30 July 2011

සීගිරිය ගැන නව සොයා ගැනීමක්

  

සීගිරියෙ සැඟවිලා තියෙන අපේ මිනිස්සු නොදන්න බ්‍රිතාන්‍ය දන්න වටිනා විස්තර තවදුරටත් අපෙන් සැඟවීම එක අරමුණක් කියලත් කියන්න පුළුවන්. ගොඩක් අය කියන්නෙ ගල මුදුනෙ කාශ්‍යප මාලිගය තිබ්බ කියලනෙ. හොදට හිතල බලන්න සිංහකට ගාවින් අපි සීගිරිය උඩට නඟින හැටි. තේරුමක් නැති ගඩොල් බැම්ම ගැන හිතුණෙ නැද්ද? මාලිගාව තිබුණ කියන්නෙ ගල ඇතුලෙ. H. C. P. බෙල් තමා බදාම දාලා ඇතුලට යන තැන වහලා ඔය ගඩොල් ආවරණය හැදුව කියන්නෙ.

 

ලොකුම විනාශය කලේ සහ කරන්නෙ අපේ පුරාවිද්‍යාඥයින් ....... ඇත්ත හංගලා

මේ ලංකාදීප පත්‍රයෙන් පළවුණ ලිපියක්.2011.07.22
http://www.elakiri.com/forum/showthread.php?t=659167&page=6  

ගිරි චිත‍්‍රවලින් නිරූපණය වන්නේ උන්මාද චිත‍්‍රා?

උන්මාද චිත‍්‍රා සඟවා තැබූ එක්ටැම් ගෙය බවට සීගිරිය පිළිගත නොහැක්කේ සීගිරියේ මහජනයා ගැවසෙන තැනක් බවත් එය නැඟ යෑමට ගල් පඩි තිබෙන නිසාත් යැයි අදහසක් මහාචාර්ය ගුනසිංහ දක්වා ඇත.
ඊට කෙටි පිළිතුරක් වශයෙන් මා මතක් කරන්නේ උන්මාද චිත‍්‍රා සඟවා තැබූ යුගයේ සීගිරියට නැගීමට ගල් පඩි පෙළවල් තිබුණේ නැත.
 එදා කර්කට යන්ත‍්‍රයෙන් සීගිරියට නැගූ බවත් කර්කට යන්ත‍්‍රයේ ම සිට සීගිරි සිතුවම් ඇන්ද බවත් පැහැදිලි විය යුතුය. මහා වංශයේ ඒ සඳහන් වන්නේ ‘කත්කට යන්ත‍්‍රම්’ යනුවෙනි.
මෙතෙක් අපේ වංශ කථාවේ ඉතා සුළුවෙන් සඳහන් වන නමුත් කලා ලොවේ අග‍්‍ර නිකේතනයක් සේ සැලකෙන සීගිරියත් එමෙන්ම අපේ ඉතිහාසයේ මහ ඉහළින් සඳහන් වන නමුත් ඉතිහාස විචාරකයින්ට වැදගැම්මකට නැති ලංකා ඉතිහාසයේ මහත් පෙරළියක් ඇති කළ උන්මාද චිත‍්‍රා දීඝ ගාමිණි ඓතිහාසික පෙ‍්‍ර්ම වෘත්තාන්ත සීගිරි සිතුවමින් පිළිබිඹු වන්නේ යැයි ප‍්‍රථම වරට ‘සිළුමිණ’ පුවත්පතින් පෙන්වා දීමට ලැබීම මහත් සතුටට හේතු වෙයි.
සීගිරිය උන්මාද චිත‍්‍රා කුමරිය තැබූ එක්ටැම් ගෙයයි. මාලිගාවයි. සීගිරි චිත‍්‍ර අතරට උන්මාද චිත‍්‍රා කුමරිය ද සිටින අතර පහත කෙමියක දීඝ ගාමිණි කුමරු වෙස්වලාගෙන මල් දමක් ගෙන සිටින්නේය. හරියට මෙය පබාවති දැක ගැනීමට වෙස් වලාගෙන සැඟ වී සිටි කුස කුමරුගේ චරිතය මවා පාන්නකි.
පණ්ඩුකාභය තමාට විරුද්ධව සිටි මාමාවරුන් ඝාතනය කොට වසර 70 ක් සිය රජදහන කර ගත්තේ සීගිරියයි. සීගිරියේ පණ්ඩුකාභයට පෙර පඬුවස් දෙවුගේ රජ දහනයි. ඊටත් පෙර යක්ෂ බල කොටුවකි. මෙහි ඇති බොහෝ කර්මාන්ත පණ්ඩුකාභය රජ විසින් කරවන ලදි. මෙහි ඇති චිත‍්‍ර උන්මාද චිත‍්‍ර නමින් නම් කළ හැකිය.
පැරණි සිංහල බිතුසිතුවම් පොතේ නව වැනි පුවරුවේ නව වැනි රන්වන් රූපයෙන් පෙනී සිටින්නේ උන්මාද චිත‍්‍රා කුමරියයි. මෙහි යුගල රූපයකි. ඇය මාල හතක් පැලද ඇත. මේ යුගල රූපය සමග සිටින කළු වර්ණයෙන් යුත් තැනැත්තිය අතේ ඇත්තේ රන් බුලත් හෙප්පුවයි. තම පි‍්‍රයතම අවනත සේවිකාව මෙම හෙප්පුව ගෙන සිටින්නීය.
රන්වන කාන්තාව ගේ ආදරවන්ත කුලවත් ලීලාවත් ප්‍රෞඩත්වයත් සියලු ස්තී‍්‍ර ආභරණවලින් සැරසී වට රවුම් මුහුණකින් යුතුව තෙලි තුඩින් නිර්මිත සීගිරි සිතුවම් අතරින් සෑම රූපයක්ම පරයන අයුරින් ද එක් අතකින් සපුමලකුත් අනෙක් අතින් අරලිය මලකුත් අතැතිව තමාට ඉති සිතින්ම අවනතව මෙන්ම විශ්වාසවන්ත වූ මැණික් එබ්බ වූ බුලත් හෙප්පුව ගත් සේවිකාව සමග පෙනී සිටින මේ රූමත් කාන්තාව කැමැතිම පෙම්වතකු තමා දුටු පමණින් කාමයෙන් ඔල්මාදයට පත්කරවන අඟපසගින් හා සියලුම රන්වන් හා නිල්වන් කාන්තාවන් අතරත් දැකුම්කලු රූප සෝභාවෙන් හා නෙත් සඟලකින් යුතුව ප‍්‍රසන්න ලීලාවෙන් සීගිරි සිත්තරා සිතුවම් කොට තිබේ. ඒ උන්මාද චිත‍්‍රා කුමරියයි. ඇය මාල හතක් පැලඳ සිටී.
එහි යොදා ඇති මැණික්ගල් කුඩා ඒවා වුවත් වටිනාකමින් වැඩි විය යුතුය. මේ උදාර කාන්තාව වළලු 18 ක් හා 14 ක් පමණ එක් අතක පැලඳ සිටි. ඇයට දුටුවන් මන නුවන් පිනවන රූප සෝභා සම්පත්තියක් සිත්තරා දී තිබේ. ඇගේ සෝලිය ද අමුතුම ස්වභාවයකින් යුක්තය.
දේශීය හා භාරතීය කොණ්ඩා සැරසිල්ලක ස්වරූපයක් මෙන් දිස්වේ. ඇගේ හස්තයේ ඇති සපුමලින් කාමෝන්මත්තක බවක් හා මගේ සපුමල් කුමාරයා පිළිගැනීමට මා පුල පුලා බලා සිටින බවත් පවසන අතර අනික් අතේ ඇති අරලිය මලින් ඔහු වහා ළඟට කැඳවන බවත් පැමිණි විගස ඔහු පිළිගන්නා බවත් නිරූපණය වෙයි.
උන්මාද චිත‍්‍රාවට අතිශයින් විශ්වාසවන්ත වූ ඇය බුලත් සප්පායම් සපයන සේවිකාවට රන් හෙප්පුව ගෙන මනමාල පෙම් කුමරා එන තුරු මඟ බලා සිටී. මනාලයා නිවසට පැමිණි විට අද පවා බුලත් තට්ටුව පිළිගැන්වීම කෙරෙතත් එදා බුලත් හෙප්පුව පිළිගැන් වූ බව අවබෝධ කටයුතුය.
රජුටත් රජ කුමාරිකාවන්ටත් බුලත් හෙප්පුව පිළිගැන්වීම එදා වෙනමම රාජ සේවිකාවන් සිටි බව ඉතිහාසගත ය. කාදම්බරී මහා කාව්‍යයේ මැය ‘තාම්බූල කරන්ඩක වාහිනි’ යනුවෙන් සඳහන් වෙයි. ‘ශබ්දශ්තෝම මහා නිධියේ’ මේ බව සඳහන් වෙයි.
සීගිරියේ සිතුවම් අතර මෙම උදාර කාන්තා රූපය බලා ඇතැමුන් සීගිරි සිත්තරා අජන්තා චිත‍්‍ර කොපිකර ඇතැයි සැක කරතත් ඒ කිසිවක් මෙහි සිදුවී නැත. ඒ පමණක් නොව එල්ලෝරා, භාග්, ඉතාලි ආදී කිසිම රටක චිත‍්‍ර ස්වරූපයක් සීගිරි චිත‍්‍ර සිතුවම්කරුවා අනුගමනය කර නොමැත.
මෙහි ඇත්තේ දේශීය චිත‍්‍රය 9 වැනි චිත‍්‍රයේ රන්වන් කුමරිය භාරතීය ක්ෂති‍්‍රය කුමාරිකාවක ලෙස මුහුණ රවුම් කොට තෙලි තුඩ යොදා ඇතත් සීගිරි සිත්තරා සපුරා දේශීය ආරක් අනුගමනය කර ඇති බව සියලුම විචාරකයින්ගේ අදහසයි.
මෙම රන්වන් රූපයත් මෙබඳු රන්වන් රූප කිහිපයකුත් එකම අයුරින් සිතුවම් කොට ඇත්තේ වැදගත් අදහසක් ගෙන දීමට විය යුතුය. එනම් සීගිරි සිතුවම්වලින් පෙන්වා ඇත්තේ යක්ෂ කන්‍යා රූපයි.
මෙහිදී උම්මාද චිත‍්‍රා කුමරිය මාමාවරුන්ගෙන් බේරා ගැනීමට භාර ගත්තේ එදා මෙහි ගැවසුණු යක්ෂ සේනාධිපතියන් වූ චිත‍්‍රරාජ, කාලවේල, වලවාමුඛ් ආදී ස්වදේශික පිරිසයි.
ඔවුන් කුමරියට ආරක්ෂාව පිණිස යෙදූ කාන්තා යක්ෂ සේවක පිරිසකි. සීගිරිය මුල සිටම යක්ෂ බල කොටුවකි.
එහි මිනිස් වෙස් ගත් යක්ෂ කන්‍යා පිරිසක් කුමරිය ගේ රැකවරණයට යෙදූහ. කුමරිය සොයන මාමාවරුන්ට එහි යෑමට හේතුවක් ද නොතිබිණි. මෙහිදී යක්ෂ සේනාධිපතියෝ බියෙන් සැකෙන් තොරව එක්ටැම් ගේ විසීමට උපක‍්‍රමයක් වශයෙන් දෙයාකාරයෙන් කුමාරිකාවන් දෙපිරිසක් මැවූහ.
එක් පිරිසක් භද්දකච්ඡායන දේවිය ගේ සහ උන්මාද චිත‍්‍රා කුමරිය ගේ ශරීර වර්ණ ඇතිව ද තවත් පිරිසක් කළු පැහැයෙන් හෙවත් නිල්වන් පාටින් යක්ෂ පිරිසක් ද යොදා ඇගේ ආරක්ෂාව සැලසූහ. මෙහිදී සීගිරි සිත්තරා භාරතීය හා ස්වදේශීය චිත‍්‍ර කලා සම්ප‍්‍රදායන් අනුගමනය කොට තිබෙන බව ද පිළිගත යුත්තකි.
මෙහිදී මල්වලින් කොණ්ඩා සකසා ගැනීම දේශීය යක්ෂ ගෝති‍්‍රක සිරිතකි. මිනිසුන් රැවටීම සඳහා ඒ ඒ අවස්ථාවලදී ඔවුන් මහනෙල්, නෙළුම්, ඕලු රැගෙන සිටීම ද එක්තරා උපක‍්‍රමයකි. මෙබඳු මල් අතින් ගෙන සිටීමෙන් මිනිසුන් රැවටීම යක්ෂ කන්‍යාවන්ගේ උපක‍්‍රමයකි.
එලෙස කොණ්ඩයේ මල් ගසා ගැනීම ද ලාංකික සම්ප‍්‍රදායක් වන අතර මෙය ලංකාවෙන් භාරතයට පමණක් නොව පෙරදිගටම පැතිර ගිය බව සිතිය හැකිය.
තුන්වන පුවරුවේ එක් කතක් පෙම්වතා එන මඟට මල් වැසි වස්සන අතර අනික් කත ඔහුට මත් බඳුනක් දී පිළි ගැනීමට සැරසී සිටි හතර වන පුවරුවේ කාන්තා රූප දෙකක් පෙන්වන අතර මිනිස් වර්ග දෙකක අය ඇතැයි ආචාර්ය නන්දදේව විජේසේකර මහතාගේ අදහසයි.
මෙහි එක් රූපයක් රතුවන් වර්ණයෙන් යුක්තය. එවැනි සීගිරි චිත‍්‍ර රතුවන්, රන්වන්, නිල්වන් රූපක‍්‍රම තුනක් ඇතැයි සිතේ. මෙහි එක් කන්‍යා රූපයක මාල 05 ක් දරා සිටින බව පෙනේ. ඒ දෙවන මනාලිය මෙන් පෙනී සිටි යැයි සිතිය හැකිය. තවත් එකියක් අශෝක මලක් ගෙන සිටී. අශෝක මල ද පෙම් හටනක තොරතුරු කියා පාන්නකි. සාලිය අශෝක මාලා කතාව සිතන්න.
ශ‍්‍රමණ දුත කාව්‍ය දකුණු ඉන්දියාවේ දි මෑතකදි ලියන ලදුව අනුරාධපුර මහා විහාරයේ සිටි සීගිර කසුප් වෙත යවන ලද ස්වදේශ කාව්‍යයක ස්වරූපය ගත් කෘතියකි. මෙහි සීගිරි කතුන් හඳුන්වා ඇත්තේ යක්ෂ කාන්තාවන් පිරිසක් ලෙසිනි. සිලෝ කිහිපයකින් ඒ පිළිබඳ විස්තර වෙයි.
ඒ ඔවුන් සීගිරි සිතුවම් දැනගෙන සිටි ආකාරයයි. මෙයින් ද සීගිරි සිතුවම් යක්ෂ කන්‍යාවන්ගේ ම බව පැහැදිලි වෙයි. සීගිරි සිතුවම්වල ඇත්තේ වශීකෘත කරන දුටුවන් ඇඳ බැඳ ගන්නා මායාකාරී ස්වභාවයකි.
ලංකාවේ එක්ටැම් ගේ නමින් මන්දිර කිහිපයක් ගැන අසා ඇත්තෙමු. උම්මාද චිත‍්‍රා කුමරිය සඟවා තැබු උතුරේ පිහිටි නියම එක්ටැම් මාලිගාව සීගිරියම විය යුතු බව පෙනේ. උතුරු තැනිතලාවේ විහිදි ගිය සාමාන්‍ය කඳුගැට කිහිපයක්ම වෙයි. එයින් මිහින්තලාව ආගමික ස්වරූපයක් ගත් තැනකි.
අනුරපුර සිට සැතපුම් 40 කට පමණ ඈතින් පිහිටි උතුරු මාතලේ පිහිටි සීගිරි පර්වතය ස්වභාව ධර්මයෙන් ලක්වැසි ජනතාව ලත් මහත් වූ ජයග‍්‍රහණයක් වැන්න. ඒ නිසාම මෙම පර්වතය ජාතියේ එක්තරා වෙනසක් සිදුකළ හැකි කේන්ද්‍රස්ථානයක් මෙන් ද දිස්වෙයි.
එබැවින් පිහිටි රට අයත් උතුරු මාතලේ පිහිටි මෙම ඓතිහාසික සීගිරි පර්වතය උසින් අඩි 600 ක් පමණ වන අතර මුළු මහත් උතුරු පළාතම රැකවරණය කර ගැනීමට සීගිරි පර්වතය ශ්‍රේෂ්ඨ ආරක්ෂා ස්ථානයක් වශයෙන් ඉතා වැදගත් වෙයි. ඒ නිසාම උන්මාද චිත‍්‍රා කුමරිය සඟවා තැබු ඒකථූණ ප‍්‍රාසාදය මෙහි විය.
ගවක්ඛාණය නමින් වංශ කථාවේ සඳහන් වන්නේ සීගිරි කව්ලුවයි (ගොන් කනයි). මාමාවරුන්ගෙන් පැමිණි උවදුරුවලින් කුමරිය බේරා ගැනීමට මෙහි අධිපතියන් වූ චිත‍්‍ර රාජ, කාලවේල වලවා මුඛි ආදි රාවණ පරපුරේ යක්ෂ සේනාපතිවරු මහත් පරිශ‍්‍රමයක් ගන්නා ලදහ.
ඒ ස්වදේශිකත්වය රැකගැනීම පිණිසයි. උන්මාද චිත‍්‍රා කුමරිය දීඝගාමිණි කුමරුට පාවා දෙන ලද්දේ ස්වදේශික යක්ෂ පිරිස විසිනි. ඊට ප‍්‍රථම චිත්තරාජගෙන් කුමරිය දූෂිත වූවාදැයි මහාචාර්ය පරණවිතාන මහතා කරන සැකය ද සත්‍යයෙන් තොර නොවූවක් බව සිතීමට ද ඉඩ තිබේ.
ඒ සැකය තහවුරු වීමට තුඩු දෙන කරුණු දෙකක් අප සිත්හි මතු වේ. ඉන් එකක් නම් චිත‍්‍රා කුමරිය ගේ ආරක්ෂාව සැලැසූ යක්ෂ කන්‍යා පිරිස මහත් බියෙන් හා සැකෙන් ද උනන්දුවෙන් හා විචිත‍්‍ර ලෙස ආයිත්තමෙන් සැරසී සිටීමෙන් ද මෙම පෙම් යුවළ එකතු කර දීමට මහත් ආයාසයක් (මවාගත්) ගන්නා බව පෙනි යාමයි.
දෙවන කාරණය නම් කුමරිය ගේ නියම නාමය සඟවා චිත‍්‍රරාජගේ නමේ කොටසක් වූ චිත්ත යන කොටස කුමරියගේ නමට එකතු කොට චිත‍්‍රා නමින් ව්‍යවහාර කරන්නට වූවා ද යන සැකයයි.
අනෙක් අතට ලක්දිව ඈත අතීතයේ පටන් වාමන දර්ශන චිත‍්‍ර රූප මඟින් යම් යම් සිද්ධි පෙන්වා ඇති හෙයින් මෙම සීගිරි චිත‍්‍ර රූප රාජයකු වූ චිත්තරාජ සේනාපතියා විසින් මුලින් විමාන දර්ශන රූප වශයෙන් කොට පසුව කාශ්‍යප යුගයෙන් පසු මුගලන් යුගයේ අපේ සිංහල සිතුවම්කරුවා ලවා අලුත්වැඩියා කළා දැයි කාට කිව හැකි ද?
කෙසේ හෝ දීඝගාමිණි කුමරුට දාව චිත‍්‍රා කුමරියගේ කුසින් පණ්ඩුකාභය කුමරු බිහි වූයේ සීගිරියෙහි දී ම බව පිළිගත යුතුය. සීගිරියේ දැනටත් සිවිකාශාලා වශයෙන් සැලැකිය හැකි මෙතෙක් කවර ගවේෂණයකට හෝ ලක්නූන කුඩා කුඩා ගෙවල් පන්තියක නටඹුන් සීගිරි ප‍්‍රාන්තයේ අදටත් දැකිය හැකිය.
මින් පසු පණ්ඩුකාභය සීගිරියේ සිය මෑණියන් සිර කර තැබූ කතා පුවත ඇසීමෙන් මවට ගරු කිරීම සහ මව සිහි කිරීම වශයෙන් පණ්ඩුකාභය ම විමාන දර්ශන රූප වශයෙන් තිබූ සීගිරි ගලේ පිහිටි සිතුවම් කරවන්නට ඇතැයි සිතිය හැකිය.
මෙහි ඇති සිංහ මුඛය ගැන මහාවංශයෙන් සඳහන් නොවෙතත් අප ස්වදේශිකයන් වූ රාවණ පරපුරේ ජාතික කොඩියේ සලකුණ සිංහ රූපය වන අතර රාවණ ගේ සොහොයුරු කුබේර නොහොත් කුවේර උතුරට අධිපතිව රජ දහන කර ගත්තේ ද සීගිරියයි. දැනට කැටපත් පවුරෙන් සොයා ගෙන ඇති හත්සිය ගණනකට වැඩි කුරුටු ගීවලින් සීගිරිය නගරයක් බව සඳහන් වෙන්නේ එකම ගීයක පමණි. එය සීගිරි නගර් යනුවෙන් සඳහන් වේ.
මෙම ගී අතර සියයකට වඩා ගී වල සඳහන් වන්නේ බැලිමි අසිරි සිහිගිරි යනාදි වශයෙන් සිහිගිරි යන වචනයයි. එනම් එහි තේරුම සිහිවටන් තැබු ගිරිය සිහිගිරියයි. සිහියේ තබා ගත යුතු ගිරිය සිහිගිරියයි. සිහි කළ යුතු ගිරිය සිහිගිරියයි.
යන තේරුමයි. හරියට මෙය සමරු පුස්තකයකට සමානයි. දිවයිනේ නන් දෙසින් දේශ දේශාන්තරවලින් පැමිණි නා නා මාදිලියේ වියතුන් අටවැනි, නවවැනි, දහවැනි, එකොළොස්වැනි, දොළොස්වැනි සියවස්වල මෙහි පැමිණ මේ සිතුවම් නැරඹීමෙන් ඔවුන්ගේ හදවත්හි ඇති වූ අදහස් සීගිරි කුරුටු ගී නමින් හඳුන්වනු ලැබේ. එම ගී කියවීමෙන් කිසිවිටකත් සීගිරිය කුමක්දැයි හඳුනා ගත නොහැකිය.
සිතුවම් පන්සිය ගණනක් තිබෙතැයි ගීයකින් සඳහන් වන පරිදි අද සීගිරිය ඇත්තේ සිතුවම් විසි දෙකක් පමණය. නයි පෙන ගුහාව ඇතුළු මෙම චිත‍්‍ර රූප වලින් පමණක් සීගිරිය කවර තැනැක්දැයි හඳුනා ගැනීමට හැකි බව අපේ පිළිගැනීමයි.
මෙහි ඇති එකම පුරුෂ රූපය සීගිරි කසුප්ගේ අන්තºපුර බිසෝවරුන්ගේ අන්තºපුරයේ දොර අරින කංජුකයෙක් යැයි ඇතැමෙක් සලකති. ඔවුහු එකොළොස්වැනි කෙමියේ එකොළොස්වැනි රූපය හැටියට දක්වන රන් වන් මල් මාලාවක් අතින් ගත් උසුළු විසුළු මුහුණකින් යුත් මැදිවියෙහි වූ පුරුෂයා වෙන කවරෙක් වත් නොව දීඝගාමිණි කුමරු විය යුතුය.
පබාවතිය දැක ගැනීමට ගොස් නෙළුම් කොළයක් යට සැඟවී සිටි කුස කුමරුගේ කතා පුවත මෙහිදි සිහි ගැන්වෙයි. චිත‍්‍රා කුමරිය එක්ටැම් ගෙහි සඟවා තබා ඇගේ ආරක්ෂාව පිණිස රාජ පුරුෂයන් සියයක් යෙදවූ බව ඉතිහාස ගතයි.
එසේම උන්මාද චිත‍්‍රා රැකගැනීම සඳහා වර්ණ දෙකකින් යුත් කාන්තාවන් සිටි බවට සීගිරි චිත‍්‍ර නිදසුන් වේ. මේ සියලු දෙනාම මල් මාලා අරගෙන, බන්දේසි අරගෙන, බුලත් හෙප්පු අරගෙන මහත් බියකින් හා චකිතයකින් ඉක්මන්කමකින් මංගල ගමනකට සැරසෙනවා. එනම් උන්මාද චිත‍්‍රා දීඝගාමිණි හමුවයි.
පරණවිතාන කියන පරිදි මේ ලියෝ මේඝ ලතා, විජ්ජුලතා නොවෙති. එනම් රන්වන් ලියෝ, නිල්වන් ලියෝ නොවෙති. එදා සකු සාහිත්‍යයෙත් ඉන්දියානු මහා සාහිත්‍යයේත් මේඝ ලතා, විජ්ජුලතා නමින් තරුණියන් සිට නොමැත.
නුවර යුගයේ නම් සිරියලතා, උක්කුලතා, හේමලතා, ගුණලතා යනාදී නම්වලින් යුක්ත අය සිටියහ. අපේ පාලි පොත්පත්වල, සංස්කෘත පොත්පත් වල විජ්ජුලතා යනුවෙන් සඳහන් කොට ඇත්තේ පිරිසිදු අහසෙහි කොටන විදුලියයි.
මේඝ ලතා කීවේ වැසිබර කාලය අහසේ කොටන විදුලියයි. මේ මේඝ ලතා, විජ්ජුලතා සිතුවම් රුවන්වැලි සෑයේ ඇතුළතත් සිතුවම් කළ බව පොත්පත් වල සඳහන් වෙයි.
බුද්ධ ශරීරතෝ සතරන්සි විජ්ජුලතාවිය රන්සියෝ නික්ඛමිත්වා ටික්කත්තුන් පදක්කිනං කත්වා ධාවින්තු ඒ නිසා මේ අනුව මහාචාර්ය පරණවිතාන ශූරින්ගේ මතය වැරැදි පිළිගැනීමක් බව හැඟේ.
මීළඟට සීගිරි චිත‍්‍ර පිළිබඳ ආනන්ද කුමරස්වාමි සඳහන් කොට ඇත්තේ සීගිරි සිතුවම් ඉන්දීය සිතුවම්කරුවන් ලවා සිතුවම් කළ බවයි. එච්.සී.පී. බෙල් මහතා සඳහන් කරන්නේ විහාර වන්දනාවේ යන බිසෝවරුන් හා පරිවාර ස්තී‍්‍රන් සීගිරි සිතුවම්වලින් පෙන්වන බවයි.
ඒ තරම් හොඳට ඇඳ පැලඳගෙන මාල පවලම් පැලඳ හැකිතාක් ස්තී‍්‍ර ආභරණවලින් සැරසී විහාරයට යන සිරිතක් අපේ රටේ කාන්තාවන් අතර තිබුණේ ද නැත. ඒවා අගේ කර කර බලන්නට විහාරයේ හෝ පන්සලේ කිසිවෙක් නොමැති හෙයිනි. ඊ.වී. හැවල් මහතා කියන්නේ මේ ලියන් තවුතිසාවේ චෙත්‍යයක් වන්දනා කරන්නට යන බිසෝවරුන් යනුවෙනි. ඒත් ඔය තවුතිසා කතා මනºකල්පිත ඒවාය.
ඒවා මේ ලෝකේ නැති දේවල් ය. මහාචාර්ය අභය ආරියසිංහයන් සඳහන් කරන්නේ සීගිරියේ තිබුණා යැයි සඳහන් කෙරෙන සිතුවම් පන්සීයම කසුප් රජු ගේ දියණිවරුන් දෙදෙනා වූ බෝධි උත්පලවණ්ණා යන දෙදෙනා ගේ රූප බවයි.
මව හෝ පියා තමන් ගේ දුවට පුතාට ආදරේ බව ඇත්ත. ඒ නිසා එක තැනක හෝ දෙපළක පින්තූර දෙකක් අඳින්නට පුළුවන්. පින්තූර පන්සීයක්ම දූවරුන් දෙදෙනාගේ නමට කැප කළා නම් එය පිළිගත නොහැක්කක්.
පණ්ඩිත බද්දේගම විමලවංශ නාහිමියන් සඳහන් කරන්නේ මල් නෙළන ලියන් සීගිරි සිතුවම්වලින් හැඟවෙන බවයි. ඒ වගේම තව වියතුක සඳහන් කරන්නේ දිය නෑමට යන බිසෝවරුන් බවයි. ඒ මතයත් කොහෙත්ම පිළිගත නොහැකිය.
නෑමට යන විට මේ ආකාරයට සැරසී යන ආකාරයත් නැත. මේ හැරුණු විට ළිං, පොකුණු ජල නල තිබෙන බැවිනි. එහෙත් සීගිරි ගල මුදුනේ මල් අත්තක් හෝ මල් ගහක් හෝ මල් කැඩීම සුදුසු කිසිම චිත‍්‍රයක් නොමැති බැවින් ඒ මතය ද පිළිගත නොහැකිය.
ඒ අනුව මහාචාර්ය සිරි ගුණසිංහයන් පවසන පරිදි සීගිරිය කාශ්‍යප විසින් ඔහුගේ විවේකාස්වාදය පිණිස කරවන ලද්දක් නොවේ. ඔහුට පියා මැරුවා යැයි චෝදනාව එකකි. ඔහුගේ සහෝදර මුගලන් ඉන්දියාවට යෑමෙන් විශාල බල සෙනඟක් රැගෙන තමා විනාශ කිරීමට ඒ දැයි යන සැකය තවත් එකකි.
කලා වැව වැනි ශ්‍රේෂ්ඨ වැඩ කළ සිය පියාණන් වූ ධාතුසේනට කරපු අතවර නිසා රටේ මහජනතාව ගේ කලකිරීම තවත් එකකි. ඉතින් මෙබඳු මහා අර්බුදකාරී තත්ත්වයක වසර දහඅටක් දිවි ගෙවූ කාශ්‍යප රජුට දිවයිනේ ඇති විශාලතම දැවැන්ත ව්‍යාපෘතිය කරනවා තබා සිතන්නවත් අවකාශයක් නොමැති බව පෙනේ.

වටද්දර ඤාණිස්සර හිමි විසින් සිළුමිණ පුවත්පතේ පළ කළ ලිපියකි.

කතරගම මහසෙන්

සිව් හෙලයේ එදා මෙදා තුර බිහිවූ දක්ෂතම අංගම් සටන් ශිල්පියා වන මෙතුමා අපට හමුවන්නේ මීට වසර 12 000කට පමණ පෙර කෝනාගම බුදුන් වහන්සේගේ යුගයෙනි. ඔහු නමින් මහසෙන්ය (මහාසේන). කතරගම වෙසෙමින් රාජ්යය පාලනය කල කතරගම මහසෙන් නම් යක්ෂ ගෝත්‍රික රජු තරම් අංගම් සටනේ ශූරයෙක් අද වනතුරු පහල වී නැති බවක් හැඟේ. සුරාසුර යුද්ධයේ සෙන්පතියා වන මෙතුමා සුරාසුර යුද්ධය ජයග්‍රහණයට මුල් විය.
    [සංස්කරණය]තාරක රජුගේ සෙන්පතීත්වය
    තරු හෙවත් තාරක රජුගේ සෙන්පතියා ලෙස මෙතුමා රුහුණේ බිහිවෙයි. පන්දලම් නම් තැන මහසෙන්ගේ ගෙයයි. මෙය අදටත් ඇති ගෘහ නිර්මාණය සමබන්ධව පැරණිතම සාධකයයි. සෙබර ගඩොලින් නිර්මාණය කර ඇති අතර බෙහෙත් භාවිතා කර නිර්මිත ගඩොලක් ලෙස සෙබර ගඩොල සැලකේ.

    [සංස්කරණය]සුරාසුර යුද්ධය
    මෙම කාලයේ සුරාසුර යුද්ධය ඇතිවේ. අසුරයන් ලෙස සැලකෙන්නේ ලාංකිකයන් වන අතර සුරයන් ලෙස සැලකෙන්නේ ඉන්දියානුවන් ය. මෙම ගැටුම ඉන්දියානුවන සත්ව ඝාතනය කොට කරනු ලබන යාග හෝම සම්බන්ධව නිර්මාංශභක්ෂක ලාංකිකයන් ඇති කරගත් ගැටුමකි. මෙහිදී මහසෙන් රජු ජයග්රෙහණය කරයි. මහසෙන් යනු සුරාසුර යුද්ධය සමය වන විට තරු රජුගේ සෙන්පතියා ය.
    සුරාසුර යුද්ධයෙන් පසුව තරු රජු හා මහසෙන් සෙන්පතියා අතර ගැටුමක් ඇතිවන අතර එයින් ද මහසෙන් ජයග්රුහණය කරයි. ඉන්පසුව ඔහු කතරගම මහසෙන් රජු නමින් රජ වෙයි.

    [සංස්කරණය]මහසෙන් රජුගේ කඩුව
    දම් පාට කඩුවක් වූ මෙය පසුව සිදුහත් කුමරුට ශිල්ප දැක්වීමට හා කෙස් වැටිය කැපීමට භාවිතා වූ ලෙස සැලකෙන අතර ඉනික්බිතිව අමිතෝදන කුමාරයා ලංකාවට ‍නැවත මෙම කඩුව ගෙන ආ බව සැලකේ. වන්සත්තප්පකාසනී නම් පුස්කොල කෘතියට අනුව එය අනුරාධපුරයේ තබයා ඇත. එලාර දුටුගැමුණු යුද්ධයේදී දුටුගැමුණු රජු මෙය භාවිතා කොට පසු කලෙක මෙය කිරිවෙහෙරේ තැම්පත් කළ බවට තවත් ජනපුවාදයකි.
    අනෙක් ප්‍රවාදය නම් ටිකිරි කුමාරයා මෙය භාවිතා කළ බවයි. අන්තිම වතාවට කිරිවෙහෙර ප්රනතිසංස්කරණය කරන ලද්දේ ටිකිරි කුමාරයා විසින් වන නිසා පළමු ජනප්රෙවාදයේ සත්යවතාවක් තිබිය හැකි ය. කිරිවෙහෙරේ පැත්තක මහසෙක් කුමරුගේ දේව ප්ර තිමාවක් අදද ඇත.

    [සංස්කරණය]සැවුල් කොඩිය
    සැවුලා කතරගම දෙවියන්ගේ වාහනය වේ. සැවුල් කොඩිය රුහුණ නියෝජනය කරන අතර මෙම කොඩිය දුටුගැමුණු රජුද භාවිතා කලේ ය. මහසෙන් සැවුල් කොඩිය ලෙස මෙය අදටත් හැදින්වේ. අංගම් ශාස්ත්ර්ය ශිල්පයක් ලෙස සමාජගත කරන්නේ මොහු ය. බදුල්ල, සොරගුනේ අන්තිම මහසෙන් දේවාලය පිහිටා ඇත.

    එදා අනුරාධපුරය- ඇතුලු නුවර කැනීම්

    ශ්‍රී ලංකාවේ ලොකුම පුරාවිද්‍යා කැණීම වන අනුරාධපුර ඇතුළුනුවර කැණීම් අනුව අනුරාධපුර නගරය තරම් දියුණු ශිෂ්ඨාචාරයක ලක්‍ෂණ කි‍්‍රස්තු පූර්ව හයසියේ දී දකුණු ඉන්දියාවේ පවා නොමැති බව එහි කැණීමේ අධ්‍යක්‍ෂ ආචාර්ය ශිරාන් දැරණියගල කියයි.


    ඇතුළුනුවර කැණීම නව කව්දයක් ඔස්සේ විධිමත්ව හා තාර්තිකව සනාථ කෙරෙන පුරාවිද්‍ය සාධක ඔස්සේ ජාත්‍යන්තර කැණීමක් ලෙස පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව හා ජර්මනියේ බර්ලින් විශ්ව විද්‍යාලයයේ පුරාවිද්‍යඥයෝ පසුගියදා සංරක්ෂණ, පරීක්‍ෂණ,විශ්ලේෂණ හා වර්තා කටයුතු ඇරඹූහ.

     

    බර්ලින් සරසවියේ පුරාවිද්‍යා මහාචාර්ය කායි කොල්මයර් ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා නිලධාරීන් සමග නවීන තාක්ෂණික කව්දයක් ඔස්සේ කැණීම මෙහෙවයි.
    ආචාර්ය දැරණියගල කියනුයේ විජය රජුගේ ඉතිහාසයෙන් එපිට ඈත ඉතිහාසයක් ද දියුණු නගරයක් වූ අනුරාධපුරයේ ලෝහ තාක්ෂණ, මැටි නිර්මාණ හා අක්ෂර භාවිතය පැවැති බවත් එවැනි දියුණු නගරයක් දකුණු ආසියාවේම නොතිබූ බවත්ය.


    ‘‘ මේවගේ ලොකු කැණීමක් ලංකාවේම නෑ. අඩි සීයයි සියයක වළක් මෙහෙම පුරාවිද්‍යා පරීක්ෂණයක් ඉන්දියාවේත් නෑ. ඇතුළුනුවරට අයිති අක්කර 250ක පමණ භූමිය ආරක්ෂිත භූමියක් ලෙස ප‍්‍රකාශයට පත්කොට තිබෙනනේ. ලොකුම ගැටළුව තමා මෙම ඉඩමේ අනවසර පදිංචිකරුවන් සිටීමයි’’


    විජය රජුගෙන් පසු අනුරාධපුරය ලෙස නම් තැබූ අනුරාධපුරයේ කි‍්‍රස්තු පූර්ව 400ටත් පෙර නාමය ‘‘අනුරාධ’’ විය හැකි බවට සාධක ලැබී ඇතැයි ද ඒ මහතා කියයි. ‘‘අනුරාධ’’ යනුවෙන් අක්ෂර යෙ¥ වළං කැබැල්ලක් එහි අදාල යුගයේ පස් ස්ථරවලින් හමු වූ බවත් කාබන් 14(සීx14* පරීක්ෂණය අනුව එය ක‍්‍රිස්තු පූර්ව 400ට අයත් බවත් ආචාර්ය දැරණියගල පවසයි.

    අතුළුනුවර යනු අනුරාධපුර පැරණි දළදා මාලිගය පිහිටි භූමියයි. එය මෙරට රජ පෙළපතේ වසස්ථාන සහිත දියුණු නාගරික හා වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සහිත පුරාවිද්‍යා වැඩ බිමකි. විජය රජුගෙන් පෙර ඉතිහාසයේ උදෙනි, සැවැත්, බරනැස් ආදී දියුණු ඉන්දීය නගර පැවැති කාලයේදී ද එම අනුරාධපුර නගරය අතිශය දියුණු නගරයක් ලෙස ඉතිහාසඥයෝ හා පුරාවිද්‍යාඥයෝ පිළිගනිති. මීට වසර 12කට පෙර ආචාර්ය ශිරාන් දැරණියගල මෙම කැණීම ඇරඹුවේ මෙරට ප‍්‍රාග් ඉතිහාසය ලෝකයට විදහා දැක්වීමේ ප‍්‍රධාන කැණීම ලෙසයි. ඒ අනුව බර්ලින් සරසවි කණ්ඩායම එම ඉලක්කය සඳහා තවත් වසර හතරක් පමණ පර්යේෂණ කිරීමට නියමිතය.

    (උපුටා ගැනීම-http://www.lankadeepa.lk/Section/apeurumaya/14092009/temp01.htm)

    මෙගලිතික යුගයට අයත් ඉබ්බන්කටුව

    ශ්‍රී ලංකාවේ ප්‍රෙෘඩ ඉතිහාසය විදහා දක්‌වන ස්‌ථාන අතර දෙස්‌ විදෙස්‌ සංචාරක ඇස හරි හැටි නොගැටුණු ස්‌ථානද ගණනාවක්‌ තිබේ.

    ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළ පිහිටි ඉබ්බන්කටුව ඓතිහාසික සුසාන භූමිය එවන් ස්‌ථානයකි.

    දඹුල්ලේ සිට කුරුණෑගල කරා දිවෙන මහා මාර්ගයේ කුරුණෑගල දෙසට කිලෝ මීටර් එකහමාරක්‌ පමණ ගොස්‌ දකුණු පසින් ඇති ගුරු පාරේ මීටර් 500 ක්‌ පමණ දුරක්‌ ගිය විට මෙගලිතික යුගයට අයත් මෙම ඓතිහාසික සුසාන භූමිය හමුවේ.

    ක්‍රි. පූ. 6 වන සියවසේහි විජයාවතරණයත් සමග සිංහල ජාතිය ආරම්භ වූ බවට සැලකුණද, ප්‍රාග් ඓතිහාසික යුගයේදී පවා ශිෂ්ට සම්පන්න මිනිසුන් සිරිලක වාසය කර ඇති බවට මෙම සොහොන් කොත් මගින් සිතා ගත හැකි බැව් ඉතිහාසඥයෝ පෙන්වා දෙති.

    මිනිසෙකු මිය යැමෙන් පසු ඔහු ආදාහනය කර ලබා ගත් අළු, මැටි බඳුන්වල තැන්පත් කිරීමට තරම් ඉහළ මට්‌ටමක මිනිස්‌ සමාජයක්‌ එකල සිටි බැව් හෙලිවී ඇත.

    මෙගලිතික යුගය ලෙස මානව විද්‍යඥයන් විසින් හඳුන්වනු ලබන්නේ මිනිසා යකඩ භාවිතය ආරම්භ කළ යුගයයි.

    ඉබ්බන්කටුවේ මෙගලිතික සොහොන්බිමට සමාන සොහොන් කොත් අනුරාධපුර ගෙඩිගේ, පොන්පරිප්පු කන්දරෝදේ යන ස්‌ථානවල කරන ලද කැනීම්වලදී හමුවී තිබේ.

    විජය පැමිණෙන්නට පෙර යක්‍ෂ, නාග, රාක්‍ෂ ආදී කණ්‌ඩායම් මෙහි සිටි බව ඔප්පු කිරීමට මේ සොහොන් බිම් කදිම සාක්‍ෂියක්‌ යෑයි කියති.

    මෙම ඓතිහාසික සුසාන භූමිය ප්‍රථමවරට හඳුනාගන්නා ලද්දේ 1970 වසරේදී වන අතර එහි මූලික පර්යේෂණ කටයුතු සිදු කර ඇත්තේ හිටපු පුරා විද්‍යා කොමසාරිස්‌වරයකු වූ ආචාර්ය රාජා ද සිල්වා මහතා විසිනි. සංස්‌කෘතික ත්‍රිකෝණ වැඩ සටහන යටතේ මෙම ස්‌ථානය පර්යේෂණයට ලක්‌වූයේ 1982 වසරේ දීය.

    මෙම ප්‍රදේශය සොහොන් බිමක්‌ බැව් නොදත් ගම්වාසින් මෙහි නිවාස ඉදිකර පදිංචිවී සිටින අතර, බොහෝ දෙනෙක්‌ නොදැණුවත්කම නිසා මෙම පිටියේ සොහොන් ගල් නිවෙස්‌වලට ගෙන ගොස්‌ විවිධ කාර්යයන් සඳහා පාවිච්චි කර ඇත.

    "මෙම ඉඩම්වල අපි බලෙන් පදිංචිවූයේ නැහැ. හිටපු අමාත්‍යවරයෙකු වූ ටී. බී. තෙන්නකෝන් මහතායි. අපට මේ බිම් කොටස්‌ ලබාදුන්නේ. ඒ 1970 ගණන්වල ඒ කාලයේ මෙතන ඓතිහාසික සොහොන් බිමක්‌ හඳුනාගෙන තිබුණෙ නැහැ. අපි දැනට අවුරුදු හතලිහකට ආසන්න කාලයක්‌ තිස්‌සේ මෙම ඉඩමේ පදිංචිව සිටිනවා.

    අපිට මේ ඉඩම් කට්‌ටි සඳහා මේ වනතුරු ඔප්පු හෝ බලපත්‍ර ලබාදී නැහැ.

    මෙම ඓතිහාසික භූමිය සංරක්‍ෂණය කිරීම ගැන අපේ විරුද්ධත්වයක්‌ නැහැ. එහෙත් අපිටයි අපේ දරුවන්ටයි යන්න තැනක්‌ තියෙන්න ඕනෑ".

    මේ භූමිය ඉදිරිපිට පාරෙන් එහා පැත්තේ අක්‌කර 300 ක්‌ විශාල දඹුළුඔය වත්ත පිහිටා තිබෙනවා. එම ඉඩමේ අක්‌කර 200 ක්‌ පමණ කිසිදු වැඩකට නොගෙන තිබෙනවා. එම වත්තෙත් අපිට බිම් කොටස්‌ ලබා දෙන ලෙස වසර ගණනාවක්‌ තිස්‌සේ අපි රජයෙන් ඉල්ලා තිබෙනවා. එහෙත් මේ දක්‌වා අපට කිසිදු සහනයක්‌ සැලසුනේ නැහැ.

    අපි දැනට ජීවත්වන්නේ පුරාවිද්‍යා නිලධාරින්ගේ විවිධ තර්ජන මැද්දේ. ඒ නිසා මෙම දැවෙන ප්‍රශ්නයට වහා විසදුමක්‌ ලබා දිය යුතුයි.

    ඉබ්බන්කටුව ඓතිහාසික සුසාන භූමිය වටා පදිංචිව සිටින පිරිස වෙනුවෙන් අදහස්‌ දැක්‌වූ ඩබ්ලිව්. ජී. තෙන්නකෝන් බණ්‌ඩා නමැති සය දරු පියකු එසේ පැවසීය.

    ඉබ්බන්කටුව සුසාන භූමිය හෙක්‌ටෙයාර් 10 ක පමණ පැතිරී තිබෙන අතර, එදා මෙහි 40,000 කට අධික ජනවාස සංඛ්‍යාවක්‌ තිබුණු බවට ඓතිහාසික සාධක මගින් සනාථ වී තිබේ.

    මෙම ඓතිහාසික සුසාන භූමිය පිළිබඳව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා සිය ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික උරුමය නමැති ග්‍රන්ථයේ මෙසේ සඳහන් කර ඇත.

    "කාමර සහිත සොහොන් ගෙවල් පිළිබඳ ඉතිහාසය ආරම්භ වනුයේ ඉබ්බන්කටුව සොහොන් බිමෙනි. එකම පවුලක හෝ එකම කුලයක කිහිප දෙනකුගේ භෂ්මාවශේෂ එකම සොහොන් ගැබක තැන්පත් කර ඇති ආකාරය ආදර්ශවත්ය. මෙම භෂ්මාවශේෂ තැන්පත් කර ඇත්තේ ඒ සඳහාම විශේෂයෙන් නිපදවා ඇති සොහොන් "කළ ගෙඩි" භාවිත කරමිනි. එක්‌ කාමරයක්‌ ඇති සොහොන්, කාමර දෙකක්‌ ඇති සොහොන් මෙන්ම කාමර කිහිපයක්‌ ඇති සොහොන්ද මෙම සුසාන භූමියේ දැකගත හැකියි. කාමර කිහිපයක්‌ සහිත ලොකු සුසාන ගෙවල් ඉහළ පන්තියේ ඒවා විය හැකිය.

    "යම්කිසි රටක ජනතාවගේ සංස්‌කෘතික තත්ත්වයන් නිසි පරිදි අවබෝධ කර ගත හැක්‌කේ ඔවුන්ගේ සුසාන තුළින් යයි පැවසීම සාධාරණය. එවකට සමාජයේ තත්ත්වය මැනැවින් අවබෝධ කර ගත හැක්‌කේ ඒ සමාජයේ මිනිසුන් මිහිදන් කළ ස්‌ථාන හා ඒ වටාපිටාව මගිනි. සංස්‌කෘතික ත්‍රිකෝණ වැඩසටහන යටතේ ඉතා පුළුල්, සමීක්‍ෂණ, ගවේෂණ හා පර්යේෂණවලට භාජනය වූ ඉබ්බන්කටුව සුසාන භූමියෙන් හෙළිවන විසිතුරු ඉතිහාසය රාමායණයේ වාල්මිකී මුනිවරයා සඳහන් කර ඇති අති ශ්‍රේෂ්ට සිංහල සමාජය නොවේද?

    මෙම සොහොන් බිමේ භෂ්මාවශේෂ තැන්පත් කර තිබූ බඳුන්වල තිබුණු අක්‍ෂර කියවා බැලූ ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසා ඇත්තේ මේ අක්‍ෂර ඉන්දියාවේ මොහෙන්ජොදාරෝ හරජපා ශිෂ්ටාචාරයෙන් සොයා ගත් මැටි පුවරුවල අක්‍ෂරවලට සමීප බවක්‌ දක්‌නට ඇති බවයි.

    කුරුණෑගල - දඹුල්ල මහා මාර්ගය ඔස්‌සේ දිනකට දෙස්‌ විදෙස්‌ සංචාරකයන් දහස්‌ ගණනක්‌ උතුරු හා නැගෙනහිර පළාත් කරා ගමන් කළද, එම මාර්ගය ආසන්නයේම පිහිටි මෙම ඓතිහාසික සුසාන භූමිය බොහෝ දෙනකුගේ අවධානයට ලක්‌ නොවීම කණගාටුවට කරුණකි.

    මෙම තත්ත්වය උද්ගතවී ඇත්තේ මෙම ස්‌ථානය සම්බන්ධයෙන් ප්‍රමාණවත් තරම් ප්‍රචාරයක්‌ ලබාදීම සඳහා වගකිවයුතු අංශ කිසිදු පියවරක්‌ ගෙන නොමැති බැවිනි. අඩුම වශයෙන් මෙම ඓතිහාසික ස්‌ථානය පිළිබඳව විස්‌තර ඇතුළත් පුවරුවක්‌ මහා මාර්ගය අසල ප්‍රදර්ශනය කරන්නේ නම් බොහෝ දෙනා එය නැරඹීමට උනන්දුවක්‌ දක්‌වනු ඇත.

    මෙම සම්බන්ධයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සහ සංස්‌කෘතික ත්‍රිකෝණයේ නිලධාරීන්ගේ අවධානය වහා යොමුවිය යුතුව තිබේ....

    යාපනයේ කදුරුගොඩ නටබුන්


    යාපනය නගර මධ්‍යයට පැමිණි අපගේ අරමුණ වූයේ එහි සිටි කි.මී 10ක දුරකින් පිහිටි කන්තරෝඩෙයි වෙත යාම ය. යාපනයට පැමිණෙන බහුතරයක් දෙනාගේ ප‍්‍රධාන අභිලාෂයක් වන්නේ නාගදීප දූපතට ගොස් ඒ විහාරය වැඳපුදා ගැනීම ය. එහෙත් පුරාවිද්‍යාත්මක වශයෙන් යාපනය අර්ධද්වීපයේ පිහිටි වැදගත්ම ස්ථානය වන්නේ කන්තරෝඩෙයි හෙවත් පුරාණ කදුරුගොඩ විහාරය යි.අපගේ වෑන් රථය යාපනයේ උණුසුම කපාගෙන ඉදිරියට ඇදේ. නගරයේ උණුසුමත් ක‍්‍රමයෙන් බැහැරවෙමින් ගම්මාන හරහා මාර්ගය ඇදී යයි. අහස්කුස වසා ඉහළට ගොස් වියනක් සේ පිහිටි තල් රුප්පාව නිසා ගිනියම තුනී වී ගොසිනි. නිවාසවල වැටද තල්කොළවලින් ම සකසා තිබේ. ඒ යාපනයට ආවේණික වූවකි. තැනින් තැන හමුවන විනාශ වී ගිය ගොඩනැගිලිවල නටඹුන් යුද්ධයේ ක‍්‍රෑරත්වය පවසයි. තවමත් මේ ගොඩනැගිලි බොහොමයක් නිවැසියන්ගෙන් තොර ය.කදුරුගොඩ, නාගරික ලක්ෂණ නොමැති පිටිසර ගම්මානයක් වැන ්න. සතරදෙසින්ම ඉහළ නැගී සිටින්නේ පොල්ගස් ය. ඒ අතර නිවාස සහිත ගෙවතු ය. මේ ප‍්‍රදේශයේ එතරම් ජනගහනයක් සිටින බවක් නොපෙනේ.

    පසුගිය සමයෙ සිදුවු යුද්ධයෙන් නාග විහාරය, යාපනේ ඕලන්ද කොටුව වැනි ස්ථාන විනාශ වුවද කදුරුගොඩ පුදබිමට කිසිදු හානියක්සිදු වී නොමැතිවීම වාසනාවකි.මහනුවර යුගයේ ලියැවුණු විහාර හා පුදබිම් නාමාවලියක් වන ‘නම්පොත හෙවත් විහාර අස්නෙහි’ ‘කදුරුගොඩ විහාරය’ ලෙසින් මේ පුදබිම හැඳින්වේ. මෙම භූමියේ පුරාවිද්‍යාත්මක වැදගත්කම මුලින්්ම අවබෝධ කර ගත්තේ මේ සියවසේ මුල් ධූරය දැරූ ආචාර්ය පෝල් ඊ. පීීරිස් මහතා ය. ඔහු මෙම භූමිය සහ අවට පරික්ෂා කර බලා රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ සඟරාවට ‘නාගදීපය සහ යාපනයේ බෞද්ධ අවශේෂ’ නමින් 1917 - 1919 වර්ෂවල ලිපි සැපයී ය. පසුව කදුරුගොඩ අක්කර 3 පර්චස් 33.8 ක් පුරාවිද්‍යා තහනම් ඉඩමක් වශයෙන් ප‍්‍රකාශයට පත් කෙරිණි. උඩුවිල් කන්තරෝඩේ පාර දෙපැත්තේම මෙම ඉඩම පිහිටා තිබේ. කෙසේ වුවත් පුරාවිද්‍යා නටබුන් එයට වැඩිභූමි ප‍්‍රමාණයක පැතිරී තිබෙන බව පැහැදිලි ය. රජයට අයත් කරගෙන ඇත්තේ ඉන් සුළු භූමි ප‍්‍රමාණයක් පමණි.

    වර්ෂ 1915 - 17 පෝල් ඊපීරිස් මෙම භූමියේ කැණීමක් කර බෞද්ධ නෂ්ටාවශේෂ කොටස් සොයා ඒවා යාපනය කෞතුකාගාරයට බාර දී ඇත. එකල බුද්ධ ප‍්‍රතිමා දාගැබ් කොත් ආදිය ලැබුණු බව වාර්තා වී තිබේ. කි‍්‍ර.ව. දෙවන සියවසට අයත් යාපනයේ වල්ලිපුරම් රන්පත් ලිපියෙන් පැහැදිලි වන්නේ එකල යාපනය අර්ධද්වීපයම ‘නකදිව‘ (නාගදීපය) නමින් හැඳින් වූ බෞද්ධයන් සිටි ප‍්‍රදේශ බව ය. කි‍්‍ර.ව. 10වන සියවසට අයත් තුනුකායිටැම් ලිපියෙන් ද ඒ බව සනාථ වේ. කදුරුගොඩ විහාරය අනුරාධපුර පොළොන්නරු යුගවල දී පැවති සිද්ධස්ථානයක් බවට අනුමාන කළ හැකි ය.මෙහි 1965 - 67 වර්ෂවල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් කැණීම් කරන ලදී. එවකට පුරාවිද්‍යා කොමසාරිස් වූ ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ ඒ සඳහා දැඩි උනන්දුවක් දැක්වූ බව පුරාවිද්‍යා පාලන වාර්තා විමර්ශනය කරන විට පෙනේ. ආචාර්ය ගොඩකුඹුරේ ඒ සඳහා දැඩි උනන්දුවක් දැක් වූ බව පුරාවිද්‍යා පාලන වාර්තා විමර්ශනය කරන විට පෙනේ. ආචාර්ය ගොඩකුඹුරේ මෙහි කැණීම් පිළිබඳව සඳහන් කරමින් ‘කැණීමේ මුල් අවස්ථාවේ දී ම විශේෂයෙන් කැපි පෙනුණු එක් කරුණක් නම් ඉඩම පුරා කුඩා ස්ථූප ගණනාවක ම පදනම් තිබීම නිසා මේ ඉඩම විශේෂ වැදගත්කම් ඇත්තක් වූ බවයි. අඩි 8 1/2ත් 12ත් පමණ විස්කම්භයක් ඇති මේ දාගැබ් බාර හාරාදිය පිණිස කළ ථූප හෝ සොහොන් යැයි සිතිය හැකි ය. මෙබඳු ථූපයන් 12ක් දැනට දක්නට ඇත. මේ ස්ථානයේ තිබී දැනට පදනමට පමණක් සීමා වූ අඩි 23 1/2ක විෂ්කම්භයක් සහිත දාගැබ් වන්දනාමාන සඳහා කරන ලද්දක් යයි සිතිය හැකි ය.

    තල්ගස් වටකර ගත් කන්තරෝඩෙයි නටබුන් බිම නිසලත්වයක ගිලී ඇත. තහවුරු කළ සමහර දාගැබ්වල ඡාත‍්‍රාවලි යළිත් ගලවා බිම දමා තිබෙන බව පෙනේ. මේවා ඉදිකර ඇත්තේ හිරිගල් සහ හුණුගල් උපයෝගි කරගෙන ය. ගල්මල්, කොරල් ගල් ආදිය සමහර තැන්වල මතු වී පෙනේ.බොහෝ තැන්වල දක්නට ලැබෙන කණු පාදම් ගල්වලින් පෙනෙන්නේ දැවවලින් කළ ගොඩනැගිලි තිබුණු බවකි. මෙම භූමියෙන් දාගැබ් කොත්, ගල්කරඬු, වීදුරු දැගැබ් කොත්, වාමන රූප සාංචි සම්ප‍්‍රදායේ ගල්කණු කැබැලි, සිරිපතුල්ගල 16000 කට නොඅඩු පබළු බුද්්ධ ප‍්‍රතිමා කොටස්, බෝධිසත්ව ප‍්‍රතිමා, පුරාණ දේශිය සහ දකුණු ඉන්දියානු කාසි ආදි නෂ්ටාවශේෂ රාශියක් ලැබී ඇත. මෙම පුරාණ කෞතුක වස්තු යාපනය කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තැබූ බව වාර්තාවල සඳහන් ය. එහෙත් දැන් ඒවා තිබේ ද නැද්ද යනවග පවා අවිනිශ්චිත ය. ඒවා සුරැකී තිබේ නම් යළිත් මහජන ප‍්‍රදර්ශනයට පියවර ගැනීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ යුතුකමකි. දැනට මුහුද පිහිටියේ මෙහි සිට කිලෝමීටර් 9ක් පමණ ඈතින් ය. එහෙත් කැණීම් කිරීමේ දී අඩි 6ක් පමණ යටින් මුහුදු වැලි මතුවීමෙන් පෙනෙන්නේ අවුරුදු දහස් ගණනකට පෙර මේ ස්ථානයේ මහ සයුර තිබී ඇති බවත් පසුව එය ගොඩබිමක් බවට පත් වූ බවත් ය.

    කුසුම්සිරි විජයවර්ධන

    ශී‍්‍ර ලංකාවේ අවලෝකිතේශ්වර බෝධිසත්ව ප‍්‍රතිමා

    ශී‍්‍ර ලංකාවේ පූර්ව මධ්‍ය කාලීන අවධියේ ලක්දිව අට සහ නව වැනි සියවස් වල අභයගිරිවාසීන්ගේ ආගමික සංකල්ප වඩාත් සමාජය තුළ ප‍්‍රකට වී යාමත්, මහා විහාර ස්ථවිරවාසීන් වෙත රාජ්‍ය බලය සම්බන්ධයෙන් තිබූ බලපෑම ක‍්‍රමයෙන් ලිහිල් ව යාමත්, එක්වර සිදුවීම අවලෝකිතේශ්වර බෝධිසත්ව ප‍්‍රතිමා නිර්මාණය සම්බන්ධයෙන් වැදගත් සාධකයක් විය. තවද ශී‍්‍ර ලංකාවේ අවලෝකිතේශ්වර හා නාථ ඇදහීමේ විශේෂ ලක්ෂණයක් වූයේ එය යති සමාජය නොව ගිහි සමාජය තුළ ජනපි‍්‍රය වීමය. බෝධි සත්වවරු සංඛ්‍යාත්මකව අප‍්‍රමාණ ය.
    නමුත් මෙහි දැක්වෙන්නේ ප‍්‍රධාන බෝධි සත්වවරයන්ගේ නම් පමණකි. එනම් :-අවලෝකිතේශ්වර, ආකාශ ගර්භ, වජ‍්‍ර ගර්භ, ක්ෂති ගර්භ, මෙති‍්‍රය, සමන්ත භද්‍ර, මංජු ශී‍්‍ර, සර්ව නිවාරණ විෂ්කම්භ
    මෙයට අමතර ව 13 වැනි සියවසට පමණ අයත් රූපාවලියෙහි හින්දු දෙවියන්ගේ නම් අගට නාථ යන්න එක්කොට එවැනි නාථයන් අට දෙනෙකු ගැන විස්තර කර තිබේ. එනම් :-ශිව නාථ, බ‍්‍රහ්ම නාථ, විෂ්ණු නාථ, ගෞරි නාථ, මත්ස්‍යෙන්ද්‍ර නාථ, භද්‍ර නාථ, බෞද්ධ නාථ, ගණ නාථ යන අට දෙනයි.
    නාථ යන කොටස මේ අට දෙනට ම පොදු ය. ශී‍්‍ර ලංකාවෙන් ලැබී ඇති අවලෝකිතේශ්වර හෙවත් නාථ ප‍්‍රතිමා වර්ග දෙකකි. නිර්භූෂණ ප‍්‍රතිමා ඉන් එක් වර්ගයකි. ඒවායේ ආභරණ නැත. අනෙක් වර්ගය රාජ කුමාර ප‍්‍රතිමා වන අතර ඒවා ඇඳුම් පැලැඳුම්වලින් සරසා ඇත. නිර්භූෂණ ප‍්‍රතිමා යෝගී අවලෝකිතේශ්වර බෝධි සත්ව ප‍්‍රතිමා ගණයට ද දෙවනුව සඳහන් කළ ප‍්‍රතිමා රාජ කුමාර අවලෝකිතේශ්වර බෝධි සත්ව ප‍්‍රතිමා ගණයට ද අයත් කර තිබේ. අවලෝකිතේශ්වරගේ මුල් ශී‍්‍ර ලාංකේය ප‍්‍රතිමාවල එතුමාගේ තපස්වී බව හා තරුණ ලක්ෂණ එකට කැටිකොට දක්වයි. එසේම සෘෂි ලීලාව හා රාජ ලීලාව යන ලක්ෂණ දෙක සුදුසු පරිදි සංයෝග කිරීමෙන් පසුව මුල් මහායාන බෝධි සත්ත්වයන්ගේ තත්ත්වයේ සිට සිංහල සතර වරම් දෙවියෙකු බවට පත් වීම ද අවධාරණය වෙයි.
    “ගිරිදර ප‍්‍රතිමාව“ නමින් හැඳින්වෙන යෝගී අවලෝකිතේශ්වර ප‍්‍රතිමාව ගම්පහ දිස්ති‍්‍රක්කයේ ගිරිදර ප‍්‍රදේශයෙන් හමු වූ ප‍්‍රතිමාවකි. මෙය නිර්භූෂණ ප‍්‍රතිමාවකි. හින්දූන්ගේ යෝගී ශිව දෙවියා අනුකරණය කොට තිබේ. මේ වර්ගයේ අවලෝකිතේශ්වර බෝධි සත්ව ප‍්‍රතිමා ශී‍්‍ර ලංකාවට හඳුන්වා දී ඇත්තේ ඉන්දියාවේ මුලින් ම නිර්මාණය කර ඇත්තේ කි‍්‍ර.ව. 6 - 7 සියවස් වල දී ඩෙකානයේ නැගෙනහිර ප‍්‍රදේශයේ පල්ලව රාජ්‍යය යටතේ ය. ශී‍්‍ර ලංකාවේ මේ වර්ගයට අයත් පිළිම පල්ලව ආභාසය පෙන්නුම් කරයි. යෝගී අවලෝකිතේශ්වර වර්ගයේ හිටි හා හිඳි පිළිම ශී‍්‍ර ලංකාවෙන් සොයාගෙන තිබේ. ඒ අතරින් ගිරිදරින් ලැබී දැනට කොළඹ කෞතුකාගාරයේ තබා ඇති පිළිමය හිටි පිළිම වර්ගයට අයත් වේ. මෙහි ඉරියවු සාමාන්‍ය හිටි වන අතර අත් දෙකකින් යුතුව දක්වා තිබේ. දකුණු අතේ අභය මුද්‍රාව හා මදක් ඔසවන ලද වම් අතේ කටක මුද්‍රාව නිරූපණය කෙරේ. ප‍්‍රතිමාවෙහි ඇඳුම් පිළිබඳ පරීක්ෂා කිරීමේ දී යටි කයෙහි ධෝතිය වෙයි. එයට යටින් අන්තරවාසකය වෙයි. අන්තරාවාසකය පයෙහි ගොප් ඇටයට මඳක් ඉහළින් අවසන් වෙයි. උඩු කයෙහි උතුරු සළුව අඟවන පටු රෙදි පටියක් වෙයි. එය ඉණ මට්ටමේ දී පුළුල් ව දැක්වේ. උඩු කයෙහි ආභරණ කිසිවක් නොදැක්වෙන අතර යඥෝපවීතයකින් උඩු කය සරසා ඇත. ඉහත සඳහන් වර්ගයේ යෝගී අවලෝකිතේශ්වර ප‍්‍රතිමා සමහරක ජටා මකුටයෙහි ධ්‍යානී බුදුරුව නැත. යටාල වෙහෙරින් එවැනි බෝධිසත්ව හිසක් ලැබී තිබේ. යෝගී අවලෝකිතේශ්වර වර්ගයේ පැරණිම හිටි පිළිමය සිතුල් පව්වෙහි ඇත. එහි උත්තරාංසකය දක්නට නැත. මෙහි ධෝතිය ද ගිරිදර රූපයේ ධෝතියට වඩා වෙනස්ය. ගිරිදර රූපයේ මෙහි ඇති අන්තරාවාසකය ද නැත. අවලෝකිතේශ්වර සෘෂිවරයකු වශයෙන් නිරූපණය කිරීමට මුල දී තිබුණු නැඹුරුව සිතුල් පව්ව ප‍්‍රතිමාවෙන් ද පෙනෙයි.
    සිතුල්පව්ව අවලෝකිතේශ්වර රූපාකෘතිය මාමලම්පුරම්හි (මහා බලිපුරම්) ති‍්‍ර මූර්ති ලෙණෙහි පසුපස පැනලයෙහි ඇති ශිව රූපය හා සමාන වන අතර එහි මුහුණ හා සමාන වන අවස්ථා සිය ගණනින් ගංගාවතරණය යටතේ දැකිය හැකි ය. කේශ කලාපය හා වස්ත‍්‍රවල රැළි රටා, බහුල නොවන, සම, උන්නත හා අවනත ඉරි ආදිය ද යුක්ත වන අතර පල්ලව ශෙලියට සමානය. යෝගී අවලෝකිතේශ්වර පිළිම සමහරවිට ති‍්‍ර භංග ක‍්‍රමයට ද තනා තිබේ. මේ රූපය 7 වන සියවසට අයත් ය. සිතුල්පව්ව අවලෝකිතේශ්වර ප‍්‍රතිමාවෙන් නිරූපණය වන්නේ මුල් කාලීන ප‍්‍රතිමා ලෝකෝත්තර සෘෂි විලාශයෙන් දැක් වූ බවයි.
    යෝගී අවලෝකිතේශ්වරගේ බෝධිසත්ව හිඳි පිළිම ද ලැබී තිබේ. ඒවායින් ඉතා ම වැදගත් පිළිමය වෙහෙරගලින් ලැබුණු රන් ආලේප කරන ලද ලෝකඩ පිළිමයයි. රාජ ලීලාසන ක‍්‍රමයට වාඩි වී එක් පයක් නවා සිරස් අතට ආසනය මත තබා අනික් පය පහළට හෙළා ඇත. දකුණු කළවය මත තබාගත් දකුණු අතින් කටක මුද්‍රාව දක්වන අතර වම් අත වම් කලවයට පිටින් ආසනය මත රඳවා උඩු කයෙහි බර දරයි. පොළොන්නරුවේ ආළාහන පිරිවෙන්හි මෑතක කරන ලද කැණීම්වලින් ද හිස සුන් පිළිමයක් සොයා ගෙන තිබේ. එය ද යෝගී ලක්ෂණ පෙන්නුම් කරයි. ධ්‍යානී මුද්‍රාවෙන් යුත් මේ වර්ගයෙහි ලෝකඩ පිළිමයක් අනුරාධපුර පුරා විද්‍යා කෞතුකාගාරයේ ද වෙයි. පර්යංකාසන ක‍්‍රමයට හිදි මේ පිළිමයෙහි උරහිස් මත කෙහෙ රැළි වැටී නැත. උඩුකයෙහි උත්තරාසාංගය සංකේතවත් කරන රෙදි පටිය වෙයි. ධෝතිය වෙයි. අත් දෙක උකුල මත අල්ල උඩු අතට පෙනෙන සේ එකක් මත අනික තබාගෙන සිටී. ශරීර වර්ණය සුදට හුරු ය. යටිකයේ ධෝතිය ඉතා පැහැදිලිව රැළි ගන්වා දක්වා ඇත. මේ පිළිමය කි‍්‍ර.ව. 5 - 6 සියවස් වලට අයත් ය.
    “දඹේගොඩ බෝධිසත්ව ප‍්‍රතිමාව“ වනාහී පැරණි රුහුණු රටට අයත් ප‍්‍රතිමාවකි. වර්තමානයේ උව පළාතට අයත් මොණරාගල දිස්ති‍්‍රක්කයේ බුත්තල උප දිසාපති කොට්ඨාසයට මායිම් ව පිහිටා ඇත. කවුරුත් දන්නා මාළිගාවිල බුද්ධ ප‍්‍රතිමාවට නැගෙනහිර දෙසින් මීටර් 300 ක් පමණ දුරින් මෙම දඹේගොඩ බෝධිසත්ව ප‍්‍රතිමාව දක්නට ලැබේ. සියලු රාජ කුමාර ඇඳුම් පැලැඳුම්වලින් යුක්ත රාජ කුමාර අවලෝකිතේශ්වර ප‍්‍රතිමා සැලැකිය යුතු ප‍්‍රමාණයක් ශී‍්‍ර ලංකාවෙන් ලැබී තිබේ. දඹේගොඩින් ලැබී දැනට සංරක්ෂණය කර ඇති මෙම හිටි ගල් පිළිමය මෙතෙක් ශී‍්‍ර ලංකාවෙන් ලැබී ඇති ඒ වර්ගයේ විශාලතම ප‍්‍රතිමාවයි. මෙය හුණුගල් ප‍්‍රතිමාවකි. මෙය මීටර් 10 ක් උසය. මෙහිසමභංග හිටි ඉරියව්ව නිරූපිත ය. අත් දෙකකි. මෙයින් දැක්වෙන මුද්‍රා ලෙස ඔසවන ලද වමතින් පද්මය දැරීමත්, පහළට හෙළන ලද දකුණු අතින් වරද මුද්‍රාව දැක්වීමත්, පෙන්නුම් කළ හැකි ය. ඉතා වටිනා ඇඳුම් පැළඳුම් හා ආභරණවලින් සරසා තිබේ. මෙහි උඩුකය ගෙළ බාහු වළලු අත් වළලු ආදියෙන් අලංකෘත කර තිබේ.
    මාතර දිස්ති‍්‍රක්කයේ වැලිගම කෝරළයේ වැලිගම නගරයට ආසන්න ව පැරැණි වරායට මුහුණ ලා පිහිටා ඇති මේ කුෂ්ටරාජගල බෝධි සත්ව ප‍්‍රතිමාව අග‍්‍රබෝධි මහා විහාරය අබියස ගල් පරයක අර්ධ උන්නතව මූර්තිමත් කර තිබේ. මෙහි උස අඩි 8 ක් පමණ ද පළල අඩි 4 ක් පමණ ද වේ. මෙම ප‍්‍රතිමාවෙහි මුහුණු සතරක් නිර්මාණය කර ඇතැයි කියනු ලැබේ. මෙලෙසින් නිරූපණය කිරීමට කලාකරුවා උත්සාහ දරා ඇතැයි විද්වතුන්ගේ අදහසයි. ඉන් තුනක් මූර්තිමත් කර ඇති අතර පිටුපස මුහුණ අධ්‍යහාරයෙන් ගත යුතුය. වැලිගම කුෂ්ටරාජගල නමින් ප‍්‍රසිද්ධ පිළිමය ගැන විවිධ මත පළ වී තිබේ.
    රූපභේද ලක්ෂණ අතර ධ්‍යානී බුදු රූ පහ චිහ්න මුද්‍රාව සඳහන් වෙයි. චිහ්න මුද්‍රාව චින් මුද්‍රාව යන නමින් ද හඳුන්වනු ලැබේ. මෙහි මුද්‍රාව වන්නේ දකුණු අත අඩක් ඔසවා දබර ඇඟිල්ලේ තුඩුව මහපොට ඇඟිල්ලේ තුඩුවට තබා තද කොට ගෙනයි. චින් මුද්‍රාවත් විතර්ක මුද්‍රාවත් බොහෝ දුරට එක හා සමානය. ප‍්‍රතිමාවේ ඉරියව් සමභංග වේ. අත් දෙකකි. මෙහි මුද්‍රා ලෙස දකුණු අතේ චින් මුද්‍රව හා වම් අතේ කටක මුද්‍රාව දැක්විය හැකිය.
    මේ ප‍්‍රතිමාවේ සළු පිළි ඉතා ඝන ව රැළි කොට ඇත. යටි කය ධෝතියකින් යුක්ත වෙයි. එය අන්තරවාසකය දක්වා පහතට වැටී ඇත. මේ ප‍්‍රතිමාවේ උඩුකයේ වෙකක්ෂක, හාර, උදර බන්ධ; දක්නට ඇත. බාහවල හා අත්වල වළලු ද පෙනේ. කන්වල මකර කුණ්ඩල පලඳවා ඇත. ගෙල වටා මාල සතරක් ද, උදර බන්ධ ද, ඉනේ පටියක් ද, පා සළඹ ද, හිසේ පැති ඔටුන්න ද වෙයි.
    ගෙල දෙපසින් පහළ උරහිස් හා උදර ප‍්‍රදේශය වෙත වැටෙන ඇඟටම ඇලුණු ස්වභාවයක් දක්වන ලියවැල් හා රූකම්වලින් යුක්ත මාලයක් පැලැඳ ඇත. මෙම ප‍්‍රතිමාව මාල තුනක් පැලැඳි බව පැහැදිලිව ම පෙනෙන්ට තිබේ.
    ප‍්‍රතිමාවේ දෙඅතෙහි ම ඇඟිලිවල මුදු පැලැඳ ඇති බවක් දැක් වේ. එක අතක වළලු දෙක බැගින් පලඳවයි. පා වළලුවලින් යුක්තයි. ශී‍්‍ර ලංකාවේ දැක්වෙන අති විශිෂ්ඨ අවලෝකිතේශ්වර පිළිමයකි. ජටා මකුටයෙහි ධ්‍යානී බද්ධ රූප තුනකින් සමන්විත වේ. ඒ අනුව පංච ධ්‍යානී බුදුවරු ජටා මකුටයෙන් මූර්තිමත් කිරීමට ගත් උත්සාහයක් ලෙස හැඳින්විය හැකියි. මහායාන ආගමෙහි ධ්‍යානී බුදුවරු පස් දෙනෙකි. එනම් :-
    වෙරෝචන, අක්ෂෝභ්‍ය, රත්න සම්භව, අමිතාභ, අමෝඝ සිද්ධි
    මේ බුදුවරුන්ට අයත් බෝධිසත්වරුන් ද පස් දෙනෙකි. එනම් :-
    වෙරෝචන - සමන්ත භද්‍ර, අක්ෂෝභ්‍ය - වජ‍්‍ර පාණි, රත්න සම්භව - රත්න පාණි, අමිතාභ - පද්ම පාණි, අමෝඝ සිද්ධි - විශ්ව පාණි
    ඌව පළාතේ මොණරාගල දිස්ති‍්‍රක්කයේ වැල්ලවාය නගරයේ සිට සැතපුම් 2 1/2 ක් පමණ දුර තිස්ස මහාරාම පාරේ ගමන් කළ විට, ඊට ඔබ්බෙහි පර්වත ප‍්‍රාන්තයක බුදුරුවගල විහාරය පිහිටා ඇති අතර මෙහි පිහිටි බෝධිසත්ව පිළිම හතරක් හා පරිවාර පිළිම දෙකක් හඳුනාගෙන ඇත. ඒවා ප‍්‍රධාන බුද්ධ ප‍්‍රතිමාව දෙපසින් තුන බැගින් නිර්මාණය කර තිබේ. මෑතක දී ලැබුණු තිරියායි පිළිමය සැලකිල්ලට ගත් විට, සිතුල්පව්ව අවලෝකිතේශ්වර ප‍්‍රතිමාවෙන් ද නිරූපණය වන්නේ සිංහලයන් මුල් අවලෝකිතේශ්වර රූප අවලෝකිතේශ්වර සෘෂි විලාසයෙන් දැක් වූ බවයි.
    සෘජු කායයෙන් වැඩ සිටින බෝධිසත්ත්වයන්ගේ දෑත් කටක මුද්‍රාවෙනි. දණහිස් දක්වා වැටෙන සේ ඇඳ ඇති සාටකය නොවැගිරෙන පරිදි ඉඟ වටා රෑන් පටින් බැඳ මැද අලංකාර ගාංචුවකින් එක්කර ඇත. එයින් පහළට එල්ලෙන නරූපට දෙකක් රැළි සහිතව වම් කලව දිගේ දණ දක්වා පහතට වැටෙයි. ඇඳුමේ මේ කොටස සිතුල් පව්වේ ප‍්‍රතිමාවේ ඇති නරුපටට සමාන වුව ද නිමවා ඇති ආකාරය වෙනස් ය. රුවේ උඩුකය නිරුවත් ය. ආභරණ හෝ යඥෝපවීතය නොමැත. කෙස් වැටිය උත්තුංග ජටා මකුටයක් සේ දක්වා ඇත.
    මෙතී‍්‍ර හා නාථ ප‍්‍රතිමා දෙකෙහි වෙනස දැක් වූ පැරණි කලාකරුවෝ නාථ රූපයෙහි මකුටයෙහි බුදුරුව ද, මෙති‍්‍රය රූපයෙහි දාගැබ් සටහන ද යොදා නෙළුහ. බුදුරුව ගල අවලෝකිතේශ්වර නාථ රූපවෙහි ඇති තවත් විශේෂයක් නම් එය කටක හස්ත මුද්‍රාවෙන් නෙළා තිබීමයි. ධර්ම හඬ හා එහි ආරක්ෂාව සංකේතවත් කරන්නාහු වජ‍්‍රපාණි බෝධිසත්වයෝ ය. බුදුරුවගල පිළිමයට දකුණින් ඇති ති‍්‍ර මූර්ති තේමාවේ ප‍්‍රධාන රූපයට දකුණින් ඇති රූපයේ ඔසවන ලද වම් අතේ විශ්ව වජ‍්‍රයක් වෙයි. මේ ප‍්‍රතිමාව සමභංග හිටි ඉරියව්වෙන් නිරූපණය කොට ඇත. ප‍්‍රතිමාවේ දැක්වෙන මුද්‍රා නම් කටක මුද්‍රාව වේ. හිසේ අලංකාර මකුටයකි. මකර කුණ්ඩල වෙයි. මාල දැක්වෙයි. වළලු මූර්තිමත් කර දක්වා ඇත.
    බෝසත් ප‍්‍රතිමාවේ දකුණු පසින් පුරුෂ ලක්ෂණ මනාව පෙන්නුම් කරන තවත් අල්පෝන්නත මූර්තියකි. මෙය අශ්ව හිසක් සහිතව මූර්තිමත් කර තිබේ. මහායාන ග‍්‍රන්ථයක් වන සාධන මාලාවට අනුව අශ්ව හිසක් සහිතව නිරූපණය කරන්නේ සුදන කුමාර ප‍්‍රතිමාව ය. මොහු අවලෝකිතේශ්වරගේ පුත‍්‍රයා ය යන මතයක් මහායානිකයන් තුළ පවතී. මෙහි මැද තිබෙන්නේ බෝධිසත්ව ප‍්‍රතිමාවකි. ස්තූපය යොදන්නේ මෙතී‍්‍ර බෝධිසතුන්ට ය. ඒ අනුව මේ ප‍්‍රතිමා තුනින් මෙතී‍්‍ර බෝධිසත්වයන් වහන්සේ ප‍්‍රමුඛ ය. මොහුගේ පිළිමය මෙහි නෙළා ඇති බව මහාචාර්ය පරණවිතානගේ මතයයි.
    මහායානිකයෝ කි‍්‍ර.ව. 3 වන සියවස පමණ දී ශී‍්‍ර ලංකාවට ඔවුන්ගේ බෝධිසත්වයන් හඳුන්වා දුන්හ. අවලෝකිතේශ්වර හෙවත් නාථ ඔවුන් අතර මුල් තැන ගනී. ඒ බෝධිසත්වයෝ මහාකරුණාව නියෝජනය කරමින් අතට පත් නිවන් සුව හැරපියා දුකට පත් සත්වයින් බුද්ධත්වය කරා යොමු කිරීම හා ඔවුන් ආරක්ෂා කිරීම තම වගකීම ලෙස සලකා කි‍්‍රයා කරන්නෙකු වේ. රෝග සුව කිරීමට එතුමා හට ඇති අති මානුෂීය බලය අනභිභවනීය බෝධිසත්වයකු වශයෙන් මතුවීමට හේතුවක් විය. දඹුල්ලේ රජ මහා විහාරයේ බුද්ධ අවලෝකිතේශ්වර හා මෙති‍්‍රය ති‍්‍ර මූර්තියේ මෙති‍්‍රය අවලෝකිතේශ්වර මෙන් ධ්‍යානී බුදුරුව හිසේ පැලැඳ සිටියි. මහනුවර දළදා මාළිගාව හා සම්බන්ධ සතර දේවාලවලින් එකක් නාථ හෙවත් අවලෝකිතේශ්වරට වෙන් වී තිබේ. මෙති‍්‍රයට එහි තැනක් දී නැත. එහෙත් මෙති‍්‍රය සමාජයෙන් ගිලිහී යාමක් එයින් අදහස් නොවෙයි. මහනුවර යුගයෙහි බොහෝ විහාරවල මෙති‍්‍රයට ද තැනක් දී තිබේ.
    සුජිත් නිශාන්ත හේවගේ (Silumina Punkalasa)

    සම්බුදු හිමිගේ කේස ධාතු පිහිටි තිරියායේ අසිරිමත් ගිරිහඬු වෙහෙර


    ත්‍රි කුණාමල නගරයට සැතපුම් 30 ක්‌ පමණ උතුරුපසින් ඊසාන දිග කල්අරාව (ගල්වරාය) කලපුවට නුදුරු සමුදුර දළ රළ පෙළ උකහා හමා එන ලවණ මුසු සුළඟින් සැලෙන සදාහරිත තුරුලියෙන් යුත් අලි ඇතුන් දිවි වලසුන් නිදැල්ලේ පෙම් කෙළින තිරියාය නම් වන පෙතෙහි දෙමළ වගට අයත් මිනිසුන් කන්දසාමි මලෛ යනුවෙන් හඳුන්වන හුදකලාව නැගී සිටි ගිරි ගිසක්‌ වේ. ඉතිහාස කතාවන්හි මෙම කන්ද හැඳින්වෙනුයේ ගිරිකණ්‌ඩක පබ්බතය හෙවත් ගිරිහඩු කන්ද යන නමිනි. මෙහි මුදුනත අතීතයෙහි මෙරට සිටි විශ්මිත ගල් කැටයම්කරුවන්ගේ අතින් නිමවී ඇති අලංකාර වටදා ගෙයකට මැදිකොට තනන ලද කුඩා චෛත්‍යයෙහි බුදුරජුන්ගේ කේශ ධාතූන් තැන්පත් කර ඇතැයි යන වෘත්තාන්තය බැතිබර බොදුනු හදවත්හි තහවුරුව පැවැති නිසා මධ්‍යකාලීන අනුරාධපුර රාජධානි යුගයෙහි ගිරිකණ්‌ඩක පබ්බතය සමස්‌ත බෞද්ධයන්ගේම භක්‌ති පූර්වක නමස්‌කාරයට පාත්‍ර වූ විශිෂ්ට පුණ්‍යස්‌ථානයන්ගෙන් එකක්‌ බවට පත්ව තිබිණි.

    බෞද්ධ චරිත කතාවන්හි දැක්‌වෙන අයුරු බුදු හිමියන් දස මරුන් බිඳ බුද්ධත්වය ලැබ සත් සති ගෙවා සමවතින් නැගී සිටි දින අරුණෝදයෙහි දඹදිව උතුරුදිග වූ උක්‌තලා නුවර සිට මධ්‍ය දේශයට වෙළෙඳ ගමන් යමින් සිටි තපස්‌සු භල්ලුක යන දෙසොහොයුරන්ට අනපේක්‍ෂිත ලෙස බුදුහිමියන් හමුවී ඇත. එවිට, ඔවුහු දුර ගමන් යන වෙළෙඳුන් ක්‍ෂණික ආහාරයක්‌ ලෙස පිළියෙළ කර ගැනීමට ගෙන යන විළඳ හා මීපැණි බුදුරජුන්ට පිළිගන්වා පළමු වරට බුදුන් දහම් සරණ ගිය ද්වාචික උපාසකයන් බවට පත්ව සිහිවටනයක්‌ ලෙස යමක්‌ දෙන ලෙස බුදු හිමියන්ට ආයාචනා කරන ලදැයි පැවැසේ.

    අනුස්‌මරණීය වූ මෙපුවත දඹදෙණි යුගයෙහි වැඩ සිටි මයුරපාද පිරිවෙන්පති බුද්ධපුත්ත හිමියන් පූජාවලියෙහි සටහන් කර ඇත්තේ ස්‌වාමිදරුවෝ ශ්‍රී හස්‌තයෙන් සිරස පිරිමැද කේශධාතු මිටක්‌ ගෙන ඔවුන්ට දුන් සේක. ඔවුහු රුවන් කරඬුවකින් ඒ කේශධාතු පිළිගෙන රථයෙහි තබා සිය නුවරට ගෙන ගොස්‌ පූජා කරන්නාහු. කලෙක ජල යාත්‍රාවෙහි ඇවිද ශ්‍රී ලංකාද්වීපයට පැමිණ දර පැන් සොයා ගිරිහඩු බැස දා කරඬුව ගල පිට තබා බත් පිස කා යන කල දා කරඬුව තුබු පළින් සොලවා ගත නොහී මේ උත්තම ස්‌ථානයක්‌ වනැයි දැන පුදා පාෂාණ ගොඩකින් වසා මල් පුදා ගියහ. පසුව එතන ගිරිහඩු නම් වෙහෙරක්‌ විය යන ලෙසිsනි.

    මෙහි ගිරිහඬු බැස දා කරඬුව ගල පිට තබා යන වැකියෙන් හැඟවෙන්නේ වෙළෙඳ සොහොයුරන් අහඹුවෙන් මෙහි පැමිණ දර පැන් සොයා බත උයන විට බිම තැබූ දා කරඬුව මුල් ඇඳගත් බවකි. එහෙත් එය එසේ නොවේ. ස්‌වර්ණභූමියේ හෙවත් මියන්මාරයේ ඇති ස්‌වේදගොන් චෛත්‍යය ද මෙම වෙළෙඳ ශ්‍රේණිය විසින්ම බුදුහිමියන්ගේ කෙස්‌ දා තබා තනන ලද බවක්‌ එරට බොදුනුවෝ පිළිගනිති. ඇµaගනිස්‌තානයේ ද මොවුන් බුදුන්ගේ කෙස්‌දා නිධන් කොට වෙහෙරක්‌ තනන ලදැයි හිHqන්සාන් හිමියන් සඳහන් කර ඇතැයි පැවැසේ. එමගින් මෙම වෙළෙඳුන් විවිධ රටවල් කරා ගිය පිරිසක්‌ බව තහවුරු වේ. නැව් පුරා බඩු පටවා ඔවුන් මෙහි පැමිණ ඇත්තේ අහඹු ගමනක්‌ ලෙසින් නොව පුරුදු වෙළෙඳ නගරයකට විත් තමන් ගෙන ආ බඩු විකුණා මෙරටින් ගත හැකි දේද ගෙන වෙනත් රටකට නැවත යැම පිණිස විය හැකිය. ගිරිහඩු කන්ද පිහිටා ඇත්තේ සමුදුර අසලම නොව මුහුදු තෙරට සැතපුම් කිහිපයක්‌ ඔබ්බෙනි. කල්ලරා (ගල්වරායට) පැමිණි නාවිකයන්ට බත උයා කෑමට සැතපුම් කිහිපයකට ඈත ගිරිහඩු කන්දට නැගීමේ අවශ්‍යතාවක්‌ නැත. එනිසා එමගින් නිගමනය කළ හැකි වන්නේ ඔවුන් සුපුරුදු තැනකට පැමිණ මනා ආරක්‍ෂිත බිමක දා කරඬුව තැන්පත් කොට ඇති බවකි. මෙම කන්දට "නිතිපත්" පහන යන නමද භාවිතා කෙරේ. එම නම අනුව නිතිපතා දල්වන ලද පහනක්‌ මෙහි තිබූ බවක්‌ ධ්වනිත වේ. ඇතැම් විට ආදියෙහි සමුදුර ගමන් ගන්නා නාවිකයන්ට මඟපෙන්වීමට මෙම ගිර මත නිතිපතා දල්වන ලද පහනක්‌ තිබුණා ද විය හැකිය.

    අපගේ සම්භාවිත වංස කතාව වූ මහා වංසයෙහි තපස්‌සු හා භල්ලුක යන වෙළෙඳුන්ට ද බුදුහිමියන් දෙන ලද කේශධාතූන් මෙරටට ගෙනවිත් ගිරිහඩු නම් තැනක මිහිදන් කර වෙහෙරක්‌ තනන ලද පුවත නොදැක්‌වේ. එහෙත් මහානාම නිරිඳුන් දවස (ක්‍රි.ව. 406/428) කුරුඳුවෙහෙර වැඩ සිටි අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන්ගේ විසුද්ධිමග්ගයෙහි ගිරිකණ්‌ඩක විහාරයෙහි අතිශය රමණීයත්වය විස්‌තර කර ඇත. එහි ඇති එක්‌ කතා පුවතක දැක්‌වෙන අයුරු ගිරිකණ්‌ඩ පර්වත ආසන්න ගමක අඹුසැමි යුවළක්‌ ගමන් දුෂ්කර නිසා තම ගැබ්බර දුව නිවසෙහි රඳවා විහාරස්‌ථානයෙහි පැවැති ධර්ම දේශනයක්‌ ශ්‍රවණය කිරීමට ගොස්‌ ඇත. හුදකලාව නිවසෙහි රැඳුන දැරිය විහාරස්‌ථානයෙහි රමණීයත්වය අනුස්‌මරණය කිරීම නිසාම හටගත් බුද්ධාලම්බන ප්‍රීතියෙන් මෙහෙයවී නොදැනුවත්ම එහි ගියහයි දැක්‌වේ.

    අනුරාධපුර රාජධානියට සෞභාග්‍යයේ යශෝකීර්තියේ හා ජයග්‍රහණයේ දිවාකරයා මුදුන්ව පැවැති කාලයෙහි ගිරිහඩු කන්ද අපමණ වූ යතිවරයන් වැඩ සිටි පුණ්‍ය භූමියක්‌ව පැවැතිණි. එහෙත් අනුරාධපුර රාජධානිය බිඳ දැමූ රාජරාජ චෝල අධිරාජ්‍යයාගේ සෙබළුන් පසුපස ගිනි පන්දමක්‌ ගෙන පැමිණි විනාශයේ හා දුර්භාග්‍යයේ දේවතාවිය වූ කාලිය ගිරිහඩු ගල මත පිහිටි කෙස්‌ දා සහිත මහ වෙහෙර වනසා අග්නි දේවයාට පුද දුන්හ. එහි වැඩ සිටි භික්‍ෂූන්ගේ ලෝභිතයෙන් සිරිපතුල් ගල් රත් පැහැ ගත්හ. වැහි කන්න දෙකක්‌ ගතවීමටත් පෙර හාත්පසින් ගලා ආ වනප්‍රවාය ගිරිහඩු කන්ද ගිල ගත්හ. හෙල රජ දරුවන් මෙහි තනන ලද අපමණ වූ වෙහෙර විහාර ආරාමයන්ගේ පවුරු පදනම් දෙදරා මහ රුක්‌ වැවින. අලි ඇතුන් වෙහෙර බිම ගල් ටැම්හි පිට කැසීමට ගොස්‌ සියල්ල බිඳ දැමූහ. දිවි වලසුන් යෝගාවචර යතිවරයින් වැඩ සිටි ගල් ලෙන් තිඹිරි ගෙවල් කොට ගත්හ. පොලොන්නරු රජ දහන ගොඩ නැගූ මහ විජයබා නිරිඳුන් (ක්‍රි.ව. 1055/1110) මෙහි පිළිසකර කළ ද නැවත වල් වැදුණු එහි විසිවන සියවසේ මැද දශකයෙහි (1951 ඔක්‌තෝම්බර් මස) අගමැති ඩී. එස්‌. සේනානායකයන්ගේ දැනුම්දීම මත සෙනරත් පරණවිතාන නම් බොදුණු වියතා එහි පා තබන තෙක්‌ එය පූජාවලියෙහි පිටු අතර පමණක්‌ සැඟවුණ කිසිවෙක්‌ නොදත් පුදබිමක්‌ බවට පත්ව තිබිණි.

    පුරාවිදුවෙහි පිහිටෙන් තහවුරු කරන ලද ගිරිහඩු ගිර මතට නැගීමට දෙමඟකි. ගලාගිය දිය මඟක්‌ මතින් තනන ලද පැරණි ගල් පාලමක නටබුන් දක්‌නට ලැබේ. එක්‌ මඟක්‌ දෙපස අලංකාර ලෙස තනන ලද පොකුණු යුගලක මැදින් තැනුන පටු මාවතක්‌ වේ. එම මඟ කෙළවර වන්නේ අඩි 210 ක්‌ පමණ උස ගිරිහිස නැගීමට තැනුණු තැන කැඩුණු බිඳුණු සෙල් මුවා පියගැට පෙළක පාමුලය. තුරු හිස්‌ මතින් ඔබ මොබ පනින රිලා හා වඳුරන්ගේ කෙළි කවටකම් නරඹමින් අලි වසුරු සහිත එක්‌ වූ මගෙහි ඉහළට ගොස්‌ මහ මළුවට සේන්දු විය හැකිය. තැනින් තැන කටාරම් සහිත ගල් ලෙන්ද වේ. එහි අඩි දෙසීයක්‌ පමණ ඔබ්බෙහි ඔපමට්‌ටම් නොකරන ලද ගලෙක අඩි විස්‌සක්‌ පමණ දිගින් හා අඩි පහක්‌ පමණ පරාසයක අටවන සියවසේදී පමණ පල්ලව අක්‍ෂර මාලාවකින් සකු බසින් ලියවුන සෙල් ලිපියක්‌ ඇස ගැසේ. එම සෙල් ලිපියෙහි කේශ ධාතු තැන්පත් කිරීම පිළිබඳ වෘත්තාන්තය සනාථ කරමින් තපස්‌සු භල්ලුක (පුත්‍රපුෂ්සක වල්ලික) යන වෙළෙඳුන් දෙදෙනාගේ නාමයන් හා ගිරිකණ්‌ඩක යන ස්‌ථාන නාමය ද සටහන්ව ඇතැයි මහ ඇදුරු සෙනරත් පරණවිතානයන් ලියා ඇති ලිපි මාලා 1 පොතෙහි දැක්‌වේ.

    මෙම සෙල්ලිපිය මෙකල බසට නඟා ඇති එතුමන් අහස්‌ ගඟේ හටගත් නෙලුම් පතින් කළ ගොටුවල පුරවන ලද සුවඳ ජලය ගත්තා වූ ද අත්හි ගන්නා ලද පුෂ්ප ධුප මැණික්‌ පහන් ආදී පූජා භාණ්‌ඩ ඇත්තා වූද දිව්‍ය ස්‌ත්‍රීහු ලලිතභාවයෙන් යුක්‌තව සුරපුරයෙන් බැස ගිරිකණ්‌ඩිකයෙහි වැඩ වසන භාග්‍යවතුන් වහන්සේට සතුටු සිතින් පුදත්. දේවේන්ද්‍රයා ද නොයෙක්‌ පිරිවර දෙවියන් විසින් අනුගත වූයේ සුලලිත වූ දිව්‍ය සංක පටහ ආදිය වයමින් අවුත් දිව්‍ය වාක්‍ෂයන්හි හටගත් අලුත් මල්කැන් විසුරුවමින් උතුම් වූ ගිරිකණ්‌ඩිකයෙහි පිණිපා සුචරිතයෙහි හැසිරෙයි යන ලෙසින් සඳහන් කර ඇත.

    ගල් පඩි යොදා සෝදා පාළු නොවන සේ, ගල් වැටි බැඳ සංරක්‍ෂණය කරන ලද අඩ අක්‌කරයක්‌ පමණ වූ මහ මළුව නයනාභිරමණීය දර්ශනයක්‌ ගෙන දෙන තැනකි. එහි නැගුන එක්‌ පසෙකින් රළ නඟන නිල්වන් මහ සමුදුරත්, අනික්‌ පසින් අනන්තය තෙක්‌ පැතිරුන නිල්වන් වන උයනත් දැකගත හැකිය. එහි ඇත්තේ නෙත් සිත් පිනා යන දසුන්ය, වසබ නිරිඳුන් (ක්‍රි.ව. 67/111) තට්‌ටකාලක ගමෙහි තනන ලද නිතුපත්පහන වැවෙහි දහවල ජල කෙළියෙහි යෙදෙන වල් ඇතුන් බුදු පුදට නොව අහරට නෙළුම් මල් නෙළන අයුරු ද නෙත ගැටේ. අරුණෝදයෙහි මහ මළුවට ගොස්‌ සෙල් ටැඹකට මුවා වී නිහඬව සිටියහොත් එහි රැස්‌වන මොණරුන් දෙවිඳුට උදය පූජාව පිණිස පිල් විදහා සර සර හඬ නංවා තරුණ සෙබඩුන්ගේ සිත් ගැනීමට කරන කාම රංගනය ද නොමිලයේ නැරඹිය හැකිය. මහමළුවෙහිදී කල්ලරා මුහුදු තෙරෙන් හමා එන සුළඟින් ගත ද බුදු බැතියෙන් සිත ද පසන් බවට පත්කරති.

    මහ මළුව මැද මනා කොට ඔපමට්‌ටමින් සුමටව තනන ලද පිටත බිත්ති සහිත වටදා ගෙහි අංගනයෙහි විෂ්කම්භය අඩි 79 ක්‌ පමණ වේ. එහි මැද එකිනෙකට වෙනස්‌ වූ උසින් යුත් ගල් කණු දෙපළක්‌ මැද කවුංචකයක්‌ සහිත වෙහෙරෙහි විෂ්කම්භය අඩි දෙතිසකි. කචුංචකයට ඇතුළතින් ඇති වෙහෙරෙහි විෂ්කම්භය අඩි විසිහතරකි. අතීතයෙහි මෙරට සිටි විශ්මිත ගල් වඩුවාගේ අමරණීය කලා කුසලතාවයන් මෙම වටදා ගෙයින් අපූරුවට දිස්‌වේ. මහ මළුවෙහි සිට වටදා ගෙට පිවිසීමට සිව් දිසාවෙහිම අලංකාර කැටයම් සහිත මුරගල් ඇති පියගැට පෙළක්‌ වේ. වෙහෙර සිව් පසෙහිම මල් අසුන් දක්‌නට ඇත.

    මෙම වෙහෙර බිමින් හමුවී ඇති අවලෝකිතේaශ්වර තාරා මංජු ශ්‍රී ආදී බොහෝ පුරා වස්‌තූන් අයත් වන්නේ මහායාන සම්ප්‍රදායටය. මහා බ්‍රිතාන්‍යයේ බොස්‌ටන් කෞතුකාගාරයෙහි ඇති තාරා දෙවඟනගේ ජීවමාන ප්‍රමාණයේ ලෝකඩ ප්‍රතිමාවද මෙම බිමින් හමු වූ එකකි. එහි අනුරුවක්‌ ජාතික කෞතුකාගාරයෙහි දක්‌නට ඇත. මෙම වෙහෙර බිම අවලෝකිතේශ්වර හෙවත් මහනුවර දළදා රකිමින් වැඩ සිටින නාත දෙවිඳුන්ගේ වාසස්‌ථානයක්‌ ලෙස ද සැලකේ. ආරම්භයෙහි සිටම ගිරිහඩු වෙහෙර ගොඩනැඟී ඇත්තේ මහාවිහාරයට විරුද්ධව සිටි මහායාන මධ්‍යස්‌ථානයක්‌ ලෙසිනි. බුදුරජුන්ගේ කේශ ධාතූන් තැන්පත් කර ඇතත් ගිරිහඩු වෙහෙර තමන්ට සතුරු මහායාන මධ්‍යස්‌ථානයක්‌ වූ හෙයින් මහාවංස කතු හිමියන් එය පිළිබඳ කිසිවක්‌ තම වංස කතාවට ඇතුළත් නොකර ඇත්තේ ද්වේෂ සහගතව නොව සතුරා සතු සර්වඥ ධාතූන්ටත් වඩා වටිනා දෙයක්‌ වුවද අගය නොකිරීමට වග බලා ගන්නා ලෙස අපට ද උපදෙස්‌ දීම පිණිසය.

    බුදු හිමියන් බුදුබව ලත් දිනම එතුමන්ගේ සිරසින් නිකුත්ව එතුමන් මෙරටට වැඩමවීමටත් පෙරම හෝ එයට ආසන්න කාලයෙහි බුදු සසුනේ පළමු උපාසකයන් දෙදෙනා සමඟ මෙරටට වැඩම කළ කේශ ධාතූන් වහන්සේලා තැන්පත් කොට බඳනා ලදැයි පිළිගැනෙන පින් කෙත වන් ගිරිහඩු ගල මත ඇති වෙහෙර නොදුටු බොදුනු ඇස කුමටදැයි එහි නොගිය නොදුටු, අයෙකුට නොවැටහේ. එය එතරම් පියකරුය. මනහරය. හෙල ගල්වඩුවාගේ විස්‌මිත කැටයම් එහි සඟවා ඇත.

    ගිරිකණ්‌ඩික පර්වතය හෙවත් ගිරිහඩු කන්දත් නුදුරෙහි ඇති තිරියාය වන පෙතන්a පිළිබඳව ඇත්තේ මනහර වෘත්තාන්තයකි. විජය රජුගෙන් පසුව සිහසුන් ගත වූයේ එතුමන් සොහොයුරු පුත් පඬුවස්‌ දෙවි නිරිඳුන්ය. බුදුරජුන් හා නෑකමින් බැඳුණ බඳකසයින් කුමරිය මෙහෙසන කරගත් පසුවත් දෙවි රජුගේ දෙවන පුතා සිව නමින් හැඳින්වින, කිස්‌ දොවුන් දියණිය චිත්ත්‍රාය. කාම උන්මාදයෙන් පෙළුන හෙයින් ඇයට උන්මාද චිත්‍රා යන නම පටබැඳිණි. තහනම් පෙම් බැඳුමකින් ඇය ලැබගත් පුතා පකුණ්‌ඩ හෙවත් පණ්‌ඩුකාභය නමින් හැඳින්විණ. පඬුවස්‌ දෙවි රජුන් දවස ගිරිකණ්‌ඩක පබ්බතය පිහිටි පෙදෙස පාලකයා වූයේ සිව කුමරුන්ය. එනිසා හේ ගිරිකණ්‌ඩක සිව නමින් හැඳින්වින. සිව කුමරුන් සතු සිරියාය නම් මහ කෙත පිහිටියේ, ගිරිකණ්‌ඩක පර්වතය අසලය. එක්‌ දිනක සිව කුමරුන් මහ පිරිස පිරිවරා තම සිරියාය කෙතේ ගොයම් කපමින් සිටියදී දියණිය වූ පාලි කුමරිය සහ පිරිවරින් පියාට ඇඹුල ගෙන යමින් සිටියාය.

    උන්මාද චිත්‍රාගේ පුත් පණ්‌ඩුකාභය කුමරුන්ගේ ගුරුවරයා වූ පණ්‌ඩුල බමුණා තම සිසුවාට උපදෙස්‌ දී තිබුණේ කවර හෝ කුමරියක ගසකින් කඩාගත් කොළ රන්වන් පාටින් දිලිසෙනු දුටුවහොත් ඇය මෙහෙසිය කරගන්නා ලෙසය.

    පණ්‌ඩුකාභය කුමරුන් තම මාමලාට එරෙහිව සටන් වැදීමට පිරිවර එක්‌රැස්‌ කරමින් තැන තැන යමින් සිටි දිනක අතරමගදී පියාට ඇඹුල ගෙනයමින් සිටි පාලි කුමරිය දක්‌නට ලැබිණ. ඇවැස්‌ස නෑනා මස්‌සිනා වුවද මොවුන් දෙදෙනා කිසි දිනක අඳුනාගෙන තිබුණේ නැත. පාලි කුමරියගේ රිය වෙත ගිය කුමරු තමන්ටත් තම සගයන්ටත් සාගිනි ඇති බව පවසා අහර බත් ටිකක්‌ දෙන ලෙස ඉල්ලා ඇත. මොවුන්ට අහර දීමට සුදුසු බඳුන් කුමරිය සතු නොවිණ. වහා රියෙන් බට ඇය යෙහෙළියන් හා දාසීන් හා සමඟ එක්‌ව ආගන්තුක තරුණයන්ට බත් දීමට පුළුල් පත් ඇති ගස්‌ වෙත ගොස්‌ කොළ නෙලන්නට විය. දැඩි හිරු රැස්‌ සහිත දිනක බොහෝ ඇවිද වෙහෙසට පත් කුමරුන් නෙත් අඳුරුව නිලන්කාරව පැවතියෙන් කුමරිය නෙළන පත් රන්වන් පාටින් දිලිසෙන බව පෙනිණ. දෛවොපගත ඉරණමක්‌ ලෙසින් කුමරුන්ට පණ්‌ඩුල බමුණාගේ බස සිහි විය. සාගින්නත් වෙහෙසත් අමතක කළ හේ පාලි කුමරියගේ මුව සළු පටකින් බැඳ දෙකට නමා කුදලා කරට ගෙන පස්‌ස නොබලාම කැලෑ මන් ඔස්‌සේ පෙරටම දිවගොස්‌ මහවැලි නදිය ද තරණය කර දුම්රක්‌ ගල වෙත (දිඹුලාගල) වෙත ළඟාවන තෙක්‌ කරට ගත් කුමරිය අතරමඟ බිම තබා නැත. ලේ හුරු සුවඳින් සිහි විකල් කුමරිය ද දඟලා හෝ හඬ නගා හෝ නැත.

    පාලි කුමරිය පැහැරගෙන ගිය පුවත සැල වූ විගසම ගිරිකණ්‌ඩක සිව රජු ද මහ සෙනඟ ගෙන පණ්‌ඩුකාභය කුමරුන් හඹා පසුපසින් දිව ගොස්‌ මහවැලි නදියෙන් එතෙර වී යා නොහී කරගත හැකි කිසිවක්‌ නොවුයෙන් උකටලීව සතුරෙකු වුවත් ඌ මගේ නැඟණියගේ පුත් සහ ලේ ඇති බෑණා නොවෙද කියා සැනසුණේලු.

    මහා වංසයෙහි ද සඳහන් මෙම පුවතින් පැහැදිලි වන්නේ පඬුවස්‌ දෙව් රජුන් දවස ද මෙම ගිරිහිස ගිරිකණ්‌ඩක නමින් හඳුන්වා ඇති බවය. එදා සරියාය මෙදා තිරියාය බවට පත්වී ඇත්තේ සිරියාය යන නම දෙමළ බස්‌ වහර අනුව දෙමළ අකුරින් ලිවීමට හෝ දෙමළ කටින් කීමට හෝ දෙමළ බස උසුරුවන මිනිසුන්ට නොහැකිවීම නිසාය. අප ද දෙමළ බස්‌ වහරට ගරු කරමින් මෙදා ගිරිකණ්‌ඩක සිව රජුගේ මහ කෙත වූ සිරියායට තිරියාය යි කියන්නෙමු.
    කන්තලේ පී. එල්. සිරිසේන (දිවයින අන්තර්ජාල කලාපය)