27 July 2011

පොලොන්නරුවේ ඇත්තේ මහ පැරැකුම්බා පිළිරුව ද?

පොලොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයට තරමක් ඈතින් පිහිටි පොත්ගුල් විහාරය ඉදිරිපිට ඇති දැවැන්ත සෙල්මුවා පිළිරුව ක්‍රි.ව. 1153 - 1186 කාලය අතර සිරිලක පාලනය කළ ප්‍රතාපවත් රජු වන මහ පැරැකුම්බාවන් ගේ ය’යි කලෙක සිට ජනප්‍රවාදයේ පැවැත එන්නකි. එපමණක් නොව අප පාසල් අවධියේ අපේ ඉතිහාස පොත්වල ද සඳහන් වූයේ අපට ඉගැන්වූයේත් එය පැරැකුම්බා රජුගේ ය යනුවෙනි.
ඒ සාවද්‍ය මතය දැනුදු පාසල්වල භාවිතය සඳහා නිර්දේශිත පොත්වල සඳහන් ව තිබෙනු තවමත් දැකිය හැකි ය. ජාතික අධ්‍යාපන ආයතනය මගින් 10 වැනි ශ්‍රේණියේ භාවිතය සඳහා සකසා ඇති ඉතිහාස පොතේ සඳහන් ව තිබෙනු දුටු බැවින් වගකිවයුත්තන්ගේ අවධානය යොමු කරවීම උදෙසා මේ ලිපිය ලිවීමට අදහස් කළෙමි.
මහැ’දුරු සෙනරත් පරණවිතානයන් ද ඒ රුව රජ කෙනෙකුගේ විය හැකිය’යි සැක කළා වුව ද කුමන රජෙකුගේ දැයි ස්ථිර ප්‍රකාශයක් නො කළේ ය. මහ පැරැකුම්බාවන් විසින් රට එක්සේසත් කොට සරු සාර රටක් කිරීමේ හේතුවෙන් ද මේ රුව පරාක්‍රම සමුද්‍රයට තරමක් ආසන්න ව පිහිටා තිබෙන හෙයින් ද ඇතැම් විට උපකල්පනය කොට එය පැරැකුම්බාවන්ගේ රුවෙකැ’යි ජනප්‍රවාදයේ එන්නට ඇතැ’යි සිතිය හැකි ය.
මහ පැරකුම්බාවන්ගේ යැයි සැලැකෙන පිළිරුව

පුරා විදු අදියුරු මහැ’දුරු පරණවිතානයන් විසින් ලියා පළ කොට ඇති ‘සිංහලයෝ’ නම් ඉංග්‍රීසි ග්‍රන්ථයේ මෙසේ සඳහන් වේ. ”The sculpture therefore is most probably the representation of a king. But it is not possible to say of which king. There is a local tradition that the Sculpture is a representation of King Parakramabahu|
මේ මූර්තිය බොහෝ දුරට රජකෙනෙකුගේ විය හැකි ය. එහෙත් කුමන රජ කෙනෙකුගේ දැ’යි ස්ථිර ව කිව නොහැකි ය. ඒ පළාතේ සම්ප්‍රදාය වී ඇත්තේ ඒ මූර්තිය මහ පැරැකුම්බා රජුගේ වන බවයි” එහි අරුත. එකී ප්‍රකාශය අනුව පැහැදිලි වන්නේ ද ඒ රුව මහ පැරැකුම්බාවන්ගේ ම යැ’යි ප්‍රකාශ කිරීමෙන් එතුමා මඟ හැර ඇති බවයි.
ඒ රුවේ අත දරා සිටින භාණ්ඩය පුස්කොල පොතකට වඩා වියගහක් (ධුර) විය හැකි බවත්, වියගහෙන් පාලනය හා පරමාධිපත්‍යය පිළිබිඹු කැරෙන හෙයින් එය දරා සිටින්නේ රජ කෙනෙකු බවට ද එතුමා සැක කළ බව ද සිතාගත හැකි ය. ඒ මතයට සාධකය වී ඇත්තේ පඬුවස්නුවර පැරැකුම් මාළිගයේ නටබුන් අතරින් හමු වූ ලණුවක් අතින් ගත් කුඩා තඹ පිළිරුවයි. ලණුව හෙවත් සූත්‍රය යුව රාජ්‍යත්වයේ ලකුණ බවත් ධුරය තම අතට පැමිණීම හැඟවීමක් වශයෙන් ධුරයක් (වියගහක්) අතෙහි තබාගත් අයුරින් පොලොන්නරු රුවේ ද අතෙහි ඇත්තේ වියගහක් බවත් පුරාවිදු සක්විති මහැ’දුරු ගරු කඹුරුපිටියේ වනරතන හිමිපාණන් විසින් පළ කොට ඇති “පොලොන්නරු නටබුන්’ නම් ග්‍රන්ථයේ සඳහන් වේ.
මේ මතයට වෙනස් මතයක් ප්‍රකාශ කරන මහැ’දුරු සිරි ගුණසිංහයන්, මෙය යම්කිසි ඍෂිවරයෙකු ගේ බවත් එහෙත් අගස්ති ඍෂිවරයා නොවන බවත් සඳහන් කරයි. අතෙහි ඇත්තේ පුස්කොළ පොතක් ම බව ද වැඩිදුරටත් පවසයි. තිවංක පිළිමගෙයි, පුස්කොළ පොතක් දෑතින් ගෙන බලමින් සිටින වෙස්සන්තර රජු දැක්වෙන සිත්තමේ රජුගේ මුහුණේත්, පුස්කොළ පොතේත් සමාන කම් ගෙනහැර දක්වන එතුමා මෙයට සමාන රූප දෙකක් අටදා ගෙයි හා අංක 1 ශිව දේවාල බිත්තියේ ද ඇති බවත් ඒවා ද ඍෂිවරුන්ගේ බවත් වැඩිදුරටත් සඳහන් කරයි.
ශිවදේවාල රූපය, සේවකයකු සමඟ ආසනාරූඪ ව හිඳින ඍෂිවරයකුගේ වන අතර, මේ රූපවල කට දෙකොණින් පහතට නැමී තිබෙන රැවුලත්, හිසත් මුහුණත් එක හා සමාන බව ද සඳහන් කරන එතුමාගේ වැඩි නැඹුරුව එය කපිල නම් ඍෂිවරයාගේ ය යන මතයට යි.
මෑතකදී මා විසින් ඉන්දියාවේ කළ සංචාර දෙකකදී ම දකුණු ඉන්දියාවේ මහබලිපුරම් හි හා එහි ප්‍රධාන නගරය වූ කාංචිපුරම්හි සිද්ධස්ථාන හා දෙව් මැඳුරු රැසක් ම දැක බලා ගැනීමට අවස්ථාව ලැබිණ. ඒ කෝවිල් රැස ම ඉපැරැණි බෞද්ධ සිද්ධස්ථානයන් බව එහි කඩා බිඳ දමා තැනින් තැන විසිරී ඇති බුදු පිළිම වලින් පසක් කරගත හැකි ය.
ඇතැම් බුදුපිළිමවල නළලේ නින්නෝරු, අළු, තිලක ආදිය අතුල්ලා තිබෙන සැටි දුටුවිට ඇතිවන්නේ වේදනාවකි. මේ කෝවිල් අගනා විසිතුරු කැටයම්වලින් පිරී ඇත. කෛලාසනාදර් නමින් යුත් ක්‍රි.ව. 7 හා 8 වසර වලදී ඉදිකරන ලද අගනා කැටයම් වලින් සමන්විත හින්දු කෝවිලක් වේ. එහි කැටයම්වල බහුලතාවනය නිසා ම (Over - Crowded) සුන්දරත්වයට හානියක් වී ඇති බැව් පෙනෙන අතර නරඹන්නන්ට ද අපහසුතාවයක් දැනෙන බව කිව යුතු ය. මේ දෙවොල, මාමල්ලපුරය පාලනය කළ පල්ලව රජ කෙනෙකු විසින් කරවන ලද්දකි.
මෙහි කැටයම් අතර, පොලොන්නරු පොත්ගුල් විහාර මූර්තිය සිහි ගන්වන හිඳි පිළිමයක් වේ. එහි ප්‍රධාන වෙනස වන්නේ හිඳගෙන සිටින ඉරියව්වෙන් ඒ පිළිමය දැක්වීමත්, පා දෙක දණින් නමා, තිරස් අතට තබාගෙන සිටීමත්, පොලොන්නරු පිළිමයේ දැක්වෙන දෑතේ පුස්කොළ පොත වෙනුවට, දකුණත දකුණු කලවා මත ද වමතින් යම් මුද්‍රාවක් දැක්වෙන ලෙසට නිමවා තිබීමත් ය.
කාංචිපුරම්හි කෛලාසනාදර් කෝවිලෙහි දක්නට ඇති දුර්වාසර් සෘසිවරයාගේ රුව

මේ රුවේ මුහුණ, රැවුල, පුන් සිරුර, හැඩය, හිස් පළඳනාව, තෙදවත් පෙනුම ඈ සියල්ල සැලැකීමේදී පොත් ගුල් විහාර පිළිමයේ දක්නට ලැබෙන ප්‍රතාපවත් බව බොහෝ දුරට සමානත්වයක් පෙනෙන බව කිව යුතු ය.
පිළිම දෙකේ ම උඩුකය නිරාවරණය ව තිබීමත්, පූනනූල, ඉණ පටිය, ආදිය ද සමාන හෙයින් මෙහි යම් අන්‍යොන්‍ය සබඳතාවයක් ඇති බව කිව හැකි ය. තවද එකී රුව ඉදිරිපසින් ඔහු දිහා බලාගෙන ඔහුට සවන් දී ගෙන සිටින විලසින්, දකුණත නිකටේ තබාගෙන මඳක් ඉදිරියට නැමී සිටින ශිෂ්‍යයෙකි.
මේ උත්තුංග දේහධාරියා යම් දේශනයක යෙදී සිටින අතර, සවන් දෙන ශිෂ්‍යයා ගෝලයකු බව පෙනේ.
එවැනි ම වූ රූප පහක පමණ ගරා වැටුණු නෂ්ටාවශේෂද ඒ අසල ම වේ. ඉහත කී අභිමානවත් රුව ‘දුර්වාසර්’ නම් ඍෂිවරයාගේ බව අප මඟ පෙන්වන්නාගෙන් දැන ගන්නට ලැබිණ. මෙහි දැක්වෙන සේයාරුවෙන් හා එතැන දී මා විසින් කරන ලද කටුසටහනින් ද එම පිළිමවල සමාන අසමානකම් සසඳා බැලිය හැකි ය.
අනුරාධපුර රාජධානිය බිඳ වැටීමත්, පොලොන්නරු රාජධානියේ ආරම්භයත් ක්‍රි.ව. 8 දී සිදු වූ අතර වරින්වර ඇති වූ, දකුණු ඉන්දීය ආක්‍රමණයන් හේතු කොට ශිව දේවාල වැනි ගොඩනැඟිලි ද මෙවන් ඍෂි ප්‍රතිමා ද නිර්මාණය වූ බව ඉන් සනාථ වේ.
ශ්‍රී ලංකාවේ පුරාවිදු කටයුතු හා කලාව හා සබැඳි තොරතුරු පිළිබඳ ගවේෂණයක යෙදෙවන මහැ’දුරු නිමල් සිල්වා මහතා විසින්, චිත්‍ර කලා ගුරු භවතුන් සඳහා පැවැත්වූ දෙසුමකදී ඇසූ පැනයකට පිළිතුරු දෙමින් පැවැසුවේ පොත්ගුල් විහාර පිළිමය පුලස්ති ඍෂිවරයාගේ ම බවත්, ඒ රුව නෙළා තිබෙන ගල මුදුනට එතුමා නැඟ කළ පිරික්සුමකදී එහි ‘පුලඉසි’ යනුවෙන් කොටා තිබෙනු දුටු බවත්, ඕනෑ ම කෙනෙකුට ඒ මත නැඟ එය බලා තහවුරු කරගත හැකි බවත් පැවැසීය.
පුරාණයේ සිට ම පුලස්තිපුරය යනුවෙන් පොලොන්නරුව හැඳින්වීමෙන් ම එය තවදුරටත් තහවුරු වන බව ද වැඩිදුරටත් පැවැසීය.
කරුණු මෙසේ හෙයින්, අධ්‍යාපන කටයුතුවල යෙදෙන අප දරුවනට නිවැරැදි දෙය ම ඉගැන්වීමට කටයුතු කිරීමත්, විෂය නිර්දේශ සකසන්නන්ට හා ගුරු භවතුන්ටත් නිසි උපදෙස් ලබා දීම බලධාරීන්ගේ වගකීම බව අවධාරණය කරමි.

උපුටා ගැනිම : පුන්කලස

No comments:

Post a Comment