03 August 2011

ගෝඨපබ්බත රජමහාවිහාරය

ගොඩවාය, ගෝඨපබ්බත, ගොඩපවත වැනි නම්වලින් හඳුන්වන මෙම පැරණි විහාරස්ථානයට එම නම් ලැබීමට හේතු වී ඇත්තේ ගෝලාකාර ගල් පර්වත මත ඉදිවුනු කුඩා චෛත්‍යයයි. සම තැනිතලා භූමියක් ලෙසින් හැම අතටම පැතිරී යන මෙම ප‍්‍රදේශය උසම ස්ථාන අතරින් එකක් ලෙස ගොඩවාය වෙරළ අසල පිහිටි ගල් කුළු කිහිපය හඳුනාගත හැකිය. ගෝලාකාර ගල් කුට්ටි වලින් සැදුම්ලත් මෙම උස්බිමෙහි ඇති උසම ගල් පර්වතය මත මෙම කුඩා චෛත්‍යය ඉදිකර ඇත. මුහුදෙහි කිනම් ප‍්‍රදේශයක සිට බැලූවද මෙම ගල් පර්වත කෙළවර ඉදිවුණු ස්වේත වර්ණ චෛත්‍යය මනාව දිස්වේ. ඒ හේතුවෙන් ගොඩපවත යන නම බොහෝ විට සමුදුය දිවිපෙවෙත කරගත් පිරිසකගෙන්ම නිර්මාණය වන්නට ඇති බව ද උපකල්පනය කල හැක. මෙම විහාර භූමියේ ඓතිහාසික වටිනාකම සනාථ කරන ප‍්‍රධාන සාධකය වන්නේ 1 වන ගජබාහු රජු විසින් පිහිටි ගලේ කොටා ඇති සෙල්ලිපියකි. 20 වන සියවසේ මුල් භාගයේ හඳුනාගත් හා ප‍්‍රකාශයට පත්කර  ඇති සෙල්ලිපි දෙකක් අතුරින් කුඩා ලිපිය කියවීමට අපහසු විනාශයට පත්වූ එකක් වූ අතර, දෙවන සෙල්ලිපිය මෙම විහාරස්ථානය පිළිබඳව අපූර්ව තොරතුරක් හෙලිකරයි. එනම්, ගොඩවායෙහි වූ වෙළඳ වරායෙන් ලබා ගන්නා අයබදු මෙම විහාරස්ථානයට පූජා කරන බවය. එම ලිපියේ සම්පූර්ණ අදහස මෙසේ වේ.

සිධම, ගොඩපවත පටනෙහි සු (ක) සු(රි) යි
රජ ගමිනි අබය විහරට දිනි

යහපතක් වේවාෟ ගොඩපවත වරායෙහි සාමාන්‍ය හා කුඩා අයබදු
ගමිනි අබය රජු විහාරයට දෙන ලදී.
මෙම සෙල්ලිපි දෙක පළමුවරට E.R. අයර්ටන් මහතා විසින් සොයාගනු ලදුව පිටපත් කරගෙන ඇත. පසුව 1930 දී සෙනරත් පරණවිතාන මහතා විසින් කියවා ප‍්‍රකාශයට පත්කර ඇත.

විහාරස්ථානයේ පිහිටීම හා ගම්වැසියන් විසින් විවරකරකල පැරණි මුවදොර
මෙම ලිපියෙහි අඩංගු සුක සුරියි යන පද පිළිබඳව විවිධ මත පලකර ඇතත් එහි ප‍්‍රධාන අදහස මෙම වරායෙන් අයකල යම් ආකාරයක/යම් වර්ගයක බදු මුදල් බව පැහැදිලි වේ. නූතන හා යටත් විජිත යුගයේ මෙන් ජැටි සහිත නාවුකාංගන නොතිබුණු හා එවන් සම්ප‍්‍රදායන් අනුගමනය නොකල ලංකාවේ මුහුදින් ගෙනා වෙළඳ ද්‍රව්‍ය බත්තල් හෝ කුඩා යාත‍්‍රා මගින් ගං මුවදොරවල් හරහා රට අභ්‍යන්තරයට ප‍්‍රවාහනය කර තිබේ. රිදියගම මහනාවුළුපුර රමිබා විහාරය වැනි ඓතිහාසික ජනාවාස ප‍්‍රදේශ ආශ‍්‍රිතව ගලා එන වලවේ නදිය මෙම ස්ථානයෙන් මුහුදට වැටී තිබේ. එහෙත් මෑත කාලීනව සිදු වූ ඛාදනයන් හා පාරිසරික වෙනස්කම් හේතුවෙන් වලවේ ගඟ මුහුදට ගලා යනු ලබන්නේ ගොඩවායට කි.මි. 2 පමණ බටහිරින් අම්බලන්තොට ප‍්‍රදේශයෙනි. අධික ලෙස වැලි තැන්පත්වීම නිසා දැනට අවහිර වී ඇති පැරණි මුවදොර විටින් විට වැසිසමයෙන් නැවත සක‍්‍රිය වනු දැකිය හැකි වේ. එමෙන්ම ගංවතුර ඇතිවන කාලයන්හීදී ආපදා අඩුකරගනුවස් ගම්වැසියන් විසින් වැලිවැටිය විවරකර ජලය බැසයාමට කටයුතු යොදනු ලැබේ.
ඉහත සඳහන් කල සෙල්ලිපිය  1 ගජබාහු රජු ගේ බව පිළිගනු ලැබේ. එමෙන්ම ශිලා ලිපියෙහි ඇති අක්ෂර අනුවද එය ක‍්‍රි.ව. 1 – 2 සියවස අතර, බවට හඳුනාගනු ලැබේ. මීට අමතරව ගොඩවාය ප‍්‍රදේශයේ හා වලවේ ගඟ අවට පෞද්ගලික ඉඩම් හා කුඹුරු වලින් හමුවූ විවිධ වර්ගයේ කාසි විත්‍ශ්ෂයෙන්ම රෝම කාසි මෙහි පැවති වරාය හා ජලාශ‍්‍රිත වෙළඳ මාර්ගය පිළිබඳව සාධක සපයයි. මේ සියළු සාධක පදනම් කරගෙන 1994 වසරේ සිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ජර්මනියේ  KAWA ව්‍යාපෘතිය ඒකාබද්ධව ගොඩවාය විහාර භූමියේ කැණීම් කටයුතු සිදු කරනු ලැබේ.

විහාර භූමියෙහි පැරණි පිළිමගෙහි පුරාවද්‍යා කැණීම
ගොඩවාය විහාර භූමියෙහි හා ඒ අවට ප‍්‍රදේශය පාදක කරගනිමින් කැණීම් කිහිපයක් ආරම්භ කළ අතර, විහාර භූමියෙහි හා චෛත්‍යයට පහලින් වූ ධීවර ගම්මානය ඉදිරිපිට වෙරළෙහි කල කැණීම් වඩාත් ප‍්‍රතිඵලදායක විය. විහාර භූමියෙහි පැරණි පිළිමගෙය තිබූ තැන කැණීමෙන් තවත් සාධක රාශියක් සොයාගත හැකි විය. කැටයම් රහිත සඳකඩපහන, කොරවක් ගල් හා රථ නිමාවකින් යුත් ගල් කුළුණු මුල් අනුරාධපුර යුගයේ ගෘහ නිර්මාණ කලාවේ ලක්ෂණ විදහාපායි. විහාර භූමියෙහි වූ කුඩා උසබිමක සරලව නිමකල මෙම පිළිමගෙයට අයත් බිඳ වැටුණු ගඩොල් බිත්ති හා අවශේෂ රාශියක් මෙම කැණීමෙන් හඳුනා ගත හැකි විය. එමෙන්ම ප‍්‍රධාන ශිලා ලිපිය වූ පර්වතය පාමුල සිදු කල කැණීමෙන් එම ලිපියට පහලින් පොලොව යටින් වූ පේලි තුනකින් යුතු වු තවත් නවතම ශිලා ලිපියක් ඉතා සුරක්ෂිතව තිබී සොයාගන්නා ලදී. පළමු ලිපියට සමකාලීනව එයට පසුව කරන ලද එක්කිරීමක් වශයෙන් ද හැඳින්විය හැකි එම ලිපියෙහි ද විහාරයට කරන ලද පරිත්‍යාගයන් ගැන සඳහන් වේ.

1. සිධම රජ ගමිණි අබයහ රජික අහලය බතික මිතයෙ තිණි (හ කරි)හක
2. අරබපය ගොඩපවත විහරට (දිනි) එතහි (ජවහ) ක විහකලනකර (ක)
3. කෙතෙහි තිණිකරිහක බුමි දිනේ (සංකේත) නකරක චෙතහට දිනේ (සංකේත)

පැරණි ප‍්‍රධාන ශිලා ලිපිය හා නව ශිලා ලිපිය

එම ලිපියේ දළ අදහස මෙසේ වේ
යහපතක් වේවා, ගාමිණි අභය රජුගේ රාජිනී අහලය බතිකමිතය කරිස තුනක් අරබපය ගොඩපවත විහාරයට දුන්නේය. එවිටම ජවහක විහකල නගරයේ කෙතෙන් කරිස තුනක භූමිය දෙන ලදී. (සංකේත) නගරයේ චෛත්‍යයට දෙනලදී.(සංකේත)
කරන ලද පරිත්‍යාගයන්ට අමතරව විහාරස්ථානය පිළිබඳ සහ එහි වැදගත්කම පිළිබඳව සාධක මෙම ලිපියෙහි අඩංගු කරුණු මගින් හෙලිදරව් වේ. මෙම කැණිම් මගින් වූ මැටි බඳුන් අවශේෂ විශාල ප‍්‍රමාණයක්, පබළු වර්ග, නිළ මුද්‍රා වර්ග හා කාසි හමු වී ඇත.
ගොඩවාය ධීවර ගම්මානය ඉදිරිපිට වෙරළේ කලින් කලට මතුවන ගල් කණු කිහිපයක් ඉලක්ක කර ගනිමින් කල කැණීම් ද විශේෂිත වේ. එමගින් වෙරලේ එක පෙළට පිහිටු වා තිබූ ගල් කුළුණු කිහිපයක් සහිත ඉදිකිරිමක කොටසක් හමු විය. විහාරස්ථානයේ ඇති අවශේෂ වලට සමකාලීන ලක්ෂණ සහිත එම ගල් කුළුණු ඇතැම් විද්වතුන් හඳුන්වන පරිදි පැරණි ජැටියක් වැනි කොටසක් හෝ සමුද්‍රාශ‍්‍රිත යම් කිසි ඉදිකිරීමක කොටසක් ලෙස හඳුනාගත හැක. 1995 දී කරණ ලද මෙම කැණීම් ද ගොඩවාය ආශ‍්‍රිත වූ සමුද්‍රිත වෙළඳාම හා වරාය පිළිබඳ වැදගත් සාධකයක් විය.

2004 වසරේදී ගොඩගන්නා ලද ගල් නැංගුරම
2004 වසරේදී ගොඩවාය අවට මුහුදින් තවත් වැදගත් සාධකයක් මතුවිය. ධීවරයින් විසින් ගොඩගන්නා ලද මෙය ගලින් කරන ලද තුන්හුලස් හැඩයේ පැරණි නැංගුරමක් විය. ලෝහයෙන් කරන ලද නැංගුරම් භාවිතයට පෙර විශේෂයෙන්ම යටත් විජිත යුගයට පෙර භාවිතා වූ මෙම නැංගුරම් වර්ගයට සමාන තවත් නැංගුරම් කිහිපයක්ම ගාල්ල වරායෙන්ද ලැබී තිබේ. තනි කළුගලෙන් කරන ලද බරැුති මෙම ගල් නැංගුරම හමුවීමෙන් පසු එම ප‍්‍රදේශයේ ගවේෂණයක් සිදු කිරීම සඳහා සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයට  ආරාධනා ලැබුනද විවිධ හේතූන් මත එම කර්තව්‍ය මඟ හැරීගොස් තිබිණ.
එම වසරේ දීම ගොඩවාය ප‍්‍රදේශයේ කිමිදුම් කටයුතු වල නියුතු තරුණයින් දෙදෙනෙකු හට ගැඹුරු මුහුදින් තවත් අපූරු වස්තුවක් ලැබී තිබිණ. කුඩා බංකුවක් වැනි මෙම ශිලා නිර්මාණයේ මතුපිට පැරණි සංකේත කිහිපයක්ම කොටා තිබෙනු දැකිය හැකි විය. ඔවුන් මෙම ගල් බංකුව එවකට පුරාවිද්‍යා කැණීම් කටයුතු සිදු කල කණ්ඩායම වෙත භාරදී තිබිණ. එහි වූ පැරණි බව හා සංකේත පිළිබඳව අවදානය යොමු වූවද මුහුදෙහි ගවේෂණ කටයුතු කිරීම පිළිබඳව එතරම් උනන්දුවක් ඇති නොවීය.

ගැඹුරු මුහුදින් හමුවූ ගල් බංකුව
ගොඩවාය විහාරස්ථානයේ කැණීම් හා පර්යේෂණ කටයුතු අඛණ්ඩව සිදු වුවද මුහුදෙන් හමු වූ මෙම සාධක කෙමෙන් අමතකව යන්නට විය. 2008 වසරේ දී ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා ඒකකය විසින් යුනෙස්කෝ ආයතනයේ අනුග‍්‍රහය සහිතව ගාලූ වරායෙන් පිටත දකුණු දිශාවට ගවේෂණ කටයුතු පුළුල් කිරීමේ කටයුතු වලදී නැවතත් ගොඩවාය පිළිබඳ තොරතුරු අළුත්වන්නට විය. විශේෂයෙන්ම කිරින්ද මහාරාවණා පරය හා ගොඩවාය ප‍්‍රදේශය අරමුණු කරගනිමින් සිදු කල මෙම ගවේෂණයේ දී පෙර කියූ ගොඩවාය ප‍්‍රදේශයේ කිමිදුම් කටයුතු කල දෙදෙනාගේද මගපෙන්වීම යටතේ ගල් බංකුව හමුවූ ස්ථානය ගවේෂණයට ලක්කරන ලදී. එහිදී මීටර 30පමණ ගැඹුරේ වූ ඉපැරණි යාත‍්‍රාවක කොටස හා අවට විසිරී තිබූ කාලරක්ත වර්ණ මැටි බඳුුන් අවශේෂ රාශියක් සොයා ගත හැකි විය.
2008 වසරේ ඔක්තෝම්බර් මස UNESCO ආධාර යටතේ ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය සිදුකල මෙම ගවේෂණයට මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ශ‍්‍රී ලංකා නාවික හමුදාව එක්විය. විවිධ බාධක හා අයහපත් කාලගුණ තත්ත්වයක් මත වුවද සිදු කෙරුණු මෙම ගවේෂණයෙන් නිසැකවම මෙතෙක් ශ‍්‍රී ලංකාවත් සොයාගන්නා ලද පැරණිම සමුද්‍ර පුරාවිද්‍යා ක්ෂේත‍්‍රය සොයාගැනීමට හැකිවියග ඉතාම දුර්වල තත්ත්වයේ පවතින දැවමය කොටස් හා පුරාවිද්‍යා  සාදක අනුව මෙය නිසැකවම අවුරුදු දෙදහසකට වඩා පැරණි බව කිවහැකි වේ. එයින් හමුවන දුර්ලභ ගණයේ කාලරක්ත මැටි බඳුන් අවශේෂ ගණනාවක් අධ්‍යයනය කිරීමෙන් මෙම අදහස ප‍්‍රකාශ කල හැකි වේ. එයින් සොයාගත් පුරාවස්තුන් තවමත් කාලනිර්ණය කර නොමැති අතර, අධ්‍යයන කටයුතු සිදු වෙමින් පවතී.
මේ අයුරින් ගොඩාවාය විහාරස්ථානය හා ඒඅවට ප‍්‍රදේශයන්හි සිදුවන්නා වූ පර්යේෂණ මගින්  අතීතයේ පැවති වෙළඳ වරාය හා ඒ ආශ‍්‍රිත ජාත්‍යන්තර සබඳතා පිළිබඳව නොයෙක් තොරතුරු මතුවෙමින් පවතී. මුහුදින් හමු වූ මෙම පැරණි නෞකාව අහම්බයක් වූ අතර, ඒ ආශ‍්‍රිත මුහුදු කලාපය කිසිදු ක‍්‍රමාණුකූල ගවේෂණයකට මෙතෙක් ලක්කර නොමැත. ඉදිරියේ දී  මතුකර ගත හැකි තවත් සාධක රාශියක බලාපොරොත්තු  සමගින්  ගොඩවාය හා බැදුණු අතීත කතාව නැවතත් අළුත් වීමට බොහෝ ඉඩකඩ ඇත.

විසිරී තිබූ කාලරක්ත වර්ණ මැටි බඳුුන් අවශේෂ

රසික මුතුකුමාරණ
සමුද්‍ර පුරාවිද්‍යාඥ – සමුද්‍ර පුරාවිද්‍යා ඒකකය – මධ්‍යම සංස්කෘතික අරමුදල – ගාල්ල

No comments:

Post a Comment