10 August 2011

සිරිලක අතීත තතු



සීහළවත්‍ථුවෙන් දැනට ඉතිරි ව ඇති පැරැණිතම මූලාශ‍්‍රයයන් අතුරෙන් එකක් වන සීහළවත්‍ථුව වර්තමානයේ අප අතට පත් වී ඇත්තේ ලංකා විශ්වවිද්‍යාලයයේ සේවය කළ උප පුස්තකාලයාධිකාරි කේ. ඩී. සෝමදාස මහතා ගේ නො පසුබට උත්සාහයේ ප‍්‍රතිඵලයක් වශයෙනි. ප‍්‍රථමයෙන් ම මේ කෘතියේ බුරුම පිටපතක් බුරුම රටින් ලැබී ඇති අතර, ඉන් අනතුරු ව මෙහි පාලි පිටපත වැලිතර මහාකප්පීනමුදලින්දාරාමයෙන් සොයා ගෙන ඇත.
මෙය ශුද්ධ කොට මුද්‍රණය කිරීමේ ගෞරවය හිමිවන්නේ පොල්වත්තේ බුද්ධදත්ත ස්ථවීරයන්ට ය. මෙය වට්ටගාමිණිඅභය රජු ගේ රාජ්‍ය කාලයෙන් (කි‍්‍ර. පූ 104 - 76) පසු ව රචනා වූයේ යැයි පෙනේ. දැනට අප සතු ව ඇති පැරැණිතම ග‍්‍රන්ථ අතරින් එකක් ලෙස මෙය පෙන්වා දිය හැකි ය. මේ බව එහි පාලි භාෂාව හසුරුවා ඇති ආකාරයෙන් ද පැහැදිලි වේ. පාලියෙන් ග‍්‍රන්ථකරණයට එතරම් නැඹුරු නො වූ අවධියක පාලි ව්‍යාකරණ දෝෂයන් ගෙන් යුක්ත ව ග‍්‍රන්ථකරණයේ යෙදුණු ආකාරය අවබෝධ කර ගැනීමට මේ කෘතිය උපකාරී වේ.
මෙහි දක්නට ලැබෙන එක් පාලි ව්‍යාකරණ දෝෂයක් මෙසේ දැක්විය හැකි ය. මෙහි 156 වන පිටුවෙහි “... තත්‍ථ දිබ්බසාටකායො ව දිස්වා...” මෙහි දිවසළු යයි සාටක ශබ්දය ස්තී‍්‍ර ලිංගයෙන් යොදා තිබේ. එය පුල්ලිංගික හෝ නපුංසක ලිංගික විය යුතු ය.


මෙහි කතා පුවත් 82 ක් පමණ දක්නට ලැබෙන අතර කර්තෘ නාමය කෘතියෙහි ම දක්වා ඇත. කණ්ඨකසෝළ පටුනෙහි උපන් පට්ටකෝට්ටවිහාරවාසී ආචාර්ය ධම්මනන්දි තෙරුන් මේ කෘතිය කළ බව කෘතිය කෙරෙන් ම පැහැදිලි වේ. මේ ග‍්‍රන්ථයේ ඇතැම් තැනක මේ විහාරය සණ්ඩකොන්ති ලෙස ද දක්වා ඇත. මේ ස්ථාන නාමයන් පරීක්ෂා කිරීමේ දී බොහෝ විට පෙනී යන්නේ මේවා ලංකාවේ පිහිටි ස්ථානයන් නො වන බවත්, දකුණු ඉන්දියාවේ පිහිටි ස්ථානයන් විය හැකි බවත් ය. මේ අනුව නිගමනය කළ හැක්කේ ඇතැම් විට ලංකාවෙන් ඉන්දියාවට ගිය භික්ෂුවක මෙය රචනා කරන්නට ඇති බව ය.
මේ කෘතියේ පරිච්ඡේද බෙදීම ද හරියාකාර ලෙස සිදු කොට නොමැත. වංසකථාවක් බිහිවීමට පූර්ව අවධිය මේ කෙරෙන් දිස් වේ. පාලි ගාථා හා පාලි ඡේද භාවිත කිරීම මඟින් කතුවරයා කරුණු ඉදිරිපත් කොට ඇත. මේ කෘතියේ කථා වස්තූන් ගෙතී ඇති ස්ථාන නාමයන් ලෙස රුහුණේ බෝපිය ප‍්‍රදේශය, සේතපබ්බතය, තිස්ස දනව්වේ වත්තේගම ප‍්‍රදේශය, අනුරාධපුරයේ භූමංගණ ග‍්‍රාමය, රුහුණු දනව්වේ කාම්බෝජ ග‍්‍රාමය හා දඝාවූ ග‍්‍රාමය, (මෙය දීඝාමඩුල්ල විය හැකි ය) සෑගිරිය සමීපයේ විල්ගම, සිතුල්පව්වේ කාලකන්දර විහාරය දැක්විය හැකි ය.
සෞරාෂ්ඨය, ගන්ධාරය, චීනය වැනි රටවල් වටා ගෙතුණු කථා ද මෙහි අඩංගු වේ. මේ අනුව ඈත අතීතයේ දී මේ රටවල් සමග ලංකාවේ භික්ෂූන් ආගමික සබඳතා පැවැත්වූ බව ද තහවුරු වේ. කතුවරයාගේ අපේක්ෂාව වී ඇත්තේ ලංකා ඉතිහාසය ගෙන හැර දැක්විම නො ව, අසන්නා බුදුදහමට නැඹුරු කරවා ගැනීම වේ. කතුවරයා ගේ අපේක්ෂාව සාලිකුමාර වත්‍ථුවෙන් උපුටාගත් පහත ගාථාවෙන් පෙනේ.

දසවිධකුසලෙසු අප්පමත්තො - බහුවිධදානපථෙ සමංගිභූතො
සුගතිගතිපථං විසෝධයිÀවා - සකභවනං විය යාති දෙවලොකං


දශ කුසලයන්හි ප‍්‍රමාදී නො වූ, නානාවිධ දන්දීම්වල යෙදුණු පුද්ගල තෙමේ සුගතියට යන මග ශුද්ධ කොට ගෙන සිය ගෙදොරට යන්නා සේ දෙව්ලොවට යයි. මෙහි බණ කතා අසන්නා ඇඳ බැඳ තබා ගන්නා ආකාරයට රචනා කර ඇත. ඇතැම් කතා අතර “... යථා චුල්ලි උපාසකකථා තථා විත්‍ථාරෙතබ්බාති...” චුල්ලී උපාසිකාව ගේ කථාව මෙන් මෙය විස්තර කළ යුතු ය. යනුවෙන් දක්වා ඇත. කථාවස්තූන් විස්තර කිරීමේ දී පාඨකයා එයට ඇඳ බැඳ තබා ගන්නා ආකාරයට කි‍්‍රයා කළ බව මින් පැහැදිලි වේ.
මේ කෘතියේ කථානායකයා වී ඇත්තේ සද්ධාතිස්ස රජු ය. එහෙත් මහාවංසය වැනි කෘතියක් ගත් කල එහි සද්ධාතිස්සට වඩා වීර චරිතයක් බවට පත් කොට ඇත්තේ එළාර හා යුද වැදී ජයග‍්‍රහණය කළ දුටුගැමුණු ය. දුටුගැමුණු සඳහා පරිච්ඡේද 11 ක් වෙන් කොට ඇත. එහෙත් මේ කෘතියේ කථානායකයා වී ඇත්තේ සද්ධාතිස්ස රජු ය. එළාර දුටුගැමුණු යුද්ධය පිළිබඳ ව මෙය නිහඬ ය.
කාවන්තිස්ස කතාවත්ත්‍ථුවට අනුව විහාරමහාදේවිය හා කාවන්තිස්ස රජු කුඩා කල සිට එකට හැදී වැඩී ආ බව පෙනේ. “... රජකුල දෙකෙහි උපන් පෙර වාසනා ඇති පින්වත් මහේශාක්‍ය වූ ඒ දෙදෙන එකට වැඩුණාහ...” මොවුන් හදිසියේ මුණ නො ගැසුණු බවත් කුඩා කල සිට දැන හැඳිනගෙන ජීවත් වූ බවත් මේ අනුව පෙනේ. තිස්ස කුමරු හා යුද කොට කීපවරක් දුටුගැමුණු රජු පැරදුණු අවස්ථාවක් පිළිබඳ ව දුටුගැමුණු රජු ගේ මරණය නම් කතා වස්තුවේ දැක්වේ. සද්ධාතිස්ස රජු ගේ ඇමැතියා හා සුමනා නම් දියණියන් පින් කළ ආකාරය පිළිබඳ ව මේ කෘතියේ දැක්වේ.
සාලිය රාජකුමාරයා ගේ කතා පුවත විමර්ශනය කිරීමේ දී සාලිය හා අශෝකමාලාව ගේ පෙර භවය පිළිබඳ ව ද මෙහි දක්වා ඇත. මවට සැඩොලිය කියා පරුෂ වචන කීමේ විපාක හේතුවෙන් අශෝකමාලාව සැඩොල් කුලයේ උපන් බවත්, බණ අසා සාධුකාර දීම හේතුවෙන් ඇගේ කටින් අසෝකමල් කෙසරූ වැනි රැස් විහිදුණ බවත් එබැවින් අසෝකමාලිනී නම් තැබූ බවත් දැක්වේ.
ලෝකරුවකු පුවඟු දිවයින් වැසි තෙර නමකට ඌරුමස් හා ඇල්හාලේ බත් සකසා දන් ලෙස පිළිගැන්වීමේ පිනේ මහිමයෙන් ඒ ලෝකරු දුටුගැමුණු රජු ගේ බිසව ගේ කුසෙහි උපන් බවත් දොළොස් වර්ෂයක් ඉක්මයන තුරු පඬුරු ගලා ආ බැවින් ද ඒ කාලය තුළ දී ලෝකයෙහි ඇල්හාල් රැස්වීම සිදු වූ බැවින් ද ඒ කුමරුට සැලිකුමාර යයි නම තැබූ බව සීහළවත්‍ථුවෙන් පැහැදිලි වේ.
දුටුගැමුණු රජුට අශෝකමාලිනිය හඳුන්වා දුන් අවස්ථාවේ දී “... ඉදින් තාගේ බිරිය නො වී නම් මම ඇය භාර්යා තනතුරෙහි තබා ගන්නෙමි. පිළිබඳ සිත් ඇත්තහුට කුලයක් හෝ ගෝත‍්‍රයක් විද්‍යමාන නොවේ....” යනුවෙන් පවසා ඇත. මේ අනුව අශෝකමාලිනිය ප‍්‍රතික්ෂේප කළ බවක් මේ කෘතියෙන් නො දිස්වේ. මේ අනුව දුර්ලභ ගණයේ ඉතිහාස පුවත් රාශියක් මේ කෘතියෙන් අනාවරණය ගත හැකි වේ.
සීහළවත්‍ථුප්පකරණය ඇසුරින් සංයුක්ත මහාවග්ගය නමැති කෘතියක් පිළිබඳ ව ද කරුණු සොයා ගත හැකි ය. මේ සංයුක්ත මහාවග්ගය කියැවීමට යාම තුනක් ගත වන බව කෘතිය ඇසුරින් පෙනේ. මේ අනුව පෙනී යන්නේ මේ සංයුක්ත මහාවග්ගය මේ වන විට ද රචනා වී තිබූ බව ය. සීහළවත්‍ථුප්පකරණයට අනුව නා රජුන් සටන් වැදී ඇත්තේ රත් සඳුන් පුටුවක් උදෙසා ය. “... නාගදීපයේ ගොඩ නා රජ මුහුදේ නා රජකුගේ දුවක් සරණ පාවා ගති. මුහුදේ නා රජ ඒ දුවට දායාද වශයෙන් ඉතා වටිනා රත් සඳුන් පුටුවක් දුණි. කලක් ඇවෑමෙන් නාග කුමරියගේ පියා මළේය
. ඔහුගේ පුත‍්‍රයා සඳුන් පලඟ තමාට දිය යුතු යයි කියමින් ස්වකීය මස්සිනා වෙත හස්නක් යැවීය. මාගේ පලඟ නොදෙමි යැයි ඔහු කී බැවින් දෙදෙනා අතර යුද්ධයක් ඇති විය.
ගොඩවැසි නාගයෝ මුහුදු නාගභවනය මුහුදක් ම කරන්නෙමු කීහ. එකල භාග්‍යවතුන් වහන්සේ මහාකරුණා ඥානයෙන් මේ කාරණය දැක දහවල් දානය වළඳ්‍ර නාගයන් හික්මවීම පිණිස නාගදීපයට අහසින් වැඩිසේක...” යනුවෙන් සිහළවත්‍ථුවේ සඳහන් වේ.


මේ කෘතිය රචනා වන කාලයෙහි දී භික්ෂූන් මොනරමස් වැළඳූ බව මෙහි එන පස්වැනි කථා පුවතින් ගම්‍ය වේ. මහානාග තෙරුන් ගේ කථාව අනුව පෙනී යන්නේ භික්ෂූන්ට මස්මාංශ සහිත ව දන් පිළිගැන් වූ බව යි. “දුවණියෙනි ඇල්සහලෙන් බත් ඔයා මස්මාලු ද පිළියෙළ කොට ගිතෙල් වත්කොට තෙරුන්ට දෙව...” එ මෙන් ම භික්ෂූන් හා මස් ද අනුභව කොට ඇත.
සුමනාව ලුණු විල කොළ සමඟ දන් පිළිගැන් වූ අවස්ථාවේ දී ඒ දානය සුමනාව බලා සිටිය දී ම ප‍්‍රතික්ෂේප කොට ගරාදිවැට අතරින් ඉවත දැමූ අවස්ථාවක් හරිතාලතිස්ස ගේ කථාවස්තුවේ දැක්වේ.
එමෙන් ම මේ කාලයේ දී භික්ෂූන් මහබෝ වැදීම සඳහා උත්තරාපථයට ගිය අවස්ථාවන් ද දක්නට ලැබේ. ඔවුන් රුහුණේ සිට අනුරාධපුරයට පැමිණ මහාකොණ්ඩය නම් ස්ථානයේ දී නැව් නැඟ කාවේරි පටුනෙහි බැස ක‍්‍රමයෙන් මහ වනය තුළින් උත්තරා පථයට ගමන් කොට ඇත.

 මෙහි මහාකොණ්ඩය යනු මහානිත්‍ථවරාය විය හැකි ය. මේ අනුව පෙනී යන්නේ මේ වන විට රුහුණේ පිහිටි ගොඩවාය වැනි වරායන් එතරම් වැදගත් නො වූ බව ය.
පිංයගුදීපවාසී භික්ෂූන් දිනපතා දන් වළඳන කාලයෙහි ලංකාවට පැමිණි බව මෙහි එන කථා පුවත් කීපයකින් දැක්වේ. මේ පුවගුදිවයින පුංකුඩුතිව් දූපත නො ව නාච්චදූව වැව අසල පිහිටි ප‍්‍රදේශයක් විය හැකි යයි ද මතයක් ඇත.

සීහළවත්‍ථුවේ එන සුරට්ඨ ජනපදය වටා ගෙතී ඇති කථාපුවත්වල පහත ස්ථාන නාම දැක්වේ. සාහුථල ප‍්‍රදේශය, ආළාරබාල පටුන, පෝරිමාසි ගංතෙර, කොණ්ඩපුදි විහාරය, චිත්තගෝ විහාරය, මහානිධි පර්වතය, උපසිංහ විහාරය, මන්තසේල පර්වතය, චික්ඛිණ්ණ නගරය වේ.
මේ ස්ථාන නාමයන්හි සත්‍යතාව විමැසීම සඳහා මේ කෘතිය සිංහලයට පරිවර්තනය කළ පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් දිල්ලි විශ්වවිද්‍යාලයයේ බෞද්ධාගමික අංශයේ ප‍්‍රධාන පී. වී. බාපත්ට ලිපියක් යැවුවත් ඊට හරියාකාර පිළිතුරක් ලැබූ බවක් නො පෙනේ. මේ ස්ථාන නාමයන්හි සත්‍යතාව ඔප්පු කර ගැනීමට හැකි වුවහොත් මේ කෘතියේ ඇති විශ්වසනීයත්වය තවදුරටත් වැඩි කර ගත හැකි වේ යැයි මට හැඟේ.

රන් ගෙන ඒම සඳහා ලංකාවේ මිනිසුන් ස්වර්ණභූමියට යෑමට නැව් නැග්ග පුවතක් මහාදේව උපාසකයා ගේ කථාවත්‍ථුවෙන් දැක්වේ.
අතීත ලංකාවේ සමාජ තත්ත්වය පිළිබඳ ව අවබෝධයක් මේ කෘතියෙන් ලබා ගත හැකි වේ. හරිතාලතිස්ස ගේ කථා පුවතෙහි දියණි කෙනකුන් විවාහ කරදීමේ දී දායාදය ලෙස ලබා දී ඇත්තේ සහල් නැළියක්, මෝල්ගසක්, වංගෙඩියක්, පියන සහිත කලයක්, බත් කන භාජනයක් වේ. මෙය එදා සමාජයේ පැවති අල්පභාණ්ඩිකතාව පෙන්නුම් කරයි.
මේ කාලය වන විට කහවණු හා අඩකහවණු ද භාවිතයේ පැවැති බව පෙනේ. හිසකෙස් කපා විකුණා කහවණු ලබා ගත් අවස්ථාවන් ද දක්නට ලැබේ. බ‍්‍රාහ්මණ තීය දුර්භික්ෂයට ලංකාවේ මිනිසුන් මුහුණ දුන් ආකාරයට සවන් දීමට ඇති හොඳ ම කෘතියක් ලෙස මේ ග‍්‍රන්ථය පෙන්වා දිය හැකි ය. බ‍්‍රාහ්මණ තීය දුර්භික්ෂය අවස්ථාවේ දී මව්පියන් ද මිත‍්‍රයෝ ද, අඳුනන්නෝ ද පරලොව ගිය බවත්, මිනිසුන් ආහාර සොයමින් කඳුරටට ගමන් ගත් ආකාරයත් භාණ්ඩාගාරික තිස්ස ඇමැති ගේ කථා පුවතින් පෙනේ. දුර්භික්ෂ අවස්ථාවේ දී එක්තරා තරුණියක තමන් ඇඳ සිටි වස්ත‍්‍රය භික්ෂුවකට පිරිනමා තමන් කොළවලින් කළ පෙත්Àථියක් හැඳගත් අවස්ථාවක් දුග්ගතකස්සකවත්‍ථුවේ දැක්වේ.
පිණ්ඩපාතවිශුද්ධියේ “...හෙළදිව දුර්භික්ෂ කාලයක අඹුසැමි දෙදෙනෙක් ජීවත් විය නො හැකි ව සිය දියණියන් කහවණු දොළසක් ගැනීම සඳහා උකසට තැබූහ...” මේ අනුව පෙනී යන්නේ දරුවන් ඇතැම් දුර්භික්ෂ අවස්ථාවල දී උකසට තැබූ බව ය. මේ දුර්භික්ෂය අවුරුදු 12 ක් පමණ පැවැති බව මේ කෘතිය අනුව ගම්‍ය වේ.

මේ කෘතියෙන් හෙළි වන පරිදි එකල පැවැති කර්මාන්තයන් ලෙස පේෂකර්මාන්තය, කුඹල් කර්මාන්තය, තූර්යභාණ්ඩ සෑදීම, ලෝකුරුවැඩ, රන් කර්මාන්තය පෙන්වා දිය හැකි ය.
ඉහත කරුණු අනුව පෙනී යන්නේ මේ කෘතියෙන් අතීත ලංකාවේ පැවැති ඓතිහාසික, සමාජීය, ආර්ථික, සංස්කෘතික යන සැම පැතිකඩක් ම විනිවිද දැක්වෙන අතර, ලංකා ඉතිහාසය ගොඩනැඟීමේ දී මේ කෘතිය ප‍්‍රාථමික මූලාශ‍්‍රයක් ලෙස අතිශය දායකත්වයක් ලබා දෙන බවත් ය.
 

නදීෂා ෂර්මලී ගුණවර්ධන
ඉතිහාස අංශය
කැලණිය විශ්වවිද්‍යාලය.

No comments:

Post a Comment