19 November 2011

හෙළ බසේ අරුමය

සිංහලභාෂාවේ ප්‍රාකෘත යුගය ලෙස සැලකෙන ක්‍රි.පූ. 2 වන සියවසේ සිට ක්‍රි.ව. 4 වන සියවස දක්‌වා ඇති ලෙන් ලිපි සෙල්ලිපි ආදි අභිලේඛනයන් පරීක්‍ෂා කිරීමේදී පැහැදිලි වන්නේ හෙළබස පාලි භාෂාවට වඩාත් සමීප බවක්‌ දක්‌වන භාෂාවක්‌ බවයි. පාලි භාෂාවෙන් බිඳගත් වචන හා තත්සම වචන බහුල වශයෙන් එම ලේඛනවල දැකිය. අනුරාධපුර යුගයට අයත් දම්පියා අටුවා ගැටපදය හා සිබවලද විනිස වැනි ග්‍රන්ථ වලින්aද එය වඩාත් තහවුරු කරගත හැකිය. ක්‍රි.පූ. 2 වන සියවසේ ලිත භාෂාවෙන් ඇති මේ සිංහල ප්‍රාකෘතය ඊට පෙර කවර හෝ ජාතියක්‌ භාවිත කළ භාෂාවක්‌ බව ඒත්තු ගන්වයි. බුද්ධ පරිනිර්වාණයත් සමඟම හෙළ දිවයිනට ගොඩ බට විජය විසින් භාවිත කළ භාෂාව හෙළ භාෂාවේ ආරම්භය යෑයි ඇතැමෙක්‌ පවසති. එසේ නම් විජය හෙළ ප්‍රාකෘතයට සමාන භාෂාවක්‌ කතා කරන්නට ඇත. මිහිඳු හිමියන් විසින් හෙළ බසින් රචිත සීහලට්‌ඨ කතා නම් ග්‍රන්ථ සමුදායක්‌, පිළිබඳ සමන්ත පාසාදිකාවෙහි සඳහන් වෙයි. ඒවා රේවත නම් තෙර නමකගේ ඉල්ලීම පිට බුද්ධඝෝෂ හිමියන් විසින් පාලි භාෂාවට පෙරළා ඇත. බුදු බණට අර්ථ කථන සැපයීමේදී මිහිඳු හිමියන් විසින් භාවිත කළ හෙළ බස එදා පොදු ජනයාගේ ව්‍යවහාරයේ පැවැති භාෂාවකි. අද පවා අපේ භාෂාවේ ගැමිවහරේ භාවිත වෙන වචන වලින් පෙනී යන්නේ පාලි සංස්‌කෘතාදී භාෂාවලින් වෙන් කොට හඳුනාගත හැකි භාෂාවක්‌ අපට හිමිව තිබුණු බවයි. මිහිඳු යුගයට ශත වර්ෂ ගණනාවකට පෙර ආර්ය නොවන ජනයා විසින් කතා කළ මේ භාෂාව අද අභාවිත වී ඇත්තේ කුමන කරුණක්‌ නිසාද? මෙයට හේතු කීපයක්‌ දැකිය හැකිය. මිහිඳු මහරහතන් වහන්සේ හෙළ සාහිත්‍යයට කළ විශිෂ්ට සේවාවට සමගාමීව මහාවිහාරික භික්‍ෂු පරම්පරාව විසින් හෙළ සාහිත්‍යයට සේවාවක්‌ නොකළ බව පෙනී යැම, බුද්ධඝෝෂ හිමියන් විසින් පාලි භාෂාවෙන් අටුවා ග්‍රන්ථ සම්පාදනය කිරීම සහ එවකට පැවැති හෙළ අටුවා අභාවිත තත්ත්වයට පත්වීම, නැතිනම් ඒවා පිළිවෙළක්‌ නැති ග්‍රන්ථ යෑයි සලකා අපවක්‌ කිරීම.


තවත් වැදගත් කරුණක්‌ වන්නේ පසු කාලීනව සාමාන්‍ය ජනතාව අතර මුඛපරම්පරා ගතව හා ලිතව සුරක්‍ෂිතව පැවැති බෞද්ධ හෙළ සූත්‍ර හින්දු සංස්‌කෘතියේ බලපෑම නිසා මන්ත්‍ර සාහිත්‍ය විසින් ගිල ගැනීම. මෙයින් මා අදහස්‌ කළේ ශාන්ති කර්ම සඳහා යන්ත්‍ර මන්ත්‍රාදිය කෙරෙහි විශ්වාසය තැබීම හා ඒවා ලිතව තබා ගැනීමට පෙළඹීම හා බෞද්ධ හෙළ සූත්‍ර ධර්ම ගැන එතරම් විශ්වාසයකින් යුතුව කටයුqතු නොකිරීම ගැනයි. තවත් කරුණක්‌ වන්නේ ඉතිරිව තිබුණු පැරැණි පොතපතද අනාරක්‍ෂිත බව නිසා විනාශභාවයට පත්වීම. ගැමියන් අතර පවත්නා සමහර පුස්‌කොළ ග්‍රන්ථද අදටත් විනාශවෙමින් පවතී. මා විසින් හඳුනාගත් පුස්‌කොළ ග්‍රන්ථයද අනාරක්‍ෂිතව තිබීම නිසා ෙ€දනීය ඉරණමකට ගොදුරු වී ඇති බව මෙහි සඳහන් කළ යුතුය. පැරැණි හෙළ භාෂාව, සෙල්ලිපි ලෙන් ලිපි ආදියෙන් හඳුනාගත් භාෂාව හා අනාර්ය ජනයා විසින් භාවිත කළ භාෂාව වශයෙන් වර්ග කළ හැකිය. පැරැණි අනාර්යන් විසින් භාවිත කළ භාෂාව ගැන මෙහිදී අවධානය යොමු කරමි.


සර්පයකු දෂ්ඨ කළ විට ඒ සර්ප විෂ බැස්‌සීම සඳහා මන්ත්‍රයක්‌ ලෙස භාවිත කළ විෂකුම්භණ මන්ත්‍රය විෂකුම්භණ සූත්‍රයෙන් සකසා ගත් එකකි. විෂකුම්භණ සූත්‍රය බුද්ධකාලයේ වැඩ විසූ කවිලාශපාලි හෙවත් මුක්‌තලතා (රත්නාවලි) මෙහෙණිය විසින් දේශනා කරන ලද්දක්‌ බව සූත්‍රය කියවීමෙන් තහවුරු කරගත හැකිය. කවිලාශපාලි මෙහෙණිය බුද්ධ කාලයේ මෙරට විසූ ශ්‍රේෂ්ඨ රහත් මෙහෙණින් වහන්සේ නමකි. ඇය ගිරිදේශයේ (ගිරිබාව) ගිරිභද්‍රයාණන්ගේ බිරිඳ වන අතර බුදුන්වහන්සේ රකුන්ගිරට හෙවත් රිටිගලට වැඩම කළ අවස්‌ථාවේ නීලගිරි නම් වූ ස්‌ථානයේදී විෂකුම්භණ නම් සූත්‍රය අසා රහත් ඵලයට පත් මෙහෙණින් වහන්සේ නමකි. ඇය බුද්ධ දේශිත විෂකුම්භණ සූත්‍රය ඇසුරෙන් සකසාගත් මේ විෂකුම්භණ සූත්‍රය මා විසින් රචිත යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තොරතුරු යන ග්‍රන්ථයට ඇතුළත් කර ඇති බවද සඳහන් කළ යුතුය. විෂකුම්භණ සූත්‍රයේ අන්තර්ගත භාෂා ලක්‍ෂණ වලට අනුව පෙනී යන්නේ පාලි භාෂාවේ ආභාෂය නොලත් අපටම ආවේණික වූ භාෂාවක්‌ තිබුණ බවයි.


කවිලාශපාලි මෙහෙණිය රාගය පිළිබඳ ධර්මානුකූලව කරන විස්‌තරය විෂකුම්භණ සූත්‍රයේ එන්නේ මෙසේය.
කාම රාගය දස පෑයම වී
ඊ පීතල රාගයෝ වී
ඊ රාමල් රාගයෝ ව
ඊ දෙසුල් රාගයෝ වී
ඊ බරත රාගයෝ වී
ඊ සුංගු රාගයෝ වී
ඊ ජලිත රාගයෝ වී
ඊ රිපි රාගයෝ වී
ඊ යාදි රාගයෝ වී
ඊ බහිත රාගයෝ වී
පාලි සූත්‍ර ධර්මවල එන බුදුන් වහන්සේගේ ධර්ම කරුණු පැහැදිලි කිරීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් මේ කරුණු එකින් එක ගෙන පැහැදිලි කරති.
පීතල රාගයෝ කිම්දැයි අසම්හ උහුන් මහිලාවෝ පුරුෂයෝ කරාද නොපතාවී පුරුෂයෝ මහිලාවෝ කරාද නොපතාවී. මහිලාවෝ මහිලාවියක පතාලුය. පුරුෂයෝ පුරුෂයෙකු පතාලුය. උහුන් පීතල විපරීත කාම බන්දනයේ වෙළෙත්.
සාර්ථක ගෘහ ජීවිතයත් ගත කරන අයෙකු විසින් මේ දසාකාර රාග බන්ධනයෙන් මිදිය යුතු බව මේ සූත්‍ර ධර්මයෙන් අවධාරණය කරති. දසාකාර රාගය සඳහා යොදාගත් මේ වචන මාලාව ත්‍රිපිටකයේ කොතැනකවත් සඳහන් නොවන හෙළ භාෂාවට අයත් වචන සේ හඳුනාගත හැකිය.
විෂකුම්භණ සූත්‍රයේ එන ධපාත පිළිබඳ සඳහනද එසේ මැයි.
ඊ දැහැන්වර අෂ්ටකය වී
බරවිර සුසිල දැහැන්ය.
මහා නිර්වාට දැහැනය.
බල ධීරත දැහැන්ය
සර්ව සුබ පාණ්‌ඩිල දැහැන්ය
ආටානාටිය හා මහා සමය වැනි සූත්‍රද පරීක්‍ෂාවෙන් කියවන විට පාලි නොවන වචන බොහොමයක්‌ හඳුනාගත හැකිය.

ආටානාටා පරකුසි නාටා නාට පුරියා පරකුසිත නාටා මේ වදන් මාලාව අපේ භාෂාවට වඩාත් සමීප බවක්‌ දක්‌වයි. මේ වචන වලට අර්ථ සපයා ඇත්තේ නගර නාමාවලියක්‌ ලෙසය. පැරැණි හෙළ බසේ ආට, නාට යන වදන් වලින් ග්‍රහයා යන අර්ථය දෙන බැවින් මේ පාඨයෙන් කියෑවෙන්නේ ග්‍රහයන්ගේ නාමවලියක්‌ද යන්න විමර්ශනය කිරීම වැදගත් වෙයි.

විෂකුම්භණ සූත්‍රයේ එන මේ වදන්වලින්ද හෙළ භාෂාව පැරැණි භාෂාවක්‌ බව සනාථ වේ.
කිහිරිය - මල්වර වීම (කිහිරිය කළද කබිරිය)
කබිරිය - කිල්ලකි - පිළිකුලකි
තිඹිරි - දරුවන් වැදීම
අෂ්ට කුණින - සමාජ රෝග
මුනාලිවී - සුදුසු විය (වීතරාගී දැහැන්වර මුනාලිවී)
චණ්‌ඩ ගුගුල - මාරුතය
කමක පොලක - කෙලවරක්‌ නැති
මට සිටු කැලෑ - සිඳ දැමීම (භවත්ත දෙබරිය මට සිටු කලැවී)
මලිතය - පිබිදීම මල් ආදිය
සෝබුල් වැ - පරවී (සොබුල් පූපක) පරමල්
භව ජන්ජලියාව - භව දෝෂය
බහිය - රොඩු
කුම්ටුක - දිරාපත්වීම
දෙගෙල් කැරූ - රොඩු ඉවත්කොට
ගිනිහැල්ය - වේදනාකාරිය
ගැබ බහන් වූ කලෑ - ගබ්සා වූ විට
ගැබ බජර - ගැබ්දිය
දාරකී මාංශය - කන්‍යාපටලය
සිරිංග ඕජාව - හෝමෝන ශ්‍රාවය (මාස්‌ ශුද්ධිය)
ඉහිමැ - පිළිකුල් සහිතය
ගෝතකම්නැ - වේදනාකාරිය
කොවිල - අපවිත්‍රය
ගැබපට වායිම - කළල ලේ
ගර්භසෙවෙනි - වැදෑමහ
බ උරුද - ප්‍රසූත වේදනාව
යෝනි බුජට වී - යෝනි මාර්ගය පහත්වීම
කිදැල් බජර - සැරව
බජර සුපුට - කුණු ඉන්නෝ
නාරි කොතිතයෙන - ස්‌ත්‍රි මායම
ඉන්ද්‍රකේ - අය්යා
නාමිලිය - නංගි
සනුහරේ - පරම්පරාව
නන්දනිකේ - දුව
දුස්‌ස - මාසය
කුදුස්‌ස - අවුරුද්ද
සුදහලේ - බඩගින්න
ගොම්මලේ - සවස
ජංජාලේ - විපත
කදුරලේ - දිය උල්පත
පබදර - ගුරුවරයා
සළමිබේ - අකුරු
සළම්බවට්‌ට - පොත
සළබ්බ උරේ - පුස්‌තකාලය, පොත් ගුල
සුසිලකේ - වීතරාගී බව
කෙටෙල්ල - වරළස
කදුරලී - මානෙල්
තබ්බර - තම්බර - නෙළුම්
දිද්දලී - ඕලු
සලබකරියාව - ඉගෙන ගැනීම
ජලනී - එඩිතර
කවිලාශ - මිහිරි හඬ
මොටාර - නපුරු
සෙවිය - ඔටුන්න
කදුරුසදිප්පු - දියනෑම
ඇවටිරේ - සටහන් කිරීම
මොරොන් ගැට්‌ටේ - අකීකරු
මිණිසලේ - මාලය
පැරැණි හෙළ බසින් ආ බොහෝ වචන අද ගැමි ව්‍යවහාරයෙන්ද සොයා ගත හැකිය. උච්ඡාරණයේදී මේ වචනවල සුළු වෙනසක්‌ හැරෙන්නට අර්ථවල වෙනසක්‌ දැකිය නොහැක.

සෙප්පටමජ - ශබ්ද තරංග මගින් දුර සිටින කෙනෙකුට පණිවිඩ යෑවීමේ ක්‍රමය සෙප්පටමජ නමින් හඳුන්වයි. ජංග්‍රාම නම් ශබ්ද තරංග ක්‍රමයක්‌ මේ සඳහා යොදාගනු ලැබේ. අද මෙය හඳුන්වන්නේ සෙප්පට විඡ්ජාව නමිනි. ඕනෑම කපටි ක්‍රියාවක්‌ කර ඇඟ බේරාගන්නා තැනැත්තා සෙප්පට විඡ්ජාකාරයා නමින් හඳුන්වයි.
ලෝලිකේ - අත දරුවාට කියන නමකි. බාලොලි ලොලි යන දරු නැලිවිලි ගීතය අර්ථය දැන හෝ නොදැන අද ද භාවිත කරනු ලැබේ.
ගෝතකම් නැ - ගෝත කර්මය - වේදනාව යන අර්ථය දෙයි. ගෝතකර්මයා යනුවෙන් අද ව්‍යවහාර කරන්නේ කරදරකාරයා යන අර්ථය දීමටයි.
කොවිල - කුයිල යනුවෙන් අද ව්‍යවහාර කරන්නේ දුගඳ යන අර්ථය දීමටයි.
බුරුත්තාව - සියලු සියල්ලෝම යන අර්ථය දෙයි. බුරුත්තාව සංහාර සලම්බ වට යනු පරපුරෙන් පැවතෙන සියලු ග්‍රන්ථ සමූහය, යනුවෙන් අර්ථය දෙයි.
මන්ඨක - යක්‍ෂ ගෝත්‍රිකයාට කියන නමකි. යගු කෞරාණ මන්ඨක නම් වංශ නාමයෙන්ද ඔවුහු හැඳින්වූහ. මන්ඨාක සංහාර, යක්‍ෂ ගෝත්‍රික පරපුරෙන් පැවතෙන, මණ්‌ඨාකමාන - යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ පැසසුමට ලක්‌වූ තෙවිය මත්ඨක -භාණක සෘෂිවරු.

අරමොනැ - තුවාලය - රජරට ප්‍රදේශයේ අදටත් භාවිතාවෙන වචනයකි. උහුන කාය ඊ අර මොනැ - ඒ නිසා ඔවුන්ගේ කය තුවාල ඇති විය යනු මෙන් විෂකුම්භණ සූත්‍රයේ සඳහන්ය. වියළි කලාපයේ වැසි සමයේ නිතර දැකිය හැකි කාල වර්ණ සැකරැල්ලෙක්‌ද මේ නමින් හඳුන්වනු ලැබේ.
ඉස්‌ අයිර - කුඹුර, කුඹුරු යායක කුඩාවට වෙන් කරගත් කොටස්‌ මේ නමින් හඳුන්වයි. ඉස්‌සර යනුවෙන් අද ව්‍යවහාර කරයි.
කේවර - කිඹුලා කේවර ආගාධය යනු කිඹුලන් වසන ස්‌ථානයයි. රජ සමයේ වරදකරුවන්ට දඬුවම් පැමිණවීමේදී වරදකරු මේ කේවර අගාධයට හෙළනු ලැබේ.
මුරත - සෘෂිවරයා, යෝගීන් ලෙස වනගත ප්‍රදේශවල ජීවත් වූ මේ අය වෛද්‍ය සෘෂිවරුන් ලෙස ප්‍රසිද්ධියක්‌ උසුලයි. ශ්‍රී ලාංකික යක්‍ෂගෝත්‍රික සෘෂිවරු දේශීය වෛද්‍ය විද්‍යාවද සොයා ගත්හ.
ශුවිධිමුථ - සිල්වත් පූජ්‍යතර යන අර්ථය දෙයි. මාර්ගඵලලාභී භික්‍ෂූන් වහන්සේට ගරු කිරීමට මේ වචනය යොදනු ලැබේ.
සිටිමද - උත්තම - උත්තමයාණන් වහන්සේ, රජුqට සහා සෘෂිවරුන්ට ගරු කිරීම සඳහා මේ වචනය යොදාගනු ලැබේ.
සිධිහමේ - ගෞරවාර්ථ වචනයකි. වහන්සේ යන අර්ථය ලැබේ. සිධිහමේ විෂකුම්භණය සලබ උරේ. විෂකුම්භණ නම් පොත් වහන්සේල යනුවෙන් වටිනා ග්‍රන්ථ හැඳින්වීමට යොදන වචනයකි.
වෙනත් භාෂාවල ව්‍යවහාර වන වචනද පැරැණි හෙළ භාෂාවෙන් සොයාගත හැකිය.
බේබිය - දරුවන්ට සෙනෙහෙ දක්‌වන්නී
සොප්පිය - සොපියා බුද්ධිය
ගලිsස්‌ස - ගලිය - පොලොව යටින් ජලය ගෙන යන ඇළ මාර්ගය
අමුච්ල - චිල ශිෂ්‍යයා දරුවා
බකුර - බක්‌ක - ලොකු බක්‌කුවා ලොකු අයියා
සිටිටීර - බාල සහෝදරයා, සිටිටියා, සූට්‌ටියා, චූට්‌
තබ්බි - ළමයා, දරුවා තබ්බිණි - දැරිය
උපසර්ග වලට සමාන පද විශේෂයක්‌ද හෙළ බසේ බහුල වශයෙන් යොදාගෙන ඇත. මේවා යෙදීමෙන් පදවල අර්ථය වෙනස්‌ වෙයි.
බතික - කේ බතික - ගෙවල් සාදනවා
පන් බතික - ලෝහ වැඩ කරනවා
රන් ශ්‍රී - මාග්‍ර රන්සි - ඔටුනු පැළඳීම
පිදෙ රන්සි - වරිග සභාව
අදීපා - මලු අදීපා - සීයා කිරි අත්තා, අත්තප්පා
කිරො අදීපා - බාප්පා
පෙදීපා - මලු - පෙදිපා - ආච්චි - අත්තම්මා
කිරො පෙදිපා - ආච්චි - අත්තම්මා
කිරො පෙදිපා - බාලම්මා - පුංචි අම්මා
ක්‍රියා පද සාදා ගැනීමේදී බහුල වශයෙන් යොදාගත් පත්‍රHය විශේෂයක්‌ද ඇත.
පටෙ ප්‍රත්‍යය
හිහිරි - පටෙ මළපහකරනවා
මුලුදු පටෙ - මුත්‍රා කරනවා
දේ ප්‍රත්‍යය
බහිරා දේ - ඉක්‌කා වැටෙනවා
ගෝසු දේ - කසනවා
යහල්සු දේ - ආයුධ හදනවා
රෙගු ආ දේ - අවවාද කරනවා
ඒ ප්‍රත්‍යය
කනාලේ - ආයුqද මුහවහත් කරනවා
සාද - ඉලේ - ළඟිනවා
දුදුරාලේ - ඇවිදිනවා (දුරාව, පහදුණව - නරකට හැසිරීම)
එල්ලිබහෙ - එළිබහිනවා මළපහ කරනවා
මලින්සේ - නස්‌න කරනවා
කදොසේ - බණිනවා
කම්බසේ - මරණවා
සැහැලකේ - පාචනය වෙනවා (සැහැල් වෙනවා - ගැමිව්‍යවහාරය)
ගොඡ්ජරේ - වමනය කරනවා (ගොජර දමනවා)
සළඹ කරියමේ - අකුරු ඉගෙන ගන්නවා - ඉගෙන ගන්නවා
උ ප්‍රත්‍යය
මුරුතුගු - භාවණා කරනවා (මුරත - යෝගියා)
ලීලාගු - ආදරය කරනවා
උතුසාරු - අතු පහිනවා (උකුස - උතු - අත්ත)
ඉ ප්‍රත්‍යය
සිළිදිවියි - සිනාසෙනවා (සිලිදි - සිනාව)
මුසුපායි - අඬනවා (මුසුපේ - මුස්‌පේත්තුව ශෝකයෙන් සිටීම)
මෝරලි - එනවා
මොරලි - යනවා
පාලි සංස්‌කෘතාදී භාෂාවලට කිසිසේත් සමාන නොවන පැරැණි භාෂාවේ යෑයි කිව හැකි වැකි කීපයක්‌ මෙහි සඳහන් කරමි.
ඉලම අවුචි ශුවිධිස ආකමා වේධාර ඉලෝනිලෝ කිකී.

මගේ දරුවෙනි මෙය අතිමහත් දුකකි.
අපි වැලපෙමු ශුවිධිස ආතමා - අතිමහත් දුකකි.
වේධාර ඉලෝ තිලෝ - අපි වැළපෙමු
ආඩිස සිරි බුදස්‌ වායිසුරුත සිරිමහතා භද්‍ර සිළුණ තමිමි ආඩිසාල සිරිමහතා
ශ්‍රී බුද්දදාස රජුගේ සුජාත පුතු ඔටුන්න හිමි මහනාම නම් යුවරජු
වායි සුරුත - සහලේ - සුජාත භද්‍රසිළුණ - ඔටුන්න හිමි තම්බි ආඩිසාල - යුවරජ
රුචිරිකා රක්‌ඛ මෙධානි සිරිමෙසා රත්නපාලි සේමිණි
යක්‍ෂ ගෝත්‍රික පරපුරෙහි පැවැතෙන අතිශයින් රූප සම්පන්න ශ්‍රී මේඝ රත්න පාලි දේවිය (සේමිණි)
අසනි මණ්‌ඨාර සංහාර පානිපාරේටියවැ
යක්‍ෂ ගෝත්‍රික පරපුරෙන් (ලිතව) අතින් අත ගෙන ආ - අසනි ඒකාන්තයෙන් - මණ්‌ඨාර සංහාර - යක්‍ෂ ගෝත්‍රික පරපුර - පානිපාරරේටියවැ - අතින් අත ගෙන ආ ලිතව රැගෙන ආවාවූ.
ඉරි ඉපුලේ නාන සිටීමද කවිලාශනා රෞලාන පාලි සවුරු මවුරිකි මංජසාදේවැ අවුල් බජ උටි
මෙහිදී පූජ්‍ය කවිලාශ රෞලානපාලි මෙහෙණිය (මෑණියන්) විසින් රචිත ඉපුලේනාන නම් ග්‍රන්ථය ඇසුරු කරමින් පිටුq සකස්‌ කරන ලදී.
සවුරු මව්රිකි - ශ්‍රමණ මෑණියන් විසින් අවුල් බජ - පිටුq උටි - සකස්‌කරන ලදී.
සෙයිව අවුචිලේ මුරුත මංජාරේ සවිසිරිවැ පේද හලේ සෙවුමා දුනේදුපි
සියලු දරුවෙනි (සෙයිව අවුචිලේ) සෘෂිවරුන්ගේ නිර්දේශ අනුව (මුරතමංජාරේ) ක්‍රමානුකූලව (සව්සිරිවැ) වාග් විද්‍යානුකූලව (පේද හලේ සෙවුqමා) සඳහන් කරමි (දුනේදුපි)
සොප්පි වරිග පූර්ණිකා සත ඉහිමියේ හිතෝකිලෝලිත කොඳමැ
බුද්ධියට උල්පතක්‌ වූ (සොප්පි) වරිග පූර්ණිකාව උදාර බව (හිතෝනිලෝලිත) තහවුරු කරන්නේ නොවෙද? කොදැමැ
ශබ්ද හා වචන සාදා ගැනීමේදී අන් භාෂාවලට වඩා වෙනස්‌ බවක්‌ පැරැණි හෙළ භාෂාවෙහි දක්‌නට ලැබේ. ශබ්දයක්‌ සාදාගැනීමේදී ඒ සඳහා සංකේත කීපයක්‌ භාවිත කරනු ලැබේ. එක ශබ්දයකට සංකේත සතරක්‌ වත් තිබීම මෙහි විශේෂත්වයකි. යක්‍ෂ ගෝත්‍රික භාෂාවේ හෙවත් පැරැණි හෙළ භාෂාවේ ස්‌වර අක්‍ෂර ලෙස පෙන්වා දෙන්නේ අ, උ යන අක්‍ෂර දෙක පමණි.

අ ස්‌වරයෙන් ඉ. ඒ. අක්‍ෂර සාදාගන්නා අතර "උ" ස්‌වරයෙන් ඹ, ඔ උ (ඹෘ) හු යන අක්‍ෂර සාදාගනී. පුරාණ හෙළ භාෂාවේ හු අක්‍ෂරයද ස්‌වරයක්‌ සාදාගනී. එක අක්‍ෂරයක්‌ සාදා ගැනීමේදී ඒ සඳහා අක්‍ෂර කීපයක්‌ භාවිත කරනු ලැබේ. අ අක්‍ෂරය සාදාගන්නා පිළිවෙළ මෙහි නිදසුනක්‌ ලෙස ඉදිරිපත් කරමි.

i යමංජර අක්‍ෂරය - ස්‌වර තන්තු වලින් නිකුත් වෙන සියුම් හඬක්‌ ගැන මෙයින් කියෑවේ.
ii බන්ධ යමංජර අක්‍ෂරය - ඒ සියුම් හඬ කනට හුරුකර ගැනීම ශබ්දය හඳුනාගැනීම.
iii අග්ගීලවර අක්‍ෂරය - මෙය ස්‌වර අක්‍ෂරයක්‌ නිසා තවත් මූල අක්‍ෂරයක්‌ වන අග්ගීලවරය යොදා ගනු ලැබේ.
iv කණ්‌ඨු අක්‍ෂරය - අ ස්‌වරය කණ්‌ඨජ අක්‍ෂරයක්‌ බව පැවැසීම.

i යමංජර අක්‍ෂරය
ii ඛන්ධ යමංජර අක්‍ෂරය
iii අග්ගීලවර අක්‍ෂරය
iv කණ්‌ඨු අක්‍ෂරය
මේ න්‍යායයෙන් අක්‍ෂර සාදාගැනීමේදී වාක්‍යක්‌ ලිවීමට අක්‍ෂර බොහෝමයක්‌ භාවිත කිරීමට සිදුවෙන බැවින් ලිවීමේ පහසුව සඳහා කෙටි ක්‍රමද භාවිත කර ඇත. නිදසුනක්‌ ලෙස බුදුන් වහන්සේට නමස්‌කාර වේවා යන වැකිය සඳහා ශ්‍රී පාද ලාංඡනයක්‌ රහතුන්ට නමස්‌කාර කිරීම සඳහා නෙළුම් මල රහිත පාද ලාංඡනයක්‌ යොදා ගනු ලැබේ. මෙවැනි සංකේත හෙවත් රූපාක්‍ෂර විශාල වශයෙන් භාෂාවේ යොදාගත් බව දැනට හඳුනාගෙන ඇති සංකේත තුළින් තහවුරු වේ.
අක්‍ෂර උච්ඡාරණ විධියේද විශේෂත්වයක්‌ දක්‌නට ලැබේ. දැනට අප භාවිතා කරන සිංහල, පාලි සංස්‌කෘත අක්‍ෂර හෝඩියේ නොදක්‌නා විශේෂත්වයක්‌ මේ අක්‍ෂරවල ඇති බව සඳහන් කළ යුතුය. ද්විත්ව ශබ්දයක්‌ ඇති කරන අක්‍ෂර විශේෂයක්‌ ගැන පුරාණ පඬිවරු පවසති. නිදසුනක්‌ ලෙස ග, අක්‍ෂර ද්විත්ව ශබ්දයක්‌ ඇති කරන අක්‍ෂරයකි. පසු කාලීනව මහා ප්‍රාණ අක්‍ෂර සාදාගෙන ඇත්තේ මේ ක්‍රමවේදය භාවිත කිරීමෙන් යෑයි සිතිය හැකිය. ග, ශබ්දය ද්විත්ව ශබ්දයක්‌ බව පෙන්වා දීමට උගුරේ ඝෝෂාකාරී ශබ්දයක්‌ ඇති කරන "කෞරවී, අක්‍ෂරය දෙවතාවක්‌ යොදනු ලැබේ.
කඨි අක්‍ෂරය
කෞරවී අක්‍ෂරය
ග අක්‍ෂරය සෑදේ
අක්‍ෂර භාවිතාව පිළිබඳ පුරාණ ශ්‍රී ලාංකික සෘෂිවරුන්ට දැනීමක්‌ තිබුණු බව ඔවුන්ගේ භාෂා භාවිතාවත් සමඟ තහවුරු වන්නකි. හෙළ සිංහලය ක්‍රමවත් මෙන්ම දියුණු භාෂාවකි. ප්‍රාග් ඓතිහාසික යුගයේදී පවා අප දියුණු ජාතියක්‌ව සිටියේය. විෂකුම්භණ සූත්‍රයට අනුව බුද්ධ කාලයේ පවා රහතන් වහන්සේලා මේ දේශයේ වැඩ විසූහ. හෙළ බසින් රචිත ත්‍රිපිටකයන් ද අපට තිබුණු බවට සාධක තිබේ. කල ඔය ආශ්‍රිතව (ධූමක කද්දීරය) නටබුන් නගර එහෙම පිටින්ම මිහිකත විසින් ගිලගෙන තිබේ. දේශයට ආදරයක්‌ නැති ඇතැම් මිනිසුන්ගෙන් මේ නටබුන්වලට විශාල වශයෙන් හානි පැමිණෙන බව සඳහන් කළ යුතුය. වයඹ, උතුරු මැද, උතුර, මධ්‍යම කඳුකරය ආදී ප්‍රදේශවල ඇති මේ වටිනා ස්‌ථාන විධිමත් පර්යේෂණයකට ලක්‌කළ යුතුය. එයින් ශ්‍රී ලංකාවේ අතීත ශ්‍රී විභූතිය ලෝකයාටම ප්‍රකාශ කළ හැකි යුගයක්‌ බිහිවනු ඇත.
මානෑවේ විමලරතන හිමි

No comments:

Post a Comment