03 August 2011

ගල් කුළින් ඔපවත් වූ ඇතුගල්පුරය



ඇතුගල්පුරය, හස්‌තිශෛලපුරය යන නම් වලින් හැඳින්වෙන වර්තමාන වයඹ පළාතේ අග නගරය වන කුරුණෑගල වඩා ඔපවත් වන්නේ නගරය වටා වූ උස්‌ බිම් මත පිහිටා ඇති, අරුම පුදුම වෘත්තාන්ත වලින් ගහන, මහා පර්වත කීපය නිසාවෙනි. මේ දැවැන්ත පර්වත සමූහය නගරාරක්‍ෂාව සඳහා ස්‌වභාවධර්මයා විසින් මවන ලද ශක්‌තිමත් පවුරක්‌ වැන්න.

රටක පැරණි අවදිය ගැන සිතන විට අගනගරයක්‌ සඳහා කුරුණෑගල වඩාත්ම සුදුසුයයි හැඟෙන්නේ මේ ආශ්චර්යමත් ස්‌වාභාවික පිහිටීම නිසාය.

කුරුණෑගල කලක්‌ අපේ පැරැණි රාජධානියක අගනගරය ලෙස තිබිණි. එය එසේ තෝරා ගැනෙන්නට ඇත්තේ එහි පිහිටීම නිසා විය යුතුය.

මුලින්ම කුරුණෑගල සිය රාජධානිය ලෙස තෝරා ගත්තේ II වන බුවනෙක (වත්හිමි) රජතුමාය. පොලොන්නරුවේ අවසන් පාලකයා වූ III වන පරාක්‍රමබාහු රජුට විරුද්ධව කැරලි ගසා දන්ත ධාතුවද පැහැරගෙන ගෙන ක්‍රි.ව. 1293 දී II වන බුවනෙකබා රජ කුරුණෑගල සිය රාජධානිය පිහිටුවා ගත්තේය. ඔහු ක්‍රි.ව. 1302 දක්‌වා රාජ්‍යය විචාළේය.

කුරුණෑගල බලවත්ම රජු බවට පත්වූයේ ඔහු පුත් IV වන පරාක්‍රමබාහු හෙවත්, පණ්‌ඩිත පරාක්‍රමබාහුය. ක්‍රි.ව. 1302 දී රාජ්‍යයට පත් ඔහු, 1326 දක්‌වා අවුරුදු 24 ක්‌ රාජ්‍යය විචාළේය. කුරුණෑගල යුගය වර්ණවත් වූයේ ශ්‍රේෂ්ඨ උගතෙකු වූ මේ රජතුමන් ගෙනි. ඔහුqගේ රාජ්‍ය කාලය සාමකාමී දීර්ඝ එකක්‌ වූයෙන් දම්පසඟිනාවෝ රට සරුසාරවත් වූ අතර සාහිත්‍ය දියුණුවක්‌ද ඇතිවිය. රාජ අනුග්‍රහය මීට ප්‍රධාන හේතුවක්‌ වූ බව පෙනේ.

කුරුණෑගල යුගය වර්ෂ 48 ට සීමාවූවද එකල ඇතිවූ සාහිත්‍ය උත්නතිය විශේෂිතය. රට තුළ ඇතිවූ පිරිවෙන් කිහිපය වන තොටගමුව විජයබා, වීදාගම, ඝනානන්ද, හා ශ්‍රී පරාක්‍රමබාහු නිසා විද්‍යාර්තීහු බිහිවූහ. එසේම විල්ගම්මුල මාහිමි, දේව්රූ පරාක්‍රම පණ්‌ඩිත වැනි සුප්‍රකට පඩිවරු මේ යුගය වර්ණවත් කළහ. සොළී රටින් වැඩමකර රාජගුරු පදවියටපත් මහාස්‌ථවිරයාණ කෙනෙකු ගැනද සඳහන්වේ.

වෘත්තගන්ධි රචනා ක්‍රමය අනුව ලියෑවුණ හඩනඟා කියෑවීම සඳහා රචනා කරන ලද දළදා සිරිත ලියෑවුණේද මේ යුගයේදීය. එය දෙව්රදදම්සඟිනාවෝ රචනා කළහ. සිංහල ථූප වංශය, සිංහල ජාතක පොත, උම්මග්ග ජාතකය, දඹදෙණිඅස්‌න හා සරණජෝති මාලෙයි නම් ද්‍රවිඩ ග්‍රන්ථයද මෙකල බිහිවූ අතිශය වැදගත් කෘතීන් වේ.

භාෂා සාහිත්‍යයට රාජ අනුග්‍රහය ලැබීම, ගද්‍ය ග්‍රන්ථ පමණක්‌ බිහිවීම, සාහිත්‍ය උපාධි ප්‍රදානය, මුල්ම අස්‌න ග්‍රන්ථය බිහිවීම, වෘත්තගන්ධි රචනා ක්‍රමයේ ආරම්භය, ජාතක පොත සිංහලයට නැගීම, ද්‍රවිඩ සාහිත්‍ය ග්‍රන්ථයක්‌ එළි දැකීම මෙකල ඇතිවූ විශේෂ සාහිත්‍ය ලක්‍ෂණයන් බව සැලකිය හැක.

කුරුණෑගල අවසන් රජ වුයේ සවුළු විජයබාරජුය. ක්‍රි.ව.1341 දී රාජධානිය ගම්පොළට මාරුවිය.

කුරුණෑගල සිටි රජකෙනෙකුට දාව මහම්මදික බිසවකට උපන් කුමරෙක්‌, වත්හිමි බණ්‌ඩාර නමින් රාජ්‍යය අත්පත් කරගෙන සිටි බවට ජනප්‍රවාදයේ සඳහන්ය. මෙකල සිංහල රජවරු මුස්‌ලිම්වරුන් ලගින් ඇසුරු කළ බවත්, සුරූපී ඊජිප්තු කුමරියන් සරණාපාවා ගැනීම සිරිතක්‌ ලෙස කළ බවත් ජනප්‍රවාදයේ කියෑවේ.

වත්හිමි රජුගේ අභිෂේකය සඳහා ඉන්දියාවෙන් බමුණන් පැමිණි බවද, රජුගේ මරණින් පසු මෙහි සිටි බමුණන් ඉතා පහත්කොට සලකන බවද එම ජනප්‍රවාද වල වැඩිදුරටත් සඳහන්වේ.

මෙහි කිසියම් සත්‍යයක්‌ ඇති බවට සාධක තිබේ. කුරුණෑගල සමයේ ලියෑවුණු උමංදාවේ සඳහන් තොරතුරු මේ සඳහා හොඳ නිදසුනක්‌ වේ. එම ග්‍රන්ථයේ බමුණන් දරුණු උපහාසයට ලක්‌කර තිබේ. එදා මෙරට පැවැති සමාජ තත්ත්වය ග්‍රන්ථයට ඇතුළත් වන්නට ඇත.

කුරුණෑගල නගරය ඉස්‌මත්තේ එකිනෙකට ළංළංව පිහිටා ඇති පර්වත පේළිය නගරය ආරක්‍ෂාව සලස්‌වන්නාසේම අලංකාරයක්‌ද එක්‌ කරන්නේය. එක පෙළට පිහිටි මේ ගල්කුළු විවිධ සතුන්ගේ හැඩයට පිහිටා තිබීම විශේෂිතය. මේ විවිධ හැඩ ඇති අති දැවැන්ත පර්වත සඳහා දී ඇති නම් ද ඒවායේ හැඩය ගන්නා සතුන්ගේ හැඩරුව අනුව නිර්මාණය වී තිබීම තවත් විශේෂත්වයකි.

මේ වටා ගෙතුන ජනප්‍රවාද ද අනන්තය. මේ පර්වත සතුන්ගේ රූප ගෙන ඇති ආකාරය ගැනද ජනප්‍රවාදයේ එන අපූරු කථාවක්‌ද වේ.

එක්‌ නියන් සමයක වනාන්තරයේ ජලය හිඟ විය. වනයේ වූ ඇළදොළ සියල්ල සිඳී ගියේය. වනය තුළ සතුන්ට බීමට ජලය බිඳක්‌ හෝ නොවීය. දිනක්‌ සැන්දෑවක ජලය සොයා, ප්‍රදේශයේ එකම ජල තටාකය වූ වෙනෝරුව වැව දෙසට ගමන් ගන්නා සත්ව පෙළකි. ඉදිරියෙන්ම ඇතෙකි. අනතුරුව ඉබ්බෙක්‌, කුරුමිණියෙක්‌, එළුවෙක්‌, කිඹුලෙක්‌, ඇතින්නක්‌, ආඳෙක්‌ ආදී වශයෙන් එකා පසු එකා ගමන් කරමින් සිටියහ.

ප්‍රදේශයේ සිටි එක්‌ මහලු කාන්තාවක්‌ මේ සියල්ල බලාගෙනය. ප්‍රදේශයේ වනාන්තර වල සිටින වන සතුන් මේ වතුර ටිකට වහවැටුනොත් ප්‍රදේශයේ ජනතාවට අත්වන ඉරණම ගැන සිහිපත්ව ඇයට දෙවියන් සිහිවිය.

ඇය වහා මුළුතැන්ගෙට දුවගොස්‌, ලුනු භාජනය ගෙන ඈත අලියා එන මග ඉදිරිපිට දෙවියන් යදිමින් එය හැලුවාය. එතැනට ආ ඇතා ලුනු ගොඩ දැක, එහි වැතිර ලුනු ලොවින්නට විය. පෙළට ආ ඒ ඒ සත්තු තම තමන් සිටි සිටි තැන්වල නතර වූහ.

නිමේෂයකින් අඳුර වැටිණි. වෙනදාමෙන් රෑ බෝ වී පසුදාට ද එළි විය. පුදුමයකි. ගම වටේ උස්‌ බිම් වල දැවැන්ත පර්වත රැසකි. එ, දිය බීමට ආ පාෂාණ භූතව ගිය සත්ව රැළය පසුව ඒ ඒ සතාගේ ස්‌වරූපය ගත් පර්වත ඒ ඒ සතාගේ නමින් හැඳින්වෙන්නට විය.

එදින දිය බොන්නට එකා පසුq එකා බැගින් ගිය සත්ව සමූහයෙන්, මුලින් ගිය සතුන් පාෂාණභූතව යන ආකාරය දුටු පසු පස සිටි සත්තු සියල්ලෝම බියවී පැන දිවූහ. දේව අනුහසින් ගල්වී ගිය සත්තු, අදත් ඒ ඒ ස්‌වරූපයෙන් අපට දැකිය හැක.

ඇතාගල අඩි 700 ක්‌ තරම් උසය. ඒ මත ගොඩනැඟිලි නටබුන් රාශියකි. ඈතට ගල පෙනෙන්නේ බිම ලැගගත් දැවැන්ත ඇතෙකු ලෙසය. ඒ පාමුල ඇත්කඳ විහාරය පිහිටා ඇත. ඇතාගලින් පහළට පෙරළා මරාදමන ලද මුස්‌ලිම් කුමාරයකු සිහිවීම සඳහා ගොඩනැඟූ මුස්‌ලිම් පල්ලියක්‌ ද ඒ අසල වේ.

ඉබ්බාගල මුදුන සමතලාය. එහි හැඩය ඉබි කට්‌ටක්‌ මෙනි. එහි මුදුනේ ගොඩනැඟිලි ආරාම ඇත්තේය. පෙර මෙහි භික්‍ෂූන් වාසය කළ බව කියයි.

එළුවා ගල, කුරුමිණියාගල, ආඳාගත, කිඹුගලාගල, ඇතිනිගල, ගෝනිගල හා යද්දෙස්‌සා ගල අනෙක්‌ ප්‍රධාන පර්වත කීපය වේ. සමහර පර්වතවල නම සඳහන් ආකාරයේ සත්ව රූපය දැකිය නොහැකිය. ආඳාගල, කඔqලාගල, එවැනි ඒවා වේ. එම පර්වත දික්‌හැඩය ගත් නිසා ඒ නම් තැබෙන්නට ඇත.

ඇතිනිගල නම් නියම හැඩය ගනී. එය ඇතාගලට වඩා කුඩාය. ඒ නිසා එය ඇතිනිගල වන්නට ඇත.

ගෝනිගල සතෙකු පිට පටවන ලද ගෝනියක හැඩය ගනී. යද්දෙස්‌සා ගල සෙසු ඒවාට වඩා උසට පිහිටා ඇත. විජය රජු විසින් එළවා දමන ලද කුවේණිය, පිස්‌සු වැටුණු යකින්නක ලෙස මේ ගල ළඟට විත් විජයට දෙස්‌ තැබුණු හෙයින් මෙය යද්දෙස්‌සා ගල ලෙස නම් තැබුණු බව පවතින කථාවයි.

කුරුණෑගල කඳුපෙළ දිගේ පිහිටා ඇති තවත් මෙබඳු දැවැන්ත පර්වත රැසක්‌ වේ. ඉන් තවත් එක්‌ ගලක්‌ ලඟට ගොස්‌ "හූ" කී විට, මඳ වේලාවකින් ගලද ආපසු හූ කියයි. එය හැඳින්වෙන්නේ "හූ" කියන ගල ලෙසිනි.

එදා මේ කඳු මත පිහිටි පර්වත සමූහය නගරයට ස්‌වාභාවික රැකවරණයක්‌ දුන් බව සැබෑය. මෙම නගරය රාජධානියකට සුදුසු තැනක්‌ සේ තෝරාගන්නට ඇත්තේ එහෙයිනි. නමුත් අද එවැනි ආරක්‍ෂාවකින් පලක්‌ නැත. ඒත් මෙයින් කුරුණෑගල නගරයට ලබාදෙන නගරාලංකාරය ඉතා වැදගත් වන්නේය. එය අපේ මතු පරපුරටද රැකදීම අප හැමගේ වගකීම වේ.


සුසිල් පීරිස්‌‍

No comments:

Post a Comment