31 August 2011

යපනයෙ අපෙ උරුමය..


මහින්දාගමනයට පෙර සිටම බුදුදහම පිළිබඳව ලක්වැසියන් දැනසිටි බව විවිධ ඓතිහාසික මූලාශ්‍රයන්ගෙන් අනාවරණය වී ඇත. මහියංගන දාගැබ් වහන්සේ පිහිටුවීම, තපස්සුභල්ලුක වෙළඳ දෙබෑයන් විසින් ගිරිහඬු සෑය ගොඩනැගීම, බද්ධකච්ඡායනා කුමරිය හා රෝහණ ශාක්‍ය කුමාරයා වැනි බෞද්ධයන් යැයි සිතිය හැකි පිරිසගේ පැමිණීම එම සිදුවීම් අතර වේ. ගෞතම බුදුරජාණන් වහන්සේ දෙවැනිවර නාගදීපයට වැඩම කළ සේක. එමෙන්ම මහින්දාගමනයෙන් පසු සඟමිත් මහරහත් තෙරණිය ශ්‍රීමහා බෝධි ශාඛාව වැඩමවාගෙන දඹකොල පටුන වෙත සපැමිණියාය.

මෙවන් ඓතිහාසික බෞද්ධ සිදුවීම් අතරින් බොහෝ දේ සිදුවූයේ යාපනය දිස්ත්‍රික්කය තුළ හෝ ඊට සමීපයේය. එබැවින් අතීතයේ පටන්ම යාපනය බෞද්ධ පූජනීය භූමියක් වූ බව අනුමාන කළ හැකි වේ. ඉන්පසු කාලයේ එනම් ක්‍රි.ව. 2 වැනි හා 10 වැනි සියවස් තුළ යාපනය බෞද්ධ පුණ්‍ය භූ®මියක්ව පැවැති බවට ලිඛිත සාක්ෂි මේවන විට හමු වී ඇත. ඒවා අතරින් වඩා වැදගත් වන්නේ ක්‍රි.ව. 2 වැනි සියවසට අයත් වල්ලිපුරම් රන් සන්නස සහ ක්‍රි.ව. 10 වැනි සියවසට අයත් කන්දරෝඩෙයි (කදුරුගොඩටැම් ලිපියයි.
වල්ලිපුරම් නම් ග්‍රාමය යාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි කොට්ඨාසයෙහි පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රදේශවල මෙන්ම මෙහිදීද දියුණු බෞද්ධ ශිෂ්ටාචාරයක අවශේෂ හමු වී ඇත. වල්ලිපුරම් ගමටත් මුහුදටත් අතර වූ බිම් තීරුවක පැරැණි මනුෂ්‍ය වාසයේ අවශේෂ විසිරී ඇතැයි පැවසේ. මෙහි සාමාන්‍ය වැසියන් විසින් කරනු ලබන කැණීම් (බිම් හෑරීම්) වලදී ද ගොඩනැගිලි පදනම්, ගඩොල්, වළං හා කාසි හමුවී ඇත. වල්ලිපුරම් රන්සන්නස හමුවූයේ වල්ලිපුරම් ප්‍රදේශයේ විෂ්ණු දේවාලයට අයත් ඉඩමක, පැරණි ගොඩනැගිල්ලක අඩිතාලමට පහලිනි. 1936 දී පමණ එම කැණීම සිදුවී ඇත.
ඉතා තුනී ලේඛනයක් වූ මෙම වල්ලිපුරම් රන් සන්නස ලංකාවෙන් හමුවූ පළමු රන්පතයි. එම ලේඛනයේ අක්ෂරය වූයේ ක්‍රි.ව. දෙවන සියවසේ භාවිතා වූ බ්‍රාහ්මීයයයි. මෙම රන් පතෙහි ලේඛනගතව ඇත්තේ ‘වසභ’ රජ සමයෙහි (ක්‍රි.ව. 126 - 170) ඉසිගිරිය නම් ඇමතිවරයා නාගදීපයෙහි පාලකයාව සිටියදී පියගුකතිස නමැත්තෙකු විසින්, බදකර අතන නම් ස්ථානයක බෞද්ධ විහාරස්ථානයක් පිහිට වූ බවයි.
එහි පෙළ පහත සඳහන් වේ.

1. සි_ මහරජ වහයහ රජෙහි අමෙතෙ
2.ඉසිගිරයෙ නකදිව බුජමෙනි
3. බඳකර - අතනෙහි පියගුක - තිස
4. විහර කරිතෙ
මෙහි ‘වහ’ යනුවෙන් ලියා ඇති රාජ නාමය නිසැකවම වහබ හෙවත් වසභ යන්නයි. පළමුවන දෙවන සියවස් තුළදී අක්ෂර දෙකක් සහිත අන් රාජනාමයක් භාවිතා වී නොමැත. රන්පතෙහි සඳහන් පරිදි නාගදීපය එකල පාලනය කළේ ඉසිගිරිය නම් අමාත්‍යවරයාය. පියගුකතිස යනු පියඟු නම් පෙදෙසේ වැසියකු විය යුතුය. ඔහු විසින් නාගදීපයේ කරවන ලද විහාරය ‘පියඟුකතිස්ස විහාරය’ යනුවෙන් නම් කරන්නට ඇතැයි පැවසේ.


කන්දරෝඩෙයි හි නටබුන්
වල්ලිපුරම් රන්සන්නසේ සඳහන් වන පරිදි නකදිව යනු බුදුරජාණන් වහන්සේ දෙවැනි වර වැඩම කළ නාගදීපය විය යුතුය. නාගදීප යන නාමය ක්‍රි.ව. දහවැනි සියවස දක්වා වංශකථාවල වරින්වර සඳහන්ව ඇත. අතීතයේ නාගදීපය තිබූ ස්ථානයේ භූගෝලීය පිහිටීම පිළිබඳව කිසියම් සැකයක් පැවතුණද එය පසුකාලයේදී නිරාකරණය විය. ආචාර්ය පෝල් පීරිස් විසින් කරන ලද පුරාවිද්‍යා පර්යේෂණයන් ගේ ප්‍රතිඵලයක් ලෙස නාගදීපය යනු යාපනය අර්ධද්වීපයම බව ස්ථිරවම අනාවරණය වී ඇත. ඒ අනුව ඉතා ඈත අතීතයේ යාපනය අර්ධද්වීපය හඳුන්වා ඇත්තේ නාගදීප යනුවෙනි.
වල්ලිපුරම් රන් සන්නස අනාවරණය වනතුරු එය මුලින්ම තැන්පත් කළ ස්ථානයේම වැළලී තිබෙන්නට ඇතැයි විශ්වාස කරයි. විහාරය පිහිටුවීම පිළිබඳව ලේඛනගත කරද්දී සමකාලීනව දිවයිනෙහි පාලකයාගේ නාමය ද ප්‍රාදේශීය පාලකයාගේ් නමද සඳහන් කොට ඇත.
එනම් වසභ රජතුමා හා ඉසිගිරිය ඇමතිවරයාය. මේ අනුව ආගමික පදනම තිබූ ස්ථානයත්, නාගදීපයත් යාපනය අර්ධද්වීපය තුළ පිහිටි බැවින් එකල එම ප්‍රදේශය කිසියම් බෞද්ධ පුනර්ජීවනයක් සහිතව පවතින්නට ඇතැයි අනුමාන කළ හැකිවේ.
මෙම රන් තහඩුවෙන් ස්ථිරවන සුවිශේෂ කරුණ වන්නේ ක්‍රි.ව. දෙවන සියවසෙහි නාගදීපය අනුරපුර රජතුමාගේ අමාත්‍යවරයකු විසින් පාලනය කරන ලද බවයි. එම කාලයේදී එහි බෞද්ධ සිද්ධස්ථානයද ඉදිකොට ඇත.
නාගදීපය පිළිබඳ වංශකථාවල සහ අනෙකුත් ඓතිහාසික ලේඛනවල සඳහන් වන කරුණු අනුව එහි විසූවන් ජාතියෙන් භාෂාවෙන් හා ආගමෙන් දිවයිනෙහි අන් පෙදෙස්හි විසූවන් හා සමාන විය. සත්‍ය වශයෙන්ම ලක්බිමෙහි උතුරු ප්‍රදේශය, ලාංකේය ජනතාවගේ දේශපාලන, ආගමික හා සංස්කෘතික ඉතිහාසයේ ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටුකළ භූමියකි. පොළොන්නරු යුගයේ අවසානය දක්වා එම ස්වභාවය නොවෙනස්ව පැවතුනේය. එහි සියලු ජන කොටස් සහයෝගයෙන් කටයුතු කරමින් වාසය කර ඇත.


වල්ලිපුරම් රන්පත් ලිපිය
රන් සන්නසෙහි දැක්වෙන ආකාරයට වල්ලිපුරමේ අතීත නාමය වූයේ ‘බදකර - අතන’ ය. ‘බදකර’ යන නාමය පාලි භාෂාවෙන් ‘භද්දාකාර’ හො ‘භද්දඝර’ නමින් ව්‍යවහාර විය. ‘අතන’ යනු ස්ථාන නාමයන්ට පොදුවේ යෙදුන පදයකි. මෙම රන්පතින් අනාවරණය වන ආකාරයට ක්‍රි.ව. දෙවන සියවසෙහි, යාපනය අර්ධද්වීපය සිංහල අමාත්‍යවරයකු විසින් පාලනය කරන්නට ඇතැයි නිශ්චිතව සඳහන් කළ හැකිය.
ක්‍රි.ව. දෙවැනි සියවසෙහි පමණක් නොව ක්‍රි.ව. දසවැනි සියවස දක්වා වූ කාලයේද යාපනය ප්‍රදේශය සිංහල නරපතියන් විසින් පාලනය කරන ලද බව කදුරුගොඩ (කන්දරෝඩෙයි) ටැම් ලිපියෙන් සනාථ වේ.
මෙම ටැම් ලිපිය පිහිටියේ හුණුගම නමින් අතීතයේ ව්‍යවහාර වූ (පසුව චුන්නාකම් වූ) ප්‍රදේශයට නුදුරින් පිහිටි කදුරුගොඩ (පසුව කන්දරෝඩෙයි) විහාර භූ®මියට නුදුරිනි. මෙය අත්තාණි කණු කැබැල්ලකි. එනම් රාජකීය නියමයන් සහිත ලියවිල්ලක් සහිත ටැම් කොටසකි) එය යාපනය අර්ධද්වීපයෙහි තිබී හමුවීමෙන් හා එහි සඳහන් කරුණු වලින් අනාවරණය වන්නේ, එකල එම ප්‍රදේශයේ භාෂාව සිංහලය වූ බවත් එම ප්‍රදේශය සිංහලයන් සතුව පැවති ආකාරයත්ය.
කදුරුගොඩ ටැම්ලිපිය මූණත් හතරකින් යුතුව ගල් කුළුණක කොටා ඇත. ලේඛනය සහිත කුළුණු කැබැල්ලේ උස අඟල් 17 ක් පමණ වන අතර මූණතක පළල අඟල් 9 1/2 ක් විය. හමු වී ඇත්තේ මෙම අත්තානි කණු කැබැල්ලේ උඩ කොටස පමණි. ක්‍රි.ව. 9 - 10 සියවස්වල සෙල්ලිපිවල සාමාන්‍යයෙන් දක්නට ලැබෙන ආරම්භක වාක්‍යය ‘සිරිබර් කැත්කුල කොත්’ යන පාඨයෙන් ලේඛනය ආරම්භ වී ඇත. අත්තාණි කණුවේ පැති හතරෙන් එක් පැත්තක සූර්ය සංකේතයක් කැටයම් කොට ඇත. අනෙක් පැති තුනෙහි පේලි අට බැගින් ලේඛනගත කොට ඇත. මුළු පේලි ගණන විසිහතරක් වේ.
කදුරුගොඩ අත්තාණි කණු ලිපියෙන් අනාවරණය වන්නේ මුළු ශිලා ලේඛනයෙන් හතරෙන් එකක් හෝ තුනෙන් එකක් පමණි. මෙහි අක්ෂර ක්‍රි.ව. 9 - 10 සියවස්හි භාවිත වූ අකුරු වලට සමාන වේ.
මෙතෙක් හමුවී ඇති විවිධ යුගයන්ට හා විවිධ රජවරුන් විසින් ලියවන ලද ශිලා ලේඛනයන්හි භාෂාව හා ශෛලිය පිළිබඳ සලකා බැලීමේදී කන්දරෝඩෙයි ටැම්ලිපිය සිව්වැනි දප්පුල රජ සමයට අයත් බව සැලකිය හැකිය. මෙවැනිම ශිලා ලේඛන කිහිපයක් මොරගොඩ, තිඹිරිවැව කුංචිකුලම, අඹගස්වැව, හල්මිල්ලකුලම, ඇල්ලෙවැව, කදුරුගස්කඩ යන ස්ථානවලින්ද හමුවී ඇත. කන්දරෝඩෙයි ටැම්ලිපිය පිහිටුවීම සඳහා සම්බන්ධ වූ ‘කිලිඟ් අග්බෝනා’ නම් නිලධාරීයාගේ නම පොළොන්නරුව අංක 2 ශිව දේවාලයේද බණ්ඩාර රත්මලේ ද කන්තලේ ඇල්ල පාරේද ටැම්ලිපිවල සඳහන්ව ඇත.
කිලිඟ් අග්බෝනාවන්ගේ නියෝගයෙන් කන්දරෝඩෙයි අත්තාණි කණුව සිටුවීමට සම්බන්ධ වූයේ කිලිඟ් බෝසත් නම් නිලධාරියාය. මෙම කිලිඟ් බෝසත් නම් නිලධාරියාගේ නාමය සිව්වැනි දප්පුල රජුගේ ඇටවිරගොල්ලෑව ටැම් ලිපියෙහිද බණ්ඩාර උල්පොත ටැම් ලිපියේද සඳහන් වන බැවින්, කන්දරෝඩෙයි ටැම්ලිපිය (කදුරුගොඩ ටැම්ලිපිය) සිව්වන දප්පුල රජ සමයට අයත් වන බව තහවුරු වෙයි.
මෙම අත්තාණි කණුව පිහිටුවීමේ අපේක්ෂාව වූයේ අනුරපුර අභයගිරිය හා සම්බන්ධව පැවති යාපනය අර්ධද්වීපයෙහි පිහිටි කිසියම් ගමකට හෝ ආයතනයකට දීමනාවක් (පරිභාර) දීමය. එහෙත් මෙම අනුග්‍රහ ලැබූ ග්‍රාමයෙහි නම හඳුන්වාගත නොහැකිය.
මෙම ලිපියෙහි විශේෂත්වය වනුයේ අනුරාධපුර අභයගිරිය හා සම්බන්ධව පැවැති ආයතනයක් හෝ විහාරයක් එකල යාපනය ප්‍රදේශයෙහි පිහිටා තිබූ බව තහවුරු වීමය. කන්දරෝඩෙයි ටැම් ලිපියසොයාගනු ලැබුවේ පුරාණ කදුරුගොඩ විහාරය අසලිනි. එබැවින් එම විහාරය අතීතයේ අභයගිරි විහාරයට සම්බන්ධව තිබෙන්ට ඇතැයි විශ්වාස කළ හැකිය.
කන්දරෝඩෙයි හෙවත් කදුරුගොඩ ටැම් ලිපියෙහි පෙළ
පළමු පාර්ශයවය දෙවැනි පාර්ශවය

1. (ස්වස්ති) 1...... (කිලි)
2. සිරිබර් (කැත්) 2. ග් අග්බොනාව
3. කුල කොත් ඔ (කා) 3. න් වරැ මහ කිලි
4. වස් පරපු(රෙ) 4. ඟ් ගම්වැසි බො
5. න් හිමි වූ රුහු 5. සත් ඇතුළ් වැ මෙ
6. ණ් දනවු මල 6. තුවාක් සම්දරු
7. මඬුලු තුමහ 7. වන් අභය (ගි)
8. (ට්) එ (කත්කොට්) 8. රි වෙහෙර (ස)
තෙවැනි පාර්ශවය

1. ...........
2. නොගන්නා
3. කොට් ඉසාපි
4. යො වදාරනු
5. වන් පස්ල
6. දුවන් නොව
7. ද්නා කොට් ඉ
8. සා ........
පෙළ අනුවර්තනය
පළමු පාර්ශවයේ අනුවර්තනය - (යහපතක් වේවා) ශ්‍රී භාර ක්‍ෂත්‍රිය කුලයට කේතුවක් වූ ඉක්ෂ්වාකු පරම්පරායෙන් අයිති වූ රෝහණ ජනපදය නම් මල මණ්ඩලය තම (රාජ්‍යයට) එකතුකොට
දෙවැනි පාර්ශවයේ අනුවර්තනය - කිලිග් අග්බෝනාවන්ගේ අවසරයෙන් පැමිණි මහ කිලිඟ්ගම්හි පදිංචි බෝසත් ඇතුළු වූ මෙතෙක් නිලධාරීන් (විසින්) අභයගිරි විහාරය (ස .....)
තෙවැනි පාර්ශවයේ අනුවර්තනය - නොගන්නා ලෙසද පියොවදාරනුවන් පස්ලදුවන් ඇතුල් නොවන ලෙසද......
මෙම ශිලා ලිපියට අනුව සිව්වැනි දප්පුල රජු ඔක්කාක රජ පරපුරට අයත් වූ බව අනාවරණය වෙයි. අතීත ලක්දිව බොහෝ රජවරු, තමන් සුදොවුන් රජුගේ පරපුර වූ ඔක්කාක වංශයෙන් පැවත එන බව ලේඛන ගතකොට ඇත. ඇතැම් සෙල්ලිපිවල සඳහන් වන ආකාරයට සිංහල රජවරුන් අයත් වූයේ ඔක්කාක රජ පරපුරෙහි සූර්ය වංශයටය.
ඇතැම් රජවරුන් තම උරුමය ප්‍රකාශ කොට ඇත්තේ ‘ලක්දිව් පොළොයෙන් පරපුරෙන් හිමි වූ’ හෝ ‘ලක්දිව් පොළොව් මෙහෙසන පරපුරෙන් හිමි වූ’ යනුවෙනි. එනම්, ලක් පොළොව තමන්ට පරම්පරාවෙන් හිමි වී ඇති බව පැවසීමෙනි.
සෙල් ලිපියේ සඳහන් වන ‘මල මඬුලු’ හෙවත් මල මණ්ඩල යන නාමය භාවිතා වී ඇත්තේ විශාල ප්‍රදේශයක් කැලෑවෙන් වැසී තිබුණු වැද්දන් වැනි මනුෂ්‍ය කොටස් බහුලව වාසය කළ ප්‍රත්‍යන්ත ජනපද හැඳින්වීම පිණිසය.
මෙම ශිලා ලේඛනයෙහි ‘කිලිඟ්’ නමින් හඳුන්වා ඇත්තේ ආගමික නැඹුරුවක් සහිත කුළ පරම්පරාවකි. සඟමිත් තෙරණිය සමග ශ්‍රී මහ බෝධියේ ආරක්ෂාවට මෙහි පැමිණි පිරිස ‘කිලිග්’ හෝ කිලිඟු කුලවතුන් යනුවෙන් හඳුන්වා ඇත. ඇතැම් කිලිඟු කුලවතුන් අනුරාධපුර යුගයේදී රජයේ උසස් තනතුරු උසුලා ඇති බව වංශකථාවන්හි සඳහන්ව ඇත.
මෙහි ‘පියොවදාරනුවන්’ යනුවෙන් හඳුන්වා ඇත්තේ රජයේ නිලධාරීන් පිරිසකි. කන්දරෝඩෙයි ශිලා ලිපියෙහි ම, පළාත පාලනය කළ පිරිස් හඳුන්වා ඇත්තේ ‘පස්ලදුවන්’ යනුවෙනි. ක්‍රි.ව. පස්වැනි සියවසේ සිට අනුරාධපුර යුගයේ අවසානය දක්වා නගර සීමාවේ දිසා සතර ‘පස්ස’ යනුවෙන් හඳුන්වා ඇත. තවද ක්‍රි.ව. නවවැනි සියවසේ සිට දක්ඛින පස්ස අනිවාර්යයෙන්ම යුවරජුගේ පාලනය යටතේ පැවතියේය. එබැවින් පසු කාලයේදී එම ප්‍රදේශය පාලනය කිරීම සඳහා පස් ලද්දකු හෙවත් ‘ප්‍රාදේශීය පාලකයෙකු’ පත්කරන්නට ඇත. ශිලා ලේඛනයෙහි පියොවදාරනුවන් යනුවෙන් ද පස්ලදුවන් යනුවෙන් ද හඳුන්වන්නන් ගේ ප්‍රධානියා ඔහු විය හැකිය. ඉහත දැක්වූ කදුරුගොඩ විහාර (කන්දරෝඩෙයි) ටැම්ලිපියෙන් මැනවින් අනාවරණය වන්නේ යාපනය ප්‍රදේශය දසවැනි සියවසෙහි සිංහල පාලකයන් සතු බොදු පින්බිමක් ලෙස පැවති බවයි.
දුර්වල පාලකයන් බිහි වූ අවස්ථාවන්හිදී විවිධ ආක්‍රමණිකයෝ අතීත ලක්බිමට වැද සංස්කෘතික, සාමාජික හා ආගමික වශයෙන් මහත් වූ විනාශයන් සිදු කළහ. එහෙත් අපේ මවුබිම ප්‍රාග් ඓතිහාසික යුගයෙහි සිට සශ්‍රීක වූ පොළොවක් සහිත සුන්දර වූ දිවයිනක් ලෙස පැවතියේය. එමෙන්ම ක්‍රිස්තු පූර්ව යුගවල සිට ක්‍රිස්තු වර්ෂ දහතුන්වැනි සියවස දක්වා අනභිභවනීය ලංකා භූමියක් ලෙස පැවතියේය. විශේෂයෙන් යාපනය ඇතුළු උතුරු නැගෙනහිර පළාත් නිවහල් වූ බෞද්ධ පුණ්‍ය භූමියක්ව ශ්‍රී ලාංකික සියලු ජනතාවට උරුමය පවතින්නට ඇත.
වර්තමානයේ අප සතු යුතුකම හා වගකීම වන්නේ නැවත නිවහල් වූ ශ්‍රී ලංකාද්වීපය විදේශාධිපත්‍යයෙන් තොර රමණීය වූද සාමකාමී වූද දිවයිනක් ලෙස ආරක්ෂා කර ගැනීමයි.

ඡායාරූප - සුදම් ගුණසිංහ
එම්. නිලන්ති මානෙල්

No comments:

Post a Comment