30 July 2011

ශී‍්‍ර ලංකාවේ අවලෝකිතේශ්වර බෝධිසත්ව ප‍්‍රතිමා

ශී‍්‍ර ලංකාවේ පූර්ව මධ්‍ය කාලීන අවධියේ ලක්දිව අට සහ නව වැනි සියවස් වල අභයගිරිවාසීන්ගේ ආගමික සංකල්ප වඩාත් සමාජය තුළ ප‍්‍රකට වී යාමත්, මහා විහාර ස්ථවිරවාසීන් වෙත රාජ්‍ය බලය සම්බන්ධයෙන් තිබූ බලපෑම ක‍්‍රමයෙන් ලිහිල් ව යාමත්, එක්වර සිදුවීම අවලෝකිතේශ්වර බෝධිසත්ව ප‍්‍රතිමා නිර්මාණය සම්බන්ධයෙන් වැදගත් සාධකයක් විය. තවද ශී‍්‍ර ලංකාවේ අවලෝකිතේශ්වර හා නාථ ඇදහීමේ විශේෂ ලක්ෂණයක් වූයේ එය යති සමාජය නොව ගිහි සමාජය තුළ ජනපි‍්‍රය වීමය. බෝධි සත්වවරු සංඛ්‍යාත්මකව අප‍්‍රමාණ ය.
නමුත් මෙහි දැක්වෙන්නේ ප‍්‍රධාන බෝධි සත්වවරයන්ගේ නම් පමණකි. එනම් :-අවලෝකිතේශ්වර, ආකාශ ගර්භ, වජ‍්‍ර ගර්භ, ක්ෂති ගර්භ, මෙති‍්‍රය, සමන්ත භද්‍ර, මංජු ශී‍්‍ර, සර්ව නිවාරණ විෂ්කම්භ
මෙයට අමතර ව 13 වැනි සියවසට පමණ අයත් රූපාවලියෙහි හින්දු දෙවියන්ගේ නම් අගට නාථ යන්න එක්කොට එවැනි නාථයන් අට දෙනෙකු ගැන විස්තර කර තිබේ. එනම් :-ශිව නාථ, බ‍්‍රහ්ම නාථ, විෂ්ණු නාථ, ගෞරි නාථ, මත්ස්‍යෙන්ද්‍ර නාථ, භද්‍ර නාථ, බෞද්ධ නාථ, ගණ නාථ යන අට දෙනයි.
නාථ යන කොටස මේ අට දෙනට ම පොදු ය. ශී‍්‍ර ලංකාවෙන් ලැබී ඇති අවලෝකිතේශ්වර හෙවත් නාථ ප‍්‍රතිමා වර්ග දෙකකි. නිර්භූෂණ ප‍්‍රතිමා ඉන් එක් වර්ගයකි. ඒවායේ ආභරණ නැත. අනෙක් වර්ගය රාජ කුමාර ප‍්‍රතිමා වන අතර ඒවා ඇඳුම් පැලැඳුම්වලින් සරසා ඇත. නිර්භූෂණ ප‍්‍රතිමා යෝගී අවලෝකිතේශ්වර බෝධි සත්ව ප‍්‍රතිමා ගණයට ද දෙවනුව සඳහන් කළ ප‍්‍රතිමා රාජ කුමාර අවලෝකිතේශ්වර බෝධි සත්ව ප‍්‍රතිමා ගණයට ද අයත් කර තිබේ. අවලෝකිතේශ්වරගේ මුල් ශී‍්‍ර ලාංකේය ප‍්‍රතිමාවල එතුමාගේ තපස්වී බව හා තරුණ ලක්ෂණ එකට කැටිකොට දක්වයි. එසේම සෘෂි ලීලාව හා රාජ ලීලාව යන ලක්ෂණ දෙක සුදුසු පරිදි සංයෝග කිරීමෙන් පසුව මුල් මහායාන බෝධි සත්ත්වයන්ගේ තත්ත්වයේ සිට සිංහල සතර වරම් දෙවියෙකු බවට පත් වීම ද අවධාරණය වෙයි.
“ගිරිදර ප‍්‍රතිමාව“ නමින් හැඳින්වෙන යෝගී අවලෝකිතේශ්වර ප‍්‍රතිමාව ගම්පහ දිස්ති‍්‍රක්කයේ ගිරිදර ප‍්‍රදේශයෙන් හමු වූ ප‍්‍රතිමාවකි. මෙය නිර්භූෂණ ප‍්‍රතිමාවකි. හින්දූන්ගේ යෝගී ශිව දෙවියා අනුකරණය කොට තිබේ. මේ වර්ගයේ අවලෝකිතේශ්වර බෝධි සත්ව ප‍්‍රතිමා ශී‍්‍ර ලංකාවට හඳුන්වා දී ඇත්තේ ඉන්දියාවේ මුලින් ම නිර්මාණය කර ඇත්තේ කි‍්‍ර.ව. 6 - 7 සියවස් වල දී ඩෙකානයේ නැගෙනහිර ප‍්‍රදේශයේ පල්ලව රාජ්‍යය යටතේ ය. ශී‍්‍ර ලංකාවේ මේ වර්ගයට අයත් පිළිම පල්ලව ආභාසය පෙන්නුම් කරයි. යෝගී අවලෝකිතේශ්වර වර්ගයේ හිටි හා හිඳි පිළිම ශී‍්‍ර ලංකාවෙන් සොයාගෙන තිබේ. ඒ අතරින් ගිරිදරින් ලැබී දැනට කොළඹ කෞතුකාගාරයේ තබා ඇති පිළිමය හිටි පිළිම වර්ගයට අයත් වේ. මෙහි ඉරියවු සාමාන්‍ය හිටි වන අතර අත් දෙකකින් යුතුව දක්වා තිබේ. දකුණු අතේ අභය මුද්‍රාව හා මදක් ඔසවන ලද වම් අතේ කටක මුද්‍රාව නිරූපණය කෙරේ. ප‍්‍රතිමාවෙහි ඇඳුම් පිළිබඳ පරීක්ෂා කිරීමේ දී යටි කයෙහි ධෝතිය වෙයි. එයට යටින් අන්තරවාසකය වෙයි. අන්තරාවාසකය පයෙහි ගොප් ඇටයට මඳක් ඉහළින් අවසන් වෙයි. උඩු කයෙහි උතුරු සළුව අඟවන පටු රෙදි පටියක් වෙයි. එය ඉණ මට්ටමේ දී පුළුල් ව දැක්වේ. උඩු කයෙහි ආභරණ කිසිවක් නොදැක්වෙන අතර යඥෝපවීතයකින් උඩු කය සරසා ඇත. ඉහත සඳහන් වර්ගයේ යෝගී අවලෝකිතේශ්වර ප‍්‍රතිමා සමහරක ජටා මකුටයෙහි ධ්‍යානී බුදුරුව නැත. යටාල වෙහෙරින් එවැනි බෝධිසත්ව හිසක් ලැබී තිබේ. යෝගී අවලෝකිතේශ්වර වර්ගයේ පැරණිම හිටි පිළිමය සිතුල් පව්වෙහි ඇත. එහි උත්තරාංසකය දක්නට නැත. මෙහි ධෝතිය ද ගිරිදර රූපයේ ධෝතියට වඩා වෙනස්ය. ගිරිදර රූපයේ මෙහි ඇති අන්තරාවාසකය ද නැත. අවලෝකිතේශ්වර සෘෂිවරයකු වශයෙන් නිරූපණය කිරීමට මුල දී තිබුණු නැඹුරුව සිතුල් පව්ව ප‍්‍රතිමාවෙන් ද පෙනෙයි.
සිතුල්පව්ව අවලෝකිතේශ්වර රූපාකෘතිය මාමලම්පුරම්හි (මහා බලිපුරම්) ති‍්‍ර මූර්ති ලෙණෙහි පසුපස පැනලයෙහි ඇති ශිව රූපය හා සමාන වන අතර එහි මුහුණ හා සමාන වන අවස්ථා සිය ගණනින් ගංගාවතරණය යටතේ දැකිය හැකි ය. කේශ කලාපය හා වස්ත‍්‍රවල රැළි රටා, බහුල නොවන, සම, උන්නත හා අවනත ඉරි ආදිය ද යුක්ත වන අතර පල්ලව ශෙලියට සමානය. යෝගී අවලෝකිතේශ්වර පිළිම සමහරවිට ති‍්‍ර භංග ක‍්‍රමයට ද තනා තිබේ. මේ රූපය 7 වන සියවසට අයත් ය. සිතුල්පව්ව අවලෝකිතේශ්වර ප‍්‍රතිමාවෙන් නිරූපණය වන්නේ මුල් කාලීන ප‍්‍රතිමා ලෝකෝත්තර සෘෂි විලාශයෙන් දැක් වූ බවයි.
යෝගී අවලෝකිතේශ්වරගේ බෝධිසත්ව හිඳි පිළිම ද ලැබී තිබේ. ඒවායින් ඉතා ම වැදගත් පිළිමය වෙහෙරගලින් ලැබුණු රන් ආලේප කරන ලද ලෝකඩ පිළිමයයි. රාජ ලීලාසන ක‍්‍රමයට වාඩි වී එක් පයක් නවා සිරස් අතට ආසනය මත තබා අනික් පය පහළට හෙළා ඇත. දකුණු කළවය මත තබාගත් දකුණු අතින් කටක මුද්‍රාව දක්වන අතර වම් අත වම් කලවයට පිටින් ආසනය මත රඳවා උඩු කයෙහි බර දරයි. පොළොන්නරුවේ ආළාහන පිරිවෙන්හි මෑතක කරන ලද කැණීම්වලින් ද හිස සුන් පිළිමයක් සොයා ගෙන තිබේ. එය ද යෝගී ලක්ෂණ පෙන්නුම් කරයි. ධ්‍යානී මුද්‍රාවෙන් යුත් මේ වර්ගයෙහි ලෝකඩ පිළිමයක් අනුරාධපුර පුරා විද්‍යා කෞතුකාගාරයේ ද වෙයි. පර්යංකාසන ක‍්‍රමයට හිදි මේ පිළිමයෙහි උරහිස් මත කෙහෙ රැළි වැටී නැත. උඩුකයෙහි උත්තරාසාංගය සංකේතවත් කරන රෙදි පටිය වෙයි. ධෝතිය වෙයි. අත් දෙක උකුල මත අල්ල උඩු අතට පෙනෙන සේ එකක් මත අනික තබාගෙන සිටී. ශරීර වර්ණය සුදට හුරු ය. යටිකයේ ධෝතිය ඉතා පැහැදිලිව රැළි ගන්වා දක්වා ඇත. මේ පිළිමය කි‍්‍ර.ව. 5 - 6 සියවස් වලට අයත් ය.
“දඹේගොඩ බෝධිසත්ව ප‍්‍රතිමාව“ වනාහී පැරණි රුහුණු රටට අයත් ප‍්‍රතිමාවකි. වර්තමානයේ උව පළාතට අයත් මොණරාගල දිස්ති‍්‍රක්කයේ බුත්තල උප දිසාපති කොට්ඨාසයට මායිම් ව පිහිටා ඇත. කවුරුත් දන්නා මාළිගාවිල බුද්ධ ප‍්‍රතිමාවට නැගෙනහිර දෙසින් මීටර් 300 ක් පමණ දුරින් මෙම දඹේගොඩ බෝධිසත්ව ප‍්‍රතිමාව දක්නට ලැබේ. සියලු රාජ කුමාර ඇඳුම් පැලැඳුම්වලින් යුක්ත රාජ කුමාර අවලෝකිතේශ්වර ප‍්‍රතිමා සැලැකිය යුතු ප‍්‍රමාණයක් ශී‍්‍ර ලංකාවෙන් ලැබී තිබේ. දඹේගොඩින් ලැබී දැනට සංරක්ෂණය කර ඇති මෙම හිටි ගල් පිළිමය මෙතෙක් ශී‍්‍ර ලංකාවෙන් ලැබී ඇති ඒ වර්ගයේ විශාලතම ප‍්‍රතිමාවයි. මෙය හුණුගල් ප‍්‍රතිමාවකි. මෙය මීටර් 10 ක් උසය. මෙහිසමභංග හිටි ඉරියව්ව නිරූපිත ය. අත් දෙකකි. මෙයින් දැක්වෙන මුද්‍රා ලෙස ඔසවන ලද වමතින් පද්මය දැරීමත්, පහළට හෙළන ලද දකුණු අතින් වරද මුද්‍රාව දැක්වීමත්, පෙන්නුම් කළ හැකි ය. ඉතා වටිනා ඇඳුම් පැළඳුම් හා ආභරණවලින් සරසා තිබේ. මෙහි උඩුකය ගෙළ බාහු වළලු අත් වළලු ආදියෙන් අලංකෘත කර තිබේ.
මාතර දිස්ති‍්‍රක්කයේ වැලිගම කෝරළයේ වැලිගම නගරයට ආසන්න ව පැරැණි වරායට මුහුණ ලා පිහිටා ඇති මේ කුෂ්ටරාජගල බෝධි සත්ව ප‍්‍රතිමාව අග‍්‍රබෝධි මහා විහාරය අබියස ගල් පරයක අර්ධ උන්නතව මූර්තිමත් කර තිබේ. මෙහි උස අඩි 8 ක් පමණ ද පළල අඩි 4 ක් පමණ ද වේ. මෙම ප‍්‍රතිමාවෙහි මුහුණු සතරක් නිර්මාණය කර ඇතැයි කියනු ලැබේ. මෙලෙසින් නිරූපණය කිරීමට කලාකරුවා උත්සාහ දරා ඇතැයි විද්වතුන්ගේ අදහසයි. ඉන් තුනක් මූර්තිමත් කර ඇති අතර පිටුපස මුහුණ අධ්‍යහාරයෙන් ගත යුතුය. වැලිගම කුෂ්ටරාජගල නමින් ප‍්‍රසිද්ධ පිළිමය ගැන විවිධ මත පළ වී තිබේ.
රූපභේද ලක්ෂණ අතර ධ්‍යානී බුදු රූ පහ චිහ්න මුද්‍රාව සඳහන් වෙයි. චිහ්න මුද්‍රාව චින් මුද්‍රාව යන නමින් ද හඳුන්වනු ලැබේ. මෙහි මුද්‍රාව වන්නේ දකුණු අත අඩක් ඔසවා දබර ඇඟිල්ලේ තුඩුව මහපොට ඇඟිල්ලේ තුඩුවට තබා තද කොට ගෙනයි. චින් මුද්‍රාවත් විතර්ක මුද්‍රාවත් බොහෝ දුරට එක හා සමානය. ප‍්‍රතිමාවේ ඉරියව් සමභංග වේ. අත් දෙකකි. මෙහි මුද්‍රා ලෙස දකුණු අතේ චින් මුද්‍රව හා වම් අතේ කටක මුද්‍රාව දැක්විය හැකිය.
මේ ප‍්‍රතිමාවේ සළු පිළි ඉතා ඝන ව රැළි කොට ඇත. යටි කය ධෝතියකින් යුක්ත වෙයි. එය අන්තරවාසකය දක්වා පහතට වැටී ඇත. මේ ප‍්‍රතිමාවේ උඩුකයේ වෙකක්ෂක, හාර, උදර බන්ධ; දක්නට ඇත. බාහවල හා අත්වල වළලු ද පෙනේ. කන්වල මකර කුණ්ඩල පලඳවා ඇත. ගෙල වටා මාල සතරක් ද, උදර බන්ධ ද, ඉනේ පටියක් ද, පා සළඹ ද, හිසේ පැති ඔටුන්න ද වෙයි.
ගෙල දෙපසින් පහළ උරහිස් හා උදර ප‍්‍රදේශය වෙත වැටෙන ඇඟටම ඇලුණු ස්වභාවයක් දක්වන ලියවැල් හා රූකම්වලින් යුක්ත මාලයක් පැලැඳ ඇත. මෙම ප‍්‍රතිමාව මාල තුනක් පැලැඳි බව පැහැදිලිව ම පෙනෙන්ට තිබේ.
ප‍්‍රතිමාවේ දෙඅතෙහි ම ඇඟිලිවල මුදු පැලැඳ ඇති බවක් දැක් වේ. එක අතක වළලු දෙක බැගින් පලඳවයි. පා වළලුවලින් යුක්තයි. ශී‍්‍ර ලංකාවේ දැක්වෙන අති විශිෂ්ඨ අවලෝකිතේශ්වර පිළිමයකි. ජටා මකුටයෙහි ධ්‍යානී බද්ධ රූප තුනකින් සමන්විත වේ. ඒ අනුව පංච ධ්‍යානී බුදුවරු ජටා මකුටයෙන් මූර්තිමත් කිරීමට ගත් උත්සාහයක් ලෙස හැඳින්විය හැකියි. මහායාන ආගමෙහි ධ්‍යානී බුදුවරු පස් දෙනෙකි. එනම් :-
වෙරෝචන, අක්ෂෝභ්‍ය, රත්න සම්භව, අමිතාභ, අමෝඝ සිද්ධි
මේ බුදුවරුන්ට අයත් බෝධිසත්වරුන් ද පස් දෙනෙකි. එනම් :-
වෙරෝචන - සමන්ත භද්‍ර, අක්ෂෝභ්‍ය - වජ‍්‍ර පාණි, රත්න සම්භව - රත්න පාණි, අමිතාභ - පද්ම පාණි, අමෝඝ සිද්ධි - විශ්ව පාණි
ඌව පළාතේ මොණරාගල දිස්ති‍්‍රක්කයේ වැල්ලවාය නගරයේ සිට සැතපුම් 2 1/2 ක් පමණ දුර තිස්ස මහාරාම පාරේ ගමන් කළ විට, ඊට ඔබ්බෙහි පර්වත ප‍්‍රාන්තයක බුදුරුවගල විහාරය පිහිටා ඇති අතර මෙහි පිහිටි බෝධිසත්ව පිළිම හතරක් හා පරිවාර පිළිම දෙකක් හඳුනාගෙන ඇත. ඒවා ප‍්‍රධාන බුද්ධ ප‍්‍රතිමාව දෙපසින් තුන බැගින් නිර්මාණය කර තිබේ. මෑතක දී ලැබුණු තිරියායි පිළිමය සැලකිල්ලට ගත් විට, සිතුල්පව්ව අවලෝකිතේශ්වර ප‍්‍රතිමාවෙන් ද නිරූපණය වන්නේ සිංහලයන් මුල් අවලෝකිතේශ්වර රූප අවලෝකිතේශ්වර සෘෂි විලාසයෙන් දැක් වූ බවයි.
සෘජු කායයෙන් වැඩ සිටින බෝධිසත්ත්වයන්ගේ දෑත් කටක මුද්‍රාවෙනි. දණහිස් දක්වා වැටෙන සේ ඇඳ ඇති සාටකය නොවැගිරෙන පරිදි ඉඟ වටා රෑන් පටින් බැඳ මැද අලංකාර ගාංචුවකින් එක්කර ඇත. එයින් පහළට එල්ලෙන නරූපට දෙකක් රැළි සහිතව වම් කලව දිගේ දණ දක්වා පහතට වැටෙයි. ඇඳුමේ මේ කොටස සිතුල් පව්වේ ප‍්‍රතිමාවේ ඇති නරුපටට සමාන වුව ද නිමවා ඇති ආකාරය වෙනස් ය. රුවේ උඩුකය නිරුවත් ය. ආභරණ හෝ යඥෝපවීතය නොමැත. කෙස් වැටිය උත්තුංග ජටා මකුටයක් සේ දක්වා ඇත.
මෙතී‍්‍ර හා නාථ ප‍්‍රතිමා දෙකෙහි වෙනස දැක් වූ පැරණි කලාකරුවෝ නාථ රූපයෙහි මකුටයෙහි බුදුරුව ද, මෙති‍්‍රය රූපයෙහි දාගැබ් සටහන ද යොදා නෙළුහ. බුදුරුව ගල අවලෝකිතේශ්වර නාථ රූපවෙහි ඇති තවත් විශේෂයක් නම් එය කටක හස්ත මුද්‍රාවෙන් නෙළා තිබීමයි. ධර්ම හඬ හා එහි ආරක්ෂාව සංකේතවත් කරන්නාහු වජ‍්‍රපාණි බෝධිසත්වයෝ ය. බුදුරුවගල පිළිමයට දකුණින් ඇති ති‍්‍ර මූර්ති තේමාවේ ප‍්‍රධාන රූපයට දකුණින් ඇති රූපයේ ඔසවන ලද වම් අතේ විශ්ව වජ‍්‍රයක් වෙයි. මේ ප‍්‍රතිමාව සමභංග හිටි ඉරියව්වෙන් නිරූපණය කොට ඇත. ප‍්‍රතිමාවේ දැක්වෙන මුද්‍රා නම් කටක මුද්‍රාව වේ. හිසේ අලංකාර මකුටයකි. මකර කුණ්ඩල වෙයි. මාල දැක්වෙයි. වළලු මූර්තිමත් කර දක්වා ඇත.
බෝසත් ප‍්‍රතිමාවේ දකුණු පසින් පුරුෂ ලක්ෂණ මනාව පෙන්නුම් කරන තවත් අල්පෝන්නත මූර්තියකි. මෙය අශ්ව හිසක් සහිතව මූර්තිමත් කර තිබේ. මහායාන ග‍්‍රන්ථයක් වන සාධන මාලාවට අනුව අශ්ව හිසක් සහිතව නිරූපණය කරන්නේ සුදන කුමාර ප‍්‍රතිමාව ය. මොහු අවලෝකිතේශ්වරගේ පුත‍්‍රයා ය යන මතයක් මහායානිකයන් තුළ පවතී. මෙහි මැද තිබෙන්නේ බෝධිසත්ව ප‍්‍රතිමාවකි. ස්තූපය යොදන්නේ මෙතී‍්‍ර බෝධිසතුන්ට ය. ඒ අනුව මේ ප‍්‍රතිමා තුනින් මෙතී‍්‍ර බෝධිසත්වයන් වහන්සේ ප‍්‍රමුඛ ය. මොහුගේ පිළිමය මෙහි නෙළා ඇති බව මහාචාර්ය පරණවිතානගේ මතයයි.
මහායානිකයෝ කි‍්‍ර.ව. 3 වන සියවස පමණ දී ශී‍්‍ර ලංකාවට ඔවුන්ගේ බෝධිසත්වයන් හඳුන්වා දුන්හ. අවලෝකිතේශ්වර හෙවත් නාථ ඔවුන් අතර මුල් තැන ගනී. ඒ බෝධිසත්වයෝ මහාකරුණාව නියෝජනය කරමින් අතට පත් නිවන් සුව හැරපියා දුකට පත් සත්වයින් බුද්ධත්වය කරා යොමු කිරීම හා ඔවුන් ආරක්ෂා කිරීම තම වගකීම ලෙස සලකා කි‍්‍රයා කරන්නෙකු වේ. රෝග සුව කිරීමට එතුමා හට ඇති අති මානුෂීය බලය අනභිභවනීය බෝධිසත්වයකු වශයෙන් මතුවීමට හේතුවක් විය. දඹුල්ලේ රජ මහා විහාරයේ බුද්ධ අවලෝකිතේශ්වර හා මෙති‍්‍රය ති‍්‍ර මූර්තියේ මෙති‍්‍රය අවලෝකිතේශ්වර මෙන් ධ්‍යානී බුදුරුව හිසේ පැලැඳ සිටියි. මහනුවර දළදා මාළිගාව හා සම්බන්ධ සතර දේවාලවලින් එකක් නාථ හෙවත් අවලෝකිතේශ්වරට වෙන් වී තිබේ. මෙති‍්‍රයට එහි තැනක් දී නැත. එහෙත් මෙති‍්‍රය සමාජයෙන් ගිලිහී යාමක් එයින් අදහස් නොවෙයි. මහනුවර යුගයෙහි බොහෝ විහාරවල මෙති‍්‍රයට ද තැනක් දී තිබේ.
සුජිත් නිශාන්ත හේවගේ (Silumina Punkalasa)

No comments:

Post a Comment