24 June 2012

අවුරුදු තිස්‌ හත් දහසකට පසු යළි පැමිණි පාහියන්ගල මුත්තා.....

අවුරුදු තිස්‌ හත් දහසකට පසු යළි පැමිණි පාහියන්ගල මුත්තා.....
සිහින් සිරිපොද රූරා වැටෙමින් ඇත. එ සිරිපොද අප අභියස වන විසල් ගිරිහිස පාමුල විහිදෙන මහා වනස්‌පතීන් ගේ පතල අතුපතරින් බේරී විත් විටෙක දෙකොපුල් මත ඇදහැලේ. ජීවයෙන් පිරී ගිය නැවුම් බවකින් හාත්පස පිරීගොස්‌ය. තෙතබරිතවූ නොසියුම් සෙල්මුවා පඩිමත සීරුවට අඩි තබමින් ගමන් කරමින් සිටියෙමු.

මේ රළු සෙල්මුවා හිනිමග අවසන් වන්නේ මහා ලෙන් භූමියකිනි. එම ලෙන් බිම මානව ඉතිහාසයේ අප්‍රමාණ වස්‌තු විෂයයන් සඟවා ගනු ලැබූ අතීත මානව සංස්‌කෘතියේ කෝෂ්ඨාගාරයක්‌ වූයේය. කුමණ හෝ හේතුවක්‌ නිසා මේ ලෙන පාහියන් ලෙන ලෙස ජනවහරට පැමිණ තිබිණි. ඓතිහාසික යුගයේ ස්‌වර්ණමය අවධියකදී චීන ජාතික ෆාහියන් හිමියෝ මෙරටට වැඩම කළහ. එ වකවානුව ක්‍රිස්‌තු වර්ෂ 4 වන සියවස තෙක්‌ ඈතට දිවෙයි. එකල්හි එතුමෝ මේ ලෙනට වැඩියා හෝදෝයි නොදනිමු. ජන වහර ප්‍රකාරව උන්වහන්සේ මේ ලෙන් භූමියට වැඩියේ නම් එ වඩින්නටත් අවුරුදු තිස්‌ හයදාහකට එපිට සිට මේ ලෙනේ මිනිස්‌සු ජීවත් වූහ.

ගණනය කරගැනීමටත් නොහැකි තරම් ඈතින් වූ එ අතීතයේ ජීවත්වූ මිනිස්‌සු තවමත් මේ ලෙන් භූමියේ පත්ලෙහි සාමදානව අවසන් නින්ද නිදමින් සිටිති. එ අතීත මිනිසෙකුගේ අවසන් නින්දේ සමාදානය පසුගිය දිනෙක බිඳී ගොස්‌ තිබිණි. ඒ සිදුවීම වන්නේ ඔහු මියගොස්‌ අඩුම තරමින් අවුරුදු තිස්‌ දහසකට පසුවය. එය විමසිය යුතු අසිරියක්‌ විනි. අවුරුදු තිස්‌ දහසක ඈත අතීතයෙන් හමුවන එ මිනිසා අප ඉදිරියෙන් වන ලෙන්බිමේ එදා අවසන් නින්ද සැතපුන අයුරින්ම මතුව උන්නේය. මුළු ශරීර ස්‌වභාවයේම හැඩ රුව ප්‍රකට කරමින් මතුව උන්නේය. මීට පෙර අවසන් නින්ද සැතපුනාවූ අතීත මිනිසකුගේ පූර්ණ ඇටසැකිලි අපට හමුවන්නේ පොතාන ගුහාවෙන්. බෙල්ලන් බැ`දි පැලැස්‌සෙන් අලිගලින් හා හුංගම පල්ලෙමලලිනි. හුංගම පල්ලෙමලල මිනිඇතිලිය ප්‍රදේශයේදී හමුවූ සම්පූර්ණ ඇටසැකිල්ල අයත් මිනිසාට මිනිස්‌සු මැණික්‌ හාමි හෙවත් හුංගම මුත්තා යෑයි කීහ. හුංගම මුත්තාත් මීට ඉහතදී හමුවන පූර්ණ ඇට සැකිලි වලට උරුමකම් කී මිනිස්‌සුත් ජීවත් වන්නේ මීට අවුරුදු පන්දහසකට පමණ ඉහතදීය. දැන් මේ ෆාහියන් ලෙනේ අවුරුදු තිස්‌ දහසට ආසන්න පස්‌ තට්‌ටු වලින් හමුවන මුත්තා හුංගම මුත්තලාගේත් මී මුත්තෙකි.
සෙල්මුවා පියගැට පෙළ අවසන විසල් පියස්‌සක්‌ සහිත දැවැන්ත ලෙන් බිම පැතිරී යයි. ලෙන් මුව ඈත නිම්න භූමිය වෙත විවරව ඇත. සබරගමු නිම්නයේ මනරම් දැකුම් සහිතව මේ ලෙන් බිමේ සුරක්‌ෂිත වූ අතීත මානවයින් ගැන විසිතුරුව සිත පුරවාලනු සේය. නිම්න භූමිය දෙස බලා ගෙන ලෙනෙහි සිටගත් විට මුවවිට ආසන්නයේ වම්පස කෙළවර කැණීම් වළකින් පාහියන්ගල මී මුත්තා මතුව සිටියේය. උන්දෑගේ දෙපා කතිරයක ආකාරයට පිහිටා තිබුණේය. කොන්ද වකුටුවූ ස්‌වරූපයක්‌ ගත්තේය. හිස දැවැන්ත ගල් කුට්‌ටි දෙකකින් යටවූ ආකාරයක්‌ පෙනුණි. මුත්තාගේ ඇටකටු ඉතා සීරුවට පස්‌ අංශු අතරින් බේරා ගෙන මේ කැණීම කරගෙන යමින් සිටියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ගියත් නැවත මේ කටයුත්ත ස`දහාම කැ`දවා තිබූ කැණීම් විශේෂඥයෙක්‌ සේ සැලකෙන එල්.වී.ඒ. ද මැල්ය. සත්ත්ව පුරාවිද්‍යාව පිළිබ`ද ප්‍රවීණයෙක්‌ වූ ජූඩ් පෙරේරාත්, කැණීම් නිලධාරී සුසන්තත් ක්‌ෂේත්‍රයේ ජීවත්වෙමින් මෙම සූක්‌ෂම කැණීම ස`දහා කැපවී සිටියහ.

ඇට සැකිල්ල හමුවූ හැටි

අවුරුදු තිස්‌ දහසක්‌ පමණ පැරණි විය හැකි යෑයි විශ්වාස කෙරෙනා පාහියන් ලෙනේ මේ පුරාණ මිනිසාගේ තොරතුරු හමුවන්නේ අහඹු ලෙසිනි. ඕනෑම කැණීමක්‌ ස`දහා අර්ථයක්‌ හා අරමුණක්‌ තිබේ. පාහියන් ලෙනේ මේ කැණීම සිදුවූයේ ඇටසැකිලි හොයන්නට නොවේ. වර්ෂ 1968 දී සිරාන් දැරණියගලයන් විසින් ලංකාවේ ආරම්භ කර පියවර ගණනාවක්‌ ඔස්‌සේ පවත්වාගෙන පැමිණි ප්‍රාග් ඓතිහාසික කැණීම් මාලාවේ නව අදියරක්‌ ලෙස අලුත් දත්ත ලබාගෙන විධිමත් හා දියුණු තාක්‌ෂණික ඥානය භාවිතකර ඒවා නැවත විශ්ලේෂණය කිරීම ස`දහාය. ඒ ස`දහා ගල් ලෙන් කැණීම් ව්‍යාපෘතියක්‌ වර්ෂ 2005 දී බටදොඹ ලෙනෙන් ආරම්භ වූයේය. එම කැණීම සිදුවූයේ ආචාර්ය නිමල් පෙරේරාගේ අධීක්‌ෂණය යටතේය. ඕස්‌ටේ්‍රලියානු ජාතික විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය ස`දහා කළ මේ කැණීම ලෝක අවධානයට ලක්‌විණි. එහිදී ආචාර්ය දැරණියගලයන් වර්ෂ 1984 දී කළ කැණීමෙන් මතුකරගත් ජනාවාස පස්‌තට්‌ටු හත ස්‌තර එකසිය දහතුනකට බෙදිණි. කාල නිර්ණයන් ඉතාම නිවැරදි වූයේය.

දෙවන කැණීම ආරම්භ වන්නේ අතිශයින්ම ශාස්‌ත්‍රීය සම්භාවනාවට ලක්‌විය යුතු දුලබ වටිනාකමක්‌ සහිත මේ පාහියන් ලෙනෙහිය. අප වැනි නවීන මානවයන් ගැන දකුණු ආසියාවේදී හමුවන පැරණිම සාධක හමුවූයේ මේ ලෙන් භූමියෙනි. ඒ තොරතුර සාධනය කළේ වර්ෂ 1986 දී ආචාර්ය ඩබ්ලියු. විඡේපාලයන් කළ කැණීමය. එහිදී අදින් වසර තිස්‌ හත්දාහකට පමණ ඉහත ජීවත් වූ නවීන මානවයා පිළිබ`ද තොරතුරු පාහියන් ලෙනෙන් ලැබිණි. එය දකුණු ආසියාවේ ජීවත්වූ නවීන මානවයා ගැන ලැබුණ පැරණිම තොරතුර වූයේය.

එබැවින් මෙම බිම් පෙත ජාතික උරුමයක ස්‌වරූපයද ඉක්‌මවූ සැබෑ විශ්වීය උරුමයක්‌ විණි. එහෙත් ආවාට ගියාට පහුරු ගා විනාශ නොකළයුතු විනාශ කළහොත් ඒ විනාශ වූ භූමියේ දත්ත කිසිකලෙකත් ප්‍රතිනිර්මාණය කළ නොහැකි සේ වැනසී යන, අසිරිමත් අතීතයක්‌ ස`ගවාගත් මේ මහා දත්ත සාගරය වර්ෂ 2008 දී කළ කැණීමෙන් අනතුරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පණ්‌ඩිතයෙකුට ඇ`දගත් උපාධිධාරී ළදරුවෙක්‌ විසින් අනාථ කළේය. මේ කැණිම ස`දහා දැරූ වියදම මිල කළ හැකි වුවද ඉන් වූ හානියට මිලක්‌ නොවුනි. ලබාගත් දත්ත සාම්පල මුළුමනින්ම වැරදි සහගත ඒවා වූයේය. දැන් මේ දියත්වන කැණීම ඒ වැරදි සහගත පහුරුගෑමේ අවුල් වූ දත්ත නිවැරදි කිරීම ස`දහා දියත් වූවකි.

එහෙත් වාසනාවකට මෙන් ඒ වැරැද්ද අවසානයේදී විපුල ඵලයක්‌ ගෙනාවේය. ඒ විපුල ඵලය මේ මොහොතේ අප අභියස පෙනෙමින් තිබිණි. එය පූර්ණ මානව ඇට සැකිල්ලකි. ආචාර්ය විෙ-පාලයන්ට හමුවූ අවුරුදු තිස්‌ හත්දාහක්‌ පැරණි මානවයා තරමටම වයස්‌ගත අවධියකින් හමුවන මානවයෙකි.

වර්ෂ 1986 දී ආචාර්ය විෙ-පාලයන් මේ ලෙන් භූමියේ කළ කැණීමේදී අවුරුදු තිස්‌ හත් දාහේ සිට අවුරුදු හාරදහස දක්‌වා කාල සීමාවට අයත් මානව ජනාවාස අවධි හතරක්‌ සොයා ගනු ලැබිණි. එම අවධි වලට අයත් මානව සැකිලි කැබලි දාහතරක්‌ හමුවූයේය. එහෙත් එම සැකිලි බෙහෙවින්ම ජීර්ණයට ලක්‌ වී පැවතිනි. කාන්තාවන්, ළදැරුවන්, විවිධ වයස්‌ මට්‌ටම්වලට අයත් පිරිමින්ට අයත්වූ එම මානව අවශේෂ විශ්ලේෂණය කරනු ලැබුවේ ඇමරිකාවේ කෝර්නල් සරසවියේ මානව විද්‍යා අංශයේ එවකට ලෝක සම්භාවනාවට ලක්‌ වූ මහාචාර්යවරයෙක්‌ වන ආචාර්ය කේ. ඒ. ආර් කෙනඩිය. එහෙත් මෙපමණ පැරණි ජනාවාස ස්‌ථරයකින් අරුමයක්‌ සේ මෙවැනි පූර්ණ ඇටසැකිල්ලක්‌ මතුවීම මීට පෙර සිදුවූයේ නැත.

ඇට සැකිල්ලේ සංවාදය

මේ මතුවීමත් සමග රටේ බොහෝ දෙනෙක්‌ පාහියන්ගලින් ලද මේ මානව ඇටසැකිල්ල ගැන කතා කරන්නට වූහ. අඩි තුනහමාරක පමණ ගැඹුරකින් හමුවූ මෙම ඇටසැකිල්ල අවුරුදු දස දහසකට වඩා පැරණි නොවිය හැකි බවටත් මෙය ලෙන් භූමියේ යම් ගැඹුරකට හාරන ලද වළක වළදමා ඇති බවටත් මුලින්ම අදහසක්‌ පැන නැගුනේය. එහෙත් ආචාර්ය දැරණියගල හා ආචාර්ය නිමල් පෙරේරා විසින් මේ ලෙන් බිමේ මේ තරම් ගැඹුරට කැණිය හැකි තාක්‌ෂණයක්‌ එකල නොවූ ආකාරය තහවුරු කළහ. ඒ අනුව ඔවුන් ඇසින් කරන නිරීක්‌ෂණයට අනුව මෙම මානවයා සැතපී ඉන්නේ මීට වසර තිස්‌ දහසකට ආසන්න අතීතයක්‌ සහිත මානව ජනාවාස පස්‌ තට්‌ටු වල බව කියෑවිණි.

පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකයන් පැහැදිලි කරන ආකාරයට ඇස්‌ මට්‌ටමින් කරන නිරීක්‌ෂණ ප්‍රකාරව නම් මෙම අතීත මිනිසා ජීවත් වූ වකවානුව අවුරුදු තිස්‌ හත්දාහක ඈතකට දිවෙයි. ඒ ස`දහා ඇවැසි කාල නිර්ණයන් ලබාගැනීම ස`දහා දත්ත සාම්පල දැනට කාබන් දාහතර කාල නිර්ණය ස`දහා ලෝකයේ පිළිගත්ම තාක්‌ෂණික පහසුකම් සහිත විද්‍යාගාරය වන ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ බීටා ඇනලිටික්‌ ඉන්ක්‌ ආයතනය වෙත යෑවීමට කටයුතු යොදා ඇත. මේ ලෙනේ නිදනා පාහියන්ගල මිනිසා ජීවත්වූ කාලය අවුරුදු තිස්‌ හත්දාහක්‌ පැරණි වේ නම් ආසියාවෙන් මෙතෙක්‌ හමුවූ පුරාණතම පූර්ණ මානව ඇටසැකිල්ල මෙයය. ඒ අර්ථයෙන් නම් මුන්දෑ ලෝකයට පහළවූ මහා සම්පතක්‌ වැනිය. එසේ වීමට හේතු කාරණාද තිබේ.

පුරාණ මිනිස්‌සු මිනී වළදැමූ හැටි

අවුරුදු තිස්‌ හත්දාහකට පමණ එපිට ජීවත් වූ මිනිස්‌සු අතර නවීන මානව ලක්‌ෂණ සේ සැලකෙන යම් යම් අභිචාර විධි තිබිණි. මේ අභිචාර අතර මළමිනී වළදැමීමේදි ඔවුන් භාවිත කළ අභිචාරයන් වඩාත් ප්‍රකට වූයේය. මෙම වළදැමීම් ආකාර දෙකකට සිදුවිණි. එකක්‌ ප්‍රාථමික වළදැමීම්ය. එනම් සිරුර එලෙසින්ම භූමිදාන කිරීමය. අනෙක්‌ ආකාරය ද්වීතියික වළදැමීම්ය. එනම් එක්‌ තැනක සිරුර වළදා ටික කලකට පසු එහි කොටස්‌ රැගෙන විත් ලෙන් ආසන්නයේ හෝ ලෙන් තුළ වළදැමීමය. මෙයින් වඩාත් සුලබව හමුවී තිබුණේ මේ ද්විතියක වළදැමීම් ආකාරයයි.

අපට දැන් පාහියන්ගලින් හමුවන මුන්දෑගේ ඇටසැකිල්ල මෙසේ ඉතිරිවන්නේ උන්දෑව මීට අවුරුදු තිස්‌දහසකට හෝ ඊට පෙර කාලයකදී සිරුර පිටින්ම වළදැමූ බැවිනි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මේ පිළිබ`දව කදිම කතාවක්‌ කියයි.

"දැන් මේ මතුවෙලා තියෙන්නෙ මහා දතත් සාගරයක්‌. නවීන විද්‍යාත්මක ක්‍රම හා තාක්‌ෂණයෙන් මේ දත්ත විශ්ලේෂණ කරලා ප්‍රාග් ඓතිහාසික යුගය ගැන අලුත් කියෑවීමක්‌ කරන්න සාධක මෙතැන තියනවා."

"පොඩි දෙයක්‌ කියන්නම්. මේ තැනැත්තා වළදමා තියෙන්නෙ ඉතා නොගැඹුරු වළක. වළදාල තියෙන්නෙ ඔලුවට ගල් දෙකක්‌ තියලා ඇ`ග උඩින් ගල් පතුරු දාලා. ඔහු මේ කාලයේ පරමායුෂ වන අවුරුදු හතලිහක ආයු කාලයක්‌ වි`දපු කෙනෙක්‌ වග පෙනෙනවා. ඒ කාලයට අයත් ඔහුගේ වසුරුත් අපට මේ පාංශු ස්‌ථරයේ තිබිලා හමුවුණා. බොහෝවිට මේ තැනැත්තා යම් ආසාදනයකින් පීඩා වි`දි අයෙක්‌ විය හැකියි. මේ ස්‌ථරයෙන් හමුවන සූක්‌ෂම දත්ත අතර රුධිර සෛල වැනි දේත් තියෙන්න පුළුවන්. ඒ අනුව ප්‍රාග් ඓතිහාසික මිනිසාගේ ස්‌වරූපය ඒ වකවානුවේ තිබූ ලෙඩ රෝග, ජීවන චර්යාවන්, ආහාර පුරුදු ඔහු ලබාගත් ආහාර වට්‌ටෝරු වාගේ දේවල් සහිත මේ පුරාණ මනුස්‌සයගෙ ජීවන පරිසරය වටහා ගන්න වඩා පුළුල් පරාසයකට ගිහින් සියුම් දත්ත ලබා ගත හැකියි. ඒ කටයුත්ත කරන්න අපට ලෝකයේ දියුණු තාක්‌ෂණයක්‌ සහිත සරසවියකින් සහයෝගය ලබාගන්න වෙනවා. පාහියන්ගල කියන්නේ නවීන මානවයා ගොඩනැගුණ ලෝක උරුම ස්‌ථානයක්‌ . එය නුදුරේදීම ලෝක උරුමයක්‌ ලෙසින් නම්වේවි. එහෙම උනොත් ලෝකයේ ඉහළම දැනුම සහිත සරසවි හා සමග දියුණුම තාක්‌ෂණික ක්‍රමවේදයන් හරහා මේ පරීක්‌ෂණ කරගෙන යන්න වඩාත් පහසු වෙනවා."

එසේ නම් මේ කාරණාව ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව සම්බන්ධව එළිදකිනා නව කියවීමකි. මක්‌නිසාද යත් මෙතෙක්‌ කළ ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාත්මක කැණීම්වලදී බොහෝවිට හමුවූයේ එකම ආකාරයේ දත්ත සමුච්චයක්‌ වූ බැවිනි. එහෙත් කැණීමක්‌ කරන්නට ගොස්‌ "ඇනගෙන" ඉන් ලැබුණු වැරදි දත්ත නිවැරදි කරගන්නට යැමේදී අහඹු ලෙස හමුවූ අවුරුදු තිස්‌දාහක්‌ පැරණි මානව සැකිල්ලක්‌ ලෙස දැන් අප හමුවේ තිබෙන්නෙ මහා දැනුම සම්පතකි. ඒ විරල දැනුම ලෝකයට ඵලදායී වන්නේ එය කියවාගන්නා ආකාරය අනුවය.

ඒ කියෑවීම ස`දහා ලෝකයට ආරාධනා කරනා තුරු කාලනිර්ණ දත්ත සාම්පල ලබාගැනීමෙන් අනතුරුව මෙම කැණීම යළිත් වැලි වලින් වසා දැමීමට තීන්දු කර ඇති ආකාරය පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකයන් පවසයි. අවුරුදු තිස්‌හත් දාහකින් පසු යළිත් මිනිසුන් අතරට පැමිණී පාහියන්ගල මිනිසා කියනා අසිරිමත් කතාව නුදුරේදීම අපට ඇසෙනු ඇත. ඒ කතාවේ රිද්ම රටා අතීත මිනිස්‌සුන් පිළිබ`ද කතාවේ අලුත්ම අලුත් මානයක්‌ ලෝකයට කියා දෙනු ඇත.
උපුටා ගෑනීම : 
ලක්සිරස පුවත්

No comments:

Post a Comment