03 August 2011

ටොලමි දුටු ඔදොකා වරාය පුරාණ මාගම්පුර වරායද?

අවුරුදු දෙදහසකට පමණ පෙර සිට පැවත එන ලිත ඉතිහාසයක්‌ සහ පුරා විද්‍යාත්මක උරුමයක්‌ සහිත ප්‍රදේශයක්‌ ලෙස ගොඩවාය හැඳින්විය හැකිවේ. අතීතයේ පෙරදිග හා අපරදිග ජාත්‍යන්තර වෙළ¹ම පැවැති මුහුදු සේද මාර්ගයේ වැදගත් සන්ධිස්‌ථානයක පිහිටි ගොඩවාය වරාය, එහි ගමන් කළ නාවුක යාත්‍රා නැංගුරම් ලෑ සුවිශේෂී ස්‌ථානයකි. මහත් සෞභාග්‍යයෙන් සපිරි රුහුණු මාගම් රාජධානියේ පිහිටි ජනාකීර්ණ පෙදෙසක්‌ ලෙස මෙය පවතින්නට ඇතැයි විශ්වාස කළ හැකි වේ. මෙම පුරාවිද්‍යාත්මක භූමියේ ඇති වැදගත්කම වර්තමානය වන විට කල එළියට පිවිසෙන්නේ නූතන තාක්‌ෂණයෙන් හෙබි අන්තර්ජාතික මාගම්පුර වරාය මෙයට නුදුරින් ඉදිවුණු නිසාය.

සේද මාවත ඔස්‌සේ චීනයේ සිට යුරෝපයට යාමේදී සුපසන් තොටමුණ ලෙස තෝරා ගත්තේ දකුණු මාගම පිහිටි ගොඩවාය වරායයි. චීනයේ කැන්ටන් වරාය හා මධ්‍යධරණී මුහුද යා කරන මුහුදු සේද මාවතේ මධ්‍යයේ පිහිටි වැදගත් සන්ධිස්‌ථානයක්‌ ලෙස පතලව තිබූ නිසාදෝ ඈත අතීතයේ සිටම වෙළෙන්දෝ තම රුවල් නැව් ගොඩවාය වරායේ නැංගුරම් ලන්නට පුරුදුව සිටියහ. අවුරුදු දෙදහසක්‌ පමණ පැරණි නැවක නටබුන් ගොඩවාය ආශ්‍රිත මුහුදු පතුලේ තිබී හමුවීමත් සමඟ මෙම මතය නැවත වරක්‌ තවත් තහවුරු වන්නට විය.

ගොඩවාය වරාය ඩයනිසොස්‌ තුඩුව ලෙස ටොලමිගේ ලංකා සිතියමේ දැක්‌වෙන බව සී. ලැසන් මහතා හඳුනා ගනී. එහෙත් බ්‍රොaහියර් විසින් ගොඩවාය හඳුනා ගන්නේ ටොලමිගේ සිතියමේ ඔදොකා (ධාදන්) ලෙසය. මෙම සිතියමේ වලවේ ගඟ දැක්‌වෙන්නේ අසනුස්‌ ප්ලුවියුස්‌ ලෙස බව පෙනේ.

ස්‌වාභාවිකව ගල්වලින් වට වූ දිය කඩනයන් තිබෙන නිසා මෙතැන වරායකට සුදුසු පරිසරයක්‌ තිබෙන්නට ඇති බව පෙනේ. පසුගියදා මෙම ස්‌ථානයේ වැල්ලෙන් යට වූ වරාය ජැටියක්‌ යෑයි විශ්වාස කළ හැකි ගල් කණු 20 ක්‌ 25 ක්‌ පමණ මතු වූ බව පැවසේ. පැරණි වරායකට පමණක්‌ නොව අදටත් වරායකට සුදුසු පරිසයක්‌ ඇති මෙම ස්‌ථානයට පසෙකින් දිස්‌වෙන්නේ වලවේ ගඟ මුහුදට වැටෙන මුවදොරයි.

වලවේ නිම්නයේ හමුවන රතු රබහ හා රිදියගමින් ගෙනා යකඩ මෙම නැව්තොටින් පැට වූ බවත් මෙම ස්‌ථානයේ තිබී පැරණි රෝම කාසි වර්ග හමු වූ බවත් පැවසේ මෙම ගිලී තිබෙන බව පවසති. මෙම ඓතිහාසික පුද බිම ආශ්‍රිත ප්‍රදේශය පිළිබඳව ජර්මන් ජාතික පුරාවිද්‍යා කණ්‌ඩායමක්‌ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධ වී පර්යේෂණයක්‌ සිදු කර ඇත.

මෙම ගොඩවාය වරාය අසල පිහිටි ගොඩවාය විහාරය අද වන විට ඓතිහාසික වශයෙන් වැදගත් වී ඇත්තේ එහි පිහිටා ඇති ගිරි ලිපි නිසාය. මෑතක සිට මහත් උනන්දුවකින් මෙම ප්‍රදේශය ආශ්‍රිතව පුරාවිද්‍යාත්මක කැණීම් සිදු කරන්නට පටන් ගත් නිසා අතීතයේ මෙම ස්‌ථානයේ පැවැති වැදගත් වරායක නටබුන් හා මිනිස්‌ වාසයක නටබුන් හමුවන්නට පටන් ගෙන ඇත. මෙහි ඇති විශේෂ වූ සෙල් ලිපි දෙකකි.

මෙහි පළමුවැන්න ගොඩපවත සෙල් ලිපිය නොහොත් ගොඩවාය සෙල්ලිපිය යයි හඳුන්වනු ලබන අතර, එහි සඳහන් කරුණු අනුව ක්‍රි.ව. 114-136 අතර කාලයේදී රජකළ 1 වන ගජබාහු රජ විසින් ගොඩපවත වරායෙන් ලැබුණු තීරු බද්ද ගොඩවාය විහාරයේ නඩත්තුව සඳහා පුද කළ යුතු බවට වූ පුවත හෙළි කරයි.

ගෝඨපබ්බත විහාර භූමියෙන් සොයා ගෙන ඇති අනික්‌ ගිරි ලිපිය, 1 වන ගජබාහු රජුගේ කාලයේ, එනම්, ක්‍රි.ව. 2 වන සියවසේ දී, අපර බ්‍රාහ්මී අක්‌ෂරවලින් ලියූ පුරාණ සිංහල භාෂාවෙන් රචිතය. මෙම සෙල් ලිපියෙන් කියෑවෙන්නේ ගජබාහු රජගේ සමයේදී අහලය බතික නම් අමාත්‍යවරයා විසින් තුන් දහසක ආරාමික මුදල් හා හකල නම් නගරයෙහි ඇති කරිස තුනක කුඹුර ගොඩපවත විහාරයට පූජා කිරීම පිළිබඳවයි. එසේම චෛත්‍යය සඳහා කරිස හතක කුඹුරක්‌ පූජා කිරීම පිළිබඳවද තොරතුරු ඇතුළත් වේ.

මෙම ස්‌ථානයේ තිබූ විශාල ගල් පරයක්‌ ගල් කැඩීම සඳහා යොදා ගනිද්දී එම ස්‌ථානයේ තිබී අවුරුදු 5000-7000 ක්‌ පමණ පැරණි මානව ඇට සැලකිල්ලක්‌ හමුවී තිබිණි. එම ස්‌ථානයේ ප්‍රාග් ඓතිහාසික මානවයා විසින් පරිහරණය කරන ලද පැරණි ගල් ආයුධ සඳහා භාවිතා කරන ගල් කැබලි, කහද ගල් කැබලි ආදිය සොයා ගැනීම මෙහි ඓතිහාසික බව තවදුරටත් සනාථ කරන්නකි. මෙහි ඇති පස්‌ තට්‌ටුවල ස්‌වභාවය හා හමුවූ අවශේෂ අනුව එලෙස සාපේක්‌ෂ කාල නිර්ණයකට එළැඹ ඇතත්, මෙම මානව ඇට සැකිල්ල ඉදිරි කාලයේදී ජර්මනියට යවා කාබන් කාල නිර්ණය සිදු කිරීමෙන් එහි නිවැරදි කාල නිර්ණය තීරණය කරන බව පුරාවිද්‍යඥයෝ පවසති. දැනට හමුවී ඇති පුරා වස්‌තු අතර කලුගලින් නිමවන ලද නැංගූරමක්‌ හඳුනාගෙන ඇත.

වලවේ ගං මෝය අද්දරව පිහිටි ස්‌වාභාවික වරායක්‌ වීම නිසාත් රුහුණු මාගම් රාජධානියේ ආර්ථික, සමාජයීය හා සංස්‌කෘතික කටයුතු පිළිබඳ මධ්‍යස්‌ථානයක්‌ ලෙස පිහිටි නිසාත් මෙම ගොඩවාය වරාය අන්තර්ජාතික වශයෙන් වැදගත්කමක්‌ උසුලන්නට ඇති බව පෙනේ. මෙම ප්‍රදේශයේ තවත් විශේෂ අවස්‌ථාවක්‌ වනුයේ කැණීම් මගින් විශේෂ භාජන හා කාසි වර්ග හඳුනා ගැනීමට හැකි වීමයි. මෙහිදී පැරණි රෝම කාසි අති විශාල ප්‍රමාණයක්‌ ලැබීමෙන් අතීතයේ පැවැති ජාත්‍යන්තර වෙළ¹ම පිළිබඳ වැදගත් සාධක රැසක්‌ අනාවරණය වේ.

එසේම මෙම ප්‍රදේශ ආශ්‍රිතව ජර්මන් පුරාවිද්‍යා කණ්‌ඩායම සිදු කළ කැණීම්වලට අනුව විවිධ යුගවලදී භාවිත කළ කාසි, මැටි බඳුන්, වළං කැබලි ආදිය හමුවීමත් සමග මේ බව වඩාත් තහවුරු වේ. ඒ සමගම මෙම පුද බීම ආශ්‍රිතව පුරාණ මානවයන් විසින් ආහාරය සඳහා භාවිත කරන ලද බෙල්ලන් සහිත නිධි අදද දැක ගත හැකිවේ. මේ අසල මෑතකදී සොයා ගත් වසර 7000 පැරණි මානව ඇට සැකිල්ල එයට හොඳම නිදසුනයි. සීනුවක හැඩය ගත් කලුගල් නැංගුරම හා තවත් නාවික මෙවලම් පිළිබඳව සළකා බැලීමේදී ද මෙම ස්‌ථානයේ පැවැති නාවික කටයුතු පිළිබඳ සාක්‌ෂි තව තවත් තහවුරු වේ.

මෙම ඓතිහාසික ප්‍රදේශය අවට සොයාගෙන ඇති පුරා විද්‍යාත්මක සාක්‌ෂි අනුව අපට පෙනී යන්නේ ඈත අතීතයේ සිටම මෙම ස්‌ථානය වරායක්‌ ලෙස භාවිත කළ බවත් ටොලමි විසින් ඔදොකා ලෙස හඳුන්වා ඇත්තේ මෙම පුරාණ මාගම්පුර වරාය බවට විශ්වාස කළ හැකි බවත්ය.

ජී. ඒ. ලෙස්‌ලි ගාමිණී

No comments:

Post a Comment