24 April 2012

රාවණා රාජ සංකල්පය බැහැර කළ නොහැකි යථාර්ථයකි




රාවණා රාජ සංකල්පය  බැහැර කළ නොහැකි යථාර්ථයකිආසන්න කාලයක ශ්‍රී ලංකාවේ සිටි රාවණා හා සමාන පාලකයෙක්‌ පිළිබඳව හෝ එකී වංශ කතාවේ සඳහන්ව නොමැත්තේය.
එසේ කිසිදු දේශීය මූලාශ්‍රයක සඳහන් නොවන රාවණා රාජ සංකල්පය හා සම්බන්ධ ජනප්‍රවාද ශ්‍රී ලංකාවේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑරම ව්‍යාප්තව පවතී. මේ ආකාරයට වංශකතාවල සඳහන් විජය කතා පුවත හා සම්බන්ධ ජනප්‍රවාද ශ්‍රී ලාංකේය සමාජය තුළ ජනප්‍රවාදගතව විකාශනය නොවීමටත්, වංශකතාවල සඳහන් නොවන රාවණා පිළිබඳ කතා පුවත පිළිබඳ ජනප්‍රවාද ශ්‍රී ලංකාවේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර පැවතීමටත් හේතු මොනවාද?
විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වෙසෙන උගතුන් සිංහයකුගෙන්, පාදඩයකුගෙන් සිංහල ජාතිය පැවත එනවා යෑයි විශ්වාස කළත් ශ්‍රී ලංකාවේ රාවණා නම් පාලකයකු සිටි බව ප්‍රකාශ කිරීමටත් මැලි බවක්‌ දක්‌වති. එයට හේතුව ශ්‍රී ලාංකේය ඉතිහාසකරණය තුළ රාවණා පිළිබඳ සඳහන් නොවීමම ද යන්න ගැටලු සහගතය. කෙසේ වෙතත් මෙම කතා පුවත් දෙක පිළිබඳව අප තවදුරටත් යථාර්ථවාදීව කල්පනා කර බැලිය යුතු බවට පොළඹවන ආකාරයේ නිගමනයක්‌ හා තොරතුරු කිහිපයක්‌ අවසාන වශයෙන් ඔබට ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.
රාවණා කතා පුවත හුදු ජනප්‍රවාදයක්‌ම බවට බොහෝ උගතුන්ගේ තර්කයයි. අප ද එයට එකඟ වන්නෙමු. එහෙත් එකී කාරණය මත අපට එය සහමුලින්ම බැහැර කරලිය හැකිද? උගතුන්ගේ තර්කයට අප තුළ ඇත්තේ ඉතාමත් සරල පිළිතුරකි. විජය කතා පුවත අප පිළිගන්නේ පුරාවිද්‍යාත්මක හෝ වෙනත් තහවුරු කරගත හැකි මූලාශ්‍ර පදනම් කරගෙනද? නැත. එසේ නම් අප එය පිළිගන්නේ ලිත මූලාශ්‍රයක සඳහන් වීම නිසාය. අප කියනුයේ රාවණා කතා පුවතද හුදෙක්‌ ජනප්‍රවාදයක්‌ නොව ලිත මූලාශ්‍රයක සඳහන් වන කතා පුවතක්‌ බවයි. එය සඳහන් වන්නේ භාරතයේ සිටි චාල්මිකී විසින් රචනා කරන ලද රාමායණය නම් ඓතිහාසික ග්‍රන්ථයේය. එහෙත් මෙම කතා පුවත් දෙකේ වෙනසක්‌ පවතී. එනම් විජය කතා පුවත ශ්‍රී ලංකාවේ සමාජගත ව නොපැවතීමත්, රාවණා කතා පුවත ශ්‍රී ලංකාවේ සමාජගතව පැවතීමත්ය. අපගේ විශ්වාසය නම් එසේ වන්නට ඇත්තේ, වංශකතාකරුවන් ශ්‍රී ලාංකේය ඉතිහාසය තුළට විජය කතා පුවත බලෙන් ආරෝපණය කර ඇති නිසා, එම කතා පුවත හා සම්බන්ධ ජනප්‍රවාද සමාජය තුළ ගොඩනොනැගුණ බවය. (මෙහිදී බුද්ධිමත් පාඨක සහෘද ඔබ අප දීපවංශය හෝ මහා වංශය රාමායනයට සමාන කිරීමකට ගියා යෑයි වැරදි ආකල්පයකට නොඑළඹෙන බවට හුදෙක්‌ම විශ්වාස කරමු.)
මේ අනුව වංශකතාකරුවන් මෙම කතා පුවත් දෙකට දක්‌වා ඇති අඩු වැඩි සැලකිල්ල අනුව අපට පෙනෙන්නේ සැබවින්ම වංශකතාකරුවා ශ්‍රී ලංකාවේ ඉතිහාස කතාව රචනා කරන විට රාවණා කතා පුවත හිතාමතාම ඉවත් කොට ඇති බවකි. විශේෂයෙන් විජය කතා පුවත ඉදිරිපත් කිරීමේදී භාරත සංස්‌කෘතිය හා ශ්‍රී ලාංකේය සංස්‌කෘතිය අතර ගැටීමක්‌ ඇති නොවන ආකාරයටත්, ශ්‍රී ලාංකීය සංස්‌කෘතිය ඉන්දියානු සංස්‌කෘතිය තුළින් පෝෂණය වූ බව පෙන්වීමටත් වංශකතාකරුවා ගත් උත්සාහය නිසා එසේ වන්නට ඇති බව අපගේ විශ්වාසයයි. වංශකතාකරුවන් මෙලෙස යම් යම් ඓතිහාසික තොරතුරු ඔවුන්ගේ අවශ්‍යතා පරිදි වෙනස්‌ කර ඉදිරිපත් කළ අවස්‌ථා වංශකතා පුරා සුලබව සොයාගත හැකි නිසා එය අපට තදින්ම විශ්වාස කළ හැකිය.
එසේ නොමැතිව වංශ කතාකරු අතින් මෙම කරුණු මඟහැරී යන්නට ඇති බවට ද අයකුට තර්ක කළ හැකිය. විජය කතා පුවත ඇතුළු තවත් විශාල ප්‍රමාණයක්‌ වූ ජනප්‍රවාද ගොන්නක්‌ සහිතව දීපවංශය හා මහාවංශය රචනා කරද්දී, රාවණා කතා පුවත පමණක්‌ මඟහැරුණා නම් එය ද ගැටලු සහගත තත්ත්වයකි. ඒ පිළිබඳව ද තවදුරටත් කරුණු අධ්‍යයනය කළ යුතුය. එය පර්යේෂකයන්ට භාර කටයුත්තකි.
කෙසේ හෝ වේවා මෙම අතපසුවීම තුළ ශ්‍රී ලාංකේය තථ්‍ය ඉතිහාස කතන්දරයේ යම් කොටසක්‌ මඟහැරී ඇති බව නම් අප කාටත් පැහැදිලි වන කරුණකි. ඒ අනුව අවසාන වශයෙන් අපගේ නිගමනය වනුයේ ශ්‍රී ලංකාවේ වංශකතාවලින් පමණක්‌ ඉතිහාසය ගොඩනගන්නට බැරි බවය. එසේ උත්සාහ කරතොත් එය මහත් අඥන ක්‍රියාවකි. නිවැරැදි ඉතිහාසය ගොඩනගන්නට නම් ජනප්‍රවාද ද අනිවාර්යයෙන්ම උපයෝගි කොට ගත යුතුමය. මන්ද වාචික ඉතිහාසය (Oral History) යනු ප්‍රබල ඓතිහාසික මූලාශ්‍ර සපයන කොටසක්‌ වීම නිසාය. සාමාන්‍යයෙන් ජනප්‍රවාදයක්‌ ගොඩනැගෙන්නේ එක්‌ සත්‍ය සිදුවීමක්‌ පසුබිමක්‌ කරගෙනය. ජනප්‍රවාද අධ්‍යයනය කරන විට පැහැදිලිව අවබෝධ වන්නේ කොතැනක හෝ ඒ ජනප්‍රවාදයට සම්බන්ධ සිදුවීමක්‌ සිදුවී ඇති බවත්ය. වෙනත් ලෙසකින් කියතොත් ගින්නක්‌ නැතුව දුමක්‌ නැති නොවන්නා සේය.
සියලු කරුණු සම්පිණ්‌ඩනය කර අවසාන වශයෙන් අප කිසිදු අවස්‌ථාවක රාවණා කතා පුවත ඒ ආකාරයෙන්ම සිදුව ඇති බවට හෝ එය ඒ ආකාරයෙන් පිළිගන්නා ලෙස හෝ ප්‍රකාශ නොකරමු. එසේම එය සිදු නොවූවා යෑයි සිතා බැහැර කරන ලෙස ද ප්‍රකාශ නොකරමු. එහෙත් රාවණා කතා පුවත ශ්‍රී ලාංකේය ජන විඥනය තුළින් කිසි දින ඉවත් කළ නොහැකි යථාර්ථයක්‌ බව නම් ප්‍රකාශ කරමු. ශ්‍රී ලාංකේය උගතුන්, විද්වතුන් කවදා හෝ තථ්‍ය ඉතිහාසය මතුකර ගන්නා තාක්‌ රාවණා කතා පුවත ජන විඥනය තුළ පවතින බවත් ඒ දිනය උදාවනතෙක්‌ උපේක්‍ෂා සහගතව බලා සිටින ලෙස පමණක්‌ අවසාන වශයෙන් අවධාරණය කරමු.
- කේ. එම්. චාමින්ද බණ්‌ඩාර / රුහුණ විශ්වවිද්‍යාලය

උපුටාගැනිම : ලංකා සී නිව්ස්