06 August 2011

කිරුම් මිනුම් ශාස්‌ත්‍රය හා පාරම්පරික දැනුම


මහා වංශය. චූල වංශය, දීප වංශය, රාජාවලිය ආදී ඓතිහාසික ග්‍රන්ථයන්හි කියෑවෙන ඉතිහාසය ආසියාකරයේ වෙනත් රටකදී ඉදිරිපත් නොවෙන තරම්ය. මේ මගින් දිගහැරෙන පුරාණය ලංකා ඉතිහාසය ලෙසට මෙතෙක්‌ අප භාවිත කොට ඇත. නමුත් එම ග්‍රන්ථවලින් ඉදිරිපත් වන්නේ අපගේ රාජාවලියේ ඉතිහාසයයි. රජු රදළවරුන් ආදි සූර්යවංශික, චන්ද්‍ර වංශිකයන්ගේ පරම්පරාගත ඉතිහාස එමගින් එළිදක්‌වා තිබුණද ලංකා ඉතිහාසය කතාව ඒ හා සමගාමීව පුළුල් ක්‍ෂේත්‍රයක්‌ තුළ කතා බහ කළ හැකිය.

රජවරු රදළවරු ශිල්පීන් නොවේ. එහෙත් ඔවුහු සිවුසෑ කලාවන් ප්‍රගුණ කළහ. ක්‍ෂත්‍රීය මායම් ප්‍රගුණ කළහ. ඒ පිළිබඳව පාරම්පරික දැනුම් සම්භාරයක්‌ පවතී.

රාජකීය පරම්පරා හැරුණු කොට රදළ හා රට කෝරළ පරම්පරා රාශියකි. ඔවුහු ග්‍රාමීය නායකයන් වූහ. මොවුන් අතරද පාරම්පරික දැනුම් සම්භාරයක්‌ පැවතිණි. ජනවංශය දක්‌වන ආකාරයට පේසකාරයෝ, නවන්දන්නෝ, වඩුවෝ, සන්නාලියෝ, සොම්මාරයෝ, කුම්භකාරයෝ, බෙරවායෝ, නිවන්නෝ, වැල්වඩුවෝ, කින්නරයෝ, යෑයි ශිල්පීන් වර්ග කර ඇත. ඓතිහාසිකව මොවුහු පහත් කුලයන් ලෙස නොසැලකුණු අතර ඔවුහු රාජකාරියට අත්‍යවශ්‍ය ශිල්පි ශේ්‍රණි වූහ. මේ ශිල්පීන්ගෙන් කොටසක්‌ පුරාණ ස්‌වදේශිකයන් වන රාක්‍ෂ ගෝත්‍රිකයන්ගෙන් පැවතේ. අනෙක්‌ කොටස ශ්‍රී මහා බෝධිය වැඩමවා පැමිණි අවස්‌ථාවේ ලංකාවට පැමිණි කුල දහඅටක පිරිසකගෙන් පැවතෙන්නෝ වෙති. මොවුන් සතුවද ඉතා විශිෂ්ට පාරම්පරික දැනුම් සම්භාරයක්‌ පැවතිණි.

සිංහල ඉතිහාසය ඇරඹෙන්නට ප්‍රථම ඉන්දියාවේද ලංකාවේද පැවතියේ සුර අසුර ශිෂ්ටාචාරයෙකි. මේ දෙපිරිසම එකම ප්‍රභවයෙකින් මතුව පැමිණියද ඉතිහාසයේ යුග ගණනාවකදී වෙන් වී ගොසින් නැවත සම්මිශ්‍රණය වීමේ ප්‍රවණතාවක්‌ ඒ ඉතිහාසයේ දක්‌නට තිබේ. අවසානයේදී දේශපාලන අනාථයන් ලෙසට ලංකා භූමියේ පැළපදියම් වන්නටද මේ අයට ඉඩ ප්‍රස්‌ථා ලැබී ඇත.

මහා භාරතයෙන් පිටමංව අධිරාජ්‍ය නිර්මාණය කරගන්නට ගිය ධීරවීර ක්‍රියාන්විත ඇත්තෝ මැද පෙරදිග මහා ශිෂ්ටාචාරයක්‌ ඇති කළහ. කාලාන්තරයකට පසු ඔවුහු අතර වූ ගැටුම් හා විදේශීය ආක්‍රමණ හේතුවෙන් මේ ශිෂ්ටාචාර විනාශ වී ඔවුන්ගේම කොටසක්‌ නව සංස්‌කෘතියක්‌ ද රැගෙන ආපසු භාරතයට පැමිණියහ. ක්‍රි. පූ. 3000 කට ප්‍රථම මැද පෙරදිග ප්‍රදේශ ආණ්‌ඩු කළ අක්‌කාඩි (ආකේඩියන්වරු) රාජවංශය වූ කලි භාරතයෙන් පිටව ගිය වන්ද්‍රවංශකයින් වෙති. මේ පරම්පරාව රාජ්‍ය වංශයෙන් පිරිහී නැවත භාරතයට පැමිණියහ. පසුව දේශපාලන අනාථයන් ලෙසට ලංකාවට පැමිණ රාජ කරුණාව ලැබ බිම්තැන්නේ පදිංචි විය. ගන්නෝරු සටනේදී කරන ලද වීර වික්‍රම ක්‍රියා හේතු කොට ගෙන රජු විසින් "අක්‌කඩි වික්‌කඩි වීර රඹුක්‌ කොඩි" යයි නම්බු නාමයෙන් පට බැන්දේ මේ පරම්පරාවටයි.

මේ සියලුම කරුණු සැකෙවින් දැක්‌වූයේ ලංකා ඉතිහාස කතාවේ පරම්පරා විස්‌තරය සැකෙවින් දැක්‌වීමටයි. විජයාගමනයට ප්‍රථම ලංකාවේ විසූ ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක්‌ද පාලනය කළ මහ අසුර අධිරාජ්‍යයා වූ රාවණා සහ ඔහුගේ රාජාවලියේ පරම්පරා විස්‌තරය අනුව මේ කතාව තවත් සංකීර්ණ වේ. පාරම්පරික දැනුම ලෙස අප සලකන්නේ මේ සියලු පාරම්පරික උරුමකරුවන් විසින් රැකගෙන පැමිණ අනාගතයට දායාද කරන කලා ශිල්පයන්ය. එම දැනුම අප හට උරුම වී තිබේ.

අසුර යුගයේදී ලංකාවේ පේෂකර්මයට හිමිව තිබුණේ සුවිශේෂි ස්‌ථානයකි. වස්‌ත්‍ර භාවිතයට ගැනීම අතින් ඔවුන් දක්‍ෂ වැඩකාරයෝ වූහ. කුවේනිය කපු කටිමින් සිටි බවට ඉතිහාසයේ ගැනෙන සාක්‍ෂි ඉතා ප්‍රබලය. කපු ගසෙන් නෙළා ගන්නා ලද කපු ගෙඩියේ පුළුන් මගින් නූල් සකස්‌කරනු ලබයි. එම නූල් යොදා වස්‌ත්‍ර විවීම සඳහා යන්ත්‍ර භාවිතයද පැවතිණි.

දුරාතීතයේදී ලංකාව පුරාම කපු වගා කරන ලදහ. කපු ප්‍රභේද දෙකක්‌ විය. බාල කපු නමින් වාර්ෂික වර්ගයක්‌ද මහා කපු නමින් බහු වාර්ෂික භෝගයක්‌ද වේ. බාල කපු පුළුන් ගෙඩියේ ඇති ඇට බික්‌වලට වෙන්වී තිබුණ නමුත් මහා කපු ගෙඩියේ ඇට එකපොකුරට පවතී. කර්පාසී, ත්‍රිපර්ණී යන නමින් ආයුර්වේදයේ හැඳින්වෙන කපු පැළය බලගතු ඖෂධයකි. කපු වගා කළේ ඒකීය වගාවක්‌ ලෙසට නොවේ. ඒ හේන් ගොවිතැන යටතේ වූ මිශ්‍ර භෝග වගාවේ එක්‌ ප්‍රභේදයකි. මේ හෙවෙන භෝග වගාව නොහොත් හේන පුරාණ යක්‌ ගෝත්‍රිකයන්ගේ ඉඩම් බුක්‌ති ක්‍රමය පිළිබිඹු කරන අවස්‌ථාවකි. මුල් කැටා හේන සහ ඉරවිලිහේන යයි ක්‍රම දෙකකි. මෙකී හේන ගෙවදින්නට යන පංගුකාරයෝ තමන් අතරින් එක්‌ අයෙකු මුල් කැටය (ගසක්‌ හෝ ගලක්‌) ළඟ සිටුවා හූ කියමින් ඒ හඬ ඇසෙන දුරට පියමන් කරති. ඉන් පසුව මායිම් ලකුණු කිරීමට ප්‍රථම මුල් කැයට වටේට රියනක්‌ දිග වැල් කැබැල්ලකින් කුඩා රවුමක්‌ ලකුණු කොට ගනු ලැබේ. මේ පරිධිය කුඤ්ඤවචලින් සලකුණු කොට පංගු බෙදීම තුළින් රථ චක්‍රයක්‌ ආකාරයට හේන නිර්මාණය කර ගනිති. එක්‌ පංගුවකට එක්‌ රියනකි. පංගු භාගයකට රියන් භාගයකි. හේන පංගුවකදී රියනක වැපිරෙන බිඳිභෝග ප්‍රමාණය මිටකි. (අත මිටි කරගත් විට අහුවන ප්‍රමාණය) ඒ ප්‍රමාණය අනුව පංගුකාරයාගේ ත්‍රිකෝණයේ ඕනෑම දුරක්‌ සඳහන් වන බිම් ප්‍රදේශය තුළ වැපිරෙන ඇට ඇටි ප්‍රමාණය නිශ්චය කිරීමේ ගණිත ක්‍රමයක්‌ තිබිණි යයි අනුමාන කළ හැකිය. අමු, කුරහන්, තණ, මෙනේරි ආදී ධාන්‍ය යම්කිසි පරිමාවකට අල්ලන ප්‍රමාණ විවිධය. නමුත් මුල්කැටයේ ආසන්නයේ තිබෙන මූලික චක්‍රයෙන් ඒ ප්‍රමාණය නිශ්චය කළ හැකිය.

හේනේ බිඳි භෝගයන්හි අස්‌වනු නෙලාගෙන අවසන් වූ විට ඉතිරි වන්නේ පළා ජාති හා කපු ගස පමණි ඒ. කාලයේදී අවම වශයෙන් වසර නමයක්‌ පමණ ගතවන තුරු කපු පැළය මගින් කපු පුළුන් ලබාදේ. මේවා නෙළා වේලා කපු කපන යන්ත්‍රයක්‌ මගින් ඇට වෙන්කරගෙන දුන්නකින් තැලීමෙන් පසු පොළා රෝල් කොට කැටීමට සුදුසු වැටි බවට පෙරළයි. කැටීම සිත්ගන්නා සුළු ක්‍රියාවකි. පුළුන් වැටියක්‌ වමතින් ගෙන පොළවේ පිහිටි පොල් ගෙඩිය පොල් බෑයක හෝ පොල් කටුවක රැඳී ඇති ඉද්දක අමුණා නූල් කටිනු ලැබේ. කලවය මත රැඳෙන දකුණු අතේ ක්‍රියාකාරිත්වය මගින් කටින නූල් ඉද්දේ එතේ. මෙසේ කටින නූල් උණුපතුරක රැඳවූ රෝදයක (හුළු දැව) එතීම කරනු ලැබේ. එයම පසුව ලොකු රෝදයකට (මඩාව) ද ඉන් දිග් නූල් කුරකටද (හරස්‌සලය) එතේ. අවසානයේදී නූල් කැඳ යොදවනු ලැබේ. ඉන්පසු නූල් මනාව පිසදමා පරිස්‌සමෙන් වෙන්කොට පළල්ලනවා නමින් වූ ආකාරයට පිළියෙල කරයි. වුවමනා රෙද්දේ පළල අනුව නූල් ගණන සීමාවේ. සාමාන්‍ය වියතකට නූල් 120 කි.

මෙලෙස සකස්‌ කරගන්නා නූල් අලුවේ නොහොත් රෙදි වියන යන්ත්‍රයේ යොදනු ලැබේ. අලුව පිහිටා ඇත්තේ අල්ගේ නොහොත් එළිමහන් මඩුවකයි. අලුවැල් මාරු කරන්නේ පොල්කටු පාමැඩුන් මගිනි. මේ පා මැඩුන් ඇලුව යට පිහිටි අල් වලේ එල්ලී වැටේ. මෙවැනි යන්ත්‍ර ඉන්දියාවේද, බුරුමයේද දක්‌නට ඇත. අලුව භාවිත කරන පරම්පරාවක්‌ උඩුදුම්බර තලගුණේ සිටිති. ඔහු යක්‌දෙස්‌සාගේ යන පරම්පරාගත නාමය දරති. පේෂකර්මාන්තය හැරුණු කොට ඔවුහු නැකත් කීම ජ්‍යෙdතිෂය ආදී කටයුතු ප්‍රගුණ කළ අයකු වූහ. තලගුණේ වියෙන ඇතිරිල්ලක දිග පළල රියන් 4 1රැ2 ං 2 කි. (අඩි 11 ං 5) මෙය වඩු රියනින් මැන ගත් ආකාරයක්‌ බව පෙනේ. ආනන්ද කුමාරස්‌වාමි මහතා විසිවන සියවසේ මුල් භාගයේදී තලගුණේ කරන ගවේශනයකදී මේ ගණන් මිනුම් දක්‌වා තිබේ.

කපු කැටීම, කපු කැපීම ආදී කරුණු ගැන ලියවී ඇති "කපු යන්ත්‍රයේ කවි" සහ "කපු යක්‌කම" නම් වූ පුස්‌කොළ ග්‍රන්ථ දෙකක්‌ දැනට ශේෂවී තිබේ. දේශීය වශයෙන් තෝරා ගන්නා ලද සායම් පෙවූ රෙදිවලින් තුප්පොට්‌ටි ඇතිරිලි, ගහෝනි, දියකච්චි, ආදී සාම්ප්‍රදායික වස්‌ත්‍ර මෙන්ම භික්‍ෂූන් වහන්සේලා උදෙසා පූජා කරන ලද සිවුරුද මේ විලස කපු කැට වියා ගන්නා ලදී. කඨ§න චීවර පූජාව මහත් ආනිශංස ලබාදෙන්නකි.

කපු පුළුන් ආදියද ධාන්‍ය වර්ගද මැනීම සඳහා භාවිත කළ උපකරණයකි වෙල්ලීය. එය වත්මන් බිම් තරාදියට නෑකම් කියන්නකි. ලියවන ලද මිටකින් යුක්‌ත වූ වෙල්ලීය නූල් වලට බෙදා දක්‌වා ඇත. මහ වෙල්ලීයද, පොඩි වෙල්ලීයද වශයෙන් වෙල්ලී දෙකකි. වෙල්ලීයක දිග 19 නූල් 1 කි. පොඩි වෙල්ලීය අඟල් 10 1/2 කි. බර මැනීම සඳහ වෙල්ලී භාවිත කළ අතර දුර මැනීමට මිටි රියන භාවිත කළහ. වාස්‌තු වැඩ සඳහා වඩු රියන භාවිත කළහ.

ගමේ ගොවියකු නඟුල් පෝරු නිර්මාණය කරන විට මිනුම් සඳහා භාවිත කළේ වියත හා පියවරයි. බඳවට නඟුලක වක්‌ කොටේ දිග පියවර තුනකි. නඟුල් ඉහ පියවර නමයකි. වියගහ පියවර අටකි. හැඬිපෙනෙල ගන් සූරිය ආදී ගස්‌වලින් සාදා ගන්නා මේ සිංහල නඟුල විවිධාකාරය. කොකු නඟුල වඩා යොදා ගන්නේ පස ඇවුළාලෑමටයි. එහි කොරවක්‌ කොටේ දිග පියවර දෙකකි. විය ගහ සාදනුයේ දොඹ ලීයෙනි. දිග වියත් හයකි. පළලින් අඟල් පහකි. ගොවියාගේ අතේ වියතෙන් හා දෙපයින් පියවර මැනීමෙන් සාදා ගන්නා නඟුල ගොවියාට පලදෙන්නේ යෑයි මතයකි.

ගොවි පෝරුව සාදාගන්නේ මේ ආකාරයටයි. එහිදී පෝරු ඇදුර දිග පියවර 11 කි. ලෑල්ල දිග් අතට වියත් 6 කි. මෙවැනි මිනුම් ක්‍රම භාවිත කිරීමෙන් බලාපොරොත්තුවන්නේ මඩ කපාගෙන යැමට අවශ්‍ය තක්‍ෂණය නිර්මාණය කිරීමයි. පැරැණි භාරතීය ග්‍රන්ථවල සඳහන් වන ආකාරයට එක්‌ එක්‌ ඉසිවරයාගේ මතය අනුව මාන ක්‍රම 4 කි. මනු මතය, මනු ඉසිවරයාගේ මතයයි. මය මතය මය ඉසිවරයාගේ මතයයි. තවෂ්ට්‍ර මතය තවෂ්ට්‍ර ඉසිවරයාගේ මතයයි. විශ්ව කර්ම මතය විස්‌කම් ඉසිවරයාගේ මතයයි. මෙයින් කිහිප දෙනෙක්‌ම අසුරයින් වෙති. ආයුර්වේද කලං මංචාඩි ක්‍රමයට පාදක වී ඇත්තේ කාලිංග මානය හා මගධ මානයයි. චරකය හා සුශ්‍රත යන ග්‍රන්ථ දෙකේ සඳහන් වන්නේ මේ මාන පිළිබඳවයි. ලංකාවේ හේන් ගොවියා භාවිත කරන අමු, අබ, වී, තල ඇට වර්ග භාවිතයේ එන මාන ක්‍රමයට වඩා ඇතැම් භාරතීය මාන ක්‍රමයන් එකිනෙකට වෙනස්‌ වේ. එහිදී යව ඇටයද, උඳු ඇටයද භාවිතයට ගැනේ.

පරම්පරා ගණනකදී භාවිත කරන ලද ශිල්පීය ඥනයන් සමග බැඳුනු මේ මාන ක්‍රම විමර්ශනය කරන කල්හි ලංකාවේ ස්‌වදේශිකයන් සතුව පැවති කිරුම් මිනුම් ශාස්‌ත්‍රයන් පිළිබඳ යම්කිසි පදනමක්‌ අපට සොයා ගත හැකිය. එහෙත් ඒවා විවිධ යුගවලදී සම්මිශ්‍රණය වී අවසන්ය. නමුත් එහි පවතින මූලධර්මයන් සලකා බලන කල්හි වත්මන් මෙටි්‍රක්‌ ක්‍රමයට වඩා සොබාදහමට එකඟ තාක්‍ෂණ ක්‍රමවේදයක්‌ පවත්වාගෙන යැමට ඒවා ඉවහල්වන බව කිව යුතුය. එම මිනුම් ක්‍රම අනුව සැකසෙන ආයුධය පවා එය පරිහරණය කරන පුද්ගලයාට ගැලපෙන යාදෙන දෙයක්‌ බවට පත්වන්නේය. ඒ මගින් එම උපකරණයන්ගෙන් ලබන ලද ප්‍රතිඵලයද ඉමහත් වන්නේය.

මතුගම - සෙනෙවිරුවන්

4 comments:

  1. බොහොම අගනා ලිපියක්

    ReplyDelete
  2. බොහොම අගනා ලිපියක්

    ReplyDelete
  3. බොහොම අගනා ලිපියක්......

    ReplyDelete
  4. අති වටිනා දුර්ලබ ලිපියකි

    ReplyDelete