27 July 2011

ප්‍රාග් මහින්ද යුගයේ ශ්‍රී ලංකා සංස්කෘතිය

අපේඉතිහාසය ආරම්භ වන්නේ විජය කුමරුගේ ශ්‍රී ලංකාවට පැමිණීමේ කථා පුවතත් සමග ය. එහෙත් විජය කුමරා ප්‍රමුඛ පිරිස ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවෙහි සිදු වූ ඇතැම් සිදුවීම් පිළිබද ප්‍රවෘත්තීන් අනුව විජය කුමරා පැමිණීමට පෙර ලක්දිව විසුවන් පිළිබද හැගීමක් ද අප තුළ ජනිත වෙයි. ඒ තොරතුරු අනුව ලක්දිව ආදිම වැසියන් යක්ෂ නමින් හදුන්වනු ලැබූහ’යි නිගමනය කළ හැකි ය.

     “මේ දිවයිනේ විසූ ආදිකාලීන මනුෂ්‍යයන්ගේ විරුද්ධතාවලට ම්හ්ණ පෑමට ඇතැම් විට  වෙළෙදුන්ට සිදු වූ නමුත් ඇතැම් විට සාමයෙන් වෙළෙදාම් කර ගැනීමට ද ඉඩ ලැබුණේ ය. මේ ලජ්ජාශීලි තේරුම්ගත නොහැකි ඉක්මන් ගති ඇති මිනිසුන් අමනුෂ්‍යයන් හැටියට පෙනීම පුදුමයක් නොවේ.”  (ලංකා ඉතිහාසය 1 , 1, පි. 102)

විජයාවතරණය

කුවේණිය පිළිබද කථා පුවත ලක්දිව ආදිම වැසියන් පිළිබද අදහසක් අප තුළ ජනිත කරව යි. විජය කුමරු ලක්දිවට පැමිණි දිනය පිළිබද මහාවංසය කරන විස්තරයෙන් ප්‍රකට වන්නේ යක්ෂ නමින් හැදින්වුනු ඒ වැසියන් එක්තරා අන්දමකට සකස් වූ මිනිස් කොටසක් ලෙසින් කල්පනා කළ හැකි බවය. මෙ දින සිරිසවත්ථු පුරයෙහි තූර්යවාදන, ගීත රාවය සහිත මහත් උත්සවශ්‍රීයෙන් පැවැත්වුණු යක්ෂයින්ගේ ආවාහ මංගලෝත්සවයක් සිදු විය (මහාවංසය VII – 30 - 34).ඥාති සම්බන්ධතා පැවැත්වීම, ාඅවාහ විවාහ මංගලෝත්සව පැවැත්වීම, ගායනය, වාදනය, නර්තණය ආදී සෞන්දර්යාත්මක කාර්යයන් පැවැත්වීම  වැනි දෑ සංස්කෘතික වශයෙන් සමාජය දියුණු වීමෙහි දී දක්නට ලැබෙන සමාජාංගයෝ යි. ප්‍රාකෘතික සමාජවල ප්‍රාථමික ස්වරූපයෙන් දක්නට ලැබෙන නැටුම්, ගැයුම්, වැයුම් වැනි දෑ ගොරහැඩි ය; අසංවරශීලී ය. මහාවංසය වාර්ථා කරන ඉහත සදහන් තොරතුරු වලින් සමාජය සංස්කෘතික වශයෙන් එක්තරා ප්‍රමාණයකට දියුණු වූ තත්ත්වයක පැවති බව පැහැදිළි ව නිගමනය කළ හැකි ය. විජය කුමරු ලක්දිවට ගොඩබසින අවධිය වන විට  කිසියම් ප්‍රමාණයකට එකල ලක්චිව වැසියන් දියුණු තත්ත්වයන සිටියහ’යි නිගමනය කිරීම අසාධාරණ නොවෙ යි.

           විජයාගමනය ප්‍රවාධයක් ලෙස සළකා බැහැර කළද, එම කථා පුවත කියවෙන වකවානුවෙහි දී ඉන්දියාවේ නැගෙනහිරින් හා බටහිරින් මෙන් ද දකුණින් ද භාරතීය ජන කොටස් මෙහි  පැමිණ ඇත. පුරාවිද්‍යාත්මක සාධකයන්ට අනුව මහාතිත්ථ හා ගෝකණ්ණ යන ප්‍රදේශ වල මෙන් ම රුහුණු ප්‍රදේශයෙහි ද මේ සංක්‍රමණික කොටස් ජනාවාස පිහිටුවා ගත්හ. (අනුරාධපුර යුගය, පි. 45 - 60) මෙසේ පැමිණ පදිංචි වූ පිරිස් මිහිදු මහ රහතන් වහන්සේ පැමිණෙන තුරු කවර ආකාරක හෝ ඇදහිළි ක්‍රමයක් අනුගමනය කරන්නට සිදුවූවාට කිසිදු සැකයක් නැත. සමාජ විද්‍යාඥයින් විසින් බැසගෙන ඇති නිගමන වලට අනුව ‘ආගම’ යන වහර භාවිත කළ නොහැකි තත්ත්වයේ යම් යම් ඇදහිලි ප්‍රාථමික ජන කොට්ඨාශ අතර පවා පවති යි. දේශීය ප්‍රභවයක් ඇති ආගම් සම්බන්ධ ව මහාවංසයේ දක්නට ලැබෙන සටහන් විශ්වාස භාවයෙන් වැඩි වෙති’යි හැගේ. බුදුසමය මෙහි ආපසු ඒ හා නොගැටී සාමයෙන් ඒවා පැවති බව ශ්‍රී ලංකා සංස්කෘතික ඉතිහාසයේ දිගින් දිගට ම දක්නට ලැබෙ යි.

     ලක්දිව දියුණු සංස්කෘතිකාංග නියෝජනය කරන ජන කොටස වශයෙන් සැලකිළි  ලබන්නේ විජයාවතාරණයත් සමග මෙ රටට පැමිණි ආර්ය වර්ගයා යි. උපප්‍රවේශයක් වශයෙන් ඉන්දියාවට පැමිණි ආර්ය වර්ගයා දියුණු සංස්කෘතියකට හිමිකම් කිය යි. වේද සාහිත්‍යයෙන් ඒ බව ප්‍රකට වෙයි. ඉන්දියාවේ වර්ධනය වෙමින් පැවති ආර්ය සංස්කෘතිය රැගෙන ආ ආර්ය ජනතාව ලක්දිවෙහි ද ප්‍රබල සංස්කෘතියක් ගොඩනැගීමේ අඩිතාලම දැමී ය. විධිමත් රාජ්‍ය පාලනයකට පසුබිම දැමූ ඒ ජනතාව මූලික වශයෙන් කෘෂිකර්මය පදනම් කොට ගත් ජන ජීවිතයක් ආරම්භ කළේ ය. අද දක්වා ගලා එන ජන ජිවිතයේ පදනම කෘෂිකර්මය පදනම් වූ ආර්ථික ක්‍රමය යි; කෘෂිකර්මය පදනම් වූ සංස්කෘතික රටාව යි. මහින්දාගමනයට පෙරාතු ව ඉන්දියාවෙන් ලක්දිවට පැමිණි ජන කොටස් වරින් වර ඉන්දියාවට ලිව්ම් යැවූ බව මහාවංසය වාර්ථා කරයි. විජය රජුගේ අවසාන සමයෙහි ඔහු සුමිත්ත කුමරුට ලියුමක් යවා ඇත. ඒ තොරතුරු වලින් සිතිය හැක්කේ කිසියම් ක්‍රමයක අක්ෂර මාලාවක් ලක්වැසියන් විසින් භාවිත කළ බව ය. ආර්ය ජනතාව  ඉන්දියාවේ එකල භාවිත කළ අක්ෂර මාලාව මෙහි දී පරිහරණය කරන්නට ඇත.

         පණ්ඩුකාභය රාජ්‍ය සමයෙහි අනුරාධපුරයෙහි කරන ලද ගොඩනැගිලි සමූහයක්ගැන මහාවංසය වාර්ථා කරයි.ඒ අනුව කිසියම් ගෘහ නිර්මාණ කලාවක් ඔයුන් සතුව පවතිනැ’යි සිතිය හැකි ය. පණ්ඩුකාභය රජතුමා විසින් කිසියම් නිශ්චිත සැලැස්මක් අනුව අනුරාධපුරයේ පළමු වැනි වරට අංග සම්පූර්ණ නගරයක් ගොඩනංවාගත් ආකාරය මහාවංසයේ දසවැනි පරිච්ඡේදයේ විස්තර වෙ යි. එතුමන්ගේ මෑණියන් තරුණියක සිටි සමයේ ඇයට විශේෂ ආරක්ෂා සංවිධාන සැලසීම් වස් තනන ලද කවුළු සහිත එක්ටැම් ගෙයක් (ඒකථූනිකා - ම.ව.x පරි.) ගැන විස්තරයක් ද හමුවෙ යි. එවකට භාරතයේ මෙන් ම මෙරටේ ද මේ ගොඩනැගිලි සදහා භාවිත වූයේ අවු වැසි සහිත ස්වභාව ධර්මයාගේ තර්ජණ වලට මුහුණ දීමේ දී ඉක්මනින් විනාශයට පත්වන දැව වර්ග හා මැටි වැනි අස්ථිර ගොඩනැගිලි ද්‍රව්‍යයන් ය. එ හෙයින් ඒවා තැනූවන්ගේ හා භාවිත කළවුන්ගේ ඇවෑමෙන් පසු ඊළග පරම්පරාවන්ගේ ප්‍රයෝජනය හා අධ්‍යනය සදහා ඒවායේ නටබුන් ඉතිරි වූයේ නැත. භාරතයේ ද මූර්ති කලාව හා ගෘහ නිර්මාණ ශිල්පය මුලින් ම හදාරන්නට පටන්ගත් නූතන උගත්තු මෞරය රාජ්‍ය සමයට පෙරාතු ව කාලය නිර්ණය කළ හැකි නෂ්ටාවශේෂයන් දක්නට නොලැබුණු හෙයින් ඒ පැරණි යුගයේ භාරතීයයන් කලාශිල්ප නොදැන සිටි බවට වැරදි නිගමනයනට එළබිය හ. එහෙත් එබදු නිදසුන් දක්නට නැත්තේ ඒ යුගයේ විසූවන් මේ ශිල්ප අබ්‍යාස නො කළ නිසා නොව, ඒ සදහා ඔවුන් යොදා ගත් ද්‍රව්‍ය ඉක්මණින් විනාශයට පත්ව යන මාධ්‍යයන් වූ හෙයිනි. අනෙක් අතට සාමාන්‍ය පුරවැසියන්ගේ වාසය සදහා තනන ලද ගෙවල් ඔවුන්ගේ අභාවයෙන් පසු රැක බලා ගන්නට අවශ්‍යතාවයක් ද සමාජය සතු නොවී ය. මේ නිසා ආගමික හා පොදු අවශ්‍යතා සදහා තනන ලද ගොඩනැගිලි කලක් තිස්සේ ආරක්ෂා කර ගැනීමට, අළුත්වැඩියා කරන්නට හා යලි ගොඩනංවන්නට එක්තරා ප්‍රමාණයක වෙහෙසක් ගන්නා ලද අතර, එ මගින් ඒවා සුරක්ෂිත වූ නමුත් සාමාන්‍ය ජනතාවගේ ගෙවල් දොරවල් සාහිත්‍යමය වාර්ථ‍ාවල සදහන් වන මතකයන් පමණක් ඉතිරි කොට ඇත.

ගෘහ නිර්මාණ              

පාලි වංශකථාවල විරල වශයෙන් සදහන් වන තොරතුරු අනුව ප්‍රකට වන්නේ නගර ඇතුළත හා නගරාසන්නයේ එකිනෙකට ලගින් විශේෂයෙන් ධනවත් හා සමාජයේ ඉහල තලයට අයත් වූවන්ගේ ගෙවල් ද , නගරයෙන් පිටත හා ඈත වැව් ආශ්‍රිත ගම්මාන වල සාමාන්‍ය ජනතාවගේ නිවෙස් ද පිහිටා තිබුණු බවයි. ‘ප්‍රාසාද’ නමින් හැදින්වෙන දෙ මහල්, තෙ මහල් මැදුරු නගරයේ විය. ධනවතුන් සතු වූ මේ නිවාස සදළු තල, දැල් කවුළු, අහසට විහිදුණු අෂ්ණ සමයන්හි දී සනීපදායක වූ කුටි ආදියෙන් සමන්විත වූ අතර , උළු සෙවෙණි කොට හුණු පිරියමින් සකසා, සිත්තමින් සැරසූ බිත්ති ද අවට පොකුණු පලතුරු ආදියෙන් පොහොසත් වූ උයන් වතු ආදිය ද විය. නගරයේ වීථි දෙ පස ‘ආපාන’ නමින් හැදින් වුණු විවෘත සල්පිල් ද, නගරද්වාර ආසන්නයේ යාචකයන්ගේ, වෙළෙන්දන්ගේ, පැවිද්දන්ගේ,මගීන්ගේ හා විදේශිකයන්ගේ පහසුව සදහා ගොඩ නැංවූ විශ්‍රාම ශා‍ලා ද විය. බොහෝ විට පොදු කටයුතු සදහා යොදා ගන්නා ලද වෙජ්ජසාලා, සිවිකාසාලා, සොත්ථිසාලා, චතුස්සාලා යනාදී ගොඩනැගිලි හැදින්වීමේ දී භාවිත වන ‘සාලා’ යන වචනයෙන් හැගෙන පරිදි, රටේ දේශගුණයට ගැලපෙන සේ උස් වහලින් යුතුව හා බිත්තිවලින් වූ ආවරණයහැකි තරම් අඩු වන සේ ටැම් පිට වහල යෙදීමෙන් තනාගත් විවෘත ගොඩනැගිලි නගරවල හා ප්‍රසිද්ධ පාරවල් අසල ඒ ඒ අවශ්‍යතා සදහා ගොඩනංවන්න ඇති බව සිතා ගැනීමට පුළුවන.

       ලීයෙන් තැනූ පඤ්ජරයක් මතුපිට මැටි යොදා තනාගත් (= වරිච්චි බිත්ති) බිත්ති බහුලව භාවිත වූ අතර කුඩා ගෙවල බිත්ති මෙසේ මැටි පිරියමින් පමනක් සමන්විත වූයේ ය.හැකියාව තිබූ අය ඒ මතුපිට සුණු පිරියම් කර ගත්හ. ගෙබිම සකසා ලැනීමේ දී හුඹස් මැටි හා ගොම  මිශ්‍රණයකින් බිම  ආලේප කිරීම සිරිත එදා ද පැවතිණි. ධාන්‍ය ආරක්ෂා සහිතව තබා ගැනීමට මිටි ටැම් ලිපි තැනූ අටුවක් එදා ගෙයින් පිටත ගොඩනංවන ලදැ’යි අනුමාන කළ හැකිය. මුළුතැන් ගෙය හැම ගෙදරකට ම අවශ්‍ය අංගයක් වූ අතර ඇතැම් ගෙවල්වලට වැසිකිලි ද අයත් විය. කුඩා නිවෙස් වල නිවෙසියනට හා ආගන්තුකයන්ට හිදින්න හැකි වන සේ සකසා ගත් පිලක් සහිත එළිමහනට විවෘත වූ ආලින්දයක් වූ අතර විශාල මැදුරුවල  මැද මිදුල වටා වූ  ආලින්දය විවේක සුවයෙන්  උණුසුම් දවාලක කල්ගත කිරීමට සුදුසු පරිදි සැකසිණි.

   අතීත ලංකාවේ පුරවැසියන් විසින් තමන් සතු පොදු වස්තූන් ලෙස ආදරයෙන් රැක බලා ගත්තේ ආගමික ගොඩනැගිලි ය. බුදුසමය ලක්දිවට පැමිණි දෙවැනිපෑතිස් රාජ සමය වන විට, භාරතයේ ඉතා වැදගත් ඓතිහාසික වෙනස්කම් රැසක් සිදු වී තිබිණි. මෙතෙක් පාලකයන් කිහිප දෙනෙකු ප්‍රතිමල්ලව රජුන් සේ උත්තර භාරතයේ විවිධ ප්‍රදේශ තමන් සතු කරගෙන කළ පාලනය වෙනුවට ක්‍රමයෙන් වඩා බලගතු වූ මගධ දේශය කේන්ද්‍ර කොටගත් භාරතෙීය අධිරාජ්‍යයක් මේ වන විට උත්තර භාරතය පුරාම පැතිර තිබිණි. අශෝක අධිරාජයාගේ යුගයේ දී බුදුසසුනට ඒ රජුගේ අනුග්‍රහය ලැබෙන විට එය ජාත්‍යන්තර ආගමික සම්ප්‍රධායක් වීමට අවශ්‍ය ප්‍රමාණ චින්තාමය, චාරිත්‍රමය, වාරිත්‍රමය හා සංඛාමය අංශ වලින් ද වයසින් හා අත්දැකීමෙන් ද පෙහෙසත් ව තිබිණි. එවකට භාරතීය ඉතිහාසයේ විද්‍යාමාන වූ ඉතා වැදගත් ලක්ෂණ දෙක ම අශෝක රජතුමා හා සම්බන්ධ වූයේ ය. ලක්දිවට බුදුසමය ව්‍යාප්තවීම මේ රට ද උත්තර භාරතයේ විකාශයට පත්වෙමින් පැවති සංස්කෘතික ජීවිතයට ආසන්න වීමට හෙතු විය.

        ඉන්දියාව තුළ ප්‍රාදේශිකව විසිර පැවති ශිල්පීය, ආර්ථික හා කලාත්මක සම්පත් ඒකරාශී වීම සමලම භාහිර ලෝකයෙන් ගලා ආ ශිල්ප දක්ෂතාවන්ගේ ආභාසය ද ලැබීමෙන් මෞර්යයන් යටතේ නව සංස්තෘතිකදියුණුවක් ඇතිව පැවතිණි. මේ නිසා ම මෞර්යය අධිරාජයනට විශාල පරිමාණයෙන් නගර නිර්මාණ ආගමික කටයුතු ආදී කාර්යයන්ට අතගැසිය හැකි විය. අශෝක රජු සමයේ ඒ රජුගේ අනුග්‍රහය ලැබීමෙන් බුදුසසුන ද මේ උත්කෘෂ්ඨ උරුමයට හිමිකමක් ලැබී ය. බුදුන් වහන්සේගේ ජීවිතය ආශ්‍රිත ස්ථානවල ඉදිකරන ලද ස්මාරක, වැදගත් ‍බෞද්ධ මධ්‍යස්ථානවලට තනන ලද ස්ථූප හා ප්‍රථම වරට භාරතීය ‍දේශ සීමාවන්ලෙන් බැහැර ව බුදුසමය පැතිරවීමට ගන්නා ලද ප්‍රයත්නය ද මේ සම්බන්ධය නිසා ඇති වූ ප්‍රතිඵල ය. මෙසේ දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ  දී මේ රටට සම්ප්‍රාප්ත වූයේ හුදෙක් ආගමික විශ්වාස සමූහයකට වඩා පුළුල් ඵලදායි සංස්කෘතික බලවේගයකි.
    බුදුසමයේ සම්ප්‍රාප්තියත් සමග මෙරට රජවරුන් බුදුසසුනේ මූලිකත්වය යටතේ විවිධ ස්මාරක තැනූ බව දක්නට ලැබේ. අද මෙ රට පැරණි ගෘහ නිර්මාණ ශිල්පය හදාරන්නන් සදහා ඉතිරිව ඇත්තේ රජවරුනුත්, ප්‍රභූ පන්තියත්, පොදු මහ ජනතාවත් එකට එක් වී සහයෝගයෙන් ඉදිකල ආගමික ගොඩනැගිලි පරම්පරාවකි. චිත්‍ර, මූර්ති සාහිත්‍ය ආදී කොට ඇති අනෙකුත් කලාවන් පිළිබද හැදෑරීමේ දී ද මේ තත්ත්වය මෙසේ ම ය.

      මහාවංසය වාර්ථා කරන පරිදි මුල්ම වරට අනුරාධපුර නගර සීමාව තුළ ධර්ම දේශනය පැවැත්වීම සදහා මිහිදු මාහිමියන්ට සුදුසු තරම් ඉඩකඩ සහිත ගොඩනැගිල්ලක් සපයා ගැනීම දුෂ්කර වී ඇත. එම නිසා දේවානම්පියතිස්ස රජ රාජකීය ඇත්ගාල ඒ සදහා සපයා දුන්නේ ය. තිස්සමහාරාමය තුළ මිහිදු තෙරුන්ට රාජ නියෝගය පරිදි ප්‍රාසාදයක් ඉදිකිරීමට කටයුතු යුහුසුළු ව යොදනු ලැබිණි. මේ කටයුත්ත සදහා හදිසියේ ම මැටි ගඩොළු වියළා ගන්නට යාම නිසා ඒ පහය කළු පැහැ ගත්තේ ය.ඒ නිසා එයට ‘කාළපාසාද පිරිවෙණ’ යයි නමක් පටබැදිණි. මේ එකල රටේ අගනුවර පැවති ගොඩනැගිලි හා ඒවා තැනීමට තිබූ ශිල්පීය දක්ෂතා කෙබදු දැයි ප්‍රකට කැරෙන අගනා නිදසුන් ය.

        මිහිදු මාහිමියන් ප්‍රමුඛ ධර්ම දූතයන් වහන්සේලා සිය පෞද්ගලික වාසය සදහා ප්‍රයෝජනයට ගත්තේ මිහින්තලා පව්වේ පිහිටි ස්වාභාවික ගල්ලෙන් ය. වවුලන් වාසය කළ ඒ ලෙන පිරිසිදු කොට, වැසිදිය ඇතුළට නොඅවුත් පිටතට ගෙනයාම සදහා කටාරම් කොටන ලදි. වියළි කොළ ආදිය යොදා ගිනි ගසා, ලෙන ඇතුළත දුගද බැහැර කොට ගෙන ඇත. මිහිදු මාහිමියන් වැඩවුසූහ’යි සැලකෙන මිහිදුකුටිය මිහින්තලාවේ දී අද ද දක්නට ලැබෙ යි.

භාෂාව හා සාහිත්‍යය
                   

ජන සමාජයක සාමාජිකයන් එකට බැද තබා ගැනීමට හා එකම සමූහයක් වශයෙන් ජීවත්වීමට අවශ්‍ය වන විවිධත්වය මධයයේ පවතින ඒකීයත්වය ඊට ලබා දෙන්නේ ඔවුන් අතර අදහස් හුවමාරු කර ගැනීමට මග සලසන භාෂාව විසිනි. භාෂාව හා සාහිත්‍යය හුදෙක් අදහස් හුවමාරු කර ගැනීමට මග සලසන භාෂාව වශයෙනි. භාෂාව හා සාහිත්‍යය හුදෙක් අදහස් හුවමාරු කර ගැනීමට ආධාරක වනවා පමණක් නොව බොහෝ විට ඒවා හැඩගස්වා ජනතාව හිතන මතන පිළිවෙළ එතක්තරා ප්‍රමාණයකට ඒ මේ අතට වෙනස් කරන්නට ද පොහොසත් වෙයි.

      ප්‍රාග්ඓතිහාසික යුගයේ ශ්‍රී ලංකාවේ විසූ ජනතාව භාවිත කළ භාෂාව කවරක් දැයි කීමට තරම් සාක්ෂ්‍ය අද අප සතු නොවෙයි.  එහෙත් සිංහලයන්ගේ මුතුන්මිත්තන්  මේ රටට  පැමිණෙන විට මෙහි ජීවත් වූ කිසියම් ජන කොට්ඨාශයක් වූ බවත්, ඔව්න් භාවිත කළ භාෂාවක් මෙහි පැවති බවත් අපි සිතමු.දහතුන් වැනි ශත වර්ෂයේ දී රචනා කරන ලද දැනට සිංහල භාෂාව සදහා ඇති පැරණිතම ව්‍යාකරණ ග්‍රන්ථය වන සිදත් සගරාවේ කර්තෘවරයා සිංහල භාෂාවේ යෙදෙන පද ගැන කීමේ දී තෙවදෑරුම් භේදයක් (= තසම හෙවත් තත්සම, තබව හෙවත් තද්භව, නිපන් හෙවත් නිෂ්පන්න) ඇතැ’යි පවස යි. ඒවායින් නිෂ්පන්න යනුවෙන් හැදින්වෙන වර්ගයට අයත් වන්නේ අන්කිසි භාෂාවකින් මිශ්‍ර නොවූ සිංහලද්වීපයෙහි ම ප්‍රකට වූ පද (= කිසි අන් බසින් නුමුසු - හෙළ දිවැ පළ නිපන්නම්) යයි නිර්වචනය දක්වයි. සිදත් සගරාවේ රුකුර, කරඹ යන ධාතු ප්‍රකෘතීන් ද කොළඹ කරළු යන ශබ්ද ප්‍රකෘත්තීන් ද නිෂ්පන්න පද වලට උදාහරණ වශයෙන් දක්වා ඇත. මෙයි්න හැගෙන්නේ සිදත් සගරාව ලියවුණු සමයෙහි විසූ උගතුන් පිළගත් හැටියට සිංහලයේ මාතෘ භාෂා ලෙස සැලකුණු පාලි - සංස්කෘත භාෂාවලින් නො බිදුණු, සිංහල හා සම්බන්ධතා පැවති දෙමළ ආදී ලබා නොගත් වචන කිහිපයක් හෝ සිංහල ශබ්ධ මාලාවෙහි වූ බවයි. මේවා සිංහලයේ ප්‍රභයට පෙර මේ රටේ පැවති භාෂා ව්‍යවහාරයන්ගේ සිංහල පද විය යුතුය. නැත්නම් සිංහලයේ ප්‍රභවයෙන් පසු ස්වකීය අවශ්‍යතා පිරිමසාලීමට සිංහලයන් විසින් ම අන් භාෂා දෙස නො බලා අමුතුවෙන් ම නිපදවා ගත් වචන විය යුතු ය.  මෙයින් දෙවැන්න සාමාන්‍යයෙන් භාෂාවේ වැඩීමේ දී සිදු නො වන්නකි. එහෙයින් පළමු වැනි නිගමනය නිවැරදිනම් සිංහලයෙහි ‘ප්‍රාග්සිංහල’ යුගයක මෙරට භාවිත වූ භාෂාවන්ගෙන් උරුම වූ ශබ්ධ ඇත් අතර, ඒ සැබෑ නම්  වචන කිහිපයක් නොව, ඒ භාෂා ව්‍යවහාරයෙන් උරුම වූ අනෙක් බලපෑම් ද සිංහලයේ වෙතැ’යි නිගමනය කිරීම නිවැරදි වෙයි.

          මෙ ලෙස සිංහලයේ ආරම්භය හා එහි මාතෘ භාෂා පිළිබද තේරුම් ගැනීමේ දී සිංහල නම් භාෂාවක ප්‍රභය කෙසේ සිදු වී දැයි සෙවිය යුතු වෙයි. අදහස් හුවමාරුව සදහා භාෂාව ව්‍යවහාර කරන මිනිස් වර්ගයාගේ කිසිම ජන සමූහයක් එක් වරම, එක් විටම, ඉතිහාසයේ කිසියම් මොහොතක දී අළුත් භාෂාවක් නිපදවා නො ගනිත්. තමන්ට නුහුරු භාෂා ව්‍යවහාරයක් එක් විටම වැළද ගැනීම කොකරත්. භාෂාවන්ගේ ස්වාභාවික විකාශනය හා අළුත් භාෂා ව්‍යවහාරයන්ගේ ප්‍රභවය ක්‍රමික ව එය කථා කරන්නන්ට ද නො දැනුවත්ම වාගේ සිදු වන්නකි. එ හෙයින් අපනැගිය යුතු ප්‍රශ්ණය සිංහල භාෂාව කවරදා කෙසේ ප්‍රභවය ලැබීද යන්න නො වේ.

       සිංහලයන්ගේ ආදි මුතුන්මිත්තන් වූ ආර්ය භාෂා කථා කරන ජනතාවත් උතුරු ඉන්දියාවේ ප්‍රදේශ වලින් ලැමිණි නැ’යි පිළිගැනේ. මේ ‘ආදි සිංහලයෝ’ ඉන්දියාවේ දී ප්‍රාදේශීක ප්‍රාකෘත භාෂාවන් ගණනාවක් ව්‍යවහාර කළ බව උගතුන්ගේ මතය වෙයි. සිංහල භාෂාවේ මුල් ම යුගය ‘සිංහල ප්‍රාකෘත යුගය’ නමින් හදුන්වන්නේ ද මේ නිසා ය. මහාමහින්ද ධර්ම දූත කණ්ඩායම විවිධ සංස්කෘතිකාංග මෙ රටට ගෙන ඒමට පෙර මෙ රට වැසියනට දහම් දෙසීමට කිසියම් විශේෂ භාෂා අධ්‍යයයක් කරන්නට වූ බවක් කිසිම තැනක සදහන් වී නැත. එම නිසා ඒ දූත පිරිස භාවිත කළ භාෂාව මෙරට වැසි ජනයාට අවබෝධ කරගැනීමට කිසිසේත් අපහසු නොවන්නට ඇත. මහින්දාගමනය සිදුවන විට ‘සිංහල ප්‍රාකෘතය’ උත්තර භාරතයෙන් මෙහි පැමිණ වසර තුන්සියයකට ආසන්න කලක් ගත වී තිබිණි.එහෙත් ප්‍රාකෘත ව්‍යවහාරයන්අතර වටහා ගැනීමේ අසීරුතා පැවත නැත. එයින් පැහැදිළි වන්නේ අද මෙන් එදා භාෂාව සීඝ්‍ර ලෙස වෙනස් නොවූ බව ය.

   ධර්මදූත පිරිස බුදුදහම මෙහි ගෙන ආවේ මාගධ ප්‍රාදේශික ප්‍රාකෘත භාෂාවෙන් බව ඉතා පැහැදිළි ය. කෙසේ වුව ද මේ වන විට භාරතයේ පැවති බ්‍රාහ්මණ අක්ෂර මාලාව හා ලේඛන ක්‍රමය ද මේ රටට සම්ප්‍රාප්ත වී තිබිණි. මේ රටේ හමුවන මුල් ම ලිඛිත සටහන් වන භික්ෂූන්ට පූජා කළ ලෙන් පිළිබද ප්‍රවෘත්ති සදහන් කරන කෙටි ලෙන් ලිපි වල එන අකුරු වැල බ්‍රාහ්මී අක්ෂර වලට බෙහෙවින් සමාන ය. මේ කෙටි සෙල්ලිපි වලින් පටන් ගැනීමෙන් දිගින් දිගට  ශතකයෙන් ශතකය නියෝජනය කරන ශිලා ලේඛන පරම්පරාවක් මෙරට දක්නට ලැබෙන හෙයින් ක්‍රමයෙන් සිංහල භාෂාවේ අකුරුවැල විකාශයට පත් වූ අයුරුත්, මේ සමග ම භාෂාවේ ශබ්ධ කෝෂය, එහි විවිධ අර්ථයන් සදහා සකසා භාවිත කරන ලද අන්දම හා වාක්‍යය වල සැලැස්ම යන අංග විකාසයට පත් වූ අයුරුත් දැක ගන්නට ලැබෙ යි. මීට පසු ‘ධම්පියා අටුවා ගැටපදය’ ආදී විශාල සිංහල සාහිත්‍යයක් ඇති වූ  අයුරු සිංහල සාහිත්‍යය ඉතිහාසයෙන් ප්‍රකට වෙයි. මුල් යුගයේ සිංහල සාහිත්‍යය යනු බුද්ධධර්මය ම ප්‍රකාශිත ධර්ම සාහිත්‍යය සේ හදුනා ගත හැකි ය.

ඇදහිලි හා විශ්වාස    
         
ප්‍රාග්මහින්ද යුගයේ ආගමික විශ්වාස ප්‍රමුඛ ගණ දෙකකට බෙදා දැක්විය හැකිය. පළමු ගණයට බ්‍රාහ්මණසමය, ජෛනසමය, ආජීවක ඉගැන්වීම් හා පරිව්‍රාරක ඉගැන්වීම් ඇතුළත් කළ හැකිය. මේවා එක්තරා ප්‍රමාණයකට සංවිධානාත්මක වූ දාර්ශනික පක්ෂයට නැඹුරු ආගම් වන අතර, ඒ සැම එකක් ම භාරතීය ප්‍රභවයකට උරුමකම් කිය යි. දෙ වැනි ගණයට යක්ෂයන්, වෘක්ෂදේවතාවුන්, ඉටු දෙවියන්, මළගියවුන් වැනි අය පිදීම ඇතුළත් වෙ යි. මේ සියල්ල ආගම් වශයෙන් ක්‍රමික ව සංවිධානය වූ ඒවා නො වන අතර භාරතීය ප්‍රභයන් පිළිබද ව කථා කිරීම අනවශ්‍ය තරමට දේශීයත්වයෙන් යුක්ත වෙයි. එසේ ම සැම ප්‍රාථමික ජන සමාජයක ම මෙ වන් විශ්වාස පොදු ජනයා තුළින් පහළව පැතිරෙන බව සමාජ විද්‍යාඥයන්ගේ පිළිගැනීම යි. මේ වර්ග දෙකේ ම ආගමික විශ්වාසයන්ගෙන් සංකීර්ණව විචිත්‍ර ව එහෙත් බුදුසමය පිළිබද පමණක් කිසිදු හැදුණුමකින් තොර ව පැවති පරිසරයක් මහාවංසයෙන් විස්තර කැරෙන බව පිළිගැනීමට සිදු වෙ යි. මිහිදු මහරහතන් වහන්සේ විසින් ලක් වැසියනට බුදුසමය හදුන්වා දෙනු ලැබූයේ මේ ඌනතාව පිරිමසාලීම සදහා ය.

 කිරින්දෙන් හමු වූ (= පළම් වැනි සියවසට අයත්) පද්‍යමය සෙල්ලිපියෙහි නාග නමැති යුවරජු මිත්‍යාදෘෂ්ටිය අත්හැර බුදුසමය වැළදගත් බව සදහන් වෙ යි. මෙහි සදහන් මිත්‍යාදෘෂ්ටිය යනු ප්‍රාග්බෞද්ධ යුගයෙහි සිට මෙ රටට පැවත ආ ඇදහිළ විය හැකි ය.පොදු ජනතාව අතර පමණක් නොව, රාජකීයයන් හා රාජකීය පවුල් ආශ්‍රිත ප්‍රභූන් අතර ද මෙවැනි ඇදහිලි හා විශ්වාස පැවති බව සිතිය හැකි ය. පණ්ඩුකාභය රාජ සමය පිළිබද වංශකථා වල එන විස්තර වලින් ප්‍රාග්බෞද්ධ යුගයෙහි ශ්‍රී ලංකාවේ පැවති විවිධාකාර ඇදහිලි පිළිබද අංග සම්පූර්ණ තොරතුරු අපට හමු වෙ යි. පණ්ඩුකාභය රජු දවස යක්ෂ ඇදහිල්ලට හා වන්දනාවට සෑහෙන තැනක් තිබිණි. පණ්ඩුකාභය රජ චිත්තරාජ නමැති යක්ෂයාට අභය වැවේ පහළ කෙළවරෙහි වාසස්ථානයක් තනා දී ඇත. චිත්තරාජ යක්ෂයා ජලයට අධිගෘහිත භූතයකු සේ සැලකේ. කුරුධම්ම ජාතකයේ විස්තර වන අන්දමට චිත්තරාජ ඇදහිල්ල භාරතයේ ද පැවතිණි. පණ්ඩුකාභය රජු කාලවේල නමැති   යක්ෂයාට නගරයේ නැගෙනහිර පැත්තේ වාසස්ථානයක් ඉදි කොට ඇත. චිත්තරාජ හා කාලදේව යන යකුන් දෙදෙනා ගැන ම මහාවංසයේ සදහන් වන්නේ එකටම ය.මේ දෙදෙනා මිනිසුන් වශයෙන් ජීවත් ව සිටිය දී පණ්ඩුකාභය කුමරුන්ගේ දෙමාපියන්ට ඉතා හිතවත් ව සේවය කළ සේවකයන් බවත්, උන්මාදචිත්‍රාගේ සහෝදරයන් මොවුන්ගෙන් යම් යම් තොරතුරු විමසා ඒවා හෙළි නො කළ වරදට ජීවිතක්ෂයට පත්කරනු ලැබූ බවත්, පෙර ආත්ම භාවයේ පැවති හිතවත්කම නිසා යක්ෂාත්මය ලැබූ පසුත් පණ්ඩුකාභයට හිතවත් ව විසූ බවත් මහාවංසය විස්තරාත්මක ව පවසයි. උත්සව අවස්ථා වලදී පණ්ඩුකාභය රජු මේ භූතයන් දෙදෙනා සමග සම අසුන් වල හිද විවිධ ක්‍රීඩාවන් නැරඹූ බව ද පවසා ඇත. මහාවංස විස්තරය අනුව මේ දෙදෙනා මළ භූතයන් බව පිළිගත හැකි ය. මොවුන් දෙදෙනා ගැන විස්තරයෙන් ශ්‍රී ලංකාවේ මළ ගිය ඇත්තන් පිදීම හෙවත් පීතෘ වන්දනාව පැවති බව ප්‍රකට වෙයි. ජීවතුන් අතර වාසය කරද්දී පණ්ඩුකාභය රජ පවුලට මහගු සේවාවක් කළ මේ හිතෛෂී සේවකයන් දෙදෙනා මළ පසු ඔවුන්ට භූතාත්ම ලෙස සලකා පූජා පවත්වන්නට ඇත.රජතුමා ඔවුන් හා සම අසුනේ සිට රැගුම් නැරඹීම ඇතැම් විට ඔවුන්ගේ ප්‍රතිමා භාවිත කිරීමෙන් කළා විට හැකි ය.

 පණ්ඩුකාභය රජ පවුලට ලෙන්ගතුව සිටි දාසියක් ද මළ පසු යක්ෂණියක ව උපත ලැබුවා ය. ඊට පසු පණ්ඩුකාභය රජු ඇයට නගරයෙන් දකුණු වාසල දෙවොලක් ඉදි කොට දුන්නේ ය. ප්‍රාග්බෞද්ධ යුගයේ සිට ප්‍රභවය සදහන් වන ප්‍රේතාත්ම පිළිබද ව විශ්වාසය පසුකාලීන ව ද පැවත ඇත. ක්‍රි.ව. 4 වන සියවසේ රජ කළ මහසෙන් රජු මිය ගිය පසු ජනතාව ඔහුට ‘මින්නේරි දෙවියෝ’ යන  විරුදාවලිය භාවිත කරමින් පුද පූජා පැවැත්වූ යේ ය. පණ්ඩුකාභය රජතුමා මහේජ නමැති යක්ෂයා සදහා දේවාලයක් කරවූ බවත්, පසු කාලයේ දී ථූපාරාමයේ නිදන් කිරීම සදහා ධාතුන් වහන්සේලා වැඩම කළ ඇතා මහේජ දේවාලය දක්වා ගමන් කළ බවත් සදහන් වෙයි. මේ විස්තරය අනුව මහේජ දේවාලය දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ ද පැවති බව පිළිගත හැකි ය. මළගියවුන් පිළිබද විශ්වාසය ප්‍රාග්මහින්ද යුගයෙහි ලංකා සමාජයෙහි දැඩි ව පවතින්නට ඇත. මිහිදු මහරහතන් වහන්සේ පොදු ජනතාව සදහා පැවැත් වූ ධර්ම දේශනා වලට මාතෘකා පේතවත්තු හා විමානවත්තු යන දේශනා වලින් තෝරා ගත් බව පෙනේ. පේතවත්තු හා විමානවත්තු යන ගුන්ථ දෙකෙහි ම විස්තර කරන්නේ මිය ගිය ඇත්තන් ගේ කථා වස්තු ය. මෙ ලොව ජීවත්ව සිටිය දී කළ කුශල හා අකුශල කර්මවලට අනුරූප ව ඊලග උපත ලැබෙන අයුරු  ඒ කථා වලින් විස්තර වෙයි. සේශීය වශයෙන් ජනතාව අතර පැවති ආදි කල්පිත මළවුන් ඇදහීමේ සිරිත, බෞද්ධ ආචාරාත්මක ඉගැන්වීම් සමාජයට කාවැද්දීම සදහා මිහිදු හිමියන් උත්සාහ ගත් බව මෙයින් පැහැදිළි වෙ යි.

   පුරාණ ලංකා වැසියන් විසින් මහෙජ, වෛශ්‍රයණ, විභීෂණ, කලසෝදර වැනි යක්ෂයෝ පුදනු ලැබූහ. යක්ෂණියන් පිළිබදව ද මහාවංසය සදහන් කරයි. වළවාමුඛී, පශ්චිමරාජිනී, යන යක්ෂණියෝ ඔවුන් අතර ‍වෙ ති. වළවාම්ඛී (=චේතියා)  ජුතින්දරගේ භාර්යාවයි. මැය අශ්ව වේශයෙන් පණ්ඩුකාභය රජුට උපකාර කර ඇත. වෘක්ෂ දෙවතාවන් පිදීම ද  ඈත අතීතයේ සිදු වූ බවට සාධක හමුවෙ යි. පණ්ඩුකාභය විසින් අනුරාධපුර බටහිර වාහල්කඩ අසල නුග ගසක් වෛශ්‍රවණගේ වාසභවන සේ ද, තල් ගසක් ව්‍යාදදේවගේ වාසභවනය සේ ද සම්මත කර ඇත.  තල් ගසට ඉපැරණි ඉන්දීය ජනතාව ද පුද සත්කාර පවත්වා තිබේ.

   ගෝත්‍රික ජන කොටස් සිය ඉෂ්ට දෙවතාවන් ලෙස යම් යම් දෙවිවරුන් ඇදහීම කවර සමාජයක වුව ද දක්නට ලැබෙ යි. පැරණි ලක් වැසියන් ද එක් එක් පිරිස් වල ඉෂ්ට දේවතාවන් ලෙස යම් යම් දේවතාවුන් නියම කරගෙන සිටි බවට මහාවංසයේ එන විස්තර ම සාධක සේ දැක්විය හැකි ය. ව්‍යධ දේවතාවන් වැද්දන්ගේ හෙවත් දඩයක්කාරයන්ගේ දේවතාවා යි. කම්මල්කරුවන්ගේ දේවතාවා ‘කම්මාරදේව’ නමින් හැදින්විණි. මේ හැර මුළු අනුරාධපුරයට ම අධිපති දෙවියා පුරදේව ය. මුළු සිරිලකට ම අධිපති දෙවියා උප්පලවණ්ණ ය. මෙ බදු දෙවිවරුන් පිළිබද හැගීම් මූල බීජ භාරතයෙන් මෙහි පැමිණීම සිදු විය හැකි ය. එ මගින් ප්‍රකට වන්නේ ඉහත සදහන් දෙවිවරුන් ඉන්දියාවේ සිට මෙහි කැදවාගෙන ආවා ය යන්න නොවේ. ඒ ඒ වස්තුවලට අධිගෘහිත දෙවිවරුන් ඇත යන විශ්වාසය භාරතයෙන් පැමිණි ජනතාවගේ සිත් තුළ වූ බව ය.

  නාගයන් ඇදහීම ද තාරකා වන්දනය ද වෘක්ෂ වන්දනය ද මෙ කළ පැවති බව පෙනේ. නක්ෂත්‍ර විද්‍යාවත් නිමිති ශාස්ත්‍රයත් පුරාණයේ සිට පැවති බව පැහැදිළි ය. නැකැත් අනුව වැඩ කිරීම ද නිමිති ශාස්ත්‍රය ද දත් අය කී අනාවැකි ද පිළබද විස්තර අපට හමු වෙ යි. මේ විශ්වාස දැඩිව පැවතියාට කිසිදු සැකයක් නොමැත. ප්‍රාථමික සමාජ වල මෙබදු විශ්වාස පැවතීම ස්වාභාවික ය. එය අපූර්ව දෙයක් නොවෙ යි. එම නිසා ලංකාවේ ද එ බදු විශ්වාස ස්ථිරව ම පවතින්නට ඇත.

 මේ විශ්වාස බුදුසමයට එරෙහි ව ක්‍රියා කළ බවට සාධක කිසිවක් නොමැත. මිහිදු මාහිමියන් රැගෙන ආ බුදුසමය මෙ බදු අහිංසක විශ්වාස සමග සහජීවනයෙන් පැවති බවට සැකයක් ද නොමැත. මක් නිසාද යත් එබදු විශ්වාස කෙරෙහි නම්‍යතාවෙන් යුක්ත වූ බව පේතවත්තු හා විමානවත්තු දේශනාවන්ගෙන් මෙන් ම ආටානාටිය වැනි සූත්‍ර වලින් ද ඔප්පු වන බැවිනි. දහවැනි සියවසේ සෙල්ලිපියක තිසාවැවේ විසූ රකුසකු මිහිදු මාහිමියන් විසින් දමනය කරනු ලැබීමක් පිළිබද සදහන් කරයි. මෙය ප්‍රාග්බෞද්ධ සමාජයෙහි පවැති යක්ෂ භූත විශ්වාස බුදුසමයට අනුවර්ථනය කරගැනීමක් විය හැකි ය. බුදුසමය අදහන ජනතාව අතර අද පවා මේ විශ්වාස නොකඩවා පවත්වාගෙන යනු ලැබෙයි.

බ්‍රාහ්මණ ආගම
 
ඓතිහාසික තොරතුරු වලට අනුව මුල් යුගයේ ‘බ්‍රාහ්මණආගම’ට වැදගත්ම ස්ථානය හිමි වී පැවතිණි. විජය කුමරු පිළිබද කථා පුවතින් දැක්වෙන පරිදි ආර්ය පිරිස උතුරු ඉන්දියාවේ සිට මෙහි පැමිණි බව පෙනේ. මේ ලංකා සමාජයෙහි ද ඔහු භාරතීය සමාජයෙහි මෙන් ම ප්‍රභූත්වය උසුලන්නට ඇත. අපේ වංශකථා වල බමුණන් පිළිබද තොරතුරු මහත් රාශියක් ඇතුළත්ව තිබේ. සිංහල රාජවංශය බුදුසමය වැළදගත් පසු බ්‍රාහ්මණයන් නැතිව බැරි පිරිසක් වූ බව පසුකාලීන ලංකා ඉතිහාසයෙන් ප්‍රකට වෙ යි. විජය සමග පැමිණි උපතිස්ස කලක් ශ්‍රී ලංකාවේ අගනුවර ව පැවති උපතිස්ස් ග්‍රාමය නිර්මාණය කළේ ය. එසේ ම ඔහු රජුගේ පුරෝහිත තනතුර ද දැරී ය. පණ්ඩුකාභයට ශිල්ප ශාස්ත්‍ර ඉගැන් වූ ගුරුවරයා පණ්ඩුල ය. ඔහු බ්‍රාහ්මණයෙ කි. පණ්ඩුකාභයගේ පුරෝහිත තනතුර ද ලබා ගත්තේ ය. පණ්ඩුලගේ පුත්‍රයා වූ චන්ද්‍ර පියා‍ගෙන් පසු ඒ තනතුරට පත් වූයේ ය. අපේ ඉතිහාස වාර්ථා වලට අනුව ලක්දිව පුරෝහිත තනතුර බ්‍රාහ්මණයන් විසින් ම උසුලන ලද ඉතා වැදගත් රාජකීය තනතුරකි.

 පණ්ඩුකාභය රජතුමා ‘සොත්ථිසාලා’ නමැති ගොඩනැගිල්ලක් තැනවී ය. මේ ශාලාව බමුණන් විසින් ස්වස්ති වචන පවසන ශාලාව නැතහොත් ආරෝග්‍යශාලාව යයි මහාවංසටීකාව සදහන් කරයි. ටීකා වේ සදහන් අර්ථ දෙකින් “යහපතක් ම වේවා” (= සොත්ථ්‍යත්ථු) යි ආශිර්වාදාත්මක වචන පවසන ශාලාව ‘’සොත්ථිසාලා යන්නෙන් සදහන් කළ බව විද්වත්නුගේ පිළිගැනීම යි. ඒ අනුව බ්‍රාහ්මණ ආගම සෑහෙන ශක්තියකින් යුතුව මෙහි පැලපදියම් වී පැවති බවට සැකයක් නැත. සිංහල රාජවංශය බුදුසමය වැළදගත් පසු ඛල්ලාටනාග, වළගම්බා වැනි රජවරුන්ගේ රාජ්‍ය සමයන්හි දී ඇති වූ අබෞද්ධ විප්ලව මාලාවෙහි තිස්ස් බ්‍රාහ්මණයා බල පිරිස් පිරිවරා කළ පෙරළිය ආදියෙන් පැහැදිලි වන්නේ බ්‍රාහ්මණ ආධිපත්‍යය සුළුපටු නොවූ බව ය.
 බ්‍රාහ්මණයන් ක්ෂත්‍රීයයන් සමග ලග ඇසුර ලත් ප්‍රභූ පිරිසකි. ඔවුන් විසින් ඉටු කළ ආගමික කටයුතු වලට අතිරේඛව දේශපාලනමය අභිප්‍රායන් ද මොවුන් වෙත පැවත ඇත.මූලාරම්භයෙහි සිට ම බ්‍රාහ්මණ ඇසුර හා බලය දක්නට ලැබෙන නිසා බ්‍රාහ්මණ ආගම මෙහි පැවති බව විශ්වාස කළ හැකි ය.

 ජෛන ආගම් පිළබද තොරතුරු ද අපේ ඓතිහාසික මූලාශ්‍රයන් හි ඇතුළත් වෙ යි. පණ්ඩුකාභය රජතුමාගේ කාලය හා බැදුනු තොරතුරු රැසක් ඒ අතර වෙ යි. ජෝතිය, ගිරි හා කුම්භාණ්ඩ යන නම් ඇති නිගණ්ඨයන් තුන් දෙනෙකු ගැන මහාවංසයේ වාර්ථා වෙ යි. මේ නිගණ්ඨයන්ට පණ්ඩුකාභය රජු වාසස්ථාන ඉදි කොට දී ඇත. මේ නිගණ්ඨාරාම තුන දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේත් පැවත ඇත. අනුරාධපුර මහා විහාරයේ සීමාව නියම කිරීමේ දී ජෝතිය, ගිරි හා කුම්භාණ්ඩ යන නිගණ්ඨයන් තිදෙනාගේ ම ආශ්‍රම ඇතුළත් කළ බව සදහන් වීමෙන් එය වටහා ගත හැකි ය. ඛල්ලාටනාග රාජසමය වන  විට ලක්දිව ජෛන ධර්මය ඇදහූ සෑහෙන පිරිසක් වාසය කරන්නට ඇතැ’යි සිතිය හැකි ය. එම යුගයෙහි ජෛනාගම පිළගෙන සිටි කුමාරවරුන් තිදෙනා රාජ්‍යය ලබා ගැනීමට වෑයම් කොට අසාර්ථ වී ජෛන ක්‍රමයට සිය දිවි නසා ගත්හ. ක්‍රි.ව. පස්වැනි සියවසේ කාශ්‍යප රජුගේ සොහොයුරු මුගලන් කුමරා ඔත්තු ලබා ගැනීම පිණිස ජෛන භික්ෂූන් චර පුරුෂයන් වශයෙන් යෙදූ බව සැලකිය යුත්තකි. පණ්ඩුකාභය යුගයෙහි විසූ ගිරි නමැති නිගණ්ඨයාගේ ආරම්භය ගැන වළගම්බා රාජ්‍ය යුගයේ විශේෂයෙන් සදහන් ව ඇත. වළගම්බා යුතය දක්වා ම ගිරි ජීවත් ව සිටි බව මහාවංසය අනුව කෙනෙකුට සිතේ. සමහර විට මේ ගිරි එකම නමින් හැදින්වුණු දෙදෙනෙකු වීමට ඉඩ ඇත. කෙසේ වුවද ජෛන සමය පැරණි ලක්දිව ප්‍රචලිත නොවූයේ ය.
 පණ්ඩුකාභය රජ මක්ඛලීගෝස‍ාලගේ අනුගාමිකයන් සේ සැළකෙන ආජීවකයන්ට ද තැනින් තැන ඇවිදින සත්‍ය ගවේෂක තාපස පිරිසක් වූ පරිව්‍රාජකයන්ට ද ආරාම තනවා දුන්නේ ය. මොවුන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නට ඇත්තේ ඉන්දියාවෙන් ආ වෙළෙදුන් සමග විය හැකි ය. එසේ වුව ද මොවුන්ගේ ආගමික බලපෑම් වශයෙන් සැලකිය හැකිකිසිවක් ඔවුන් අපට ඉතිරි කර නොතිබීම අපට මහත් අඩුවකි. බුදුසමය ලක්දිව මුල්බැස ගත් නිසා මේ ආගමික අනුගාමික පිරිස් දිය වී යන්නට ඇත.

 පැරණි ලක්දිව ශිවලිංග පූජාව ද පැවති බව සමහරුන්ගේ මතයකි. පණ්ඩුකාභය සිවිකා ශාලාවක් කරවූ බව සදහන් වෙයි. සිවිකා ශාලා යනු ශිවලිංග ශාලාවක් හෝ ප්‍රසූතිඝරයක් හෝ බව මහාවංස ටීකාකරු අනුමාන කර යි. ශිවලිංග පූජාව මේ යුගයේ දී පැවති බව හගවන පුරාවිද්‍යාත්මක සාධක තවම හමු වී නැත. ශිවලිංග පූජාව පිළිබද පසුකාලීන යුගවල නම් පුරාවිද්‍යාත්මක සාධක බහුලව ලැබේ.

 නොයෙක් ශ්‍රමණයන් හා පාෂාණ්ඩයන් මෙහි විසූ බව ඓතිහාසික වාර්ථාවල සදහන් වෙයි. භද්දකච්චායන කුමරිය ලංකාවට පැමිණියේ පැවිදි වෙසිනි. මෙය කවරාකාරයේ පැවිද්දක් දැයි පැහැදිළි නැත.

මිත්‍යාදෘෂ්ටික කුල
   
මිත්‍යදෘෂ්ටික කුල පන්සියයක් පිළිබද මහාවංශය වාර්ථා කරයි. එහෙත් මෙයින් කුමක් අදහස් කළේ දැයි පැහැදිලි නැත. මෙ ලෙස භාරතීය ප්‍රභවයන් ඇති විවිධ ආගම් පිළිබද ව මහාවංසය සදහන් කරන නමුදු බුද්ධාගම පිළිබද කිසිදු සටහනක් දක්නට නොලැබෙ යි. සමහර විටක මෙය සිරිලකට සම්බුදුසදමය රැගෙන ඒම පිළිබද ව පසු ව කෙරෙන විචිත්‍ර වර්ණණයට අනුචිත යැයි සිතූ නිසා විය හැකි ය. ප්‍රාග්මහින්ද ලක්දිව විචිත්‍ර වෛවර්ණ ආගමික පසුතලයෙහි අඩුවකට ඇත්තේ බුදුසමය පමණි. පූර්වෝක්ත සැම භාරතීය විශ්වාසයක් ම වූයේ නම් බුදුසමය පමණක් තිබෙන්නට නොහැකි වීම විය නොහැක්ක කි. මිහිදු මාහිමියන්ගේ සම්ප්‍රාප්තිය අගය කරනු පිණිස ඒ බව නොතකා හරින්නට ඇත. කෙසේ වුව ද බුදුසමය පිළිබද පැහැදිළි හැදුනුමක් නො වුව ද ප්‍රාග්මහින්ද යුගයේ ලාංකිකයන්ට වෙලෙදුන් මගින් හෝ බුදුසමය ගැන ආරංචි ලැබෙන්නට ඇත.

      පණ්ඩුකාභය රජ දවස හැකි සැම ආගමක් ගැනම කරුණු දැක් වූ මහාවංස කතුවර මහානාම හිමියෝ එයිනුදු තෘප්තියට පත් නොවී “මිසදිටු ගත් කුල පන්සියයක් වීය” යි අවිනිශ්චිත ආකාරයෙන් මිසදිටු පවුල් පන්සියයක් ද විසූ බව පවසති. ඒ අනුව ප්‍රාග්මහින්ද යුගයෙහි විවිධාකාර ඇදහිලි හා විශ්වාස පැවති බව පැහැදිළි වෙයි.

No comments:

Post a Comment