30 July 2011

බටහිර ආරාම

හිතේ හැටියට අනුරාධපුරේ විඳින්නටනම්, සමාන හිතක් ඇති කෙනෙක් එක්කම යන්නට ඕන. සමාන හිතක් ඇති කෙනා තමන්ට වඩා ටිකක් උනන්දුවක් ඇති කෙනෙක්නම්, තමන් නොදන්නා අලුත් තොරතුරුත් හොයාගෙන එයි, 'හැමෝම දන්නා ' අනුරාධපුරය ගැන.

බටහිර ආරාමයන් ගැන මම දැන ගත්තෙ අන්තිමට අනුරාධපුර ගිය ගමනෙදි. වට වන්දනා පාර දිගේ යනවිට හමුවන ප්‍රතිසංස්කරණය නොකළ, වනයෙන් වැසුණු පුරාණ ගොඩ නැගිලි සමූහයක් මීට අයත්.






 

මේවා තියෙන්නෙ පැරණි අනුරාධපුර නගරයට බටහිර දෙසින්. එවක නගරයේ වඩාත්ම අයෝග්‍ය පෙදෙස ලෙස සැළකුණේ මේ බටහිර පෙදෙස. මන්ද, සොහොන් බිම් පිහිටියේද, මළමිණී සම්බන්ධ කටයුතුත් පවිත්‍රතා කටයුතුත් පාරම්පරික රැකියා ලෙස උරුම කරගත් කුල හීනයන් ජීවත් වූයේද මේ බටහිර පෙදෙසේ නිසා.

අනුරාධපුරයෙ ඇති සුවිසල්, අලංකාර ගොඩ නැගිලි දිහා බැලූවිට පෙනෙන වැදගත් කරුණක් තමයි, බුදු දහමට එහි හිමි වී ඇති ඉහළ ස්ථානය. කලාත්මක ගුණයෙන් අනූන කැටයමින් පිරි, වඩාත්ම දිගු කලක් රැකෙන සේ ඉදි වූ ගොඩනැගිලිවලින් අති මහත් බහුතරය ශාසනයට අයත් ඒවා.

එහෙමනම් කවුද අර බටහිර පැත්තෙ, සොහොන්පළවල ආරාම හැදුවෙ?

අපේ අප්පච්චිගෙන් ඇහුවනම් කියයි චේ ගුවේරා කාරයො කියලා.

යස ඉසුරු අත හැර මගට බැස සත්‍යය සොයාගත් බුදු රජාණන් වහන්සේගේ ධර්මයට, අර මහා සම්ප්‍රදායය පටහැණි බැව් සිතූ භික්ෂූන් පිරිසක් බිහිව සිටියා අටවන ශතවර්ෂය වනවිට. ඔවුන් තපෝවන ආශ්‍රිතව භාවනාවෙන් දිවි ගෙවූ භික්ෂු පරම්පරාවටම අයත් අය. මේ බටහිර ආරාම, නගර ආශ්‍රිතව විසූ එවන් භික්ෂූන් වෙනුවෙන් ගොඩ නැගුණු ඒවා.

යමකට අප එරෙහි වන්නේද, ඊට ප්‍රතික්‍රියාවක් ලෙස, අර දෙයට අදාල සියලුම අංගයන්ගේ හාත්පසින්ම විරුද්ධ අංශය වැළඳ ගැනීම මිනිස් ගතියක්. නමුත් හැමවිටම ඒක අන්තවාදී වීමක් නොවෙයි; බටහිර ආරාමත් එහෙමයි. ඔවුන් බුදු හිමියන් වදාළ පරිදි වඩාත් සරල, සැහැල්ලු දිවිපෙවෙතකට පෙලඹුණු අය.

ඔවුන්ගෙ ආරාම තනා ගත්තෙ බොහෝකොටම කළු ගල් මත. ඒ වටා උස් තාප්ප ඉදි කොට බාහිර සමාජයෙන් වෙන් කොට තිබුණා. (මේ ලක්ෂණය ඇත්තෙ නගර ආශ්‍රිතව ඉදි කළ ආරාමයන්හි.) ඇතුළත ගොඩ නැගිල්ල බොහෝ විට ප්‍රධාන කොටස් දෙකකට බෙදා, ඒවා යා කෙරෙන පාළමක් සකසා තිබෙනවා. කුළුණු ආදිය බෙහෙවින්ම සුමට හතරැස් බවකින් යුක්තයි. ආරාමය ආශ්‍රිතවම ජල පොකුණක්ද වෙනවා. සමහරවිට කළු ගල මත ගොඩනැගිල්ල ඉදි කිරීම ජලය රැඳවීමට පහසු වෙන්නට ඇති. ප්‍රධාන දොරටුව, දෙපස පිහිටි කුළුණු දෙකකින් සහ ඒ දෙක යා කෙරෙන ගල් තලයකින් සමන්විතයි.





 

නමුත් ඔවුන්ගෙ විශේෂම ලක්ෂණය වැසිකිළි.

මුළු ආරාමයම අලංකරණයෙන් තොරව නිමවා ඇති මුත් වැසිකිළි ගල් අතිශය මනහර කැටයම්වලින් සරසා තියෙනවා. යොදාගෙන ඇති මෝස්තරත්, අර මහා සම්ප්‍රදායයෙ ආරාමවල විශේෂිත ස්ථාන අලංකාර කිරීමට යොදන ඒවා.

හරියට, "තොප ඔච්චර වැදගත් කොට සළකන පුහු අලංකාරයට, මෙන්න අපි දෙන තැන!" කියන්නට වගෙයි.






 

 


මේ භික්ෂූන් වහන්සේලා සොහොනෙන් ලබා ගත් වස්ත්‍ර සෝදා, පඬු පොවා සකස් කොට ගත් සිවුරු පෙරවූ බවත්, රළු අහර වළඳමින්, භාවනානුයෝගීව විසූ බවත් සඳහන්.

ඔවුන් ගත් මාර්ගය අනුමත කළ, ඔවුනට අනුග්‍රහය දැක්වූ පිරිස්ද රටේ ඇති තරම් හිටියා. ඒ වගේම, රජයට විරුද්ධ පිරිස් ආරක්ෂාව පතා දුවගෙන එන තැනක් බවටත් මේ ආරාම පත් වුණා.

එහෙම අභය පිණිස බටහිර ආරාමවල පිළිසරණ පැතූ රාජ ද්‍රෝහීන් කිහිපදෙනෙක් පසුපස එළවා ආ රජයේ මැර පිරිසක්, (ඔව්, ඔව්, අපි ඒ කාලෙත් එහෙමයි.) ආරාම තුළට කඩා වැදී ඔවුන්ව බෙලි කපා ඝාතනය කළා. ඊට විරුද්ධත්වය පානු වස්, තපෝවන සම්ප්‍රදායයේ භික්ෂූන් අනුරාධපුර අතහැර රුහුණට සංක්‍රමණය කළා.

මින් ඇති වුණු මහජන උද්ඝෝෂණය හා යුද හමුදා විරෝධය කෙතෙක්ද යත්,
සියලුම සම්ප්‍රදායයන්ට අයත් භික්ෂූන් වහන්සේලාගේ අවවාදය පරිදි, 
මහ රජුගේ නියෝජිතයින් රුහුණට ගොස්, අර භික්ෂූන් වහන්සේලා හමු වී, සාකච්ඡා කොට, සමාව භාජනයකට දැමීමෙන් තමයි ගැටළුව නිරාකරණය කරගන්නට ලැබී ඇත්තෙ.

ඒ වුණත් බටහිර ආරාමයන්ට තවමත් තියෙන්නෙ කුඩම්මාගෙ සැළකිලි. වනයෙහි ගිලී ඇති මේ ආරාමවලින් යම් තරමට හෝ පාදාගෙන ඇත්තෙ එක් ආරාමයක් පමණයි. හුදෙකලා තැනක, නිදහසේ පිහිටි මෙහි පැමිණෙන බෞද්ධයන් බී ඉවත ලෑ මත් පැන් බෝතල් හා සිගරට් පැකට්ටු ආරාම භූමියේ පිරිලා. අප යන විටත් එහි ඇති පොකුණේ ගැමි කාන්තාවන් දෙදෙනෙක් රෙදි සෝදනවා. 


නිස්කලංක ආරාම භූමිය පුරාවට ගලේ වදින රෙදිවලින් නැගෙන හඬ දෝංකාර දෙනවා.

No comments:

Post a Comment