25 August 2011

ඔන්න එහෙනම් දියබත…………………


දියබත කියන්නේ පාරම්පාරික ගැමි දිවිය එක්ක ඉතා අනාදිමත් කාලයක ඉඳලා බැඳිලා තියන කෑමක්.

දිය බතේ සාම්ප්‍රධායික වට්ටෝරුව.
1. හාල් පත භාගයක පමණ බත්,
2. ලියාගත් රතු ළුුණු අත්ලකින් භාගයක් පමණ
3. පොල් බෑයක කිරි,
4. දෙහි බෑවක ඇඹුල්,
4. ලුණු ස්වල්පයක්,
5. කිතුල් හකුරු අවශ්‍ය පමණ.

සකස් කරන අන්දම.
පෙරදින රාත්‍රී ආහාරය සඳහා මැටි හැලියක පිසූ බත් (එතරම් වැදගත් නොවේ. වෙනත් භාජනයක වුවත් කම් නැත්, නමුත් හැකි හැම විටම මැටි භාජන පාවිච්චි කරන්න.) ප්‍රමාණයකට වතුර පීරිසි කෝප්ප දෙකක් දමා, එයටම කපාගත් රතු ළුුණුද දමා, නෑබිලියකින් වසා රැය පහන් වනතෙක් තැබිය යුතුයි.


පසුවදා උදයේ එහි වතුර ටික පෙරා ගන්න. ( අපි කුඩා කල මේ වතුර බීමට ගත්තා මතකයි. එසේ බීමටද හොඳයි.) ඉන්පසු ඉතිරි වූ බත් හා රතුළුුණු නෑබිලියකට දමා පොල්කටු හැන්දෙන් හොඳින් පොඩි කර, මිරිකාගත් පොල්කිරි සමඟ එක්කර දෙහි ඇබුල් සහ ලුණු මිශ්‍ර කර කිතුල් හකුරු එක්කර උදේ ආහාරයට ගත හැකියි. ලේසියි, පාසුයි, වියදම අඩුයි. ඒත් මදෑ.

මෙහි ඇති වැදගත්කම. හෙවත් ප්‍රයෝජන.
1. කටතොල් පැලෙන අයට ඉතාමත් ගුණදායක ඔසුවකි.
2. වඩාත්ම විශේෂ කාරණය වන්නේ අද සමාජයට මහත් පිලිලයක් වී ඇති ගැස්ට්‍රයිටීස් නම් අම්ල පිත්ත නමින් ආයුර්වේදයේ හඳුන්වන අවස්තාවට ඉතාමත් ගුණදායක වීමයි. බලන්න අද මේ රෝග තත්වය නිසා කී දෙනෙක් නම් දුක් විදිනවද, ඔබ මෙය පාවිච්චි කර අප දැණුවත් කරන්න. එවිට අන් අයටද මෙයින් ප්‍රයෝජනයක් ලැබීමට සිත් දෙයි. මේ නිසා අපේ රටට නාස්තිවන ධනය ශ්‍රමය කොපමණද, ඒ නිසා නිකමට වගේ අරන් බලන්න.
3. ශරීරයේ ඇතිවන දැවිලි ගතිය පහ වීමට.
4. මෙය ඉතාමත් පෝෂ්‍යදායක ඔසුවක් වැනි ආහාරයක් නිසා යෞවන වයසේ සිටින දරුවන්ට වඩාත් ගුණදායකයි.
5. බඩේ තුවාල ඇති අයට ඉතා ප්‍රත්‍යක්ෂ ඔසුවකි.

මම මේකෙ පොඩි සංස්කරණයක් කරන්නම්, ඒ කියන්නෙ හවසට බත් ටිකක් ලිප තියලා හොඳින් නිවුනට පසු මේ ලෙස සකස් කරගෙන රෑට තබා උදේට දිය බත සකස් කර ගන්න. අනිත් කාරනේ තමයි අර මුට්ටියේ අඩිය අල්ලන කොටස් හොඳට සූරාගෙන මේලෙස පිලියෙල කර ගැනීමෙන් ද දිය බත සාදා ගත හැකියි. අඩියේ දංකුඩ ටිකක් ක්ෂාර ගතිය වැඩි නිසා ආමාශයේ ඇතිවන ආම්ලිකතාව නැති කිරීමට ඉතාමත් හොඳයි.

අපි ඉස්සර මොනතරම් නීරෝගී ජාතියක්ද?

මම හැමදාම අහන කාරණේ අපිට මොකද වුනේ?

මේවට සුද්දටවත් කාටවත් බැනලා වැඩක් නැහැ. අපි අපි එකතු වෙලා මෙහෙම අපේ පුරාන දැණුම භාවිතා කරලා මේ හැම ප්‍රශ්නෙටම කොයික වෙතත් පුළු පුළුවන් ප්‍රශ්න වලටවත් පිලිතුරු හොයා ගමු. එතකොට රටම කෙසේ වෙතත් මේ බ්ලොග් අවකාශෙ ඉන්න අපේ මිත්‍රයෝවත් හොඳ නීරෝගී අය වෙයිනේ. එහෙම අපි පටන් ගමු. මගේ දායකත්වය මම දෙන්නම්. ඔබත් බලන්න මේවා කරලා බලලා, වැඩක් නැත්නම් කෙලින් එන්න බැරි නම් ඇනෝ ඇවිත්වත් කියන්න මේක වැඩක් නැහැ. මීට පස්සේ බොරු කියන්න එපා කියලා. මම ලැහැස්තියි ඒක පිලිගන්න.

No comments:

Post a Comment