29 July 2011

අටමඟල

මන්තලව්වේ යන ගමන් පුංචිරාල මාමා “නොදන්නා අටමඟල් නොකර හිටපල්ලා” යයි තවත් අයෙකුට අවවාද කරනවා ඇසුණි. ඒ කුමක්දැයි සරත් පුතා මගේන් විමසී ය. අප නොදත්, අවුල් සහගත වැරදී ගිය යමක් හැඳින්වීමේදී ද “අටමඟල” වදන පොදු ව්‍යවහාරයේ යොදන බව කීවෙමි. තව ද “හරි අටමඟලකටනෙ අහුවුණේ කොයි අටමඟලත් එකයි, මම දන්න අටමඟලක් නැහැ,” වැනි කියුම් මීට නිදසුන් ලෙස ද තේරුම් කළෙමි.
ඒ හැරත් අටමඟල ලොව බොහෝ සංස්කෘතීන්හි භාවිත සංකල්පයකි. අපේ ආදී මුතුන්මිත්තන් ද “අටමඟල” සංකල්පය යහපැවතුම පිණිස භාවිත කළ බැව් මහාවංශයේ සඳහන් වෙයි. අෂ්ඨමංගලිකාරරූපයන් සපතරත්නයන් ලෙස යොදාගත් බැව් එහි සඳහන් වේ. “අටමඟල” මණ්ඩප අලංකරණයේ දී කලාත්මක භාව ප‍්‍රකාශනයක් සේ ද යොදා ගෙන ඇත. එබැවින් “අටමඟල” කුමක් දැයි හඳුන්වා ඉන් ලැබූ ඵල ප‍්‍රයෝජන කවරේදැයි පෙන්වා දීම පුතාට මෙන්ම මන්තලව්වට ආව කාටත් ප‍්‍රයෝජනයක් වන ඇතැයි සිතුවෙමි.
ලෝකයේ බොහොමයක් දෙනා ද්‍රෂ්‍ය හා අදෘෂ්‍ය වස්තුන් මංගල කාරණ කොටගත් සම්ප‍්‍රදායක් පවතී. ඒ අනුව යමින් වස්තූන් අටක් එකතුකර “අටමඟල” ද සාදා ගෙන තිබේ. පෙරදිගට අයත් ලාංකිකයින්ද අෂ්ටමංඟල වස්තුන් නම් කර ගැනීමේදී අවශ්‍යතාවයේ සූබාව, පරිසරය, කාලය අනුව ඒ වස්තූන් අට නම් කරගෙන ඇත. ඒ අනුව මංගල වස්තූන් අටක් වීම නම් පොදු ලක්ෂණයකි. නමුත් සමරූප බවක් ඒවා අතර නැත. දේව මණ්ඩප්ප වරුණාවේදී ඒවා මෙසේ විස්තර කරති.
කේසර සිහ හස්තිරාජ
        වෘෂභය මුදුනත් කරලා
නොහැර පූර්ණ කලස් තබා
        වල් විදූණා පවන් සලා
චීවර ගුණ අත් නෑරම
        දෑතින් ද්වජ අල්ලවලා
නාඹර ශංඛය තැබූවයි
        තිරහත් පහණ දල්ලා
සංස්කෘත පොතපතේ දැක්වෙන සිංහ, වෘෂභ, හස්ති, පූර්ණාකලස්, ධ්වජ වල්විදූනා, ශංඛ, ප‍්‍රදීප, අටමංගල වස්තු ලෙස මේ කාව්‍යයෙන් ද කියැවේ. මෙහි වල්විදුනාව ලෙස දැක්වෙන්නේ චාමරයි. සංස්කෘත සාහිත්‍යයේ හා දේව පුරාණයේ අෂ්ඨමංගල වස්තු තවත් අයුරකින් දක්වයි. එතැන ශී‍්‍රවත්ස, පූර්ණ කුම්භ, චාමර, ප‍්‍රදීප, චක‍්‍ර, දර්පන, ශංඛ හා ස්වස්තිකය ඊට අයත් වේ.
ශී‍්‍ර විෂ්ණු දෙවියන්ගේ ළපැත්තේ ලාංඡනය “ශී‍්‍රවත්ස” ලෙසින් ද, බුද්ධ ශී‍්‍රපාදයන්හි රේඛා සටහන් “ස්වස්තිකය” යනුවෙන් ද අර්ථ දක්වා ඇත. මේවා ශංඛ, රෝචන, චන්දන, මුක්තාඵල හිරණ්‍ය, චත‍්‍ර, චාමර ආදර්ශ, ලෙසින් නම් කළ අවස්ථා ද ඇත. තවත් පොත්වල බ‍්‍රහ්මණ, ධේනූ අග්නි, හිරණ්‍ය, ඍතු සූර්්‍ය, ජල හා රජු ලෙසද අෂ්ඨමංගල වස්තු දක්වා තිබේ. මේවායේ දර්පන, ආදර්ශ, වදන්වලින් කැඩපතද, මුක්තාඵල, හිරණ්‍ය, යනුවෙන් මුතු හා අමු රත්තරන් ද අරුත් ගන්වයි. මේ හැරුණ විට තවත් නොයෙක් අයුරින් මංගල වස්තු නම් කර ඇතිවාට සැක නැත.
පැරණි පොත පතේ මංගල වස්තු 108 ක් ඇතැයි සඳහන් වීමෙන් ම මේ විවිධත්වය තේරුම්ගත හැකි ය.
මෙසේ විවිධ වූ අටමඟුල් වස්තුන් නම් කිරීම් අතරින් අප බොදු සමාජයේ බහුතරය පිළිගත් මංඟල වස්තු අටක් ද ඇත. ඒවා නම් බෙරය ගවයා, නාගයා, විජිනිපත, සිංහයා, මකරා, කොඩිය, හා පහන යන වස්තුන් ය.
මේවායෙන් සංකේතවත් වූ හේතු කාරණ ද දක්වා තිබේ. පූජාවලදී, මංගල, උත්සව පෙරහැර වලදී නැගී විහිදී යන නාද, තරංග දවුල් බෙරයෙන් සංකේතවත් විය. අපේ ජාතික ජීවන උපාය වන කෘෂිකර්මය ගවයා ගෙන් මතු විය. බුදුදහමේ ආරක්ෂකයින් නාගවංශික හතරවරම් දෙවියන් හා රජවරුන් නාගරූපයෙන් දැක්වි ය. මහා සංඝරත්නය විජිනිපතින් සංකේත වූහ. මහා බලවත් ආරක්ෂකයකු සිංහයාගෙන් දැක්විය. මකර රූපය කාලය සංකේත කළේ ය. බුදුරදුන්ගේ දහම ජයගත් බව කොඩිය කියා පෑවේ ය. ප‍්‍රඥාව පහනින් මූර්තිමත් විය.
අෂ්ඨමංගල වස්තූන් සත්කාරියන් මෙන්ම අසත්කාරියන් සඳහා ද යොදා ඇත. සත්කාරියන්හිදී පෙර සඳහන් කළ මංගල වස්තුන් ඇතැම් විට සුළු වෙනස්කම් ඇතිව භාවිත කරති.
ඇඳලා යන්ත‍්‍ර අටමංගල කරුණු දැනා
බැඳලා මෝල්ගස හීරැස් වළලු ගෙනා
තබලා තොලබෝද මළු කැතිදිවි හි සිනා
යොදලා සහල් පොල්මඩයට කැප කරනා
මින් කියවුණේ වින කැපුම් මඩයට ගත් මංගල වස්තු අටෙකි. සහල් අතුරා අටමගල යන්ත‍්‍රය ඒ මත ඇඳ ගනී. පසුව දිවි කදුරු මෝල්ගස, දිවිහිස, හීරැස්ස වළල්ල තොල බෝ පත‍්‍ර, මල්ල කැත්ත, මුණ්ඩ ඇති පොල් ගෙඩිය, සහල් මත තබා මංගල වස්තු අට සරි කර ගනී. බලිශාන්ති කර්මයේදී හා කංකාරී ශාන්තියේදී ගන්නා අෂ්ඨ මංගල වස්තු ඉහත සඳහන් දේ ම වන අතර බොහෝ ඇදූරන් යහන සැදුවේද සම ලෙසකිනි. නමුත් වස්තුන් සජීවීව තැබීම වෙනුවට එම රූප ඇදීම කෙරුණු අවස්ථා ද ඇත. අෂ්ඨ මංගල වස්තු හා යන්ත‍්‍ර ඇදීම, ගොවිතැනේ ද, නිවාස ඉදිකිරීමේ ගෙපොළ කැපීමේදී ද, පිළිම නෙලා නේත‍්‍ර තැබු මංගල්‍යයේ ද, විවාහ මංගල්‍යයේ පෝරුවෙන් බිමට බසින අවස්ථාවේදී ද මහත් ඉහළින් කරති.
“අටමඟල” යන්ත‍්‍රය පමණක් ඇඳීමෙන් ශාන්තිය ලඟා කරගත හැකි බව හින්දුවේදයේ හා අපේ දේශීය වෛද්‍ය පොත පතේ ද ඇත. අටමඟල් යන්ත‍්‍ර කීපයක් ම පැරැණි වෙද පොත්වල හා ගුරුකම් ශාස්ත‍්‍රයේ දැක්වේ.
මේ යන්ත‍්‍ර චතුරස‍්‍රාකාරව නියමිත මිමිවලට ඇඳී කොන් අටක් හා ගැබ් අටක් මේවායේ දැක්වේ. ඒ ගැබ් තුළ බල පිහිටුවන අක්ෂර ලියති. වින කැපීමේ දී මර අක්ෂර නවයක් යොදා ගනී. එහිදී යන්ත‍්‍රයේ මැද ගැබේ ද අකුරු යොදති. ආ, ඊ, ඌ, ඒ, ඕ, ඖ, ශී‍්‍ර, ඊම්, ඕම්, නවාක්ෂර ලෙස දැක්වේ.
අටමඟල යන්ත‍්‍රය ඇඳීම සහ අක්ෂර ගැබ්වල ලියා තැබීම මිසක ඊට අයත් මන්තරයකින් පූට කිරීමක් හෝ බලගැන්වීමක් පැරැණි පොතපතේ හමුවී නැත. සිදුවූයේ සම්ප‍්‍රදායේ එන මන්ත‍්‍රවලින් දොස් පහ කිරීමයි.
“සතරකොනින් ගැබ් හතරේ
        “ඕං” අකුරු ලියා සොදින
පතර මැදින් ආසිව් ගැබ්
        “හී‍්‍රං” අකුරු සරසා ගෙන
සතර වරන් දෙවිරකිනා
        මැද ගැබ “අරු”හට කැප දෙන
නිතර රකින් සෑම දෙවිඳු
        අටමංගල යන්ත‍්‍රය දැන”
මේ කියමන ප‍්‍රකාර ව තනි රේඛාවෙන් ඇඳ යන්ත‍්‍රයේ ගැබ්වල අක්ෂර පිහිටුවයි. යන්ත‍්‍රය ඇඳ අටකොනේ රූප ඇඳීමෙන් එය බලගන්වයි. දේශීය වෛද්‍යවරුන් ශාන්ති කිරීමේදී “අටමඟල්” තිර ආතුරයාට පෙනෙන සේ එල්ලා තබයි. මේවායේ රූප වෙනුවට ඒවා සිහිගැන්වෙන සංකේත රූප යොදා ගෙන ඇත.
අපේ ආගමික, ජාතික පුද්ගලික උත්සව, පෙරහැර, ඉදිකිරීම්, විවාහ වැනි ශුභ මංගල කාරියන්ට අටමඟලින් මහත් රුකුළක් ලැබී ඇත. එසේ ම අතුරු අන්තරා දෝස පහකර ගැනීමේ දී ද මෙය යොදා ගනී. ඒ සියලු දේ අටමඟල මත හිදුවා හෝ බලා විද්වංශනය කරති. බලගන්වා ගති.
ඒ අනුව අපේ පැවැත්ම සඳහා ආගමික, සාමාජික, හා සංස්කෘතික වශයෙන් “අටමඟල” සංකල්පයෙන් මහත් පිටුවහලක් ලැබී ඇත. සැරසිල්ලක් ලෙස මේ රූප මණ්ඩප, උත්සව, පෙරහැර අලංකරණයට යොදා ගනී. රාජකීයත්වයක් ලබන අපේ “සේසත” මේකී රූපවලින් කැටයම් හෝ චිත‍්‍රණය කර ඇත්තේ ද ඒ නිසාම ය. අටමඟල එදා මෙන් අදටත්, අද මෙන් හෙටටත් ප‍්‍රයෝජනවත් වටිනා අංගයක් බව අපේ හැඟීමයි.

No comments:

Post a Comment