඳින්නටනම්, සමාන හිතක් ඇති කෙනෙක් එක්කම යන්නට ඕන. සමාන හිතක් ඇති කෙනා තමන්ට වඩා ටිකක් උනන්දුවක් ඇති කෙනෙක්නම්, තමන් නොදන්නා අලුත් තොරතුරුත් හොයාගෙන එයි, 'හැමෝම දන්නා ' අනුරාධපුරය ගැන.
බටහිර ආරාමයන් ගැන මම දැන ගත්තෙ අන්තිමට අනුරාධපුර ගිය ගමනෙදි. වට වන්දනා පාර දිගේ යනවිට හමුවන ප්‍රතිසංස්කරණය නොකළ, වනයෙන් වැසුණු පුරාණ ගොඩ නැගිලි සමූහයක් මීට අයත්.
මේවා තියෙන්නෙ පැරණි අනුරාධපුර නගරයට බටහිර දෙසින්. එවක නගරයේ වඩාත්ම අයෝග්‍ය පෙදෙස ලෙස සැළකුණේ මේ බටහිර පෙදෙස. මන්ද, සොහොන් බිම් පිහිටියේද, මළමිණී සම්බන්ධ කටයුතුත් පවිත්‍රතා කටයුතුත් පාරම්පරික රැකියා ලෙස උරුම කරගත් කුල හීනයන් ජීවත් වූයේද මේ බටහිර පෙදෙසේ නිසා.
අනුරාධපුරයෙ ඇති සුවිසල්, අලංකාර ගොඩ නැගිලි දිහා බැලූවිට පෙනෙන වැදගත් කරුණක් තමයි, බුදු දහමට එහි හිමි වී ඇති ඉහළ ස්ථානය. කලාත්මක ගුණයෙන් අනූන කැටයමින් පිරි, වඩාත්ම දිගු කලක් රැකෙන සේ ඉදි වූ ගොඩනැගිලිවලින් අති මහත් බහුතරය ශාසනයට අයත් ඒවා.
එහෙමනම් කවුද අර බටහිර පැත්තෙ, සොහොන්පළවල ආරාම හැදුවෙ?
අපේ අප්පච්චිගෙන් ඇහුවනම් කියයි චේ ගුවේරා කාරයො කියලා.
යස ඉසුරු අත හැර මගට බැස සත්‍යය සොයාගත් බුදු රජාණන් වහන්සේගේ ධර්මයට, අර මහා සම්ප්‍රදායය පටහැණි බැව් සිතූ භික්ෂූන් පිරිසක් බිහිව සිටියා අටවන ශතවර්ෂය වනවිට. ඔවුන් තපෝවන ආශ්‍රිතව භාවනාවෙන් දිවි ගෙවූ භික්ෂු පරම්පරාවටම අයත් අය. මේ බටහිර ආරාම, නගර ආශ්‍රිතව විසූ එවන් භික්ෂූන් වෙනුවෙන් ගොඩ නැගුණු ඒවා.
යමකට අප එරෙහි වන්නේද, ඊට ප්‍රතික්‍රියාවක් ලෙස, අර දෙයට අදාල සියලුම අංගයන්ගේ හාත්පසින්ම විරුද්ධ අංශය වැළඳ ගැනීම මිනිස් ගතියක්. නමුත් හැමවිටම ඒක අන්තවාදී වීමක් නොවෙයි; බටහිර ආරාමත් එහෙමයි. ඔවුන් බුදු හිමියන් වදාළ පරිදි වඩාත් සරල, සැහැල්ලු දිවිපෙවෙතකට පෙලඹුණු අය.
ඔවුන්ගෙ ආරාම තනා ගත්තෙ බොහෝකොටම කළු ගල් මත. ඒ වටා උස් තාප්ප ඉදි කොට බාහිර සමාජයෙන් වෙන් කොට තිබුණා. (මේ ලක්ෂණය ඇත්තෙ නගර ආශ්‍රිතව ඉදි කළ ආරාමයන්හි.) ඇතුළත ගොඩ නැගිල්ල බොහෝ විට ප්‍රධාන කොටස් දෙකකට බෙදා, ඒවා යා කෙරෙන පාළමක් සකසා තිබෙනවා. කුළුණු ආදිය බෙහෙවින්ම සුමට හතරැස් බවකින් යුක්තයි. ආරාමය ආශ්‍රිතවම ජල පොකුණක්ද වෙනවා. සමහරවිට කළු ගල මත ගොඩනැගිල්ල ඉදි කිරීම ජලය රැඳවීමට පහසු වෙන්නට ඇති. ප්‍රධාන දොරටුව, දෙපස පිහිටි කුළුණු දෙකකින් සහ ඒ දෙක යා කෙරෙන ගල් තලයකින් සමන්විතයි.
නමුත් ඔවුන්ගෙ විශේෂම ලක්ෂණය වැසිකිළි.
මුළු ආරාමයම අලංකරණයෙන් තොරව නිමවා ඇති මුත් වැසිකිළි ගල් අතිශය මනහර කැටයම්වලින් සරසා තියෙනවා. යොදාගෙන ඇති මෝස්තරත්, අර මහා සම්ප්‍රදායයෙ ආරාමවල විශේෂිත ස්ථාන අලංකාර කිරීමට යොදන ඒවා.
හරියට, "තොප ඔච්චර වැදගත් කොට සළකන පුහු අලංකාරයට, මෙන්න අපි දෙන තැන!" කියන්නට වගෙයි.
මේ භික්ෂූන් වහන්සේලා සොහොනෙන් ලබා ගත් වස්ත්‍ර සෝදා, පඬු පොවා සකස් කොට ගත් සිවුරු පෙරවූ බවත්, රළු අහර වළඳමින්, භාවනානුයෝගීව විසූ බවත් සඳහන්.
ඔවුන් ගත් මාර්ගය අනුමත කළ, ඔවුනට අනුග්‍රහය දැක්වූ පිරිස්ද රටේ ඇති තරම් හිටියා. ඒ වගේම, රජයට විරුද්ධ පිරිස් ආරක්ෂාව පතා දුවගෙන එන තැනක් බවටත් මේ ආරාම පත් වුණා.
එහෙම අභය පිණිස බටහිර ආරාමවල පිළිසරණ පැතූ රාජ ද්‍රෝහීන් කිහිපදෙනෙක් පසුපස එළවා ආ රජයේ මැර පිරිසක්, (ඔව්, ඔව්, අපි ඒ කාලෙත් එහෙමයි.) ආරාම තුළට කඩා වැදී ඔවුන්ව බෙලි කපා ඝාතනය කළා. ඊට විරුද්ධත්වය පානු වස්, තපෝවන සම්ප්‍රදායයේ භික්ෂූන් අනුරාධපුර අතහැර රුහුණට සංක්‍රමණය කළා.
මින් ඇති වුණු මහජන උද්ඝෝෂණය හා යුද හමුදා විරෝධය කෙතෙක්ද යත්,
සියලුම සම්ප්‍රදායයන්ට අයත් භික්ෂූන් වහන්සේලාගේ අවවාදය පරිදි, මහ රජුගේ නියෝජිතයින් රුහුණට ගොස්, අර භික්ෂූන් වහන්සේලා හමු වී, සාකච්ඡා කොට, සමාව භාජනයකට දැමීමෙන් තමයි ගැටළුව නිරාකරණය කරගන්නට ලැබී ඇත්තෙ.
ඒ වුණත් බටහිර ආරාමයන්ට තවමත් තියෙන්නෙ කුඩම්මාගෙ සැළකිලි. වනයෙහි ගිලී ඇති මේ ආරාමවලින් යම් තරමට හෝ පාදාගෙන ඇත්තෙ එක් ආරාමයක් පමණයි. හුදෙකලා තැනක, නිදහසේ පිහිටි මෙහි පැමිණෙන බෞද්ධයන් බී ඉවත ලෑ මත් පැන් බෝතල් හා සිගරට් පැකට්ටු ආරාම භූමියේ පිරිලා. අප යන විටත් එහි ඇති පොකුණේ ගැමි කාන්තාවන් දෙදෙනෙක් රෙදි සෝදනවා.
නිස්කලංක ආරාම භූමිය පුරාවට ගලේ වදින රෙදිවලින් නැගෙන හඬ දෝංකාර දෙනවා.
30 July 2011
රාවණා යුගයෙන් ඇරඹෙන බොල්තුඹේ සමන් දේවාලය

සුමන සමන් දෙවියන් කියලා පිළිගන්නේ ශ්‍රී පාද කන්දට අධිපතිව වැඩ වාසය කරන සෝවාන් වුණු ඒ වගේම ශ්‍රී ලාංකික බෞද්ධ දෙවි කෙනෙක්ව.
ඉතින් සුමන සමන් දේව සංකල්පය ගැන විවිධ මත කීපයක් දැක ගන්න පුලුවන්.

ඉතින් සුමන සමන් දේව සංකල්පය ගැන විවිධ මත කීපයක් දැක ගන්න පුලුවන්.

- ලාංකික වංශකතාවල කියන්නේ කඳුකර ප්‍රදේශයේ දේව ගෝත්‍රික නායකයෙක් වුණු සුමන සමන් බුදු හාමුදුරුවෝ ප්‍රථම වරට ලංකාවට වැඩම කරපු අවස්ථාවේ ඒ කියන්නේ යක්ෂයින් දමනය කරන්න මහියංගණයට වැඩම කරපු අවස්ථාවේ දහම් අහලා සෝවාන් වුණු බවත්, මහියංගණ දාගැබ ඉදි කරපු බවත්, ඊට පස්සේ බුදු හාමුදුරුවෝ තුන්වෙනි වරට කැලණියට වැඩම කරපු අවස්ථාවේ සුමන සමන්ගේ ආරාධනයෙන් එයාගේ වාසස්ථානය වුණු සමනළ කන්දට වැඩම කරලා සිරි පතුල පිහිටෙව්වා කියන එක.
- සුමන සමන් යනු යම බව දක්වන මහාචාර්ය සෙනරත් පරණවිතානයන්ගේ මතයත්
- රාමායණයේ එන රාමගේ සොයුරු ලක්ෂ්මණ කුමරු සුමන සමන් ලෙස වන්දනාවට පාත්‍ර වුනා කියන අදහසත්

- මහායන පිළිගැනීම්වල දක්වන ධ්‍යානි බෝසත්වරු[මහාස්ථාම ප්‍රාප්ත ඒත් නැත්නම් ත්‍රෛලෝක්‍යවිජයී] අටදෙනාගෙන් එක් අයෙක් වෙන සමන්ත භද්‍ර බෝධිසත්වයින් සුමන සමන් දෙවියන් ලෙස ලාංකිකයන් වන්දනා කරන බවත් ප්‍රසිද්ධ මත කීපයක්.
කොහොමින් කොහොම හරි මාතෘකාව සුමන සමන් දේව පුරාණය ගැන කතා කිරීම නෙමෙයි මාතෘකාවට ප්‍රවේශයක් ගන්න තමා ඒ ගැන කතා කළේ. මගේ උවමනාව ලංකාවේ තියෙන අප්‍රකට සුමන සමන් දේවාලයක් ගැන කතා කිරීම.
සුමන සමන් දේවාල කියපුවාම අපේ මතකට නැගෙන්නේ රත්නපුරයේ පිහිටලා තියෙන සබරගමු මහ සමන් දේවාලයයි.
ඒත් සිරිපා මළුවේ පිහිටා තිබෙන සමන් දේවාලය මුල් කරගෙන හතර දිශාවට සමන් දේවාල 4 ක් ඉදිකර තියෙන බවයි කියන්නේ. ඒ කියන්නේ රත්නපුරේ තියෙන සබරගමු මහ සමන් දේවාලය ඇරුණාම තවත් සමන් දේවාල 3 ක් තියෙනවා කියන එකනේ.
ඒ එක සමන් දේවාලයක් බලංගොඩ, බොල්තුඹේ ප්‍රදේශයේ පිහිටලා තියෙන්නේ. බලංගොඩ ඉදන් පින්නවල හරහා බගවන්තලාවට වැටිලා තියෙන පාරේ කිලෝමීටර් 14 ක් විතර ගියාම මේ කියන බොල්තුඹේ සමන් දේවාලයට එන්න පුලුවන්.
මේ ප්‍රදේශයට භාවිතා වෙන බොල්තුඹේ කියන ග්‍රාම නාමය හැදුණු ආකාරය ගැන මත 2 ක් දැකගන්න පුලුවන්. එකක් තමා මේ දේවාලය ආසන්නයේ තියෙන වෙල් යායේ අස්වැන්න ගත්තු එක් අවස්ථාවක බොල් තුඹක් [?] විතරක් ඉතුරු වෙලා තිබුණු නිසා බොල්තිඹේ කියලා ව්‍යවහාර වෙලා පස්සේ බොල්තුඹේ කියලා සකක් වුණා කියලා.

අනෙක් මතය අපි කතා කරන්න යන මාතෘකාවලට අදාළයි. ඒ මතය තමා රාමා රාවණා ගැටුමේදී රාම කුමරයා එවපු ඊතල පහරකින් රාවණා රජු මියගිය බවත් ඊතල පාර නිසා රාවණා රජුගේ හිස වලවේ ගඟ ආසන්නයේ තියෙන ඕලු ගංතොට ප්‍රදේශයේ වැටුණු බවත්, කවන්ධය බොල්තුඹේ දේවාලය පිහිටලා තියෙන බිමට වැටුණු බවත්ය.
ඉතින් ඒ ප්‍රදේශයේ මිනිස්සු හිස නැති රාවණා රජතුමාගේ කඳ කොටස විශාල පස් ගොඩක් දමා වැසූ බවත් ඒ නිසා බහලතුඹ නමින් ව්‍යවහාර වෙලා බොල්තුඹේ වුණා කියන එකයි.
මේ දේවාලයත් සබරගමුවේ මහ සමන් දේවාලයේ ආකෘතියටම සකස් කරපු එකක්. ඒ සඳහා මූලික වුණේ සීතාවක රාජසිංහ රජතුමා බවත් එතුමාගේ නියෝග පරිදි මෙම දේවාලයේ ගොඩනැගිලි හදලා ගම් බිම් පුදලා බොල්තුඹේ සමන් දේවාලය කියලා මේ දේවාලය නම් කරලා සබරගමු මහ සමන් දේවාලයට අයිති දේවාලයක් බවට පත් කරපු බව සබරගමු මහ සමන් දේවාලයේ පැරණි ලිපි ලේඛනවල දකින්න පුලුවන්.
ඒ වගේම සබරගමු මහ සමන් දේවාලයට පර සතුරු උවදුරක් වුණොත් දේවාභරණ වගේම වටිනා වස්තුව බොල්තුඹේ සමන් දේවාලයේ තැන්පත් කළ යුතුයි කියලා රජතුමා නියෝග කරලා ඉතාමත් ශක්තිමත් ආකාරයෙන් මේ දේවාලය සකස් කරා කියලා දක්වනවා.
ඒක නිසා බොල්තුඹේ සමන් දේවාලය සබරගමු මහ සමන් දේවාලයේ කඳුකර දේව ගබඩාව විදිහටත් හඳුන්වලා තියෙනවා. ඒ වගේම ඒ ප්‍රදේශවාසීන්ගේ මතය වෙන්නේ සමන් දෙවියන්ගේ අඩවිය වන ශ්‍රී පාදයේ ඉදන් ඉතාමත්ම ආසන්නයෙන් මේ දේවාලය පිහිටලා තියෙන නිසා සමන් දේව බැල්ම බොල්තුඹේ දේවාලයේ වැඩි බවයි.
නමුත් සීතාවක රාජසිංහ රජතුමාගේ කාලෙටත් බොහෝ කාලෙකට ඉස්සර ඉදන් මේ ස්ථානයේ දේවාලයක් තිබුණු බවත් එය රාවණා රජතුමා වෙනුවෙන් ඉදිකර තිබුණු බවත් ජනවහරේ දැක්වෙනවා. මේ ප්‍රදේශයට නම සෑදෙන්නත් මේ රාවණා රජතුමා මුල් වුණා කියලා මම මුලින් කිව්වේ. ඉතින් මේ ආසන්නයේ තියෙන දෙතනගල කන්ද ආසන්නයේ රාම රාවණ ගැටුම වුණු බවත් එය සිහිවීමට මේ දේවාලය කරවූ බව බොල්තුඹේ සමන් දේවාලයේ කපුරාළගේ යාතිකාවේ දැක්වෙනවා.
ඒ වගේම මේ දේවාලයේ අභ්‍යන්තරයේ රාවණා රථය හා රාවණා රජුගේ කොඩිය තැන්පත් කරලා තියෙනවා කියලා කියනවා. දේවාලයේ තියෙන සාම්ප්‍රදායික චාරිත්‍රවලට අනුව එය කිසිවෙකුටත් නොපෙන්වන බවත් ඉංග්‍රීසි පාලන කාලේ සබරගමුවේ ආදායම් පරීක්ෂක නිලධාරියා දේවාලය පරීක්ෂා කරන්න ඇවිත් දේවාලයේ ඇති සියළුම භාණ්ඩ එළියට ගත් බවත් දේවාලය ඇතුළත තියෙන රාවණා රථය හා කොඩිය ඉවතට ගන්න ගිය බවත් එසේ කළොත් විපතක් වෙනවා කියලා කපු මහත්තයා සුදු නිලධාරියාට දන්වලා තියෙනවා.
නමුත් ඒවා නොතකා එම භාණ්ඩ එළියට ගත් බවත් ඒ අවස්ථාවේදීම හෙණ හතක් පුපුරා ගිහින් එක දිගට දවස් 7 ක් වැහැලා මේ සුදු නිලධාරියාට ආපසු යන්න බැරිව ඇතෙක් ගෙන්වලා ඇතා පිටින් ආපසු ගිය බවත් ඒ ඇතාගෙත් කරවටක් වෙනකම් වතුරෙන් ඒ ප්‍රදේශය යටවෙලා තිබුණු බවයි ජනප්‍රවාදවල කියන්නේ.
කොහොම වෙතත් මේ වෙද්දී රාවණා රජතුමාගේ රුවක් තියෙන කොඩියක් මේ දේවාලයේ වගේම සොරගුණේ, උග්ගල් අළුත් නුවර දේවාලවල පෙරහැරවල්වලදී රැගෙන යාමක් කරනවා.
ඒ වගේම තාමත් මේ ප්‍රදේශයෙන් ඊතල හැඩයේ ලෝහ කැබලි හමුවෙන බවත් ඒවා දේවාලයට භාරදීමක් ගැමියන් සිදු කරනවා. ගැමියන් විශ්වාස කරන්නේ ඒවා රාම රාවණා යුද්ධයේදී වැටුණු ඊතල විදිහටයි.
වර්තමානය වෙද්දී දේවාල බිමේ තිබෙන ගොඩනැගිලි ගැන විස්තරයක් කළොත් ප්‍රධාන දේවාලය ඇතුළු වැඩසිටින මාළිගාව, ඒකට දකුණු දෙසින් චෛත්‍යය හා විහාර ගෙයත්, වම් පසින් පත්තිනි දේවාලයත්, පහත මළුවේ දේව රථය නවත්වන ස්ථානයත් සිංහාසන ගොඩනැගිල්ලත් පිහිටා තිබෙනවා.








ඉතින් මේ ඉපැරණි සමන් දේවාලයේ වාර්ෂිකව ඇසළ පෙරහැර මංගල්‍යයක් සෑම වසරකම අගෝස්තු මාසයේ පවත්වනවා. මේ ඇසළ පෙරහැරේ සුවිශේෂී ලක්ෂණයක් තමා අලි ඇතුන් මේ පෙරහැරේ ගමන් නොකිරීමයි. ඒක ගැන මටත් පුදුම හිතුණා. සමන් දෙවියන්ගේ වාහනය වෙන්නෙත් සුදු ඇතෙක් වෙන නිසා. ඒත් දැනගන්න ලැබුණේ අලි ඇතුන් දේවාල භූමියට අරගෙන ආපුවාම සන්සුන් කරන්න අමාරු විදිහට කුලප්පු වෙන බවයි.
පසුගිය වසරේ පැවැත්වුණු ඇසළ පෙරහැර මංගල්‍යයට සම්බන්ධ වෙන්න මට පුලුවන් වුණා. [ඒකට මුල්වුණේ මම ආගිය කතාවලදීහුඟාක් වෙලාවට කියන අපේ A/L Logic මිස්. එයාගේ පංතියට මේ දේවාලයේ බස්නායක නිලමේතුමාගේ දියණිය ආවා. ඒ යටතේ තමා අපිටත් අවස්ථාවක් හම්බුණේ මේ පෙරහැර මංගල්‍යයට සම්බන්ධ වෙන්න] වසර ගාණකට පස්සේ පැවැත්වුණු මේ ඇසළ පෙරහැර මංගල්‍යය පවත්වන්න දැඩි වෙහෙසක් ගත්තේ අළුතින් බස්නායක නිළමේවරයා විදිහට පත්වුණු මිගාර ජයසුන්දර මැතිතුමා.
ඔයාලටත් හැකියාවක්, වෙලාවක් තියෙන වෙලාවක බලන්න යන්න මේ බොල්තුඹේ ප්‍රදේශයේ පිහිටලා තියෙන ඓතිහාසික සුමන සමන් දේවාලය.
ලිපිය ලියන්න පාදක වුණේ,
- 2007 මැයි 13 ඉරිදා ලක්බිම පුවත්පතේ "රාවණා රජුගේ දඬු මොණරය අදත් බලංගොඩ ප්‍රදේශයේ" ලිපිය
- 2009 බොල්තුඹේ සමන් දේවාලයේ ඇසළ මහා පෙරහැර වෙනුවෙන් නිකුත් කළ සමරු කලාපය
ලිව්වේ HASITHA
සෝමාවතී චෛත්‍යරාජයා අවට ඇති සෙල්ලිපි…
සෝමාවතී චෛත්‍යරාජයා මුල් කාලයේදී පාචින නාගාරාමය (නැගෙනහිර පැත්තෙන් පිහිටි ශ්‍රේෂ්ඨ ආරාමය) “මණි අගිය” (අග්‍රගන්‍ය මාණික්‍යය) යන නම් වලින් හැඳින් වූ බව සෙල්ලිපි වලින් අනාවරණය වේ.
දැනට සෙල්ලිපි අටක් සෝමාවතී චෛත්‍යරාජයාණන් වහන්සේ අබියස පවතී. එයින් සෙල්ලිපි දෙකක් චෛත්‍යරාජයා අසල හා අනිත් සෙල්ලිපි හය සෝමාවතී දාගැබට නුදුරින් චෛත්‍යරාජයා වෙත යන මාර්ගය සමීපයෙහි මීන්විල විශාල ගල්පර්වතයක් වූ එරික් ස්වෝන් නමැති සුප්‍රකට ජායාරුප ශිල්පිය වල අලියෙකු ගෙන් මරණයට පත් දිග් ගලෙහි තිබෙනු දැක බලාගත හැක.
මේ ලිපි අතර චෛත්‍යරාජයා සමීපයෙහි පිහිටි පේලි දහයකින් යුත් විශාල පුවරු ලිපිය ඉතා වේදගත්වේ.
එම ලිපියෙන් කනිට්ඨතිස්ස රජු (ක්‍රි.ව. 164-192) ගෙන් මණි අගිය නම් මේ සෝමාවතී විහාරයට කරන ලද පුජාවක් කියවේ. එම ලිපියේ අදහස
01) යහපතක් වේවා, නාග නමැති මහරජුගේ පුත්‍රයා වූ ද, භාතියතිස්ස නමැති මහරජුගේ මනිටු සොහොයුරු වුද, තිස්ස නමැති මහරජ අලිවිටියෙහි භව්ටක වැව සමීපයහි වූ මණි අගිය නමැති රාජමහා විහාරයෙහි සංඝාරාමය නැවත පිහිටුවා යථෝක්ත විහාරය වෙනුවෙන් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රකාශනය (කල් යාමේදී) ක්‍රියාවේ නොයෙදීම හේතු කොටගෙන මේ ස්ථානයට (ලැබීමට නියමිත) ආදායම නොලැබෙන අවස්ථාවේදී මෙබඳු නියෝගයක් පනවන ලදී.මේ ආඥාවට අනුව මේ මුදල සැයේත් පෝයගේත් ප්‍රතිසංස්කරණය කිරීමටද නව කර්මාන්ත වැඩ සඳහා ද යෙදිය යුතු වන්නේය.
ප්‍රතිසංස්කරණ වැඩ කිරීමට ද නව කර්මාන්තයටද උවමනා නොවන්නේ නම් මේ ආදායම සංඝයා වෙත දානය සැපයීම සඳහා දිය යුතුය.
මේ විහාරය සඳහා පනවා ඇති ආඥාව පිලි නොපැදීමේ වරදට දඬුවම කහවනු පන්සියයකි.
මේ විහාරයේ උපෝසථාගාරයේ පහන් දැල්වීම සඳහා තෙල් සැපයීමටද කටුකොහොල් අරීමටද ප්‍රතිසංස්කරණය කිරීමටද මේ තොටුපළවල් තුන එනම් අතර ගගහි කෙහිගම තොටුපල ද, සුමනතගම තොටුපලද තොටගමකහි තොටුපලද දෙන ලදී.
මණි අගියේ උපෝසථාගාරයේත් රාජමහා විහාරයේත් ආරක්ෂාව සැලසීම නිශ්චය කළයුතුව තිබෙන හෙයින් මේ විහාරයටහිමි සඟ සතු ඉඩම්වල පදිංචි පවුල් වල ය මහා වැකන්දියේ වැඩවලින් මුදවා විහාරය රැකීමේ කාර්යයෙහි යෙදිය යුතුය.
02) ක්‍රි. පු. 9 – ක්‍රි. ව. 21 නාග නමැති මහරජ තම පුත් නකල නමැති කුමාරයා විසින් පිහිටුවන ලද, පාචීන නාගාරාම විහාරයට රජඅඩපිටි නමැති ගම ප්‍රදානය කළේය.
03) ක්‍රි. පු. 41 – ක්‍රි. පු. 19 කුටකන්න තිස්ස රජතුමා විසින් පිහිටුවන ලද ලිපිය අනුව දෙගම නමැති දිය ඇලක් සාදවා කුඹුරුවලට ජලය ලබාදුන් අයුරු පැහැදිලි වේ.
04) ක්‍රි. ව. 9 - ක්‍රි. ව. 21 මහානාග රජ තම පුත් නාග කුමාරයා පිහිටවූ පාචීන නාගාරාමය නම් විහාරයෙහි නඩත්තුව සඳහා විහාරය සමීපයෙහි වූ රජලි නමැති කුඹුරෙහි සත් කරිසක් සඟසතු කොට පුජා කරන ලදී.
05) ක්‍රි. ව. 112 - ක්‍රි. ව. 134 සංග්‍රාමයේ විජයග්‍රාහක වූ ගාමිණි අභය මහරජු විසින් රජ ඇළෙහි පිහිටි ගමේ ආදායම මණිඅගිය විහාරයට දෙන ලදී.
06) ක්‍රි. ව. 22 - ක්‍රි. ව. 31 අතර සිටි ආමන්ඩ ගාමිණී අභය රජුගේ ලිපියක පේලි දෙකක් පමණක් ඉතිරි වී ඇති අතර ඒ සමීපයෙහි තවත් ලිපියක් (එරික් ස්වෝන් ගලෙහි) විනාශයට පත්ව ඇත.
මෙවන් අති පෞරාණික සිද්ධස්ථානය වර්තමානයෙහි විහාර කැලය නමින් හැඳින්වෙන සෝමාවතී අභය භුමිය මධ්‍යයෙහි පවතී. එදා මාගම්පුර වෙල්යායේ කොටසකැයි සිතිය හැකි මේ සමතලා බිම් ප්‍රදේශයේ ස්වභාව ධර්මයාගේ බලපෑමත්, මහවැලි ගඟ ගැලූ මාර්ගය වෙනස්වී පිටාර ගැලීමත්, රාජධානි වෙනස් වනවාත් සමගම ජනශුන්‍ය විල්ලු සහිත මහා වනයක් බවට පත්ව නිතර ජාල රකුසාට මුළු ප්‍රදේශයම ගොදුරු වෙමින් වසර 1000 කට අධික කාලයක් ගතවිය.
අනුරාධපුර යුගයේ අවසාන කාලයේදී වල්බිහිව නටබුන්ව ගිය සෝමාවතිය ජනතාවගේ මතකයෙන් ක්‍රමයෙන් ඇත්වන්නට විය.එහෙත් ජනතාවගේ හදවතින් දකුණු දළදා වහන්සේ වැඩ සිටින බුදු රැස් විහිදෙන සෝමාවතිය යන නාමය ඈත් නොවී පරම්පරාගතව පැවතුනි.
සොමවතියේ එදා සහ වත්මන් තත්වය පිලිබඳ ලිපියකින් නැවත ඔබ හමුවන තුරු ඔබ සැමට තෙරුවන් සරණයි…!!!
උපුටාගැනීම්: පහමුණේ ශ්‍රී සුමංගල නාහිමි විසින් රචිත “සෝමාවතී චෛත්‍යරාජයා” ග්‍රන්ථයෙනි.
හෙළ පරපුර වරද්දගත්තු තැන…
හෙළ යුගයේදි හැබෑවටම සිදුවුණේ කුමක්ද? රාවන රජු හැබෑවටම ලංකාව පාලනය කලේද? පාලනය කලා නම් ඒ රාවන යුගයේ ලංකාපුරය, වත්මන් ශ්‍රී ලංකාවද? යන ගැටළු වලට පැහැදිලි පිළිතුරක් දෙන්නට බොහෝ දෙනා අසමත්ය. පසුගිය දිනවල පුවත්පත් වල පිටු ගණන් වෙන්වුණේ මෙම ගැටළු වලට පිළිතුරු සපයන්නටයි. ඉතාමත් ආන්දෝලනාත්මක ප්‍රකාශ ඉදිරිපත් කරමින් ඇතැම් විද්වතුන්, කථිකාචාර්‍යවරුන් මෙන්ම ඉතිහාස ගවේෂකයින් රාවන යුගය ගැන බොහෝ කරුණු සාකච්ඡා කරන අයුරු අප දුටුවෙමු. කවුරු කවුරුත් තම තමන්ගේ පාණ්ඩිත්‍යය ලොවට කියා පෑවත් ප්‍රශ්නය තවමත් එතැනමයි. සිරිලක උපන් සිංහල දරුවන්ට රාවන නාමය තවමත් ආගන්තුකයි. ලක්දිව දෙමළ නිජබිමක් ලෙස සින්න කරගන්නට වලිකන පිරිසට රාවන රජු මෑතකදී හමුවුණු ඉල්ලමයි.
කවුරු කොහොම කීවත් අපේ අනන්‍යතාවය නිරාවරණය කරගත යුත්තේ අපිමයි. එහෙත් සිංහල ජාතියේ ඉතිහාසය, පැවැත්ම හා අනන්‍යතාවය හැමදාමත් සිංහලයාට කියා දුන්නේ පරදේසක්කාරයන් වීම විශේෂයි. වර්තමානයේ මෙම තත්වය බිඳගෙන ලක්දිව ඉතිහාසය සොයා වසර 2500කින් ඔබ්බට යන්නට වෙර දරන පිරිසක් බිහි වෙමින් පවතී. ඔවුන්ගේ වෑයම සතුටට කරුණක් වුවත් ඇතැමෙකුගේ ක්‍රියා කලාපය අනුමත කල නොහැක. මෙම ලිපියේ සිරස්තලය “හෙළ පරපුර වරද්දගත්තු තැන” ලෙස සටහන් කලත් අපට වැරදුන තැන් එකකට වඩා මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙමු.
පෙර සඳහන් කල පරිදි සිංහලේ ඉතිහාසය අපට කියාදෙන්නට හැමවිටම පාහේ පිටරැටියෙක් පැමිණ ඇත. ආසන්නම උදාහරණය ලෙස ඉන්දියාවේ කාලිංග දේශයෙන් පැමිණි මහානාම තෙරුන් රචනා කල මහාවංශය ගෙනහැර දැක්විය හැක. පාසල් යන සමයේ සමාජ අධ්‍යයනය හා ඉතිහාසය වශයෙන් අප ඉගෙනගනු ලැබුවේද කොඩ්‍රින්ටන් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා විසින් සම්පාදනය කල ලක් ඉතිහාසයයි. මීට අමතරව මාරි හිගින්ස් මියුසියස් මැතිනියද ලක් ඉතිහාසය පිළිබඳ පොත පත ලිවූ විජාතික කාන්තාවකි. වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති රටක මිනිසුන්ට කොහෙන්හෝ පාත් වෙච්ච කෙනෙක් ඉතිහාසය ලියා තැබීම විහිළුවකි. එමෙන්ම එසේ පිටින් ආ අය ලියන ඉතිහාසය හිස් මුදුනින් පිළිගැනීම හා එතනින් එහාට ඇත්ත නැත්ත නොවිමසීම ඛේදවාචකයකි. මේ හෙළ පරපුර වරද්ද ගත්ත භයානකම තැනයි. කොහෙවත් හිටපු අය ලංකාවෙ ඉතිහාසෙ ලංකාවෙ පයගහපු මිනිස්සුන්ට වඩා හොඳින් දන්නෙ කොහොමද? මේ ප්‍රශ්නය තමන්ගෙන්ම අසා බලන්න. දුටුගැමුණු, පැරකුම්බා, මහසෙන්, විජයබාහු වැනි රජවරුන්ද, සෝමාවතී, විහාරමහා දේවි, ලීලාවතී වැනි රැජිණන්ද වෙනුවට අපේ සමාජ අධ්‍යයනය පොතේ පිටු අරක් ගත්තේ අපේ රට ආක්‍රමණය කල බ්‍රිතාන්‍යයේ ඩොනමෝර්, කෝල්බෲක්, මැනිං වැනි විජාතිකයන් සහ ඔවුන්ගේ ආණ්ඩු ක්‍රමයි. 1818 දී හා 1848 දී කැප්පෙටිපොළ, වීර පුරන් අප්පු වැනි වීරයන් විසින් දියත් කල නිදහස් අරගල බ්‍රිතාන්‍ය පාලකයන්ට කැරලි විය. ඔවුන් ලක් ඉතිහාසය තුල ලක්බිම නිදහස් කරගන්නට වෙහෙස වූවන් කැරලි කරුවන් ලෙසත්, නිදහස් අරගල කැරලි ලෙසත් අපට ඉගැන්නුවේය. මේවා ඉගෙනගෙන පාසලෙන් එළියට එන දරුවන් තුල රට, ජාතිය පිළිබඳ හැඟීමක්, ආලයක් උපදීද? අපි අද අත් දකින්නේද එහිම විපාක නොවේද?
ඉතිහාසය පිළිබඳ ආචාර්‍ය උපාධි හිමි විද්වතුන්ගෙන් සහ ඉතිහාසය කතා කරනා අනෙකුත් විද්වතුන්ගෙන් ලක්දිව ඉතිහාසයට හරි හමන් සේවයක් වෙයිද? තමන් දරන මතයම හරියැයි සිතා කටයුතු කරන ඔවුන් බොහෝදෙනා ඊට ප්‍රතිවිරුද්ධ අදහස්ධාරීන් ගේ මත කිසිදු තැකීමකට ලක් නොකරන අතර, සියළු දෙනාම එක්ව අදහස් විමසා බලා ඉතිහාස ගැටළු පිළිබඳව එකඟතාවයකට එන්නට සූදානමක්ද නැත. බොහොමයක් දෙනා විජයගෙන් පැවතෙන සිංහල පරපුරක් ගැන විශ්වාස කරයි. මහාබලි, අගස්ථ්‍ය, රාවන වැනි රජවරු තුලින් මිත්‍යා චරිත වලට වඩා වැඩි යමක් ඔවුන් නොදකී. මේ අතර වර්තමානයේ බිහිවෙන ඇතැම් ඉතිහාස ගවේශකයන් රාවන ආදී රජවරුන් ලක්දිව විසූ බව පුන පුනා කියයි. විද්වතුන් යැයි කියාගන්නා පිරිස මෙම ගවේෂකයන්ගෙන් රාවන ඉතිහාසය ඔප්පු කරන්නට සාධක ඉල්ලයි. ඉන්පසු දෙපිරිසම නිහඬයි. වසර 2500කට එහා ඉතිහාසයක් ලක්දිව නොතිබුණා නොවෙයි. වංශකතා පොත විජයගෙන් ඇරඹුණ පලියට ලක් ඉතිහාසයේ ආරම්භය විජයාගමනයට සීමා කරන්නේ කෙලෙසද? එය සිංහල ජාතියට කරන අසාධාරණයක් නොවේද? මේ ඉතිහාසය සොයා යාමට බහුතරයක් විද්වතුන් මැලි වන්නේ ඇයි? ඊට උනන්දුවක් දක්වන වත්මන් පරපුරට අත නොදෙන්නේ ඇයි? වැළලුණ ඉතිහාසය යලි ගොඩගැනීම අපට අහිතකර නොවුණත් මෙතෙක් කල් කෙප්ප දෙසා බාපු කාගෙත් සැබෑ ස්වරූපය එමගින් එලිවෙන බව ඉතිහාසය හංගන්නට වෙර දරන අය අපටත් වඩා හොඳට දනී. එබැවින් යටගියාව එසේම තිබෙන්නට හැරීම ඔවුනට හිතකරය. ඒ අතර බහුතරයක් දෙනා ඉන්දියාවට ගැතිව, විජයට දරුවන් නැතත් ඔහුගෙන්ම සිංහලයා පැවතෙන බව කියන්නට ප්‍රිය කරයි. මෙවැනි පුද්ගලයන් හට පවසන්නට අප සතුව ඇත්තේ එක දෙයයි. එනම් රාවන නමින් රජ කෙනෙක් ලක්දිව විසුවත් නැතත්, විභීෂණට නෑකම් කියන අය අදටත් ඉන්නවා කියලා අපට ඔප්පු කරන්නට ඉඩ තියන්න එපා කියලයි. උපන් බිමට ගුණමකු කම් කරන කෙනෙකු කොතරම් උගතෙක්, ප්‍රාඥයෙක් වුවද රට දැයට ආදරය කරන සිංහලයා ඉදිරියේ ඔහු නිවටයෙකුම පමණි.
වර්තමානයේ ප්‍රාග් ඓතිහාසික යුගය ගැන උනන්දුවක් දක්වන පිරිස්ද බොහොමයකි. විසිතුරු වෙබ් අඩවි, බ්ලොග් දිනෙන් දින අන්තර්ජාලයට එක්වේ. මේවායේ හරබර ලිපි, වටිනා කරුණු මෙන්ම අතරින් පතර ඉතිහාසය ගැන පදනම් විරහිත බොලඳ කතාද නොඅඩුව දක්නට ලැබේ. මෙවන් වෙබ් අඩවි සහ පුවත්පත්වල පලවූ ලිපි රැසක් පරිශීලණය කිරීමෙන් අනතුරුව පැහැදිලිව වටහාගත් එක කරුණක් නම් කරන වැඩේ හරියට කරන්නේ බොහොම ටික දෙනෙකු බවයි. වෙනත් කිසිවෙකුගේ අදහසක්, වෙන කෙනෙක් ලියූ ලිපියක් හෝ ඉතිහාස කරුණක් හරිද වැරදිද වත් විමසා නොබලා උස්සාගෙන ඇවිත් තම තමන්ගේ වෙබ් අඩවි, බ්ලොග් වල පල කරගෙන ඉතිහාසය ගැන කතා කරන පිරිසක්ද මෙම ගවේශණය තුලදී අපට හමුවිය. එක අතකට පැරණි මහාචාර්ය වරු කියපු දේ එලෙසම අදහමින් ඉතිහාසය කතා කරන ආචාර්ය මහාචාර්ය වරු ඉන්න රටක ඒ ගැන අපි එතරම් පුදුම විය යුතු නැත. වාද කරන්නට මාතෘකාවක් නැතිවට, කරන්නට වෙන වැඩක් නැතිවට හෝ ලකුණු දමාගන්නට ඉතිහාසය හොයනවානම් වහාම එය නවත්වන ලෙස ඉල්ලීමක් කරන්නට කැමැත්තෙමු. ප්‍රසිද්ධිය, ලාභ ප්‍රයෝජන තකා ඉතිහාසය සෙවීම අප හෙලා දකින අතර ඉතිහාසය සෙවීමේ රැල්ලට හසුවී එහෙන් මෙහෙන් එකතු කරගත් කරුණු පටලාගෙන ඉතිහාසය කතා කල නොහැක. විශේෂයෙන්ම වසර දස දහස් ගණනක් පැරණි ලංකා ඉතිහාසයත් එක්ක එහෙම කෝළම් කිරීම විටෙක භයානකය. අපේ හෙළ පරපුර වරද්ද ගත්තේ එලෙසයි.
හෙළ දෙරණේ දූ පුතුන් වෙලත් අපි හරියකට ඉතිහාසයක් නොදනිමු. ඉතිහාසවේදීන් අපට රස කර කර පවසන්නේ විජයගෙන් පැවතෙන පරපුරක් ගැනයි. රාවන නාමය ඇසූ පමණින්ම ඔවුන් බොහෝදෙනා ප්‍රලය වේ. කකුසඳ, කෝනාගම වැනි ගෞතම බුදුන්ට පෙර ලොව පහල වූ බුදු වරුන් ලක්දිවට වැඩිය බව පැවසෙන සෙල්ලිපි, සිතුවම් ආදිය ඇතැමෙක් සොයාගෙන ඇතත් ඒවාට නිසි අවධානයක්, අනුග්‍රහයක් ලබාදී ඉපැරණි ඉතිහාසය යලි මතු කරගන්නට කිසිවෙකු ඉදිරිපත් නොවෙයි. ඉදිරිපත් වෙන කෙනෙක් සිටියොත් ඊටද අකුල් හෙලයි. කාලාන්තරයක් තිස්සෙ පොත්වල තිබුණ දේ ගිරව් වගේ කට පාඩම් කරලා වීරයො වගේ ඉතිහාසය ගැන කතා කලා මිස, යක්ෂ, නාග, රාක්ෂාදී ගෝත්‍ර සහ රාවන වැනි රජවරුන් ද්වේෂ සහගතව ප්‍රතික්ෂේප කලා මිස, පරදේසක්කාරයන් අන්දපු පලියට ඇඳගෙන සිංහල ඉතිහාසයේ වැදගත්ම පරිච්ඡේද මිත්‍යා කතා යැයි කීවා මිස අපේ සැබෑ මුතුන් මිත්තන්ගේ වග සොයා ගියේ කීයෙන් කී දෙනාද?
එක් පුද්ගලයෙකු විසින් ඉදිරිපත් කල ඉතිහාස කරුණු මතම එල්බ ගෙන ඔහු සියයට සීයක් නිවැරදි යැයි සිතමින් ඔහුගේ කෝණයෙන් අපත් ඉතිහාසය දෙස බලනු පසෙක ලා පැරණි පොත පත, ජනශ්‍රැතිය, සිංහල බස් වහර, කවි පද ආදිය පරිශීලණය කරමින්, සැවොම එකතු වී ඉතිහාසයේ නොගැලපෙන තැන් නිරවුල් කර ගනිමින්, නැවතත් සිංහලේ ඉතිහාසය සිංහලයා විසින් ලියන දිනයක් වෙත හෙළ පරපුරට ලඟාවිය නොහැකිද? හැකිනම් ඒ වෙනුවෙන් කැප වන්නට අවංකවම අප සූදානම් විය යුතුය. ඒ කැප කිරීම කරන්නට ඔබ සූදානම්ද? සූදානම් නම් පමණක් අපි ඉතිහාසය ගැන කතා කරමු. ලක්දිව බුදු සසුනේ පැවැත්ම, සිංහල රටේ සංස්කෘතිය, ඉතිහාසය හා උරුමයන් වෙනුවෙන් කැපවුණ දුටුගැමුණු බලකාය සමඟ උඩුගම් බලා යන්නට සූදානම් හෙළ පරපුරට අපත් සමඟ එක් වෙන්නට මෙසේ ආරාධනා කරමු.
හල්දුම්මුල්ල සොහොන් බිමෙන් හෙළි වන හෙළ ඉතිහාසය

විජය පරපුර ලක් දෙරණ ශිෂ්ටාචාරගත කළ බව අපි දේව භාෂිතයක් ලෙස අදහමු. එහෙත් විජයාවතරණයට ද වසර සිය දහස් ගණකටත් පෙර මේ දෙරණ ශිෂ්ටාචාරගතව පැවති බව අද අපට පිළිගන්නට සිදුව ඇත.
කැලණි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙහි මහාචාර්ය රාඡ් සෝමදේව මහතා ඇතුළු පුරාවිද්‍යාඥයන් පිරිසක් දීර්ඝ කාලයක සිට ලාංකික ප්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵල ලෙස විජයාවතරණයට පෙර පැවති ශිෂ්ටාචාරය පිළිබඳ වඩා විශ්වාසනීය තොරතුරු අනාවරණය වී ඇත.
මේ පර්යේෂණ පරිශ්‍රමය අපේ ඉතිහාසයට අන කරන්නෙ විජයාවතරණය තවදුරටත් ලාංකික ජන සමාජයේ පදනම බවට වන නිල ඉතිහාසය බැහැර කරන ලෙසයි.
අඳුරින් වැසී තිබී ආලෝකවත් කළ එම ඉතිහාස සාධකයන් සොයා අප ගිය නිරීක්‍ෂණ චාරිකාවක සටහන් මේ ලිපිය පුරා දිග හැරෙන්නෙ මෙසේය….
රටක් ශිෂ්ටාචාරගතවීම ආරම්භවනවා යනු දඩයම අතහැර කෘෂිකාර්මික දිවිපෙවතකට නැඹුරුවීමත් ගල් ආයුධ වෙනුවට ලෝහ ආයුධ භාවිතයට පිවිසීමත්ය. එසේනම් ලාංකික ශිෂ්ටාචාරය පිළිබඳ විධිමත් නිගමනයකට එළැඹීම සඳහා ආදි මානවයා දඩයම අතහැර කෘෂිකර්මාන්තයට පිළිපන් යුගයත් ගල් ආයුධ භාවිතය ලෝහ ආයුධ භාවිතයකට පරිවර්තනය කරගත් යුගයත් පිළිබඳ නිවැරැදි අදහසකට පැමිණිය යුතුයි. ඊළඟ තර්කය වන්නේ දඩයක් කාරයන් ගොවියන් බවට පත්වීමටත් ගල් ආයුධ ලෝහ ආයුධ බවට විතැන් කරගැනීමටත් බලපෑ සාධක කවරේද යන්නයි. ඊට බලපෑවේ පාරිසරික හේතූන් ද? සමාජීය හේතුන්ද? යන්න සොයා බැලිය යුතුයි.
දඩයක්‌කාරයන් ගොවියන් බවට පරිවර්තනය වීමට සානුබලය සැපයිය හැකි ප්‍රධානම සාධකය වන්නේ දේශගුණික සාධකයයි. ලෝක පරිමාණ අධ්‍යයනයන් පරිශීලනය කිරීමේදීත් ඒ බව තහවුරු වේ. එසේ නම් නැවත පැණ නැගෙන තර්කය වන්නේ, එම දේශගුණික ස්‌වභාවය කෙබඳු එකක් විය යුතුද යන්නයි. අවුරුද්ද මුලුල්ලේම එක් දේශගුණයක් ව්‍යාප්තව පවතී නම් මේ සඳහා පෙළඹුමක් ඇති නොකරයි. එනම් අවුරුද්ද පුරාම වියළි දේශගුණයක් පවතින ප්‍රදේශවල ද, අවුරුද්ද මුලුල්ලේම වර්ෂාව හොඳින් ලැබෙන ප්‍රදේශවල ද ජීවත් වන මානවයා මේ ආකාරයට දඩයම අතහැර කෘෂිකර්මයට විතැන් නොවේ. එසේ නම් වියළි හා තෙත් දේශගුණයක් සම සමව අවුරුද්දේ ඒ ඒ කාර්තුවල පවතින ප්‍රදේශවල ජීවත්වන මානවයා සිය ජීවන මාර්ගයද වෙනස් කර ගන්නට ඇත. ලංකාවේ එවන් දේශගුණයක් පවතින ප්‍රදේශ කිහිපයකි. උඩවලව, එහි වළවේ ගඟින් එගොඩ ප්‍රදේශය එනම් අම්බලන්තොට වියළි දේශගුණයක් පවතින අතර වළවේ ගඟින් මෙගොඩ රත්නපුරය, ගොඩකවෙල තෙත් දේශගුණයක් සහිත ප්‍රදේශ ලෙස හඳුනාගත හැක. නාඋල ප්‍රදේශයේ ද මේ දේශගුණික තත්ත්වයන් දෙකම හඳුනාගත හැකිය. නුවරඑළියේ සිට බලකඩුව දුර්ගය බැස යන විට සීත තෙත් දේශගුණයක්a පවතින අතර නාඋල පසු වී දඹුල්ල ඇඹුල්අඹේ උෂ්ණ දේශගුණයක් පවතී.
මෙසේ උඩවළවේ සහ නාඋල යන ප්‍රදේශයන් අතුරින් පූර්ව සාධකද සැලකිල්ලට ගෙන උඩවලව ප්‍රදේශය පර්යේෂණ වැඩබිම ලෙස තෝරාගෙන මූලික කැණිම් ප්‍රදේශ ලෙස පල්ලේබැද්ද ගල්පාය ප්‍රදේශයේ වැඩ ආරම්භ කර තිබේ. අවාසනාවකට ගල්පාය ප්‍රදේශය මීට පෙර නිදන් හොරුන් විසින් විනාශකර තිබිණි. නිදන් හොරුන් විනාශ කළ පුරා වස්‌තු පරීක්‍ෂා කිරීමේදී පර්යේෂණ කණ්‌ඩායමට සුවිශේෂ සාධක රැසක් ලැබිණි. එහි දඩයක් කාරයන්ට අදාළ පුරාවස්‌තු සේම යකඩ භාවිත කළ කෘෂිකාර්මික යුගයට අයත් මානව අවශේෂයන්ද හඳුනාගැනීමට හැකි විය. තමන්ගේ පූර්ව නිගමනය නිවැරැදි බවත් එහෙත් ගල්පාය ප්‍රදේශයේ නිදන් හොරුන් විසින් සිදුකර ඇති විනාශය නිසා තවදුරටත් කැනීම් සිදුකිරීම අර්ථ විරහිත බවත් අවබෝධකරගත් පර්යේෂණ නඩය සිය අරමුණු අත් නොහරිමින් ගල්පාය ප්‍රදේශයට සමානකම් ඇති වෙනත් ප්‍රදේශ කරා සිය පර්යේෂණ ඇස යොමුකරන ලදී.
ගල්පාය තියුණු උපායශීලී ස්‌ථානයකි. උතුරින් බළංගොඩ හපුතලේ කඳු වලල්ලත් මධ්‍ය කඳුකරයේ හෝර්ටන් තැන්නත් පිහිටා ඇත. එම කඳු වළල්ල පසුකර යන විට කල්තොට, මොහොර ප්‍රදේශය, බෙල්ලන්බැඳි පැලැස්‌ස, උඩවලව පසු කරන විට වියළි කලාපය දක්‌වා දිවෙන තැනිතලාව භූවිෂමතා ලක්‌ෂණ ලෙස හඳුනා ගත හැකියි. ඔවුන්ගේ උපකල්පනය වූයේ මධ්‍ය කඳුකරයේ තෙත් දේශගුණයක් සහිත හෝර්ටන් තැන්නේ සිට ආදි මානවයා පහළ ප්‍රදේශ කරා, පසුබසින්නට ඇති බවයි. එම උපකල්පනය තහවුරුවන කැණීමක් 2006 වසරේ සිදු කිරීමට හැකිවීම ඔවුන් ලැබූ ජයග්‍රහණයකි.
පල්ලේබැද්දට තදාසන්නව ඇති කොළඹගේආර ප්‍රදේශයේ රංචාමඩම පාසලේ ඉදිකිරීමකදී මතු වූ පුරාවස්‌තු මෙම පර්යේෂණ නඩයට වැදගත් හෝඩුවාවක් විය. රංචාමඩම ප්‍රදේශයේ කළ කැණීම් මගින් ප්‍රාග් ඓතිහාසික සුසාන භූමියක් මතු කරගැනීමට පර්යේෂණ කණ්‌ඩායමට හැකි විය. එම සොහොන්බිම ප්‍රාග් ඓතිහාසික සොහොන් බිම් අතර සුවිශේෂ එකකි. මෙම සුසාන තුළ සිදු කළ සූක්‌ෂම කැණීම් මගින් මිනී ඇට තැන්පත් කළ මැටි භාජන හඳුනාගැනීමට හැකි වී තිබේ. ඒ තුළ ගල් ආයුධ ද තැන්පත් කර තිබූ බව හඳුනාගෙන ඇත. මේ ද්‍රව්‍ය හමුවීම පුරාවිද්‍යාඥයන් ඉතා උනන්දු සහගත පෙළඹවීමකට යොමු කර ඇත.
වළං ගොවියන්ට අයත් පාරිහාරික භාණ්‌ඩයකි. එසේම වළං තුළ තිබූ ආයුධ දඩයම්කරුවන්ට අයත් ආයුධයි. මෙම සොයාගැනීම ඔස්‌සේ ලාංකික ආදී මානවයා පිළිබඳ වැදගත් නිගමනයකට එළැඹීමට හැකි විය. එනම් ගල් ආයුධ භාවිත කළ දඩයම්කරුවන් සහ මැටි වළං භාවිත කළ කෘෂිකාර්මික මානවයා අතර කිසියම් සංස්‌කෘතික සම්මිශ්‍රණයන් සිදුවී ඇති ආකාරයයි. එයින් මෙතෙක් අපේ රටේ පූර්ව ඉතිහාසය පිළිබඳ එල්බගෙන සිටි වැරැදි නිගමනයක් බිඳ දමන්නට හැකිවිය. එසේ බිඳ වැටුනු නිගමනය වූයේ දඩයමින් ජීවිතය ගෙනගිය මානවයන්, උතුරු ඉන්දියාවෙන් පැමිණි යකඩ සහ මැටි භාණ්‌ඩ භාවිතයට නැඹුරුවූ ආර්ය සංක්‍රමිකයන් පැමිණීමත් සමඟ පසු බැස්‌ස බවයි. රංචාමඩම ප්‍රාග් ඓතිහාසික සුසානභූමි කැණීමත් සමඟ මෙම මානවයන් දෙකොටස අතර සංස්‌කෘතික සංස්‌පර්ෂයක් පැවැති බව තහවුරු වෙයි.
මෙම සුසාන භූමියෙන් හමු වූ අඟුරු ඉන්දියාවේ පර්යේෂණාගාර වෙත යවා කළ කාල නිර්ණයන්ට අනුව මෙම සුසාන භූමි භාවිත කර ඇත්තේ අදින් වසර 3250 කට පෙර බව තහවුරු වී ඇත. මෙම සුසාන භූමි මැටිගල් (මෝඩ ගල්) යොදාගෙන ලඹ කර බැඳීමෙන් සාදා ඇත. මිනී අළු තැන්පත් කර ඇති මැටි මුට්‌ටි සකපෝරුවේ සියුම්ව සකසාගත් ඒවා ය. මෙමගින් පැහැදිළි වන්නේ මූලික ඉදිකිරීමේ තාක්‌ෂණය, ආදාහන චාරිත්‍ර සහ මූලික ආගමික ක්‍රමයක් පැවති බවයි.
පුරාවිද්‍යාඥයන් නිරන්තරයෙන් අභියෝගවලට මුහුණ දෙයි. එම අභියෝග ජයගැනීම ඔස්‌සේ ශිෂ්ටාචාරයේ අලුත් ඉම් ගවේෂණය කළ හැකි බව නොරහසකි. පර්යේෂණ කණ්‌ඩායම මුහුණ දුන්නේ තවත් අභියෝගයකටය. ඒ රංචාමඩම ප්‍රදේශයෙන් හමු වූ සුසාන භූමි භාවිත කළ මානවයන් ජීවත් වූයේ කොහේද? ඒ කෙසේද? යන්න සොයා ගැනීමයි.
2009 වසරේ උඩ රංචාමඩම ප්‍රදේශයේ සිදුකළ කැණීමකදී පුරාණ නිවාසක් සොයාගැනීමට හැකි විය. එයින් එම ගැටලුවටද සාර්ථක පිළිතුරක් ලැබිණි. වරිච්චි ගැසූ මෙහි මුලුතැන් ගෙයින් ආහාර පිසීමට භාවිත කළ ලිපක් සොයාගැනීමට හැකිවිය. මැටි මූර්තියක්, කාන්තාවන් ඇස වර්ණ ගැල්වීමට භාවිත කරන අඳුන් කූරක් සහ අවසාන භෝජනයට ගත් සතුන්ගේ ඇටකටු ද සොයා ගත හැකි විය. මේවා අදින් වසර 3150 ඉපැරණි භාණ්‌ඩ බව තහවුරු කරගැනීමට හැකි වී ඇත.
මෙම නිවසෙන් සොයාගත් ආයුධ අතර ගල්ආයුධ අටක් ද යකඩ ආයුධ දෙකක් ද තිබිණි. ඒ අනුව මේ අවධිය වනවිට යකඩ භාවිතය එතරම් ප්‍රචලිත වී නොතිබි බව නිගමනය කළ හැක.
යකඩ භාවිතය ඉතාම සුවිශේෂ කාරණයක් වන අතර යකඩ සොයා ගන්නේ කුමණ ස්‌ථානයෙන්ද යන්න ඊටත් වඩා සුවිශේෂ කාරණය වේ. යකඩ වැනි ඛනිජ සොයාගත හැක්‌කේ කඳුවලිනි. උඩ රංචාමඩම ප්‍රදේශයට ආසන්න කඳු පංති වන්නේ හල්දුම්මුල්ල, හපුතලේ, බලංගොඩ, ඕපනායක යන කඳු පංතිය බවට පූර්ව සාධකද සැලකිල්ලට ගෙන උපකල්පනය කළ ගවේෂණ කණ්‌ඩායමට, මෙම කඳු ගවේෂණය කිරීමේදී ලෝහ නිධි පිහිටි ස්‌ථාන හඳුනාගැනීමට හැකි විය. මෙයින් එළැඹිය හැකි නිගමනය වන්නේ හෝර්ටන් තැන්න ප්‍රදේශයේ ජීවත්වූ දඩයක්‌කාරයන් කිසියම් පාරිසරික හේතුවක් නිසා පල්ලම් බැස බෙල්ලන්බැඳි පැලැස්‌සට පැමිණ රංචාමඩම ප්‍රදේශයට තල්ලු වී ඔව්හු දඩයම අතහැර පූර්ණ ගොවියෝa බවට පත් වූහ. එසේ පැමිණියේ නම් ඔවුන් හෝර්ටන් තැන්න ප්‍රදේශයේ සිට පහළට ගමන් කළ මාර්ගයේද ඔවුන්ගේ සළකුණු සහ ජනාවාස තිබිය යුතුය. එය තවත් අභියෝගයකි. එම අභියෝගය භාරගත් පර්යේෂණ කණ්‌ඩායම පහළ සිට ඉහළ හෝර්ටන් තැන්න දක්‌වා මානව අවශේෂ සහ සලකුණු සොයමින් දීර්ඝ ගවේෂණ චාරිකාවක නිරත විනි. එහිදී ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ජනාවාස 50 පමණ සොයාගැනීමට ඔවුන්ට හැකිවිය. ඒ ඉදල්ගස්‌හින්න, හල්දුම්මුල්ල, බණ්‌ඩාරවෙල, පඹහින්න සහ මරන්ගහවෙල ආදී ප්‍රදේශවලිනි. විධිමත් ගවේෂණයක් සිදු කළහොත් තවත් ජනාවාස 400 පමණ සොයාගත හැකිවනු ඇත. එම දුෂ්කර ගවේෂණය ද මේ වසරේදී ආරම්භ කිරීමට නියමිතය.
හල්දුම්මුල්ලේ සොහොන් බිමේ කළ කැණීම්වලින් ලාංකික ශිෂ්ටාචාරයේ සුවිශේෂී කතාන්දරයක් හෙළිවේ. රංචාමඩම සොහොන් බිමේ මැටි මුට්‌ටි තුළ තිබූ ආකාරයේ ගල් ආයුධ ද ඊට අමතරව සුවිශේෂ පාෂාණ වර්ගයක් ද ඒ තුළ තිබිණි. වැඩිදුර පරීක්‍ෂණවලදී මෙම ගල් ලෝහ වර්ගයක් බව අනාවරණය විය. මෙසේ ගල් ආයුධ සහ යකඩ තැන්පත් කිරීමට නම් ඔවුන් යකඩ සමග කිසියම් සබඳතාවක් තිබිය යුතු යෑයි පූර්ව නිගමනයකට එළැඹි පර්යේෂණ නඩය මෙම ලෝහ කොටස් කාල නිර්ණය සඳහා යොමු කරන ලදී. එහිදී ඒවා මීට අවුරුදු 3750 – 4000 ඉපැරැණි බව සොයාගැනිණි. මෙම කාල නීර්ණයන් සමගම ලෝකයේ ඉපැරණිම යකඩ භාවිත ශිෂ්ටාචාරය බවට ලංකාව පත් වේ.
එය හුදු හිතළුවක් නොවන බව කැණීමේ ප්‍රතිඵල විශ්ලේශනය කළ අප රටේ සිටින විශිෂ්ටතම පුරාවිද්‍යාඥයෙක් වන මහාචාර්ය ශිරාන් දැරණියගල මහතාද සනාථ කර සිටියේය.
ලෝකයේ ප්‍රබලතම තාක්‍ෂණික මාධ්‍ය ලෝහයි. වර්තමාන ලෝක දියුණුවේ පදනම වන්නේ එයයි. එහෙත් ලොව සියල්ලන්ටම කලියෙන් යකඩ හඳුනාගනිමින් ඒවා උණු කර ඊට අවශ්‍ය තාක්‌ෂණය හඳුනාගනිමින් තම අවශ්‍යතා සපුරාගැනීමට භාණ්‌ඩ නිෂ්පාදනය කිරීමට දැන සිටියේ අපේ ආදී මුතුන් මිත්තන් බව තවමත් අපි නොදනිමු.
මහාචාර්ය රාඡ් සෝමදේවයන් වැනි අතලොස්‌සක්‌වූ විශිෂ්ටයන් ඒ උරුමය හාරා පාදා මතුකර ගනු ඇත. එය අද නොව මීට වඩා ලෝකය යහපත්වූ අනාගතේ දවසක මේ පෘථිවි තලය තුළ ලාංකික සැබෑ සභ්‍යත්වයේ මහිමය හඬගා කියාපානු ඇත.
- විචිත්‍ර සම්පත් වනිගනෙත්ති
දඬුමොණරය 1
උදිත සේනාරත්න
දඬුමොණරය කිව්වහම අපි හුඟදෙනෙකුට මතක් වෙන්නෙ රාවණ රජ්ජුරුවන්ගේ වාහනේ. ඒත් මේ වාහනය හදන්න බොහොම ලොකු තාක්ෂණයක් භාවිතා කරල තියෙනවා. අද වෙනකොට මේ තාක්ෂණය අපි කවුරුවත් දන්නේ නැති වුනාට ඒ ගැන ලියවුණු පොත් කීපයක් නම් තාමත් පරෙස්සම් වෙලා තියෙනවා කියල මට දැනගන්න ලැබුණා. 'වෛමානික ශාස්ත්‍ර' කියල කියන්නේ ඒ වගේ එක පොතක්. ඒක ලියලා තියෙන්නේ භාරද්වාජ කියන ඉන්දියානු සෘෂිවරයා. ඒ පොත ඇත්තටම අතීතයේ තිබුණු පෙරදිග යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳව ලියවුණු එකක්.
දඬුමොණරයට විමානය කියලත් කියනවා. පරණ පොත්පත් වල සඳහන් වෙන්නෙත් එහෙමයි. ඒක නිසා මමත් මීට පස්සෙ දඬුමොණරය කියන වචනය වෙනුවට විමානය කියල කියන්නම්, මොකද ඒක ලියන්න ලේසි නිසා.
අතීතයේ විමාන වර්ග කීපයක්ම නිර්මාණය කරලා තියෙනවා. පුෂ්පික විමාන, සුන්දර විමාන, රුක්ම විමාන, ත්‍රිපුර විමාන ආදී වශයෙන් ඒවා නම් කරලා තියෙනවා. භාරද්වාජ සෘෂිවරයා කියන විදිහට විමානයකට ගුවනින් මෙන්ම ගොඩබිමෙන් හා ජලයෙන් ද ගමන් කිරීමේ හැකියාව තිබිලා තියෙනවා. පහලින් තියෙන්නේ රුක්ම විමානයේ හැඩයට නිර්මාණය කරපු computer graphic එකක්.
අපේ හිත් වල ඇඳිලා තිබුණු විමානයේ ස්වරූපයට වඩා වෙනස් රූපයක් නේද මේක...! හුඟක් ඉස්සර මේ වගේ වාහන අහසින් ගමන් කරලා තියෙනවා.
අපි බලමු මේ 'විමාන' කියන වචනය හැදිලා තියෙන්නේ කොහොමද කියලා. සංස්කෘත වලින් 'වි' කියලා කියන්නේ පක්ෂියාට. 'මාන' කියලා කියන්නේ අනුකරණය කිරීමට. එතකොට විමාන කියල කියන්නේ පක්ෂියෙක්ව අනුකරණය කරමින් ගමන් කරන වාහනයකට. මේ අර්ථ දැක්වීම තියෙන්නෙත් 'වෛමානික ශාස්ත්‍ර' කියන පොතේ.
විමාන ගැන කතා කරනකොට ඒක පදවන රියදුරා ගැනත් කතා කරන්නම ඕනේ. මේ රියදුරා හඳුන්වන්නේ 'රථාචාර්ය' නැත්නම් 'ආචාර්ය' කියලා. ආචාර්යවරුන්ගේ රාජකාරි හා හැකියා මට්ටම අනුව තනතුරු හතක් තිබිලා තියෙනවා. ඒ තනතුරු හත තමයි මේ..
1. නාරායන
2. ෂෞනක
3. විශ්වාම්බර
4. ගර්ඝ
5. වාශස්පති
6. චක්‍රයානි
7. ධුන්දිනාථ
මේ තනතුරු අතරින් විශ්වාම්බර කියන තනතුරට පත් වූ ආචාර්යවරයෙකුට පමණයි විමානයක් රටකින් රටකට පදවන්න හැකියාව තිබිලා තියෙන්නේ. දක්ෂ 'විශ්වාම්බර'යකුට එක ලෝකයකින් තවත් ලෝකයකටත් විමානය පදවන්න පුළුවන්කම තිබිලා තියෙනවලු.
කොහොමවුණත් කිසියම් පුද්ගලයෙකුට විමානාචාර්යවරයෙකු වෙන්න අවශ්‍යනම් ඒ පුද්ගලයාට සිද්ධ වෙලා තියෙනවා පුරාණ ගුවන් ඉංජිනේරු තාක්ෂණය පිළිබඳ මූලික කරුණු 32 ක් ඉගෙන ගන්න. මේ කරුණු 32 හොඳින්ම ඉගෙන ගත්තු අයට විතරලු විමානයක් පදවන්න අවසර තිබිලා තියෙන්නේ. හැබැයි මේ පුරාණ ගුවන් තාක්ෂණය අද කාලේ තියෙන තාක්ෂණයට වඩා ගොඩක් වෙනස් එකක්. පුරාණ ආචාර්යවරුන්ට විමානය පදවන්න කලින් මන්ත්‍ර ශාස්ත්‍රය පවා ඉගෙන ගන්න සිද්ධ වෙලා තියෙනවා.
උපුටා ගැනීම - http://sellipiya.blogspot.com/2009/09/blog-post_13.html
රථාචාර්යවරය
රථාචාර්යවරයෙක් ඉගෙනගත යුතුව තිබුණු තාක්ෂණික ක්‍රම 32 ගැනයි. මේ ක්‍රම අතරට විමානයක් නිර්මාණය කරන අයුරු, විමානයක් අදෘශ්‍යමාන කරන අයුරු, ප්‍රතිවාදි විමානයන් විනාශ කරන අයුරු ආදී වශයෙන් රහස්‍ය ක්‍රමවේද රැසක් අඩංගු වෙනවා. දැන් ඉතින් අපි මේ ක්‍රමවේද 32 එකින් එක අරගෙන බලමු.
1. මාන්ත්‍රික - මේ කියන්නේ මන්ත්‍ර ක්‍රම ගැනයි. මන්ත්‍ර බල යොදා ගනිමින් විමානය ආරක්ෂා කර ගැනීමේ ක්‍රමය මේ නමින් හැඳින්වෙනවා. මාන්ත්‍රික ක්‍රමය ප්‍රගුණ කරපු ආචාර්යවරයෙකුට තම විමානය ගින්නෙන් සහ අවි ආයුධ වලින් ආරක්ෂා කර ගැනීමේ හැකියාව තිබිලා තියෙනවලු.
2. තාන්ත්‍රික - මේකත් මාන්ත්‍රික ක්‍රමය වගේම ක්‍රමයක්. විමානය බල ගැන්වීම සඳහා අවශ්‍ය වන රහස්‍ය බලවේගයන් එකතුකරගැනීම මේ නමින් හඳින්වෙනවා. මහමායා, සම්භාර ආදී වශයෙන් හැඳින්වෙන්නේ මෙවැනි බලවේගයන් තමයි. මේ බලවේග වලට කියන්නේ තාන්ත්‍රික බලවේග කියලා. ඒත් තාන්ත්‍රික බලවේග ගැන වැඩිදුර පැහැදිලි කරන්න නම් මම දන්නේ නැහැ.
3. ක්‍රිතක - විමානයක් නිර්මාණය කිරීමට අවශ්‍ය යාන්ත්‍රික ඉංජිනේරු දැනුම මේ නමින් හැඳින්වෙනවා. විවිධාකාරයේ හා විවිධ ප්‍රමාණයේ යානා සෑදීමේ ක්‍රමවේදය මීට ඇතුලත් වෙනවා. මේ නිර්මාණ ශිල්පය අතීතයේදී 'විශ්වකර්ම' නමින් හැඳින්වෙලා තියෙනවා. මීට අමතරව ඡායාපරුෂ, මාන්, මායා වැනි වෙනත් නිර්මාණ ශිල්පීය ක්‍රමත් භාවිතා වෙල තියෙනවලු.
4. අන්තරාල - අධික සුළං, වායු අවපාත, දැඩි අකුණු සහිත ප්‍රදේශ ඉහල අහසේ පවතිනවා. විමානාචාර්යවරයෙකුට මෙවැනි තත්වයන් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනෑ. එවැනි අන්තරායකර ප්‍රදේශ කල්තියා දැනගෙන යානය ප්‍රවේශමෙන් එවැනි ප්‍රදේශ හරහා ගෙනයාමේ ක්‍රමවේදය මේ නමින් හැඳින්වෙනවා.
5. ගූඪ - පුරාණ ගුවන් තාක්ෂණයට අනුව වායුගෝලයේ පවතින වායු මට්ටම් අටක් ගැන සඳහන් වෙනවා. මෙයින් අට වෙනි වායු මට්ටමේදී සූර්යයාගේ කිරණ වල තියෙන අඳුරු පදාර්ථය යනුවෙන් හඳුන්වන දෙයක් ප්‍රයෝජනයට ගන්න පුළුවන්ලු. මේ අඳුරු පදාර්ථය පාවිච්චි කරන්නේ තම විමානය සතුරු විමාන වලින් සඟවා තබන්නයි. මෙම අඳුරු පදාර්ථය ආකර්ශනය කරගැනීමේ විද්‍යාව ගූඪ නමින් හැඳින්වෙනවා. මේ සඳහා යාස, ව්‍යාස, ප්‍රයාස යන නම් වලින් හඳින්වෙන ක්‍රමවෙද භාවිතා කරලා තියෙනවා. 'වෛමානික ශාස්ත්‍ර' පොතේ මේ විද්‍යාව විස්තර කරලා තියෙන්නේ 'වායුතත්ව ප්‍රකරණ' යන නමින්.
6. දෘශ්‍ය - විමාන වල ඉදිරිපස 'විශ්ව ක්‍රියා දර්පන' නමින් හඳුන්වන කන්ණාඩියක් තිබුණාලු. විද්‍යුත් ශක්තිය සුළං ශක්තිය සමඟ මිශ්‍රකර ආලෝකයක් උත්පාදනය කර ඉහත කී දර්පනය හරහා පරාවර්තනය කිරීමෙන් තම විමානය හා සමාන වෙනත් ව්‍යාජ විමානයක් මවා පෑමේ තාක්ෂණය මේ නමින් හැඳින්වී තියෙනවා.
7. අදෘශ්‍ය - නම කියනකොටම තේරෙනවා ඇති මේ කියන්නේ යානය නොපෙනී යාමට සැලැස්වීමේ තාක්ෂණය ගැන බව. අපි බලමු කොහොමද මෙහෙම කරලා තියෙන්නේ කියලා. පැරණි පොත්පත් වල කියලා තියෙන විදිහට සූර්යයාගේ මධ්‍යයේ සිට පැමිණෙන ශක්ති විශේෂයක් තියෙනවා. මේ ශක්තිය වායුගෝලයේ තියෙන 'බලාහවිකරණ ශක්තිය' නම් සූක්ෂ්ම ශක්තිය සමඟ මිශ්‍ර කළ විට සුදු පැහැති ආලෝකමය ආවරණයක් නිර්මාණය වෙනවලු. මේ ආවරණය පිටුපස තමයි යානය සඟවන්නේ.
8. පරෝක්ෂ - විමාන වල 'ශක්ති ආකර්ශන දර්පන' නම් තවත් දර්පනයක් තියෙනවා. ඒකෙන් කරන්නේ විමානය අවට තිබෙන විවිධ ශක්තීන් ආකර්ශනය කර ගැනීමයි. වලාකුළු නිර්මාණය වීමේදී ඇතිවන ශක්තියත් මේ දර්පනය හරහා උරා ගන්න පුළුවන්. වලාකුළු බිහිවීමේ ක්‍රමය පැරණි පොත් වල හඳුන්වා තිබෙන්නේ 'මෙඝෝත්පත්ති ප්‍රකරණ' නමින්. පැරණි ගුවන් තාක්ෂණයට අනුව වලාකුළු පවතින්නේ වායුගෝලයේ දෙවන මට්ටමේ ( මට්ටම් 8 ක් තියෙනවා කියලා මම කලින් කියලා තියෙනවා ). ඉතින් මේ උරා ගන්නා ශක්තිය භාවිතා කර ප්‍රතිවාදී විමාන වල පාලන පද්ධතිය අඩපණ කිරීමේ ක්‍රමය තමයි පරෝක්ෂ කියලා හඳුන්වන්නේ.
9. අපරෝක්ෂ - 'ශක්ති තන්ත්‍ර' නම් පුරාණ විද්‍යාවට අනුව සූර්යයාලෝකය තුල 'රෝහිණී' නම් ආලෝක කදම්භයක් තියෙනවා. මේ ආලෝක කදම්භය ඉදිරියට ප්‍රක්ෂේපණය කර, විමානය ඉදිරියේ තිබෙන වස්තූන් දර්ශනය කරගැනීමේ තාක්ෂණය මේ නමින් හැඳින්වෙනවා. මම හිතන විදිහට අදෘශ්‍යමාන තත්වයේ තිබෙන විමාන පවා මේ ක්‍රමය හරහා දෘශ්‍යමාන බවට පත්කරගන්න පුළුවන්කම තියෙන්න ඇති.
10. සංකෝච - මේකත් ආරක්ෂිත උපක්‍රමයක්. මේ ක්‍රමය භාවිතා කරලා තියෙන්නේ යානයේ පියපත් ආරක්ෂා කරගැනීමටයි. යානය ඉතා වේගයෙන් ගමන් කරන විටදී ඉදිරියෙන් මොනවාහරි අනතුරුදායක දෙයක් තිබුණහොත් එක්වරම පියාපත් හකුළාගෙන අනතුර මගහැරීමේ ක්‍රමවේදය මෙයයි. භාරද්වාජ සෘෂිවරයා කියන අන්දමට විමානයේ තිබෙන 7 වන යතුර(switch) ක්‍රියාත්මක කර මේ ආරක්ෂිත උපාය ක්‍රියාවට නඟන්න පුළුවන්.
තවත් තාක්ෂණික ක්‍රම 22 ක් තියෙනවා පැහැදිලි කරන්න. ඒ ක්‍රම ගැන ඊලඟ පෝස්ට් එකෙන් කියන්නම්. මේ පෝස්ට් එක ගැන ඔයාලගේ අදහස් දක්වන්න. ඒ අදහස් ගොඩක් වටිනවා.
උපුටා ගැනීම - http://sellipiya.blogspot.com/2009/09/blog-post_66.html
1. මාන්ත්‍රික - මේ කියන්නේ මන්ත්‍ර ක්‍රම ගැනයි. මන්ත්‍ර බල යොදා ගනිමින් විමානය ආරක්ෂා කර ගැනීමේ ක්‍රමය මේ නමින් හැඳින්වෙනවා. මාන්ත්‍රික ක්‍රමය ප්‍රගුණ කරපු ආචාර්යවරයෙකුට තම විමානය ගින්නෙන් සහ අවි ආයුධ වලින් ආරක්ෂා කර ගැනීමේ හැකියාව තිබිලා තියෙනවලු.
2. තාන්ත්‍රික - මේකත් මාන්ත්‍රික ක්‍රමය වගේම ක්‍රමයක්. විමානය බල ගැන්වීම සඳහා අවශ්‍ය වන රහස්‍ය බලවේගයන් එකතුකරගැනීම මේ නමින් හඳින්වෙනවා. මහමායා, සම්භාර ආදී වශයෙන් හැඳින්වෙන්නේ මෙවැනි බලවේගයන් තමයි. මේ බලවේග වලට කියන්නේ තාන්ත්‍රික බලවේග කියලා. ඒත් තාන්ත්‍රික බලවේග ගැන වැඩිදුර පැහැදිලි කරන්න නම් මම දන්නේ නැහැ.
3. ක්‍රිතක - විමානයක් නිර්මාණය කිරීමට අවශ්‍ය යාන්ත්‍රික ඉංජිනේරු දැනුම මේ නමින් හැඳින්වෙනවා. විවිධාකාරයේ හා විවිධ ප්‍රමාණයේ යානා සෑදීමේ ක්‍රමවේදය මීට ඇතුලත් වෙනවා. මේ නිර්මාණ ශිල්පය අතීතයේදී 'විශ්වකර්ම' නමින් හැඳින්වෙලා තියෙනවා. මීට අමතරව ඡායාපරුෂ, මාන්, මායා වැනි වෙනත් නිර්මාණ ශිල්පීය ක්‍රමත් භාවිතා වෙල තියෙනවලු.
4. අන්තරාල - අධික සුළං, වායු අවපාත, දැඩි අකුණු සහිත ප්‍රදේශ ඉහල අහසේ පවතිනවා. විමානාචාර්යවරයෙකුට මෙවැනි තත්වයන් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනෑ. එවැනි අන්තරායකර ප්‍රදේශ කල්තියා දැනගෙන යානය ප්‍රවේශමෙන් එවැනි ප්‍රදේශ හරහා ගෙනයාමේ ක්‍රමවේදය මේ නමින් හැඳින්වෙනවා.
5. ගූඪ - පුරාණ ගුවන් තාක්ෂණයට අනුව වායුගෝලයේ පවතින වායු මට්ටම් අටක් ගැන සඳහන් වෙනවා. මෙයින් අට වෙනි වායු මට්ටමේදී සූර්යයාගේ කිරණ වල තියෙන අඳුරු පදාර්ථය යනුවෙන් හඳුන්වන දෙයක් ප්‍රයෝජනයට ගන්න පුළුවන්ලු. මේ අඳුරු පදාර්ථය පාවිච්චි කරන්නේ තම විමානය සතුරු විමාන වලින් සඟවා තබන්නයි. මෙම අඳුරු පදාර්ථය ආකර්ශනය කරගැනීමේ විද්‍යාව ගූඪ නමින් හැඳින්වෙනවා. මේ සඳහා යාස, ව්‍යාස, ප්‍රයාස යන නම් වලින් හඳින්වෙන ක්‍රමවෙද භාවිතා කරලා තියෙනවා. 'වෛමානික ශාස්ත්‍ර' පොතේ මේ විද්‍යාව විස්තර කරලා තියෙන්නේ 'වායුතත්ව ප්‍රකරණ' යන නමින්.
6. දෘශ්‍ය - විමාන වල ඉදිරිපස 'විශ්ව ක්‍රියා දර්පන' නමින් හඳුන්වන කන්ණාඩියක් තිබුණාලු. විද්‍යුත් ශක්තිය සුළං ශක්තිය සමඟ මිශ්‍රකර ආලෝකයක් උත්පාදනය කර ඉහත කී දර්පනය හරහා පරාවර්තනය කිරීමෙන් තම විමානය හා සමාන වෙනත් ව්‍යාජ විමානයක් මවා පෑමේ තාක්ෂණය මේ නමින් හැඳින්වී තියෙනවා.
7. අදෘශ්‍ය - නම කියනකොටම තේරෙනවා ඇති මේ කියන්නේ යානය නොපෙනී යාමට සැලැස්වීමේ තාක්ෂණය ගැන බව. අපි බලමු කොහොමද මෙහෙම කරලා තියෙන්නේ කියලා. පැරණි පොත්පත් වල කියලා තියෙන විදිහට සූර්යයාගේ මධ්‍යයේ සිට පැමිණෙන ශක්ති විශේෂයක් තියෙනවා. මේ ශක්තිය වායුගෝලයේ තියෙන 'බලාහවිකරණ ශක්තිය' නම් සූක්ෂ්ම ශක්තිය සමඟ මිශ්‍ර කළ විට සුදු පැහැති ආලෝකමය ආවරණයක් නිර්මාණය වෙනවලු. මේ ආවරණය පිටුපස තමයි යානය සඟවන්නේ.
8. පරෝක්ෂ - විමාන වල 'ශක්ති ආකර්ශන දර්පන' නම් තවත් දර්පනයක් තියෙනවා. ඒකෙන් කරන්නේ විමානය අවට තිබෙන විවිධ ශක්තීන් ආකර්ශනය කර ගැනීමයි. වලාකුළු නිර්මාණය වීමේදී ඇතිවන ශක්තියත් මේ දර්පනය හරහා උරා ගන්න පුළුවන්. වලාකුළු බිහිවීමේ ක්‍රමය පැරණි පොත් වල හඳුන්වා තිබෙන්නේ 'මෙඝෝත්පත්ති ප්‍රකරණ' නමින්. පැරණි ගුවන් තාක්ෂණයට අනුව වලාකුළු පවතින්නේ වායුගෝලයේ දෙවන මට්ටමේ ( මට්ටම් 8 ක් තියෙනවා කියලා මම කලින් කියලා තියෙනවා ). ඉතින් මේ උරා ගන්නා ශක්තිය භාවිතා කර ප්‍රතිවාදී විමාන වල පාලන පද්ධතිය අඩපණ කිරීමේ ක්‍රමය තමයි පරෝක්ෂ කියලා හඳුන්වන්නේ.
9. අපරෝක්ෂ - 'ශක්ති තන්ත්‍ර' නම් පුරාණ විද්‍යාවට අනුව සූර්යයාලෝකය තුල 'රෝහිණී' නම් ආලෝක කදම්භයක් තියෙනවා. මේ ආලෝක කදම්භය ඉදිරියට ප්‍රක්ෂේපණය කර, විමානය ඉදිරියේ තිබෙන වස්තූන් දර්ශනය කරගැනීමේ තාක්ෂණය මේ නමින් හැඳින්වෙනවා. මම හිතන විදිහට අදෘශ්‍යමාන තත්වයේ තිබෙන විමාන පවා මේ ක්‍රමය හරහා දෘශ්‍යමාන බවට පත්කරගන්න පුළුවන්කම තියෙන්න ඇති.
10. සංකෝච - මේකත් ආරක්ෂිත උපක්‍රමයක්. මේ ක්‍රමය භාවිතා කරලා තියෙන්නේ යානයේ පියපත් ආරක්ෂා කරගැනීමටයි. යානය ඉතා වේගයෙන් ගමන් කරන විටදී ඉදිරියෙන් මොනවාහරි අනතුරුදායක දෙයක් තිබුණහොත් එක්වරම පියාපත් හකුළාගෙන අනතුර මගහැරීමේ ක්‍රමවේදය මෙයයි. භාරද්වාජ සෘෂිවරයා කියන අන්දමට විමානයේ තිබෙන 7 වන යතුර(switch) ක්‍රියාත්මක කර මේ ආරක්ෂිත උපාය ක්‍රියාවට නඟන්න පුළුවන්.
තවත් තාක්ෂණික ක්‍රම 22 ක් තියෙනවා පැහැදිලි කරන්න. ඒ ක්‍රම ගැන ඊලඟ පෝස්ට් එකෙන් කියන්නම්. මේ පෝස්ට් එක ගැන ඔයාලගේ අදහස් දක්වන්න. ඒ අදහස් ගොඩක් වටිනවා.
උපුටා ගැනීම - http://sellipiya.blogspot.com/2009/09/blog-post_66.html
විමානාචාර්ය 2
11. විස්තෘත - මේ කියන්නේ විමානයේ ප්‍රමාණය විශාල කිරීම ගැනයි. මෙය සිදුකිරීම සඳහා යානය, අහසේ පිහිටි පළමු සහ තෙවන වායු මට්ටම් අතර මධ්‍යයේ පිහිටි වාත ධාරාව තුලින් ගමන් කළ යුතුයි. මෙසේ ගමන් කිරීමේ විද්‍යාව 'ආකාශතන්ත්ර' ලෙස හඳින්වෙනවා. කෙසේ හෝ මේ වාත ධාරාව තුලින් ගමන් කිරීමේදි විමානය තුල ඇති 11 වන යතුර ක්‍රියාත්මක කිරීමෙන් යානය ප්‍රමාණයෙන් විශාල කළහැකි බව පැවසෙනවා.
12. විරූප කරණ - 'ධූම ප්‍රකරණය' නම් ක්‍රමයේ සඳහන් පරිදි, විශේෂ දුමක් නිපදවීමේ යාන්ත්‍රනයක් විමානය තුල තිබිලා තියෙනවා. එහිදී නිපදවන ලද දුම වායුගෝලීය තාප තරංග වල ඇති ආලෝකයෙන් ආරෝපණය කර 'පද්මක චක්‍ර'නම් බටයක් තුලින් විශේෂිත දර්පනයක් වෙත යවා තිබෙනවා. මේ දර්පනය හඳුන්වලා තියෙන්නේ 'විරූප්‍ය දර්පන' යන නමින්. දර්පනය සවිකර තිබිලා තියෙන්නේ විමානය මුදුනේ. මේ දර්පනයේ 'බහිරවී තෛලය' නම් තෙලක් ආලේප කර තිබිලා තියෙනවා. ඉතින් අර දුම මේ දර්පනය වෙත යොමු කරමින් දර්පනය වේගයෙන් භ්‍රමණය කළ විට ඉතා බියකරු රූපයක් මැවීමට හකියාව තිබිලා තියෙනවා. මෙසේ බියකරු රූපයක් මැවීමේ ක්‍රමය තමයි 'විරූප කරණ'කියලා හඳුන්වන්නේ.
පැරණි පොත් වල මේ දුම හඳුන්වලා තියෙන්නේ 32 වන වර්ගයේ දුම කියලා. දර්පනය භ්‍රමණය කරන වේගය හඳුන්වලා තියෙන්නේ 132 වන වර්ගයේ වේගය කියලා. හැබැයි මේ දුම සහ වේගය මනින හෝ වර්ග කරන ක්‍රමය නම් මට හොයාගන්න බැරි වුනා.
13. රූපාන්තර - මේකත් 'විරූප කරණ' වගේම ක්‍රමයක්. මේකෙනුත් කරන්නේ විමානයේ වෙස් මාරු කිරීමයි. මෙහිදීත් 19 වන වර්ගයේ ධූමය ලෙස හඳුන්වන දුමක් විශේෂිත තෙල් මිශ්‍රණයක් ආලේපිත දර්පනයකට යොමු කරනු ලබනවා. එවිට විමානයට සිංහ, කොටි, සර්ප වැනි වේශයන් ගතහැකිව තිබූ බව පැවසෙනවා. සමහර අවස්ථා වලදී ගංඟාවක් හෝ කන්දක් ආකාරයටද වෙස් මාරු කිරීමට හැකියාව තිබිලා තියෙනවා. මෙහි දර්පනයේ ආලේප කරන තෙල් මිශ්‍රණය සාදාගෙන තිබෙන්නේ ගෘද්රජීව්හ, කුම්භිනී සහ කාකජංඝ යන තෙල් වර්ග එකට මිශ්‍ර කිරීමෙනුයි.
14. සුරූප - විමානයෙහි ගමන් ගන්නා පුද්ගලයින් සතුටු කිරීම සඳහා ව්මානය තුල සුරූපී කාන්තා රුවක් නිර්මාණය කිරීමේ ක්‍රමවේදය මෙනමින් හැඳින්වෙනවා. මෙහිදී යානය තුල නිපදවන එක් විශේෂිත ශක්ති කදම්භයක්'පුෂ්පිණී පිංජුල දර්පන' නම් දර්පනයක් වෙතට එල්ල කිරීමෙන් තමයි මෙම රුව නිර්මාණය කරන්නේ. මෙම දර්පනය පිහිටා තිබී ඇත්තේ විමානයේ ඉදිරිපස දකුණු පැත්තේයි. මට හිතෙන්නේ මේක වර්තමානයේ පවතින hologram නම් තාක්ෂණයට සමාන ක්‍රමයක් කියලයි.
15. ජ්‍යෝතීර්භාව - අංශුබෝධිනී නම් ක්‍රමයකට අනුව සූර්යයාලෝකය කොටස් 16 කට බෙදා දක්වා තියෙනවා. මෙම කොටස් අතරින් 12 සිට 16 තෙක් ඇති ආලෝක කිරණ නාභිගත කර අහසේ 4 වන වායු මට්ටමේ ඇති 'මයූඛ' නම් ප්‍රදේශයට යොමුකර විශේෂ බලශක්තියක් ගොඩනගනවා. මෙයට සමගාමීව 7වන වායු මට්ටමේ පවතින ආලෝකය ආශ්‍රයෙන්ද තවත් බලශක්තියක් ගොඩනගනවා. අනතුරුව මේ ශක්තීන් දෙකම නාල(tubes) 5 ක් හරහා 'ගුහා ගර්භ දර්පන' නම් දර්පනයක් වෙතට යොමු කරනවා. එවිට උදෑසන අරුණාලෝකය බඳු දීප්තිමත් ආලෝකයක් මැවීමට පුළුවන්කම ලැබුණාලු. මෙවැනි ආලෝකයක් නිපදවීමේ තාක්ෂණය තමයි 'ජ්‍යෝතීර්භාව' නමින් හැඳින්වෙන්නේ.
16. තමෝමය - දිවා කාලය තුලදී අන්ධකාරය මැවීමේ හැකියාව මේ නමින් හැඳින්වෙනවා. මෙය සිදුකර ඇත්තේ විමානයේ වයඹ දෙසින් සවිකර තිබූ'තමෝ යන්ත්‍ර' නම් උපකරණයකින්. අන්ධකාරය මැවීම සඳහා අභ්‍යවකාශයේ පැවති අඳුරු ශක්තිය ප්‍රයෝජනයට ගත් බව සඳහන් වෙනවා.
17. ප්‍රලය - මෙය ඉතාම විනාශකාරී ක්‍රමයක් ලෙස සැලකෙනවා. මෙහිදී මුලින්ම යානයේ ඉදිරිපස තිබෙන බටයකින් එකිනෙකට වෙනස් ධූම වර්ග 5 ක් අවශෝෂණය කරගන්නවා. ඉන්පසු මේ ධූම මිශ්‍රණය තවත් වෙනස් ධූම වලාවක් සමග ඒකාබද්ධ කර විද්‍යුත් ධාරාවක් ආධාරයෙන් ඉදිරියට තල්ලු කිරීම මගින් අවට පිහිටි සියළුම දෑ විනාශ කිරීම සඳහා යොදාගෙන තියෙනවා.
18. විමුඛ - මෙයත් ආරක්ෂක උපක්‍රමයක්. 'රෞද්‍රී' නම් දර්පනයට සම්බන්ධ කර තිබෙන තෙවන නාලය හරහා විෂ සහිත කුඩු වර්ග තුනක මිශ්‍රණයක් ප්‍රතිවාදී විමානාචාර්යවරුන් වෙත යවා ඔවුන්ව මුළුමනින්ම සිහිමූර්ඡා කරවීම මෙහිදී සිදුකරනවා. මේ සඳහා භාවිතා කර තිබෙන්නේ කුබේර, විමුඛ සහ විශ්වානර යන විෂ කුඩු වර්ග තුනයි.
19. තාර - මෙය දෘෂ්ඨි මායාවක් මැවීමේ ක්‍රමයක්. තාරකා පිරුණු රාත්‍රී අහසක් මවා පෑම මෙසේ හැඳින්වෙනවා. මේ සඳහා ශක්ති විශේෂයන් ගොඩක් භාවිතා කරලා තියෙනවා. ඒ කියන්නේ සූර්ය ශක්තිය, ජලයේ අඩංගු ශක්තිය, වාතයේ අඩංගු ශක්තිය මෙන්ම අභ්‍යවකාශයේ තියෙන අන්තරීක්ෂ කිරණ වල ශක්තිය පවා යොදාගෙන තියෙනවා. අන්තිමේදී මේ සියලුම ශක්තීන් විමානය ඉදිරිපස පිහිටාතිබූ නලයකින් දර්පනයක් වෙත යවා පරාවර්තනය කිරීමෙන් තමයි මේ මායාව පෙනෙන්නට සලස්වලා තියෙන්නේ.
20. මහාශබ්ද විමෝහන - වාතය තුල අඩංගු ශක්තිය විමානය තුල පිහිටි නාල7 ක් තුලින් යවා අධික ශබ්දයක් ඇතිවීමට සැලැස්වීම මේ නමින් හැඳින්වෙනවා. මෙම ශබ්දය මගින් මිනිසුන්ව තාවකාලිකව සිහිමද තත්වයට පත්කිරීමට පුළුවන්කම තිබුණාලු.
21. ලංඝන - වායු තත්ව ප්‍රකරණයේ සඳහන් පරිදි විමානයක් එක් වායු මට්ටමක සිට තවත් වායු මට්ටමක් වෙත ගමන් කිරීමේදි සූර්යයාලෝකයේ එක් කිරණයක් සමග ගැටීම නිසා ගිනි ගැනීමේ අවදානමකට ලක් වී තිබුණාලු. වායු ශක්තිය හා විද්‍යුත් ශක්තිය එකිනෙක හා සම්බන්ධ කර විමානයේ මධ්‍යය වෙත යොමු කර ඉහත කී අවදානමෙන් මිදීමේ ක්‍රමය ලංඝන නමින් හැඳින්වෙනවා.
22. ශාර්ප ගමන - විමානය සර්පයෙකු ලෙස සිග්-සැග් ආකාරයේ පථයක ගමන් කරවීම මේ නමින් හැඳින්වෙනවා. මේ සඳහා අවශ්‍ය ශක්තිය උපදවාගෙන තියෙන්නේ වායු ශක්තිය, හිරු කිරණ සමග සම්බන්ධ කිරීමෙනුයි. මීට අමතරව 'දණ්ඩවක්ත්ර' නම් විශේෂිත ශක්තියක්ද භාවිතා කර තියෙනවා.
අපි මේ වන විට විමානාචාර්යවරයෙක් ඉගෙනගත යුතු ශිල්පක්‍රම 32 න් 22 ක් පිළිබඳව සාකච්ඡා කරලා ඉවරයි. ඉතුරු ක්‍රම 10 ගැන ඊළඟ ලිපියෙන් සාකච්ඡා කරමු. මේ ශිල්පක්‍රම 32 පිළිබඳව සාකච්ඡා කළාට පස්සේ එක් එක් වර්ගයේ විමාන ගැන හා ඒවායේ විශේෂ ලක්ෂණ ගැන සාකච්ඡා කරන්න පටන් ගනිමු.උපුටා ගැනීම - http://sellipiya.blogspot.com/2009/09/blog-post_16.html
Subscribe to:
Posts (Atom)