12 May 2012

විජයාවතරණයට පෙර ඉතිහාසය හෙළිකරන අනුරපුර


                                     
මම අනුරාධපුර ශුද්ධ භූමියේ අඩි 30 ක්‌ මහ පොළොව යටට  බැස්‌සසෙමි. මහ පොළොව මට විශ්මයජනක පුවත් කියා දෙයි. මම  දුහුවිලි පොළොවට

සවන් දුනිමි. මහාවංශයට වඩා මහ පොළොව වෙනස්‌  තතු රැගෙන එයි. තම්බපන්නියේදී විජය රජුට හමු වූ උපුල්වන්  දෙවියන් "මෙහි මිනිසුන් නැත"

යෑයි කියූ බවට මහාවංශය සාක්‍ෂි  දරයි. එහෙත් අප තම්බපන්නිය යෑයි හඳුනා ගන්නා වයඹ වැල්ලේ  කුදිරමලේ තුඩුවේ ම සිදු කළ පුරාවිද්‍යා

කැණීම්වලින් විජය එන්න පෙර මෙහි මිනිස්‌ ජනාවාස තිබූ බවට සාධක හමු වී ඇත.





අනුරාධපුර මහ පොළොව මට කියා දෙන්නේ ඊටත් වඩා අරුමැසි කථා
පුවතකි. විජය රජු ලංකාවට එන්නේ ක්‍රිස්‌තු පූර්ව 6 වන ශත
වර්ෂයේ යෑයි ගණන් බලා තිබේ. විජය රජුගෙන් මෙරට ජනාවාස වූවේ
යෑයි අදහන ඉතිහාසයක්‌ ලංකාවේ අධ්‍යාපනය කෙරෙයි. එහෙත්
අනාරාධපුර ඇතුල් නුවර විජයබා මාලිගාවට එපිටින් පැරණි දළදා
මැඳුර අසල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සිදු කළ ප්‍රාග්
පුරාවිද්‍යා කැණීම් තොරතුරු අනුව විජය රජු මෙහි ගොඩ බසින්න වසර
100 කටත් කලින් ලංකාවේ දියුණු "නගරයක්‌" තිබී ඇත. ඒ නගරය හමු
වූ පුරාවිද්‍යා කැණීම් පරිශ්‍රය වෙත මම සංචාරය කෙළෙමි.


විශාල වහලක්‌ ගසා අව් වැසි සුළංවලින් ආවරණය කොට ඇති මේ අති
සුවිශේෂ පරිශ්‍රයට ඇතුල් වීම සඳහා කොළඹ පුරාවිද්‍යා
කාර්යාලයෙන් අවසර ලබා ගත යුතු ය. මා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ
ජෙනරාල් දයානන්ද දිසානායක මහතා හමුවී අවශ්‍ය අවසර කළමනා සකස්‌
කරගෙන තිබූ හෙයින් අනුරාධපුර පුරාවිද්‍යා ආයතනයේ අංශ භාර
නිලධාරි ජයන්ත මහතාම මා අදාළ පරිශ්‍රය වෙත කැඳවා යනු ලැබී ය.


මහ පොළොව යට තිබූ මේ අරුමැසි අතීතයට මා තනිව යා යුතු යෑයි
දොලක්‌ මට සිතී තිබිණි. ජයන්ත මහතා මා මුදා හැරියේ ය. මම ධාතු
ගර්භයට යැමේ දුර්ලභ අවසරය ලද භාතිකාභය රඡ්ජුරුවන් සේ දැඩි මානව
භක්‌තියකින් මේ පරිශ්‍රය වෙත ඇතුළු වීමි.


පර්චස්‌ 40 ක්‌ පමණ භූමි ප්‍රමාණයක්‌ අඩි 30 ක්‌ ගැඹුරට කැණීම්
පවත්වා ඇත. මා සංචාරය කොට නැතත් ඡායාරූප වලින් දැක තිබූ
මොහෙන්දජාරෝ, හරප්පා පුරාවිද්‍යා පරිශ්‍ර මගේ සිහියට නැඟිණි.
ඉතාම ක්‍රමවත්ව හා නිවැරදිම තාක්‍ෂණික ක්‍රමවේද යටතේ කැණීම්
සිදුවන ආදර්ශවත් පුරාවිද්‍යා කලාපයක්‌ මා හමුවේ දිස්‌ වෙයි.
එකින් එක ස්‌ථර මතු කරගෙන ඇත. මම හැම ස්‌ථරයක්‌ ම පසු කරගෙන
අඩි 30 ක්‌ අතීතයට බැස්‌සෙමි. දැන් මම සිටින්නේ ක්‍රිස්‌තු
පූර්ව 7, 8, 9 යන ශතවර්ෂවලය. පිළිස්‌සූ ගඩොල් භාවිත කොට නිවාස
තනන, ලෝහ උණුකොට උපකරණ තනන, ඉතා දියුණු මැටි වළං සාදාගත්, වී
වගා කරන, ගවයන් ඇති කරන, අශ්වයන් පිටේ යන, ආභරණ පළඳින දියුණු
නාගරික මිනිසුන් වෙසෙන ප්‍රාග් ඓතිහාසික අතීතයක සුන්බුන් මා
හමුවේ දිස්‌වෙයි.


මම වහාම මගේ මතකය 2001 වසරෙහි නොවැම්බර් 30 වැනි දින පෙරවරු 10
ත් 12 ත් අතර කාලයට ගෙන ගියෙමි. ස්‌වර්ණවාහිනී නාලිකාවේ ඊ. ඒ.
පී. එදිරිසිංහ මැදිරියේ "මහා සිංහලේ වංස කතාව" සජීවී ව
විසුරුවා හැරේ. එදින සහභාගි වූ සම්පත් දායකයන් වූ මහාචාර්ය
මැන්දිස්‌ රෝහණධීර, අරිසෙන් අහුබුදු සහ ආචාර්ය ශිරාන් දැරණියගල
කථා කරමින් සිටින්නේ අනුරාධපුර ඇතුල්නුවර පුරාවිද්‍යා කැණීම්
පිළිබඳවය. මේ පුරාවිද්‍යා පරිශ්‍රයේ කැණීම් සිදු වූයේ එවකට
ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා කොමසාරිස්‌ ව සිටි ආචාර්ය ශිරාන්
දැරණියගලයන්ගේ පූර්ණ අධීක්‍ෂණය සහිතව ය. එහෙයින් ඇතුල්නුවර
කැණීම් පිළිබඳ කර්තෘත්වය හොබවන ආචාර්ය ශිරාන් දැරණියගලයන්
විසින් ම තම පර්යේෂණ ප්‍රතිඵල හෙළි කළ අයුරු මට මේ කැණීම් වළ
තුළ සිට ඇසෙන්නට වන්නේ ය.


"අනුරාධපුරේ ඇතුල් නුවර, ඒ කියන්නේ ථූපාරාමයට උතුරින් කූට්‌ටම්
පොකුණත්, ථූපාරාමයත් අතර අපි කැණීම් කරලා තියෙනවා පොළොව
මට්‌ටමෙන් අඩි 30 ක්‌ පහළට. ඒ මට්‌ටමේ අපිට සාධක ලැබිලා
තියෙනවා. ක්‍රිස්‌තු පූර්ව 800 - 900 ටත් අතර දියුණු යුගයක
නාගරික ශිෂ්ටාචාරයකට මුල පිරීමේ සාධක අපට ලැබිලා තියෙනවා".


ඔය කියන කාලේ ඉන්දියාවේ හරප්පා සංස්‌කෘතියේ දියුණු ම අවධිය.
කලින් අපි හිතා සිටියේ ඉන්දියාවේ ශිෂ්ටාචාරය දියුණු වෙලා,
දකුණට සංක්‍රමණය වෙලා ඊට බොහෝ කාලයකට පසු අපි ජනාවාස වුණාය
කියා යි. පුරාවිද්‍යාව විසින් මේ සිතා ගැනීම බොරුකොට ඇත. අප
හරප්පාවට සමාන්තරව දියුණු නාගරිකයන් යෑයි කාබන් 14 විශ්ලේෂණය
ලොවට කියා දී ඇත. පුරාවිද්‍යාව විසින් බොහෝ ඓතිහාසික තොරතුරු
භෞතිකව ඔප්පු කරන අතර සමහර ඓතිහාසික මිථ්‍යාවන් නිශ්ප්‍රභ කරනු
ලබයි.


මා ග්‍රීසියේ ඇතෑන්ස්‌ නුවරදී කළ පුරාවිද්‍යා පරිශ්‍ර සංචාරය
මට සිහිවෙයි. සමහර ග්‍රීක මිථ්‍යා කථා පුරාවිද්‍යාඥයන් සත්‍ය
කථා බවට පත් කොට තිබිණි. ඉපැරණි ග්‍රීසියේ වීර කාව්‍ය රචනා කළ
හෝමර් විසින් ඔඩිසි, ඉලියඩ් ආදී කාව්‍යයන් සඳහා භාවිත කළේ
ග්‍රීසියේ සහ ඒ අවට තිබූ ක්‍රීටය, ටි්‍රයෝව සහ ට්‍රොaජ පුරය
ආදී දූපත්වල භාවිත වූ පුරාණ කථා බව අද විචාරකයන් පිළිගෙන තිබේ.
වර්ෂ 1900 දී ප්‍රකට පුරාවිද්‍යාඥ ශ්‍රීමත් ආතර් එවන්ස්‌
විසින් ක්‍රීටයේ කළ පුරාවිද්‍යා කැණීම් වලින් ඊට පෙර මිථ්‍යා
කථාවක්‌ යෑයි සිතා සිටි මිනෝටර් වෘෂභ රාජයාගේ කථාව සත්‍යයක්‌
බවට පත් විය. මේ කැනීම් වලදී මිනෝස්‌ රජුගේ මාලිගාව සහ මිනෝටර්
විසුවාය කියන වංගගිරියද තවත් බොහෝ සාධක ද සොයා ගැනිණි.


මම ක්‍රීටයේ සිට යළිත් අනුරාධපුරයට ආවෙමි. ශ්‍රීමත් ආතර්
එවන්ස්‌ ක්‍රීටයේ මිනෝටර් ප්‍රවෘත්තියට දුන් යථාර්ථ එළියම ද
අපේ රටේ ආචාර්ය ශිරාන් දැරණියගල රාමායන ප්‍රවෘත්තියට දෙන්නේ?
ආචාර්ය දැරණියගලට කාබන් 14 විශ්ලේෂණ ක්‍රමයෙන් ලැබුණු කාල
නිර්ණය ක්‍රිස්‌තු පූර්ව 9, 8 සහ 7 යන ශතවර්ෂයන් ය. භාරත මහා
කවි වාල්මිකී රචනා කළ රාමායනය සත්‍ය මූලයක්‌ සහිත ප්‍රබන්ධයක්‌
යෑයි විශ්වාස කරන සමහර ජනශ්‍රැති විශාරදයන් එහි කාල නිර්ණය
සිදු කරන්නේ ද ඔය කාලයටම ය. හරප්පා සංස්‌කෘතියේ කුළුගැන්වීමේදී
ඉන්දියාවේ උතුරු දකුණු සටන් ඇති වූ බවත් ඒවා සුර අසුර සටන් ලෙස
මහා භාරතාදී කාව්‍යවල අන්තර්ගත වී ඇති බවත් ඔවුහු දක්‌වති. එසේ
නම් ලංකාවේ රාවණාත් ඉන්දියාවේ රාමාත් අතර සිදුවන සුර අසුර සටන
ද ආර්ය අනාර්ය සටනක්‌ විය හැකි යෑයි ඔවුන් පිළිගනී.


ඉන්දීය ආර්ය ජනවාස මොහෙන්දජාරෝ හරප්පාදියෙන් වර්තමානයේ
හමුවෙත්දී ඊට සමාන්තරව ලංකාවේ අනුරාධපුරයෙන් දියුණු නාගරික
ජනාවාසයක ලකුණු පහළ වෙයි. මේ කැණීම් තවදුරටත් කරගෙන ගියහොත්
ශ්‍රීමත් ආතර් එවන්ස්‌ට මිනෝටර් හමු වූවා සේ ආචාර්ය ශිරාන්
දැරණියගලට රාවණා හමු වන්නට ද බැරි නැත.


දැන් මම යළිත් කලා ඔය නිම්නයට සංචාරය කළ යුතු ය. කලා ඔයට පන්
ඇළ එකතු වූ සශ්‍රීක කලාපයේදී මා වල්ලි විහාරයේ කාක භාෂාව
දැනගත්තා මතක තිබේ. එතැනින් කුරුවිට බටදොඹ ලෙනත්, රංචා මඩමේ
සුසානයත්, පොම්පරිප්පු, ඉබ්බන්කටුව ආදී ප්‍රාග් පුරාවිද්‍යා
කැණීමුත් දැක බලාගත් මම අනුරාධපුරයට පැමිණ සිටියෙමි. දැන් මගේ
මූලික අභිමතාර්ථ සාධනය වී තිබේ. මේ සියලු දැනුම් එකතු කොට ගෙන
මහා සංචාරයේ නිත්‍ය ගමන් මග වැටී ඇති කදම්බ නදී හෙවත් මල්වතු
ඔය හෙවත් අරුවියාරු වෙත මා හැකි ඉක්‌මනින් සංචාරය කළ යුතු ය.


අනුරාධපුරයෙන් නොච්චියාගම පාරේ පුත්තලමටත් පුත්තලමේ සිට
එලුවන්කුළම හරහා යළි විල්පත්තුවට ඇතුළු වූ මම කලා ඔය නිම්නයේ
දියපැන්නුමට පැමිණියෙමි. ඒ වනවිට රෑ බෝ වී තිබූ නිසා නාවුක
හමුදාවේ වයඹ ආඥපති රියාද් අද්මිරාල් රුවන් ඩයස්‌ මහතාගේ
අනුමැතියෙන් දියපැන්නුම කඳවුරු භාර ලුතිනන් කමාන්ඩර් ජයන්ත
පෙරේරා මහතා මට අද රාත්‍රිය එහි ගත කරන්නට ආරාධනා කළේ ය. කලා
ඔය වනාහී මුල සිට අගටම කුඹුක්‌ ගස්‌ හෙවනකි. එහි අන්ධකාරය
ගුප්ත ය. ඒ තරමට ම කලාත්මක ය. මේ ගුප්ත කළුවර නිසා "කළු ඔය"
කලා ඔය වූවා ද එසේ නැතිනම් එහි ඇති කලාත්මක බව නිසා කලා ඔය
වූවාදැයි සිතමින් මම එහි ගිලී, ගත සරතැස නිවා සිත් සේ නා
ගතිමි. රාත්‍රී ආහාරයට කඳවුරු වේලක්‌ ගෙන නිබඳව ඇද හැලෙන මේ ජල
සළිතයට කන්දෙමින් මිහිරි නින්දකට වැටුණු මා අලුයමින් ම අවදි
වූවේ කවුලුව අසල කුඹුක්‌ ගසක ලැග සිටි මොණරෙකුගේ කෑ ගැසීමක්‌
නිසා ය.


මම යළිත් පුත්තලමේ සිට මන්නාරම් යන පැරණි පාරේ අලුත්වැඩියාවන්
හරහා ගමන් කරමින් සිටිමි. මේ අලුත්වැඩියාවන් දකින මට
ශිෂ්ටාචාරය පිළිබඳ ඇතිවන්නේ උභතෝකෝටිකයකි. රජරට වල් බිහිවන්නට
පෙර අතීත ජාත්‍යන්තර වෙළෙඳ යුගයේ මේ ප්‍රදේශ ජනාකීර්ණ නාගරික
පරිසරයක තිබෙන්නට ඇත. ඇනියෝස්‌ ප්ලැකැමුෂ් නම් රෝමානුවාත්,
කොස්‌මෝස්‌ නම් ග්‍රීක නාවුකයාත් පුදුමයට පත් වූයේ තැප්‍රබේන්
සහ මහ නාගරික පරිසරය දැක මිස අද අප දකින විල්පත්තු වනාන්තරය
දැක නොවේ ය. ඒ අපේ අතීත ශිෂ්ටාචාරයේ උපරිම අවස්‌ථාවන් ය.
ඉන්පසු විජයනගර් පහරදීම් නිසා රජරට වල් බිහි විය. ඒ හේතුවෙන්
අප නිරිත දිගට සංක්‍රමණය වූයේ ශිෂ්ටාචාරයේ මහත් පරාජයක්‌ අත්
විඳිමිනි. අතීතයේ ජාත්‍යන්තර නගරය අතහැර දැමීමෙන් වල් බිහි වූ
මේ ප්‍රදේශ විල්පත්තු නම් මහා වනාන්තරයක්‌ බවට පත් විය. අද අපට
මේ වනාන්තරය වටී. ශිෂ්ටාචාරය යනු කුමක්‌ද? වනාන්තරය නගරයක්‌
වීමද? නගරය වනාන්තරයක්‌ වීම ද?


පාරේ අලුත්වැඩියාව හේතු කොට ගෙන වනාන්තරය දෙපසින් හෙළි පෙහෙළි
වෙයි. මාර්ග සංවර්ධනයේ බුල්ඩෝසර් හඬට සතුන් සීපාවුන් බිය වැදී
වනය තුළට ම රිංගා යනු ඇත. දකුණේ මිනිසුන්ට උතුරට යන්නට ඇති
කිට්‌ටු ම පාර වන්නේ මේ අතීත මාවත යළි ප්‍රතිසංස්‌කරණය කර
ගැනීමයි. එවිට අනුරාධපුරේ සිට මැදවච්චිය, වව්නියා හරහා A 9
මාවතේ යනවාට වඩා ඉක්‌මනින් පුත්තලමේ සිට මන්නාරම, හරහා A 32
මාවතේ පුනරීන් ගොස්‌ සංගුපිඩි ජැටියෙන් යාපනයට ඇතුල් විය හැක.


මම යළිත් මුල්ලිකුලම් කඳවුර පසු කර කොණ්‌ඩාච්චි හන්දිය හරහා
යමින් සිටිමි. කොණ්‌ඩාච්චි මුදලාලිගේ කිඹුලා බනිස්‌ මගේ මතකයට
එයි. මීට මාසයකට කලින් මම මේ හන්දියට ආවාට වඩා වෙනස්‌ මානව
පිහිටීමක්‌ අද මට පෙනෙන්නට මෙහි සිදු වී තිබේ.


මුරුක්‌කන් කඳවුරේ සිටි සිලාවතුර වැසියන් දැන් මුළුමනින්ම තම
තමන්ගේ ගම් බිම්වල පදිංචි කරවා ඇත. මා මුලින් එන විට කට්‌ටෙට
වේලී තිබූ කොණ්‌ඩාච්චි වැව කැටපිලර් දෙකක ආධාරයෙන් හාරනු පෙනේ.
කැටපිලරයේ තලයට හෑරෙන අලුත් පසේ ඉන්නා පනුවන් කොටන්නට කොකුන්
පිරිවැරී ඇති අයුර සුන්දර ය. සිලාවතුර ගැමියෝ කළුතර සිට පැමිණ
සිටි කැටපිලරයේ සිංහල රියදුරන්ට දෙමළ ආහාරපාන තනා දෙමින් ගමේ
වැව හාරනවාට සම්මාදම් වෙති. අලුතින් ඇදෙන විදුලි රැහැන් මත
සිටි තරුණයකු මා දැක මට "ආයුබෝං" කීවේ ය. ඔහු ජා ඇල තරුණයකු
යෑයි විදුලි කණුව පා මුල සිටි සිලාවතුර ගැමියකු මට කියා දුන්නේ
ය.


මම සිලාවතුර නාවුක හමුදා කඳවුරේදී උදේ ආහාර වේල ගත්තෙමි. මගේ
මහා සංචාරය ආරම්භ කළ දිනයේදී මහවිලච්චි ගේට්‌ටුව වෙත පැමිණ
විල්පත්තුවට මා පිළිගත් මුල්ලිකුලම් හා සිලාවතුර ඒකාබද්ධ අණ
දෙන නිලධාරී කපිතාන් ජයතිලක මට යළි හමු වී ඇත. මෙතැන් සිට මා
අරිප්පුව දක්‌වා ගමන් කළ යුතුයි. කපිතන් ජයතිලක ඒ සඳහා මට
නිලධාරීන් දෙදෙනකු පංගරාතු කළේය. එක්‌ අයෙකු මේ ප්‍රදේශයේ මහජන
සම්බන්ධතා නිලධාරීවරයා වන කමාන්ඩර් විඡේකෝන් ය. දෙවැන්නා මගේ
නිල භාරකාරත්වය දරන කමාන්ඩර් ප්‍රියන්ත සෙනෙවිරත්න ය. මා ඔවුන්
සමග අරිප්පු යන්නට පිටත් වූවේ අතරමගදී "ඩොරික්‌ බංගලාව"
නරඹන්නට ඇති බවද දැනගෙන ය.


සිලාවතුර සිට අරිප්පු යන පාර වැටී ඇත්තේ මූදු වෙරළ අයින දිගේ
ය. කුඩා මිටි පඳුරු තැන තැන පෙනුන ද මුළු ප්‍රදේශය ම කාෂ්ඨ
හිරිගල් පොළෝ තලයකි. අපි ඈත සිට ම ඩොරික්‌ බංගලාව දැක ගත්තෙමු.
මේ පාරේ යන ඕනෑම අයෙකුගේ අවධානය වහාම මේ විශාල ගඩොල්
පුරාවස්‌තුව වෙත යොමු වේ. නිවසක්‌, මඩුවක්‌ තබා අතු
කොටුවක්‌වත් පෙනෙන තෙක්‌ මානයක නැති පාළු හේඩාවක මේ සා විශාල
ගොඩනැගිල්ලක්‌ කෙසේ නම් ඉදි වී තිබෙන්නට ඇත් ද?


අපි ඩොරික්‌ බංගලාව වෙත ගියෙමු. 1798 වර්ෂයේදී ලංකාවට පැමිණි
ලංකාවේ පළමු වැනි ඉංග්‍රීසි ආණ්‌ඩුකාරවරයා වූ ෆෙඩි්‍රක්‌
නෝර්ත්ගේ සිලාවතුර බංගලාව ලෙස මෙය ඉංග්‍රීසි ඉතිහාසයේ මහ
ඉහළින් ලියෑවී ඇත. මහල් දෙකකින් යුතු බංගලාවේ එක බිත්තියක පළල
අඩි 5 ක්‌ පමණ වෙයි. මුළුමනින්ම ගඩොල් සහ දැව යොදා කරන ලද
ඉදිකිරීමකි. වයඹ වෙරළේ අනාදිමත් කාලයක්‌ පුරා ජනකාන්තව පැවති
මුතු පර කිමිදීම ඉංග්‍රීසි ආණ්‌ඩුව අතට ගත් තැන සිට එහි බඩ පලා
බිජු ගත් ක්‍රියාවලිය ගැන අපි පූක්‌කුලම් මුතු ගම්මානයේදී කථා
කළෙමු. අපේ මුතු සම්පත මුළුමනින්ම සූරා ගත් ඔවුහු ඉන් අති
විශාල ආදායම් ලැබූහ. ඔවුන් මේ ප්‍රදේශවල පැවැත් වූ කෙටි කාලීන
මුතු කර්මාන්තය අධීක්‍ෂණය කිරීම සඳහා ඩොරික්‌ බංගලාව භාවිත
කරන්නට ඇත. එය මුහුදට මූණ දී ඉදි කොට තිබී ඇත. එහෙත් දැන් එහි
වෙරළාසන්න කොටස්‌ මූදු ඛාදනයට ලක්‌ වී පෙරළී ගොස්‌ ඇති අයුරු
ෙ€දජනකය.


ෆෙඩි්‍රක්‌ නෝර්ත් ආණ්‌ඩුකාරයා එය අලුතින් ඉදි කරන ලද්දක්‌
නොවන බවත් ඊට පෙර සිට පැවත ආ මේ ගොඩනැගිල්ල ඉංග්‍රීසින් විසින්
නෝර්ත්ගේ පරිභෝජනයට පත් කර ගත් බවත් මේ ගැන ඇති තවත්
විශ්වාසයකි. පෘතුගීසි කාලයේ සිට මෙය මෙහි තිබුණේ යෑයි ඇති
විශ්වාසයක අපේ රටේ ඉතිහාසයේ තවත් එක්‌ ෙ€දවාචකයක්‌ සටහන් වී
ඇත.


කන්ද උඩරට රජ පරම්පරාවේ අවසානයා වූ කරලියෑද්දේ බණ්‌ඩාර
උණසන්නිපාතය හැදී මිය යන්නට පෙර තම එක ම ලේ උරුමය වූ කුසුමාසන
දේවිය පෘතුගීසීන්ට භාර කළේ ය. පෘතුගීසීහු ඇය දොaන කත්‍රිනා
නමින් බව්තීස්‌ම කොට ඇතිදැඩි කළහ. මේ කුඩා කුමරිය කල්පිටිය
බලකොටුවේ කැතරින් ද ආබෲ වෙත භාර දෙන්නට ප්‍රථම සිලාවතුර
බංගලාවේ ළමා කාලය ගත කළේ යෑයි සමහර ඉතිහාස කථාවක සඳහන් වෙයි. ඒ
කථාව සත්‍යයක්‌ නම් ලංකාවේ අවසාන රාජිණියගේ ෙ€දවාචකයේ උපභෝග
පරිභෝග වස්‌තුවක්‌ ලෙස ද ඩොරික්‌ බංගලාව නම් වන්නේ ය.


මා සමග එහි සිටි කමාන්ඩර් විඡේකෝන් මට තව කථාවක්‌ කියා දුන්නේ
ය. ඔහු මේ ප්‍රදේශයේ මහජන සම්බන්ධතා නිලධාරීවරයා වූ හෙයින්
සිලාවතුර ගැමියන් ඩොරික්‌ බංගලාව පිළිබඳ දරන විශ්වාසය ද ඔහු
හඳුනයි. ඔවුන් විශ්වාස කරන්නේ මේ බංගලාව "අලිරාණි" නම් මලබාර්
රාජිණියකගේ මාලිගාව කියා ය. මට මේ "අලිරාණි" ගැන මතකයක්‌ ඇත.
කුදිරමලේ තුඩුව පිළිබඳ ඇති දමිළ ජනශ්‍රැතියක "අලියසරාණි" නම්
චරිතයක්‌ හමු වේ. ඇය ඉඳහිට කුදිරමලේ සිට බත්තලංගුණ්‌ඩුවට
යාත්‍රා කොට තම පෙම්වතා මුණගැසෙන්නේ ලු. මේ අලියස රාණිත්,
අලිරාණිත් එක්‌ අයෙකු විය හැක. එපමණක්‌ නොව කුසුමාසන දේවි
පෘතුගීසීන්ට දොaන කත්‍රිනා වූ ලෙසින් මේ පළාතේ දමිළ
ජනශ්‍රැතියට ඇය අලිරාණි හෝ අලියසරාණි ලෙස ප්‍රවාදගත වන්නට ද
බැරි නැත. ජනශ්‍රැතිය ජාතිවාදී නැත. එය සකලවිධ ජාතිකත්වයන් ම
අභිබවා මානවවාදය ම ඡ්වලිත කර සිටී. මම මේ ස්‌මෘති රාජිණියන්
ගොන්නට කුවන්නා හෙවත් කුවේනියව ද එකතු කරමි. මේ කුවන්නාගේ
කලාපය යි. ඇයට විජය නිරිඳුන් සම්මුඛ වූ නුග සෙවන මේ ළඟපාතක ම
තිබිය යුතු ය. මම කුවේණියගේ නාඹර පුසුඹ ඉව අල්ලමින් නුග සෙවන
සොයා සංචාරය කළෙමි.

උපුටාගැනිම : GREAT KING RAWANA