09 October 2011

අපේ ජාතික ධජය








ජාතික කොඩියේ දැක්වෙන අංග

බෝපත් පරම සත්ය අවබෝධය (මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ඛා යන සතර බඹ විහරණය බෝපත් හතරෙන් නිරූපණය කෙරේ)

මෙත්තා - රට වැසියා පොදු මගකට පෙළඹවීම
මුදිතා-සමාව, ඉවසීම, අනුන්ගේ යහපත සැලසීම
කරුණා - දුකට පත්වූවන් ඉන් මුදවා ලීම
උපේක්ඛා - සතර සංග්රහ වස්තු නිරූපණය කෙරේ

සිංහයා

සෙසු සතුනට වඩා විනය ඇති සංවර සත්ත්වයකු වන සිංහයා ආත්ම ශක්තිය කෙරෙහි විශ්වාසය තබයි. එමෙන්ම තමාට නොගැළපෙන දේ නොකරයි. එවන් උදාරවත් ගති සිංහල ජාතියට ඇති බව සිංහයාගේ නිරූපණය වේ.

සිංහ රූපයේ කහ පාට

එඩිතර බව, දහමට අනුව හැසිරීමට, අභිවෘද්ධිය ආදිය සිංහ රූපයේ කහ වර්ණයෙන් අදහස් කෙරේ.

කේශර මාලා තුන

බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයත්, තෙරුවන් කෙරෙහි විශ්වාසය තැබීමත් නිරූපණය කෙරේ.

ග්‍රීවය

පාලනයෙහි ඍජු හා ශක්තිමත් බව සංකේතවත් වන්නේ ග්‍රීවයෙනි.

ග්‍රීවයේ කේසර මාලා හතර

ඡන්ද, ද්වේෂ, බය, මෝහ යන සතර අගතියෙන් තොර පාලනයක් පවතින බව සංකේතවත් කෙරේ.

නාසය

ප්‍රඥාව සංකේතවත් කරයි.

අයාගත් මුඛය

රාජකීය හඬත්, නොබියව නිර්භීතව අදහස් පළ කිරීමට ඇති හැකියාවත් එයින් දැක්වේ.

මුඛයට නැමී ගිය දත් තුන

සිත, කය, වචනය යන තුන්දොර හික්මවා ගැනීම මෙහිදී සංකේතවත් කෙරේ. 

දිව 

පාලකයාගේ ප්‍රකාශ සත්යවාදීවවත්, අවංක බවත් මෙයින් සංකේතවත් කෙරේ.

ඇස

රාජ්ය පාලකයා ජනතා ඇස තුළින් ජනතා ප්‍රශ්න දෙස බැලීම මෙයින් පැහැදිලි වේ.

ඇස කඩුව දෙසට යොමු වීම

පාලකයා විසින් බලය නිසි ලෙස යොදවනවා දැයි බැලීම මෙන් කියැවේ. (ජනතාව අවධියෙන් සිටින බව මින් සංකේතවත් කෙරේ.)

කේශර කැරලි විසි හතර

ගිහි විනය පෙන්වයි. චතුර්විධ ක්ලේෂ, සතර සංග්රහ වස්තු, සංකේතවත් වේ. 

හිස වලිගය මතට අක්ෂගතව තිබීම

පාලකයා හා පාලිතයා අතර ඇති සමානාත්මතාව මින් දැක්වේ.

වලිගය ස්ථාන දෙකකින් නැමීම

ප්‍රථම නැම්ම - ජාතියේ රටවැසියාගේ ශ්‍රමය දැනුම, කැපවීම, පාලනයට නොඅඩුව දීම මින් අදහස් වේ.
දෙවන නැම්ම- රට වැසියා හා පාලකයා ජාතියේ තීරණාත්මක අවස්ථාවලදී එකම මගකට පිවීසීම එයින් පැහැදිලි වේ.

වලිගයේ කේශර කැරලි අට

ආර්ය අෂ්ඨාංගික මාර්ගය (සැමට සුදුසු යන්න) එයින් දැක්වේ.

කඩුව ගත් දකුණු අත

ආරක්ඛ සම්පදා ස්වාදීනත්වය, නිදහස, ආරක්ෂා කිරීම යන කරුණු දකුණුතින් කඩුව ගැනීමෙන් පෙන්වයි.

පාද 

උට්ඨාන සම්පදා, ආරක්ඛ සම්පදා, කල්යාණ මිත්තතා, සමජීවිකතා යන කරුණු පාද මගින් නිරූපණය වේ.

උඩට විහිදුණු නිය

මෙලොව ජය ගැනීමට අවශ්‍ය ශ්‍රද්ධා, ශීල, ත්යාග, ප්‍රඥා, ලෝකෝත්තර විමුක්ති යන ධර්මයන් මින් නිරූපණය වේ. 

අසිපත

අසාධාරණයේදී සටන් වැදීම අසිපතින් පෙන්වයි. එය ධර්මයට අනුව සිදුවිය යුතුය යන්න කඩුවේ වර්ණය වන කහ පැහැයෙන් නිරූපණය වේ.

නැවුණු තුඩු තුන

අනිත්ය, දුක්ඛ, අනාත්ම, යන ත්‍රිලක්ෂණය මෙයින් පෙන්වයි.

මිටේ තුඩු හතර

රට වැසියා ගොඩ නැගී ඇත්තේ පඨවී, ආපෝ,තේජෝ වායෝ යන සතර මහා භූතයන්ගෙන් බව මෙයින් පැහැදිලිවේ. 

කඩුව අල්ලාගත් ඇඟිලි හතර

චතුරාර්ය සත්යය සංකේත්වත් කරයි. සිංහයාගේ ඉදිරි ගත්රා දෙක
රාජ්ය පාලනය එක් පැත්තකට අන්තගාමී නොවූ එකක් බව සංකේතවත් කරයි.

කඩු තලය කෙළින් තිබීම

පාලනයේ මධ්යස්ථ බව දක්වයි. මධ්යම ප්‍රතිපදාව ඔස්සේ යා යුතුයිය යන්න එයින් පැහැදිලි වේ.

කඩු තලය

පාලකයාට පැන වූ නීති දහය මෙමගින් සංකේතවත් වේ. (දානය, ශිලය, පරිත්යාගය, ඍජු ගුණය, මධ්යස්ථ බව, ඉන්ද්රීය දමනය, ක්රෝධ නොකිරීම, අවිහිංසාව, ශක්තිය පිළිගැනීම)

ඇස් ඒ තලය දෙසට යොමු වී තිබීම

පාලකයන් ධර්මතා රකින්නන්ද යන්න පිළිබඳව අවදියෙන් සිටීම මින් සංකේතවත් කරයි.

කොළ පාට තීරුව

මුස්ලිම් ජනතාව

තැඹිලි පාට 

දෙමළ ජනතාව

පසුතලයේ ඇති රතු පාට අනෙක් සුළු ආගමිකයන් හා ජාතීන් (පෘතුගීසි, ලන්දේසි, බර්ගර්) එමෙන්ම මෙම වර්ණයෙන් යටත් විජිත සමයේ උරුමය හා රටේ පසු බිම යනාදියද පෙන්නුම් කෙරේ.

වටේ ඇති කහ පාට තීරුව

ශ්‍රී ලංකාවේ වාසය කරන අනෙක් සංස්කෘතීන්වලට අයත් ජනතාව

ශ්‍රී ලංකාවේ පැරණිතම ජාතික ධජය

ශ්‍රී ලංකා ධජය ඉතිහාසය ක්‍රි.පූ. 2වැනි ශත වර්ෂය තෙක් ඈතට දිවේ ඒ දුටුගැමුණු / එලාර සටනේදී සිංහල රජුන්ගේ සේනාව විසින් සිංහ ලාංඡුනය සහිත කොඩියක් රැගෙන ගිය බවට දැක්වෙන සාධකයෙකි. දුටුගැමුණු රජු එම කොඩිය යුද පිටියට ගෙනගිය ආකාරය මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් (18 වන සියවසේදී) චිත්‍ර ශිල්පියකු ලවා දඹුලූ රජ මහා විහාරයේදී සිතුවම් කර ඇත. අද වන තුරු හමු වී ඇති පැරණිම ධජය වන්නේ ද මෙයයි.

ජාතික කොඩියක අවශ්‍යතාව

අපේ රටේ බ්‍රිතාන්ය පාලන සමයේ අධිරාජ්ය විරෝධී සටන පණ ගන්වමින් තිබියදී ජාතික කොඩියක අවශ්‍යතාව පැන නැගුණි. ඒ අනුව ඒ.සී.ඛෙල්. ආචාර්ය ජෝසප් පියරසන්, ඊ.ඩබ්. පෙරේරා යන අය විසින් ජාතික කොඩියක් පිළිබඳ පර්යේෂණ ඇරඹීය. ඔවුන් එහි දී සොයන්නට වූයේ සිංහලේ අන්තිම රජු භාවිත කළ ජාතික කොඩිය පිළිබඳවය

ජාතික කොඩිය සොයා එංගලන්තයට යයි

වර්ෂ 1815 මාර්තු 2 වැනි දින උඩරට ගිවිසුමෙන් පසු ‘යුනියන් ජැක්’ නමින් කොඩියක් සෙංකඩගල මඟුල් මඩුව අසලදී ජාතික කොඩයක් සේ එස වූ බවත්, පසුව එය එංගලන්තයට ගෙන ගිය බවටත් ඛෙනට් නම් ඉංග්‍රීසි ජාතිකයකු ලියූ කෘතියික සඳහන් වෙයි. එහෙත් ඒ පිළිබඳව පැහැදිලි තොරතුරක් කිසිවෙක් නොදැන සිටියේය.
පසුව ඊ.ඩබ්ලිව්. පෙරේරා මහතා විසින් එම කෘතියට අනුව ගත් තොරතුරු මගින් සිංහලේ අවසන් රජුගේ ජාතික කොඩිය එංගලන්තයේ තිබී සොයා ගෙන ආයේය. එම කොඩියේ වූයේ සිංහයාත්, ශෛලිගත ක්‍රමයට සකස් කර තිබූ බෝපත් හතරකුත්ය. පසුබිම රතු පැහැයෙන් යුක්ත විය.

නව ජාතික කොඩියේ උපත

එක්දහස් නවසිය හතලිස් ගණන් වන විට ලංකාවේ බොහෝ විද්වතුන්ගේ මතය වූයේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු භාවිත කළ කොඩිය ශ්‍රී ලංකාවේ නව ජාතික කොඩිය ලෙස පිළිගත යුතුය යන්නයි. 1948 ජනවාරි 16 වැනි දින මඩකලපුව මන්තී්ර සින්න ලෙබ්බේ මහතා මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එය ස්ථිර නොවූ බැවින් ඞී.එස්. සේනානායක මහතා රාජ්ය කොඩිය නිර්මාණය පිළිබඳ උපදෙස් දීමට හා කොඩිය නිර්මාණය කිරීමට කමිටුවක් පත් කළේය.

කොඩිය තීරණය කළ කමිටුව

සභාපති එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා
ලේකම් ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා
සාමාජිකයින් ටී.බී. ජයා මහතා
ජී.පී. පොන්නම්බලම් මහතා
ජේ.ආර්. ජයවර්ධන මහතා
ශ්‍රීමත් ලලිත රාජපක්ෂ මහතා
ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා
කමිටුවේ නිර්දේශයට අනුව සැකසුණු කොඩිය
ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය නිර්මාණය වීම කෙසේ විය යුතු දැයි යන්න පිළිබඳව එකල වාද විවාද බොහෝ විය. එනමුත් අවසන් තීරණය වූයේ තෝරා ගන්නා කොඩියෙන් නිදහස, සමානාත්මතාව හා සහෝදරත්වය යන ත්‍රිවිධ ලක්ෂණ නිරූපණය විය යුතු බවයි. ඒ අනුව ජාතික ධජය ත්‍රිවර්ණ විය යුතු බවත්, උඩ තීරය කහ පාටින්ද, යට තීරය සුදු පාටින්ද, පසුබිම රතු පැහැයෙන්ද යුක්ත විය යුතු අතර එහි සිංහ රූපයද තිබිය යුතු බව යෝජනා කෙරිණ.

ජාතික කොඩියේ ප්‍රථම දැක්ම

වර්ෂ 1948 පෙබරවාරි 4 වැනි දින නිදහස් දිනය වන තෙක්ම ජාතික කොඩිය පිළිබඳ ස්ථිර තීරණයක් ගෙන නොතිබිණි. එහෙත් එදින නිර්මාණය කරන ලද ජාතික කොඩිය ඔසවන ලදී. එතැන් පටන් ව්‍යවහාරයේ පැවතෙන්නේ එම ජාතික කොඩිය වුවත් ඉන් පසුව එයට සංශෝධන කිහිපයක්ම එක් කරනු ලැබිණ.
ජාතික කොඩියට එක් වූ අංග
වර්ෂ 1951 මාර්තු 2 වැනි දින කොඩිය ඉදිරිපසට කොළ හා තැඹිලි තීරු දෙකක් එක් කෙරිණ. මේ සම්මත කරගත් ජාතික කොඩිය 1952 පෙබරවාරි 2 වැනි දා ඔසවන ලදී. 
වර්ෂ 1972 දී කොඩිය වටා කහ පාට තීරුවක් හා කොඩියේ හතර කොනේ බෝපත් නිවැරදි බෝ කොළ හැඩයෙන්ද නිරූපණය කරන ලදී. 1972 මැයි 22 වැනිදා මෙම සංශෝධිත ජාතික කොඩිය ඔසවන ලදී.
වර්ෂ 1978 සැප්තැම්බර් 7 වැනිදා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ද ජාතික කොඩියට මුල් තැන හිමි විය.

ජාතික කොඩියට ප්‍රමිති සහතිකයක්.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් ශ්‍රී ලංකා ජාතික කොඩිය සඳහා වර්ෂ 1985 දී 693 දරණ අංකය යටතේ ප්‍රමිති සහතිකයක්ද ලබා දී තිබේ. කොඩියේ සැලැස්ම, දිග සහ පළල ප්‍රමිති සහතිකයට අනුව සෙ.මී. 200 X 100 ප්‍රමාණයට අනුකූල විය යුතුය.

කොඩි අතර ප්‍රමුඛයා

ජාතික කොඩිය නිදහස් දිනය ඇතුළු සෑම වැදගත් දිනයකදීම ඔසවනු ලබයි. කොඩියේ තීරු දෙක ගස පැත්තට තිඛෙන සේ එසවිය යුතුය. වෙනත් රටවල කොඩි සමග එසවීමේදී එය එක හා සමාන උසකින් ඔසවනු ලැබේ. අනෙක් රටවල කොඩි තැබිය යුත්තේ වම් පසිනි. සෑම කොඩියක්ම එක හා සමාන විය යුතු අතර, ඒ ඒ රටවල නම්වල ඉංග්‍රීසි අකාරාදිය අනුව කොඩි එස විය යුතුය.
පාසලක පාසල් වාරය ආරම්භ වන දින උදෑසන රැස්වීමේ විශේෂ දිනයකදී ජාතික කොඩිය එසවිය හැකිය. එමෙන්ම ජාතික කොඩිය ඔසවන සෑම අවස්ථාවකදීම ජාතික ගීයද ගායනා කළ යුතුය. 

ජාතික කොඩිය ඔසවන විටදී...

සියලූම උත්සවවලදී ජාතික කොඩියට ප්‍රමුඛස්ථානය දිය යුතුය. වෙනත් කිසිම කොඩියක් ඊට ඉහලින් ඔසවා නොතිබිය යුතුය. එහෙත් වෙනත් ජාතියකට අයත් කොඩියක් නම් එය ජාතික කොඩි ගසට සමාන උසකින්ම ඊට වම් පසින් එසවිය හැකිය. 
රාත්‍රි කාලයේ දී ගොඩනැගිලිවල ජාතික කොඩිය ඔසවා තැබීමේදී එය නැවත පහත් කරන තුරු රාත්‍රි කාලය තුළ විදුලි එළියෙන් ආලෝකවත් කිරීම
ගොඩනැගිල්ලක හෝ සඳළුතලයක කොඩිය ඔසවන්නේ නම් කොඩි ගස හරස් අංශ 45 ට ඇලකොට එස වීම.
පාරක ඔසවන්නේ නම් සිංහයා හරස් අතට සිටින සේ කොඩිය එසවීමට ක්‍රියා කිරීම
ආගමික කොඩි, ජාතික කොඩි සමග ප්‍රදර්ශනයේදී සමාන උසකින් තිබිය යුතුය.
කොඩි ගස් කිහිපයක් එක ළඟ වේ නම් පළමුව කළ යුත්තේ ජාතික කොඩිය එසවීමයි. ජාතික කොඩිය පහත් කිරීමද අවසානයට කළ යුතුය.
කථික වේදිකාවල ඔසවන විටදී කථිකයා සභාවට මුහුණලා සිටිය දී ඔහුට දකුණින් තිඛෙන පරිදි කොඩි ගසක හෝ පිටුපස බිත්තියට හෝ හෙත්තු වන සේ ඔහුට ඉහළින් ඔසවා තැබිය යුතුය.
ගරු කළ යුතු ජාතික කොඩිය
කිසි විටෙකත් ජාතික කොඩිය බිම නොතැබිය යුතුය. පෙරහරක ආදියේ ගෙන යන විටද තිරස් අතර සිටින සේ රැගෙන යාම නුසුදුසුය. උත්සවවලදී අමුත්තා සීරුවෙන් සිට කොඩිය එසැවිය යුතු අතර ඒ මංගල මොහොතේදී සියලූ දෙනා සියලූම කි්රයාකාරකම් නැවැත්විය යුතුය. කොඩියට මුහුණ දී සීරුවෙන් සිටිය යුතුය.
සංඛ නාද, මඟුල් ඛෙර වාදනය හැර කිසිදු සංගීතයක් නොපැවැත්විය යුතුය. එසවීමෙන් අනතුරුව ජාතික ගීය වාදනය හෝ ගායනය කළ යුතුයි. ඒ අවස්ථාවේ හිස් වැසුම් පැළඳ සිටී නම් ඒවා ගලවා ගත යුතුය. ඉරී අවලක්ෂණ වී වැරහැලි වී ඇති ජාතික කොඩි භාවිතයට නොගත යුතුය. එය වෙනත් පාට රෙදි වලින් සැරසිලි නොකළ යුතුය. අපේ ජාතික කොඩිය කිසි විටෙකත් ඇඳුමක්, ඇඳ ඇතිරිල්ලක් මෙන්ම සීලිමක ආවරණයක් වශයෙන්ද භාවිත නොකළ යුතුය.

උපුටාගැනිම : විජය පුවත්පත

2 comments:

  1. බොහොම සතුටුයි ඔබ මෙ ගෑන දක්වන උනන්දුවට...

    ReplyDelete